තරගකාරීව ධාවනය කරන බස්‌රථවලින් ඇතිවන
අනතුරුවලට ගමනා ගමන කොමිසන් සභාවේ
සභාපතිවරයා වගකිව යුතුයි


ඇන්ටන් ප්‍රනාන්දු, ප්‍රදීප් සමරකෝන්, ඥනතිස්‌ස ජයවර්ධන

බස්‌රථ මගින් සිදුකරන තරගකාරී ධාවන තත්ත්වයන් මත ඇතිවන අනතුරුදායක සිද්ධීන්වලට ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු යෑයි දේශමාමක බස්‌ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන්ගේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ අවධාරණය කර සිටියහ.

මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්‌ථානයේ පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ අදහස්‌ පළ කර සිටියහ.

පෞද්ගලික අංශයේ බස්‌රථ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් වෙත ගමනා ගමන කොමිසම මගින් ලබාදීමට නියමිතව තිබෙන නිල ඇඳුම් එම සංගමය මගින් ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙම අවස්‌ථාවට දේශමාමක බස්‌ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන්ගේ ජාතික සංවිධානයේ ලේකම් කෝලිත මහතා ඇතුළු එහි නිලධාරීන් කීපදෙනකු සහභාගි වූහ.

මෙහිදී තවදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ සභාපති හිමියෝ මෙසේද පැවසූහ. සේවක අයිතීන් තුට්‌ටුවකට මායිම් නොකරන ගමනා ගමන කොමිෂන් සභාව බස්‌ සේවකයන් හට බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කරන නිල ඇඳුම තම සංවිධානය තරයේ ප්‍රතික්‍ෂේප කරනවා.

ඒ පිළිබඳව තම සාමාජිකයන් වෙත වරද පැටවීමට උත්සාහ කළහොත් ශ්‍රී ලංකාවේ සියලුම බස්‌ සේවකයන් බස්‌රථවලින් බැස්‌සවීමට අප කටයුතු කරනවා.

දැනට ගමනා ගමන කොමිෂන් සභාව මගින් බස්‌රථ සේවකයන් පුහුණුවීමෙන් පසු ලබාදෙන හැඳුනුම්පත සඳහා අයකරන රු. 4500 ක මුදල ඉවත් කොට නොමිලේ ලබාදීමට කටයුතු කළ යුතුයි.

එසේ මුදල් ලබාගෙන තිබියදී යම් වරදක්‌ සුළුවෙන් හෝ සිදුවුවහොත් රු. 4500 ක්‌ ගෙවා නැවත පුහුණු වීම සඳහා යොමු කිරීම බලවත් අසාධාරණයක්‌.

ගමනා ගමන කොමිසම මගින් බස්‌ සේවකයන් සඳහා යොදා ඇති ඇතැම් අණපනත් හා දඬුවම් අධිකරණයට එහා ගිය ඒවා වෙනවා. මෙමගින් බස්‌ සේවකයන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය වෙනවා.

අදාළ බලධාරීන් බස්‌ සේවකයන් එම අණපනත් යටතේ තමන්ට රිසිසේ පාලනය කිරීමට උත්සාහ කරන අතර එම සේවකයන්ගේ අයිතිවාසිකම් හිමිකම් සොයා බලන්න කිසිදු පියවරක්‌ නොගැනීම කනගාටුවට කරුණක්‌.

ඒ අතර කොළඹ බැස්‌ටියන් මාවතේ බස්‌රථ ගාලේ ගමනා ගමන කොමිසමේ හා අනෙකුත් අධිකාරිවල නිලධාරීන් බස්‌ සේවකයන් අනියම් ආකාරයේ කොල්ලකෑමක යෙදී සිටිනවා.

ඔවුන්ගේ තර්ජන ගර්ජන මධ්‍යයේ තම රැකියාවන් සුරක්‌ෂිත කර ගැනීමට එහි ධාවන කටයුතුවල යෙදී සිටින බස්‌ සේවකයන්ට සිදුවී තිබෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එම ජාතික සංවිධානයේ ලේකම් කෝලිත මහතා බස්‌රථ සේවකයන් සඳහා අධිකරණ නියෝග ලබා ගනිමින් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපතිවරයකු බලහත්කාරයෙන් බස්‌ සේවකයන්ගේ ඇඟ මත පැටවූ නිල ඇඳුම තුළින් විශාල මුදලක්‌ උපයාගෙන තිබෙන බව දැනගන්නට තිබෙන බවත් එම සභාපතිවරයා බස්‌ සේවකයන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට කිසිවිටෙකත් කටයුතු නොකළ බවත් සඳහන් කර සිටියේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.