රට හොල්ලන කතා මවන මොකක්‌ද මේ කෝප් කමිටුව

අජිත් අලහකෝන්


සංවෘතව තිබූ අපේ රටේ ආර්ථිකය 1977 වසරේදී විවෘත කළේය. ආර්ථික ප්‍රතිපත්තිවල සිදුවූ මේ විපර්යාසයන් නිසා රට තුළ රාජ්‍ය ව්‍යවසායන් වැඩි වැඩියෙන් බිහි වන්නට පටන් ගත්තේය.

මෙසේ ස්‌ථාපිත කළ රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම වාර්ෂිකව අයවැය වාර්තාව මගින් කිරීම සිදු වන්නට පටන් ගත්තේය. රාජ්‍ය සංස්‌ථා සහ අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර ආයතනවලට වාර්ෂිකව වෙන් කරන මෙම ප්‍රතිපාදන මහජන මුදල් ය. මේ මුදල් එකී රාජ්‍ය ව්‍යවසායන් විසින් අපේක්‍ෂිත අරමුණු වෙනුවෙන් වියදම් කරනවද...., අපේක්‍ෂිත අරමුණ ළඟා කර ගන්නේද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තුවට අයිතියක්‌ ඇත. ඒ එකී මුදල් වාර්ෂිකව අයවැය වාර්තාවක්‌ මගින් අනුමත කරන්නේ පාර්ලිමේන්තුව නිසාය. මේ වගකීමට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් බැඳෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්මය. ඒ ව්‍යවස්‌ථාවේ 148 වන වගන්තිය ප්‍රකාරවය.

මේ අනුව පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නීතියක්‌ යටතේ පිහිටුවනු ලබන සංස්‌ථාවක හෝ ඕනෑම ව්‍යාපාරයක ගිණුම් පරීක්‍ෂා කිරීම සඳහා 1979 ජුනි 21 දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ස්‌ථාපනය කරන ලදී. ඒ රාජ්‍ය සංස්‌ථා සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යැම සහතික කිරීම උදෙසාය.

අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැර රාජ්‍ය ආයතන 244 ක්‌ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් වේ. එමෙන්ම අද වනවිට සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තිබෙන රජය සතු සමාගම්වල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සුපරීක්‍ෂාව යටතට ගෙන තිබේ.

(සැ. යු. අමාත්‍යාංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල මූල්‍ය කටයුතු සුපරික්‍ෂාව සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කටයුතු කරයි. එය ද කෝප් කමිටුව හා සමාන නමුත් පිහිටුවනු ලැබ ඇත්තේ 1921 ඔක්‌තෝබර් 26 දිනය. මෙය මෙරට පැරණිතම පාර්ලිමේන්තු කාරක සභාව ලෙසද සැලකේ.)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට බලතල ලබාදී තිබෙන්නේa පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග අංක 126 මගිනි. ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරයක්‌ ආරම්භයේදීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද ස්‌ථාපනය කෙරේ. මෙම කාරක සභාව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 26 දෙනෙක්‌ තෝරා පත් කර ගනී. ඔවුන් පාර්ලිමේන්තුවේ නියෝජිත දේශපාලන පක්‍ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සිදු කෙරේ. මෙම කාරක සභාව රැස්‌ වන පළමු සැසිවාරයේදීම ඊට සභාපතිවරයකු තෝරා ගැනීම සිදු කරන්නේ ද සාමාජිකයන් විසිහයදෙනා අතරිනි. මෙහි ගණ පූර්ණය හතරදෙනෙකි.

කෝප් කමිටුවේ පළමු සභාපතිවරයා වන්නේ ජෝර්ඡ් අබේගුණසේකර මහතාය. ඔහු 1979 ජුනි 21 දා සිට 1988 ජනවාරි 04 දා දක්‌වා එම ධුරයේ කටයුතු කළේය.

ඉන්පසු පිළිවෙළින් අද දක්‌වා කෝප් කමිටුව සභාපතිවරුන් දාහතරදෙනකුගේ පාලනයට නතුව ඇත. පිළිවෙළින් එම්. එස්‌. අමරසිරි, ඡේ. ඒ. ඊ. අමරතුංග, විමල් වික්‍රමසිංහ, රොහාන් අබේගුණසේකර, ඩී. ජී. වික්‍රමසිංහ ඔවුහුය.

මහාචාර්ය විශ්වා වර්ණපාල, රෙජී රණතුංග, ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ, රෝහිත බෝගොල්ලාගම, විජයදාස රාජපක්‍ෂ, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, ඩිව් ගුණසේකර යන මහත්වරු මින් පෙර සභාපතිවරු ලෙස කටයුතු කර තිබේ. කෝප් හි වත්මන් සභාපතිවරයා වන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතාය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්තමාන සාමාජිකයන් විසි හය දෙනා මෙසේය. සුනිල් හඳුන්නෙත්ති (සභාපති), රවුµa හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ලක්‍ෂමන් සෙනෙවිරත්න, රවීන්ද්‍ර සමරවීර, වසන්ත අලුවිහාරේ, ලසන්ත අලගියවන්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පි. පෙරේරා, රන්ජන් රාමනායක, අශෝක්‌ අබේසිංහ, අනුර කුමාර දිසානායක, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, බිමල් රත්නායක, වීරකුමාර දිසානායක, මාවෙයි සේaනාධිරාජා, අබ්දුල්ලහ් මහරුµa, එස්‌. ශ්‍රීතරන්, එම්. ඒ. සුමන්තිරන්, හෙක්‌ටර් අප්පුහාමි, වේලු කුමාර්, වෛද්‍ය නලින්ද ජයතිස්‌ස, හර්ෂණ රාජකරුණා සහ ඤාණමුත්තු ශ්‍රීනේෂන්.

කෝප් කමිටුවේ සභාපති ධුරයට විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු පත්වීම සුවිශේෂී සිද්ධියකි. විජයදාස රාජපක්‍ෂ මහතා ද කෝප් සභාපතිවරයාව සිටි කාලයේ ආණ්‌ඩු පක්‍ෂයේත් පසුව විපක්‍ෂයේත් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබේ. අද එම දුර්ලභ අවස්‌ථාව සුනිල් හඳුන්නෙත්ති මහතාට ලැබී තිබේ.

කෝප් කමිටුවට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු සභාපති වූවොත් එහි ස්‌වාධීන භාවයට යම් හානියක්‌ සිදුවනු ඇතැයි සාධාරණ සැකයක්‌ උපදී. ඒ මෙම කමිටුවෙන් විමර්ශනය කර නිර්දේශ ලබා දෙන්නේ ආණ්‌ඩුවේම සංස්‌ථා සහ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වීම නිසාය.

කවර හෝ රාජ්‍ය සංස්‌ථාවක හෝ කිසියම් ලිත නීතියක්‌ යටතේ ආණ්‌ඩුවට පැවරී ඇති වෙළෙඳ හෝ වෙනත් ව්‍යාපාරයක පරීක්‍ෂාවට භාජනය කළ ගිණුම් අයවැය හා වාර්ෂික ඇස්‌තමේන්තු, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා සාමාන්‍ය කළමනාකාරිත්වය ගැනද, ඒ අනුව පැනනඟින කවර හෝ කරුණක්‌ ගැන ද කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුව වෙත කලින් කලට වාර්තා ඉදිරිපත් කළ යුතුය. කෝප් වාර්තාව ලෙස සභාපති කරනුයේ මෙම වාර්තාය.

එමෙන්ම කෝප් සභාවට කිසියම් පරීක්‍ෂණ කටයුත්තක්‌ වඩාත් පහසුවෙන් සිදු කර ගැනීම සඳහා කාරක සභාවේම සාමාජිකයන්ගෙන් සමන්විත අනුකාරක සභාවක්‌ද පත් කිරීමට බලය ඇත. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ බැඳුම්කර ගනුදෙනුවේ චෝදනා විමර්ශනයට දින සියයේ යහපාලන ආණ්‌ඩුව යටතේ එවක සිටි කෝප් සභාපති ඩිව් ගුණසේකර මහතා විසින් මෙවැනි අනුකාරක සභාවක්‌ පත් කළේය. කෝප් කමිටුවටත් පෙර කී අනුකාරක සභාවටත් ඕනෑම පුද්ගලයකු කැඳවා ප්‍රශ්න කිරීමේ බලය ඇත. එමෙන්ම ඕනෑම ලේඛනයක්‌, පොතක්‌ හෝ වෙනයම් ලියවිල්ලක්‌ ද කමිටුව හමුවට ගෙන්වා පරීක්‍ෂා කිරීමේ බලය ඇත.

තවද සංස්‌ථා සහ රාජ්‍ය ව්‍යවසාය ආයතනවල ගබඩාවලට සහ දේපළ වෙත පිවිසීමේ බලයද කෝප් කමිටුවට ඇත. වත්මන් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දිනෙක කමිටු සාමාජික රන්ජන් රාමනායක මහතා සමඟ ගබඩාවක්‌ පරීක්‍ෂා කර කල් ඉකුත් වූ ඖෂධ තොගයක්‌ සොයා ගත්තේ මෙකී බලතල ප්‍රකාරවය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, රාජ්‍ය වැවිලි සංස්‌ථාව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැනි ආයතන ද කෝප් කමිටුවේ සුපරීක්‍ෂාව යටතට ඇතුළත්ය. මහබැංකුව ද මීට අයත් ය. කෝප් කමිටුව වෙත මේ දිනවල ජනතා අවධානය වැඩි වශයෙන් යොමුව ඇත්තේද මහ බැංකුව හේතු කර ගනිමිනි. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විගණකාධිපතිවරයා ලවා විශේෂ පරීක්‍ෂණයක්‌ කිරීමට කෝප් කමිටුව උපදෙස්‌ දුන්නේය. විගණකාධිපතිවරයාගේ වාර්තාව පසුගිය බදාදා කෝප් කමිටුව වෙත භාර දුන්නේය. මේ පරීක්‍ෂණය පිළිබඳ ක්‍රියාදාමය තවදුරටත් කෝප් කමිටුව විසින් සිදු කරගෙන යනු ලබයි. මෙම කමිටුව සමන්විත වන්නේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් වන බැවින් කෝප් කමිටුව සම්බන්ධයෙන් ඇතැම් අවස්‌ථාවලදී තීන්දු තීරණ ගනිද්දී බෙදීම් ඇතිවීමද සිදු වේ. කෙසේ වෙතත් කෝප් කමිටුව කලින් කලට සිය පරීක්‍ෂණවලට අදාළව වාර්තා හෝ අතුරු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මේ වාර්තාව ඔස්‌සේ ඒ ඒ රාජ්‍ය ආයතනවල දූෂණ, අක්‍රමිකතා, අකාර්යක්‍ෂමතා වෙන් වෙන්ම පැහැදිලි ලෙස පෙන්වා දෙයි. එමෙන්ම ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ලෙස කටයුතු කළ යුතු බවද, ඉදිරියේදී එම ආයතන ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද කෝප් කමිටු වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.

විජයදාස රාජපක්‍ෂ මහතා කමිටුවේ සභාපතිව සිටිද්දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක්‌ මගින් රාජ්‍ය සංස්‌ථා සහ ව්‍යවසාය ආයතන රැසක රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ හෙළිදරව් කරනු ලැබීය. වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට වාර්තාව මගින් නිර්දේශ කිරීම මිස කෝප් කමිටුවට පොලිසියක හෝ අධිකරණයක රාජකාරිය කළ නොහැක. එනම් වරදකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ දඬුවම් දීමේ බලය කමිටුවට නැත. කෝප් වාර්තාව සභාගත කළ පසුව කථානායකවරයාට කළ හැක්‌කේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස්‌a කොමිසමට පරීක්‍ෂණ කටයුතු භාරදීම පමණි.

ජනතාවගේ මුදල් වියදම් කරද්දී බලධාරින් විසින් සිදු කරන ගසාකෑම් දූෂණ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් හෙළි කරමින් වාර්තා ඉදිරිපත් කළ ද මෙතෙක්‌ කලක්‌ සිදුව ඇත්තේ එම හෙළිදරව් වාර්තාවට පමණක්‌ සීමා වීමය. කෝප් කමිටුව විසින් හෙළි කළ අපරාධකරුවන් වංචාකරුවන් කිසිවකු මේ දක්‌වා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර නොමැත. රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙසීය විසිපස්‌ දෙනා අතෙහිය. ඒ මන්ත්‍රීවරුන් දෙසීය විසිපස්‌ දෙනාගේ නියෝජිතයන් විසි හතරදෙනකුගෙන් සමන්විත කෝප් කමිටුවට සිය බලතල ප්‍රකාරව නියම ආකාරයෙන් කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක්‌ ලබාදීම ආණ්‌ඩුවක යුතුකමය. ඊට බාධා හෝ තර්ජන එල්ල කිරීම, එය නිර්දය ලෙස විවේචනය කිරීම වක්‍රාකාරයෙන් වංචාකරුවන් ආරක්‍ෂා කර ගැනීමත් වනු ඇත. කෝප් කමිටුවට තව තවත් බලය ලබාදීම මිස කළ යුත්තේ එය අකර්මන්‍ය කිරීම සඳහා කටයුතු කිරීම නොවේ . එහෙත් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු සභාපති ධුරය දැරීම හේතු කොට ගෙන දැන් දැන් කෝප් කමිටුව වෙත ආණ්‌ඩුවේ විවිධ පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවට ද දේශපාලන කරළියේ ඇතැම්හු කතා බහ කරති. එහෙත් සිදුවිය යුත්තේ එය නොවන බවද මෙහිලා සටහන් තබමි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.