කතරගම ඇසළ උත්සවයට උතුරු නැගෙනහිර සිට බැතිමත්හු 30,000ක්‌ පා ගමනින් පැමිණෙති

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

මෙවර කතරගම ඇසළ උත්සවය සඳහා උතුර නැගෙනහිර සිට පා ගමනින් බැතිමතුන් 600 ක්‌ පමණ මේ වනවිට සංගමන්කන්ද ප්‍රදේශයෙන් පැමිණෙමින් සිටින බව මොනරාගල දිසා ලේකම් ඩී. එස්‌. පත්මා කුලසූරිය මහත්මිය පැවැසුවාය.

මෙම බැතිමතුන් ලබන 27 දින වනවිට කුමන ජාතික වන උද්‍යානය වෙත පිවිසීමට නියමිත බවත් එහිදී ආරක්‌ෂාව සැපයීම පිණිස යුද හමුදාව ඇතුළු වෛද්‍ය කඳවුරු කීපයක්‌ මේ වනවිට තාවකාලිකව ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවත් දිසාපතිනිය පැවැසුවාය.

මෙම පිරිස්‌ ලබන ජුලි 03 වැනි දින කතරගම පුදබිමට පැමිණීමට නියමිතය. පා ගමනින් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම පිණිස දේවාලයේ බත් දන්සල දිවා රාත්‍රි විවෘතව තැබීමට කටයුතු කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පැවැසීය. මෙවර පා ගමනින් බැතිමතුන් 30,000 කට ආසන්න පිරිසක්‌ පැමිණීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.