කොළඹ මීයන්ගෙන් බේරාගන්න මී නාශක කෑම බෙදයි

ඒමන්ති මාරඹේ

කොළඹ නගරය තුළ ශීඝ්‍රයෙන් බෝවෙමින් පවතින මී ගහනය අවම කරලීමේ අරමුණින් ඉකුත් අප්‍රේල් මාසය තුළදී කොළඹ නගරයේ නිවෙස්‌ 53,000 කට මී නාශක කැටය බැගින් බෙදා හැර ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විඡේමුණි මහතා "දිවයින"ට පැවැසීය.

තවත් නිවාස 50,000 කට මෙම දිනවල මී නාශක කැට බෙදා හැරීම සිදු කෙරෙන බව වෛද්‍ය විඡේමුණි කීවේය.

කොළඹ නගරයේ මී ගහණය වැඩි වෙමින් පැවතීම හේතුවෙන් ලෙප්ටොස්‌පයිරෝසිස්‌, මහා මාරියා ඇතුළු මීයන්ගෙන් වැළඳෙන රෝග නගරය තුළ පැතිර යැමේ අවදානමක්‌ පැවැතීම හේතුවෙන් මෙම මී නාශක කැට බෙදා දීම සිදු වන බව හෙතෙම අවධාරණය කළේය.

දැනට මී නාශක කැට ලැබී ඇති නිවැසියන්ට තම නිවෙස්‌වල මී උවදුර සම්පූර්ණයෙන් මර්දනය කිරීමට තවමත් හැකි වී නැතිනම් ඒ සම්බන්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මී මර්දන කටයුතු පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරිවරයාට 0112503550 යන දුරකථන අංකයට කතා කර දැනුම් දෙන ලෙස වෛද්‍ය විඡේමුණි මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.