කොළඹ හා තදාසන්න ප්‍රදේශ
ජලයෙන් යටවීමේ ඇත්ත කතාව


* ඓතිහාසික කොන්තගන්ත තොටුපලත් ගොඩකරලා
* දියවන්නා ඔයේ කොටසක්‌ පස්‌ පුරවා අල්ලා ගැනීමට දැරූ උත්සාහය වැළේ
* වගුරු බිම් රැසක්‌ පස්‌ පුරවා ගොඩ කරති.



පෘතුගීසීන්ට එරෙහිව සටන්වැදීම සඳහා සිංහල සේනාව එගොඩ වූයේ කෝට්‌ටේ ඓතිහාසික කොන්තගන්ත තොටුපලෙනි. එම ප්‍රදේශය වගුරු බිමක්‌ව පැවතුණි. එහෙත් කෝට්‌ටේ ඉතිහාසයට සම්බන්ධ කොන්තගන් තොටුපළ අද අහෝසි වී තිබේ. එම ස්‌ථානයේ ඇත්තේ ව්‍යාපාරික ස්‌ථානයකි. එම පුරාවිද්‍යාත්මක ස්‌ථානයට හිමිකරුවකු බිහි වූයේ කෙසේද යෑයි මෙතෙක්‌ සොයා බලා නැත. මෙය පුදුමයක්‌ නොවේ. රාජගිරිය අඹගහහන්දිය අසල පිහිටි දියවන්නා ඔයෙන් කොටසක්‌ පස්‌ පුරවා ගොඩකර කොටුකර ගැනීමටද ක්‍රියා කර තිබුණි. පසුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝග මත පස්‌ ඉවත් කර දියවන්නා ඔය බේරාගනු ලැබීය.

ඓතිහාසික මුල්ලේරියාව වෙලට පස්‌ පිර වූ ලොරි ගෙණවුත් වැලි ලබා ගැනීමට සෝදන අයුරු ගැනද ජනතාව තොරතුරු හෙළි කර ඇත.

මේ හැර කොළඹ තදාසන්න වගුරුබිම් රැසක්‌ අද ගොඩ වී තිබේ. මෙලෙස වගුරු බිම් ගොඩවීමේ ප්‍රතිඵල ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ව්‍යවසනයෙන් සනාථ විය.

ගොතටුව බැම්ම අසල වගුරුබිමක්‌ විය. එහෙත් විවිධ දේශපාලනඥයන් නිසා වගුරු බිමේ අනවසර නිවාස ඉදිවිය.

දින ගණනකට පෙර කොළඹ කැලණි ගඟ දෙපස සරුසාර මුකුණුවැන්න කංකුන් වගාවන් දැකගත හැකිවිය. එහෙත් අද එම වගාවන් වෙනුවට ඇත්තේ පස්‌ පුරවා ගොඩකළ විශාල කන්ටේනර් අංගණයක්‌.

එසේම කොළඹ නගරයේ වසර 25 කට පෙර තිබූ වගුරු බිම්වලින් අද ඉතිරිව ඇත්තේ සියයට 2 ක්‌ යෑයි වාර්තා වී ඇත. පැරණි කැලණි පාලම තොටළඟ මාදම්පිටිය පාරේ වගුරුබිමක්‌ විය. අද එම වගුරු බිම නැත.

මේ නිසා කොළඹ අවට තදාසන්න ප්‍රදේශ රැසක්‌ බරපතළ ලෙස ජලයෙන් යටවිය. මෙයට හේතු වූයේ විශාල ලෙස වගුරු බිම් ගොඩකර ඉදිකිරීම් සිදුකිරීමයි. ඇතැම් දේපළ සමාගම්ද ව්‍යාජ ඔප්පු හදා ඉඩම් අලෙවි කිරීමේ යෙදුණු තක්‌කඩින්ද ඊට වගකිව යුතුව ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ ජලයෙන් යට වීමේ ඇත්ත කතාව මෙයයි. දේශපාලන වාසි ලබාගැනීම සඳහා විවිධ දේශපාලකයෝ වගුරුබිම්වල නිවාස ඉදිකිරීමට පිටස්‌තර පාර්ශ්වවලට ඉඩ දුන්නා. ඇතැම් ව්‍යාපාරිකයෝ මැරකල්ලි සහය මතද ඉඩම් ගොඩකිරීමට ක්‍රියා කරද්දී ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත.

ජයවඩනගම ප්‍රදේශයේ කුරුලු පාරාදීසයක්‌ පැවැති ප්‍රදේශවල ඉඩමක්‌ ගොඩ කිරීමට එක්‌ දේශපාලකයෙක්‌ ක්‍රියා කරනු ලැබීය.

එහෙත් බලධාරීන්ගේ අවධානය යොමු වූයේ නැත. පරිසරය හා ස්‌වභාවිකත්වය දිනෙන් දින විනාශ විය. ප්‍රතිඵලය දැන් ඇස්‌පනාපිට දැන ගැනීමට හැකි විය.

කලපළුවාව, රාජගිරිය, අඹතලේ, කොළොන්නාව මුල්ලේරියාව වැනි ප්‍රදේශ රැසක්‌ ජලයෙන් යටවීමේ හේතූන් දැක්‌මත් විමර්ශනණයට ලක්‌ කළ යුතුයි.

රාජගිරිය අඹගහහංදිය අසල වගුරු බිමක්‌ පස්‌ පුරවා විනෝද උයනක්‌ ලෙස නම් කර තිබුණි. දැන් එහි විනෝද උයනක්‌ තිබේ. රාජගිරිය වෝටර් එඡ් ප්‍රදේශයේ තවත් වගුරුබිමක ක්‍රීඩාපිටියක්‌ද ඉදිවිය. ඉඩම් කැබලිද අඩු මිලකට විකුණනු ලැබීය.

මේ පසුබිම මැද පසුගියදා ඇති වු ධාරානිපාත වර්ෂාව නිසා ප්‍රදේශ රැසක ජනතාව අසරණ තත්ත්වයට පත්වී ඇති අයුරු දැක ගැනීමට ලැබිණි.

එහෙත් ඊට වගකිව යුත්තේ කවුද? ඊට මුල් වූ ප්‍රධාන හේතුව කුමක්‌ද යන්න ගැන රජයේ යාන්ත්‍රණය විමර්ශනයක්‌ කරන්නේද?

කුමන පක්‍ෂයෙන් බලයට පැමිණියත් වගුරු බිම් ගොඩකිරීම් නතර වී නැත. රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පැරණි පිහිටීම් නිරීක්‍ෂණය කළහොත් වසර 30 කට පෙර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තිබූ වගුරුබිම් අහෝසි වී ඇති බව සනාථ වේ.

කොළඹ හා අවට ප්‍රදේශ ජලයෙන් යටවීම සම්බන්ධයෙන් රජයේ විවිධ අංගවල නිලධාරීන් විවිධ හේතූන් ඉදිරිපත් කරන බව සනාථ වී ඇත. ඇතැම් නිලධාරීන් විද්යුත් හා ගුවන් විදුලි නාලිකාවන් වෙත ජල ගැලීමට මුල් වූ හේතූන් ඉදිරිපත් කළත් ඒ එකම හේතුවක්‌වත් සත්‍යය නොවේ.

මේ නිලධාරීන් එදා කොළඹ පිහිටි වගුරුබිම් දැක තිබේද? විදුලිබල මණ්‌ඩලය විසින් පහත්බිම්වල ඉදිකර තිබූ යෝධ සම්ප්‍රේෂණ කුලුනු අවට ද අනවසර ඉදිකිරීම් කර තිබේ නම් කවර කතාද? මේ අනවසර ඉදිකිරීම්වලට විදුලි ජල සැපයුම් පවා ලබාදී ඇත.

මේ හැර වගාබිම් පස්‌පුරවා ගොඩකිරීම ගැන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අධිකරණය මගින් තහනම් නියෝග පවා ලබාගෙන තිබූ බව වාර්තා විය. මාස කීපයකට පසු එම වගාබිම් පස්‌ පුරවා යළි ගොඩකර ඇතැයි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් කීපදෙනෙක්‌ විසින් අප වෙත හෙළි කර ඇත.

මේ පසුබිම මත මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පැරණි සිතියම් විමර්ශනයකට ලක්‌ කිරීමෙන් කොළඹ හා අවට තදාසන්න ප්‍රදේශවල වගුරුබිම් ගොඩකර ඇති අයුරු අනවසර ලෙස ඉඩම් අල්ලාගෙන ඇති අයුරුත් රජයේ බලධාරීන්ට අවබෝධයක්‌ ලබාගත හැක.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.