ක්‍ෂණික බීමවලට රතු කහ කොළ ලේබල්

ඒමන්ති මාරඹේ

මින් ඉදිරියට වෙළඳපළට නිකුත් කරනු ලබන ක්‍ෂණික බීම වර්ගවල අඩංගු සීනි මට්‌ටම සංකේතවත් කිරීම සඳහා නිශ්චිත වර්ණ සහිත ලේබල් එම බීම බෝතල් පැකට්‌ටුවල ඇලවීම අනිවාර්යය කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය විසින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.

1980 අංක 26 දරන ආහාර පනතෙහි 32 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම ගැසට්‌ නිවේදනය අගෝස්‌තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව වෛද්‍ය මහීපාල කීවේය.

මේ යටතේ ක්‍ෂණික බීම වර්ගවල අඩංගු සීනි මට්‌ටම ග්‍රෑම් 11 කට වැඩි නම් එම බීම ඇසුරුමෙහි රතු පැහැති ලේබලයක්‌ද, සීනි මට්‌ටම ග්‍රෑම් 2 සිට ග්‍රෑම් 11 දක්‌වා පවතී නම් කහ වර්ණැති ලේබලයක්‌ද, ග්‍රෑම් 2 ට වඩා අඩු සීනි මට්‌ටමක්‌ පවතී නම් කොළ පැහැති ලේබලයක්‌ද ඇලවීම අනිවාර්යය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස්‌ මත මෙරට වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග පැතිරීම වැලැක්‌වීමේ අරමුණින් මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර ඇති බව හෙතෙම අවධාරණය කළේය.

බෝ නොවන රෝග වළකමු මැයෙන් ඊයේ (03 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.