අරුම පුදුම දෘෂ්ටි මායාව "3D Street Art "

සැබෑ ලොවේ නොපෙනෙන මානයක්‌ සිතුවම් තුළින් දැකිය හැකිය. සිතුවම් විටෙක කලාත්මක බව ගැබ්වුවකි. තවත් විටෙක මානුෂීය හැඟීම් ඉස්‌මතු කරන්නක්‌ හෝ පුබුදූවන්නක්‌. ඒ තුළින් බොහෝදැ පැවසිය හැකියි. සිතුවම් තුළට නව ආරක්‌ එක්‌වූයේ පුනරුද සමයේදීයි. චිත්‍ර ශිල්පය පමණක්‌ නොව බොහෝ කලාත්මක නිර්මාණ වැඩි දියුණු වූ යුගයක්‌ ලෙස එය හැඳින්විය හැක. එසමයේ බිහිවූ කලා නිර්මාණ ශ්‍රේෂ්ඨ ගණයේ වෙති. සිතුවම් තුළින් ලෝකයට වෙනස්‌ යමක්‌ ඉදිරිපත් කළ හැකිය. මේ කියන්නට යන්නාවූ සිතුවම් කලාව තුළත් පුනරුද සමයේ අංග ලක්‌ෂණ ගැබ්ව ඇත. සැබෑ ලොවෙන් වෙන්කර හඳුනාගත නොහැකි දෘෂ්ටි මායාවක්‌ අන්තර්ගත වූ මෙම සිතුවම් කලාව හඳුන්වනු ලබන්නේ "ත්‍රිමාන වීදි සිතුවම් කලාව" නැතහොත් "3D Street Art " යනුවෙනුයි.

මෙම ලිපියේ පළවන ඡායාරූප දෙස හොඳින් බලන්න. ඔබ නිසැකයෙන්ම මෙම සිතුවම්වල ඇති මායාවට හසුවනු ඇත. නිදසුනක්‌ ලෙස ගතහොත් වීදියක සිතුවම් කර ඇති "ගිනිකන්දක ප්‍රපාතයක්‌" යන සිතුවම දුටුවහොත් එය වීදිය මත ඇති සැබෑ ගිනිකන්දක ප්‍රපාතයක්‌ ලෙස ඔබට පෙනේවි. එහෙත් ඔබ හොඳ අවධානයෙන් යුතුව බැලුවහොත් එය සැබැවින්ම වීදියේ පොළොවෙහි පෘෂ්ඨය මත සිතුවම් කර ඇති සිතුවමක්‌ පමණි. එකම වෙනස එය ත්‍රිමාණකරණය කර තිබීමයි. ලොව පුරාම සිටින ත්‍රිමාන වීදි සිත්තරුවන් නිසා සිතුවම් කලාව තුළ නව පෙරළියක්‌ ඇති වී තිබේ. මෙම සිතුවම් බොහෝවිට නිර්මාණය කරනු ලබන්නේ පදික වේදිකා, නිතර සෙනඟ ගැවසෙන ස්‌ථාන, වීදිවල තාප්ප මත ආදියෙහිය. සිතුවම් ඇඳීම සඳහා ඒ සඳහාම සැකසු රටහුණු, පැස්‌ටල් කූරු ආදිය යොදාගනු ලැබේ. සිතුවම් කලාවේ මූලාරම්භය සනිටුහන් වන්නේ පුනරුද සමය තුළදී ය. එසමය තුළ දී ඉතාලියේ සිටි නිදහස්‌ චිත්‍ර ශිල්පීන් විසින් වීදි සිතුවම් කලාව ප්‍රචලිත කරන ලදී. ඔවුන් හඳුන්වනු ලැබුවේ Madonnari කලා ශිල්පීන් ලෙසිනුයි. ඔවුන් විසින් එරට විවිධ උත්සව, ආගමික උත්සව ආදියෙහි තම නිර්මාණ එළිදක්‌වන ලදී. එකල වීදි මත ඔවුන් එම සිතුවම් නිර්මාණය කරන ලද්දේ හුණු, අඟුරු, පාටගල් සහ ගඩොල් කැට ආදියෙනි. එසමයේ විවිධ උත්සව ආදියේ ඔවුන් විසින් එළිදැක්‌වූ සිතුවම් පසුකලක බිහිවූ ත්‍රිමාන වීදි සිතුවම් කලාවට මූල බීජය ආරෝපණය කළ බැවින් ඔවුන් මෙම සිතුවම් කලාවේ පූනරුද සමයේ මූලයන් (Renaissance Roots) ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් Madonnari සිතුවම් ශිල්පීන් විසින් ගෙන ආ වීදි සිතුවම් කලාව වර්තමානයේ පවතින ත්‍රිමාණකරණය වූ සිතුවම් බවට හැරවූ විස්‌මිත සිත්තරා කවුරුන්ද හේ නමින් " කර්ට්‌ වෙනර්"ය. ඇමරිකානු ජාතිකයකු වූ ඔහු මෙම සිතුවම් කලාව වෙනුවෙන් සම්මානයට පවා පාත්‍ර විය. කලාවට තිබූ උනන්දුව නිසාම කලාව ඇසුරෙන් පාසල් අධ්‍යාපනය නිමකළ ඔහු කලක්‌ NASA ආයතනයේ ඉහළ පෙළේ විද්‍යාත්මක රූපක චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ අතර ඔහු එයින් ඉවත්ව 1982 දී ඉතාලිය බලා පිටත්ව ගියේ ය. ඉතාලියේ ප්‍රකට කළ කෞතුකාගාර ඇසුරෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම ඒ ආශ්‍රයෙන් Madonnari කලාව ප්‍රගුණ කරන ලදී. රූපක සහ සිතුවම් කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඔහු දිනක්‌ SANTA BARBARA කලා කෞතුකාගාරයේ ඔහු විසින්ම ඇඳි සිතුවමකින් වීදි සිතුවම් ත්‍රිමාණකරණය කිරීමේ විස්‌මිත දොරටුව විවර කරගන්නා ලදී. ඉන් අනතුරුව අවුරුදු 28 පුරාවටම ඉතාලියේ ජීවත් වෙමින් ඔහු "ත්‍රිමාණ වීදි සිතුවම් කලාව" එරට ප්‍රචලිත කරන ලදී. එරට පුරාවටම ඔහු විසින් නිර්මාණය කළ සිතුවම් නිසා ජනාදරයට පාත්‍ර විය. කර්ට්‌ වෙනර් විසින් ඉදිරිපත් කළ ත්‍රිමාණ වීදි සිතුවම් ප්‍රගුණ කළ සිත්තරුන් අද වන විට ලොවපුරාම දැකගත හැකියි. ඔවුන් විසින් තව තවත් මෙම කලාවෙහි නව්‍යකරණයන් සොයා සිතුවම් නිර්මාණය කරති. ඇමරිකාව, හොංකොං, ඉතාලිය, czech, ජර්මනිය, පෝලන්තය, එංගලන්තය, තායිවානය, ප්‍රංශය ආදී තවත් යුරෝපීය සහ සෙසු රටවල් ගණනාවකම මෙම ත්‍රිමාණ වීදි සිතුවම් ව්‍යාප්තව පවති. කර්ට්‌ වෙනර් සිතුවම් කළ මානව රූ සහිත වීදි සිතුවම්වලටත් එහාගිය වර්ණවත්, අර්ථවත් සහ තාත්වික දෘෂ්ටි ප්‍රයෝග වර්තමානයේ වීදි සිතුවම් තුළ අන්තර්ගතයි. එඩ්ගාර් මුලර් 41 හැවිරිදි ජර්මානු සිතුවම් ශිල්පියෙකි. ත්‍රිමාන වීදි සිතුවම් ඇසුරෙන් ඔහු පිළිබඳ පැවැසෙන්නේ දිගම ත්‍රිමාණ වීදි සිතුවම් නිර්මාණය කරන්නකු ලෙසයි. වරක්‌ ඔහු කැනඩාවේ වීදියක 270m දිගම ගංඟාවක්‌ සිතුවම් කරන ලදී ගංඟාව අවසානයේ සුවිසල් දියඇල්ලක්‌ දිටිය හැකිය. එය ඉතාම ස්‌වභාවික අන්දමින් පෙනේ වර්තමානයේ අන්තර්ජාලය තුළ ප්‍රකට ත්‍රිමාණ වීදි සිතුවම්වලින් කිහිපයක්‌ ලෙස සිංහයන් (CANNES), දියඇල්ල (Czech republic), Gaurmet උත්සවය (ඉතාලිය) තටාකය (පෝලන්තය) විදුලි පඬිපෙල (හොංකොං) යන සිතුවම් දැක්‌විය හැකිය.

මෙම සුවිසල් ත්‍රිමාණ වීදි සිතුවම් නිර්මාණය කිරීමට දින 8 ක්‌ හෝ ඊට වැඩි දවසක්‌ ගත වේ. අතීතයේ යොදාගත් ප්‍රාථමික ද්‍රව්‍ය වෙනුවට වර්තමානයේ විවිධ පැස්‌ටල් කූරු යොදාගනී. මේවා යොදාගැනීම ආරම්භ වූයේ 21 වන සියවසේදීය. තෝරාගන්නා ලද වීදි පොළොවක පෘෂ්ඨය මත සිතුවම නිර්මාණ කරනු ලැබේ. වර්තමානයේ ත්‍රිමාණ වීදි සිතුවම් කලාවේ ඇතිවී තිබෙන නව පෙරළිය "XXL 3D Street Paaint" ලෙස හඳුන්වනු ලැබේ. දැන් මෙම අලුත් මුහුණුවරින්ද සිතුවම් නිර්මාණය කරනු ලබයි. නවතම වීදි සිතුවම් නිර්මාණය කිරීමට වර්තමානයේ යොදාගන්නා අමුද්‍රව්‍යය "ඇක්‍රලික්‌" නම් අම්ලයෙන් සෑඳු තීන්ත විශේෂයකි. සිතුවම් තුළ ඇති ත්‍රිමාණ බව නැතහොත් දෘෂ්ටි මායාව නිර්මාණය කිරීමට අද වන විට යොදාගන්නා ජ්‍යාමිතික ක්‍රම සහ පරිගණක වැඩසටහන්ය. එනමුත් වර්තමානයේදී එය එසේ වුවත් ත්‍රිමාණ වීදි සිතුවම් කලාවේ ආදි කර්තෘ ලෙස සැලකෙන "කර්ට්‌ වෙනර්" ශිල්පියා හට සිතුවම් තුළ ඇති ත්‍රිමාණකරණ මායාව පෙන්වීමට උපකාරී වූයේ ඔහුගේම දැත පමණි. ඊට ඔහුගේ සහජ හැකියාව පමණක්‌ ප්‍රමාණවත් විය. අද වන විට ලොව බොහෝ රටවල වැසියන්ගේ අවධානයට පාත්‍රවී තිබෙන මෙම සිතුවම් කලාව නොයෙකුත් මාතෘකා ඔස්‌සේ මෙම සිත්තරුන් අතින් වීදි මත දිග හැරේ. එපමණක්‌ නොව ත්‍රිමාණ වීදි සිතුවම් සඳහාම වෙන්වූ විශේෂ වැඩමුළු, ප්‍රදර්ශන ද විවිධ රටවල පැවැත් වේ. ඒ අතුරින් ලොව විශාලතම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඉතාලිය තුළය. අපට සැබැවින් අත්විඳිය නොහැකි සුවිසල් ගිනිකඳු කුහර, අයිස්‌කඳු, ප්‍රපාත ගැඹුරටම පියමනින්නට මෙම සිතුවම් තුළින් අත්විදීමට ලැබෙන බව අතිශයෝක්‌තියක්‌ නොවේ. හොඳින් බලන්න වීදිය මත සිතුවම් කර ඇති සිතුවමෙහි ත්‍රිමාණකරණ මායාව නිසා එය තාත්විකව පෙනෙන අන්දම "3D Street Art"මිනිසාගේ සිත සුවපත් කිරීම නොව මිනිසා සමඟම ජීවත්වන සිතුවම් කලාවකි. එය සැබැවින්ම විස්‌මිත කලාවක්‌ බව පැවැසිය යුතුමය.

ඔබට "3D Street Art" ඡායාරූප නැරඹිමට අන්තර්ජාලයේ ඉහත නම සඳහන් කළ හැක. නැතහොත් මෙම සිතුවම් නිර්මාණය කරන අන්දම "YOUTUBE" ඔස්‌සේ වීඩියෝ මඟින්ද නැරඹිය හැක.

ලිහිනි උදයන්ති ජයතිස්‌ස

ඡායාරූප ලබා ගැනීමට අන්තර්ජාලයේ "3D Street Art Gallery" සඳහන් කරන්න මෙම සිතුවම් වල නිර්මාණකරුගේ ඡායාරූප සඳහා "Kurt Wenners Street Art Gallery" ලෙස සඳහන් කළ හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.