අධි වසංගතයක්‌ වී ඉදිරියට ඇදෙන ඩෙංගු

ඒමන්ති මාරඹේ



දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 11 ක මෙම දිනවල ඩෙංගු උණ වසංගත තත්ත්වයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කර ඇත. වසර ගණනාවක සිට ඩෙංගු උණ මෙරට වසංගත මට්‌ටමින් පැතිර ගියද මේ වන විට අදාළ දිස්‌ත්‍රික්‌කවල නිර්මාණය වී ඇත්තේ අධි වසංගත තත්ත්වයකි.

මෙම තත්ත්වය මත ඩෙංගු මදුරු කීටයින් බෝවන අයුරින් තම ආයතන/ නිවාස පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙරට වඩා මේ වන විට වැඩි වී තිබේ. මේ බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති µයිසර් මුස්‌තාපා මහතා විසින්ද අවධාරණය කර තිබේ.

මෙහිදී දැඩි නීති රීති යනුවෙන් අදහස්‌ වනුයේ ඩෙංගු මදුරු කීටයින් බෝවන අයුරින් තම පරිශ්‍රයන් පවත්වාගෙන යන්නන්ට එරෙහිව ක්‍ෂණික දඩ මුදල් අය කිරීමේ (ස්‌පොට්‌ µයින්) සිට සිර දඬුවම් ලබා දීම දක්‌වා වූ නීතිරීති ක්‍රියාත්මක කිරීමයි. කියුබා ඩෙංගු වසංගතය සිය රටින් තුරන් කරන ලද්දේ මෙවැනි දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම හරහාය.

මේ වන විට විසි එක්‌ දහස ඉක්‌මවා ඇති මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ එම රෝගීන්ගේ සංඛ්‍යාවද ඉක්‌මවා ඇත. මෙවැනි තත්ත්වයක්‌ පැවැතියදීත් තවමත් සෞඛ්‍ය බලධාරීන් අඳුරෙහි අතපත ගාන්නාක්‌ මෙන් යල් පැන ගිය ක්‍රමවලට අනුව ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව ක්‍රියාත්මක කරනුයේ ලිහිල් වූ දඬුවම් බව පෙනී යයි.

රටක ඩෙංගු වැනි වසර ගණනාවක්‌ පුරා වසංගත තත්ත්වයෙන් පැතිර යන රෝගයක්‌ පැතිරීම වැළැක්‌වීම සඳහා දේශපාලන නායකත්වයක්‌ද තිබිය යුතු බව නොරහසකි. එසේ නිසි දේශපාලන නායකත්වයක්‌ මත ක්‍රියා කරමින් තායිලන්තය එරට එච්. අයි. වී/ එඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීමට සමත් වූ බව ලොවම දනී. කරුණු එසේ නම් අප රටේ ඩෙංගු වැනි වසරකට කිහිපවරක්‌ වසංගත තත්ත්වයෙන් පැතිර යන රෝගයක්‌ මැඩලීම සඳහා සක්‍රීය දේශපාලන නායකත්වයක්‌ අවශ්‍ය බව පෙනී යයි.

එවැනි නායකත්වයක්‌ හුදෙක්‌ වචනවලට පමණක්‌ සීමා නොවී ක්‍රියාකාරී සැලැස්‌මකට අනුව වසර පුරාම අඛණ්‌ඩව ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුව ඇත. අද අප රටේ නොපවතින්නේද එයයි. සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය බලධාරීන් හට වසර පුරාම අඛණ්‌ඩව ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කරන ලෙස උපදෙස්‌ නිකුත් කර ඇතත් එයද නිසි පරිදි ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට නැත.

දින තුනක දින පහක වශයෙන් වරින්වර ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන වැඩ පිළිවෙළවල් පැවැතියද ඒවා හරහා මහජනතාවද ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කිරීමේ වැදගත්කම ඉගෙන ගත් බවක්‌ද පෙනෙන්නට නැත්තේ දිගින් දිගටම ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන පරිශ්‍රයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව පෙනී යාම නිසාය.

විශේෂයෙන්ම කොළඹ දිස්‌ත්‍රික්‌කය ඇතුළු දිවයිනේ නගරබද ප්‍රදේශවල මෙම තත්ත්වය දක්‌නට ලැබේ. අලුතින් ඉදි කෙරෙන ගොඩනැඟිලි ඇතුළු ආවරණය නොකරන ලද කොන්ක්‍රීට්‌ තට්‌ටු සහිත ඉදි කිරීම් මත ඩෙංගු මදුරු කීටයින් වැඩි වශයෙන් බෝවන බව කීට විද්‍යා සහකාර නිලධාරීන් නොයෙක්‌ වර සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇතත් තවමත් එවැනි ඉදි කිරීම්වල අයිතිකරුවන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වනු දක්‌නට නොලැබේ.

අනෙක්‌ අතට පාසල්වල තත්ත්වයද එසේමය. පාසල්වල කලකට පෙර පිහිටුවා තිබූ ඩෙංගු මර්දන කමිටුවලට වූ දෙයක්‌ නැති බව පෙනී යනුයේ දිගින් දිගටම පාසල් භූමි තුළත් ඩෙංගු මදුරු කීටයින් බෝවී ඇති ආකර මතුවීම නිසාය.

වර්තමානයේ රටේ ක්‍රියාත්මක වන ජාතික මට්‌ටමේ ඩෙංගු මර්දන වැඩපිළිවෙලෙහි අඩුපාඩු පවතින බව අවිවාදයෙන්ම පිළිගත යුතුව තිබේ. දැනට ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරඹා වසර ගණනාවක්‌ ගත වී ඇතත් තවමත් එම වැඩපිළිවෙලේ සැලැසුම් කරන නිලධාරීන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අතුරු මාර්ගයන් මගහැර එම වැඩපිළිවෙලවල් සකස්‌ කරන බව පෙනී යයි.

අදටත් ඩෙංගු මදුරු මර්දන සතියක්‌ ක්‍රියාත්මක වුවහොත් බොහෝ විට නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්‌ වනුයේ ප්‍රධාන මාර්ගවල පිහිටි ආයතන හා නිවාස පමණක්‌ වන අතර අතුරු මාර්ගවල පවතින එම ස්‌ථාන පිරික්‌සීමක්‌ සිදු වන්නේ නැති තරම්ය. මෙයද රටේ ඩෙංගු පැතිරීම මර්දනය කිරීමට බාධාවකි. මන්ද ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථානයක්‌ එම අතුරු මාර්ග ආශ්‍රිතවද පැවැතිය හැකි වීම නිසාය.

මෙම තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරු මර්දන සති සැලැසුම් කිරීමේදී දිවයිනේ සෑම ප්‍රදේශයක්‌ම ආවරණය වන පරිදි සැලසුම් සකස්‌ කිරීම ඩෙංගු මර්දනයට පිටිවහලක්‌ වනු ඇත. මෙහිදී පළාත්පාලන ආයතනවල සහාය ලබා ගත හැකිය.

නිසි සැලසුමක්‌ මත ක්‍රියාත්මක නොවුවහොත් ඩෙංගු මර්දන වැඩපිළිවෙළද ඉදිරියේදී හිඟන්නාගේ තුවාලයක්‌ බවට පත් වීමට ඉඩ තිබේ. එනම් මුදල් හා ශ්‍රමය කෙතරම් වැය කළද ඩෙංගු මදුරුවන් මර්දනය වීම සිදුව නැත්නම් එම වැඩපිළිවෙළවල්වලින් ප්‍රයෝජනයක්‌ අත් නොවීම නිසාය.

මහජනතාව, ඩෙංගු රෝගය වැළඳීම සම්බන්ධව මෙන්ම ඩෙංගු රෝගයෙහි රෝග ලක්‍ෂණ, ගත යුතු ප්‍රතිකාර හෝ එම රෝගය කෙනෙකුගෙන් තවත් අයෙකුට පැතිර යන්නේද යන්න පිළිබඳව මෙන්ම ඩෙංගු මදුරුවන්ගෙන් තොරව පරිසරය පවත්වාගෙන යැමේ වැදගත්කම පිළිබඳව නිරතුරුව දැනුවත් කිරීමද අත්‍යවශ්‍ය වූ කරුණකි.

මෙම වසරේ මේ දක්‌වා ඩෙංගු මරණ 35 ක්‌ වාර්තා වීමෙන් පෙනී යනුයේ මහජනතාව තවමත් රෝගයේ ස්‌වභාවය පිළිබඳව නිසි පරිදි දැනුවත්වීමක්‌ ලබා නොමැති බවයි.

අනෙක්‌ අතට එක්‌ ආයතනයක්‌ හෝ නිවසක්‌ තම පරිශ්‍රයන් අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන නොයයි නම් එතැනින් ඩෙංගු පැතිරීම ප්‍රදේශයේ පාලනය වී ඇතැයි අදහස්‌ නොකෙරේ. ඉහත කී ආයතනය හෝ නිවස ඩෙංගු මදුරුවන්ගෙන් තොරව පැවැතියද එම ස්‌ථානයට යාබදව පිහිටි එක්‌ ස්‌ථානයක්‌ හෝ ඩෙංගු මදුරු කීටයින් බෝවන අයුරින් පවත්වාගෙන යයි නම් හෝ ඩෙංගු මදුරු කීටයින් එම ස්‌ථානයේ බෝවී ඇත්නම් ඉහත කී එම කීටයින් රහිත ස්‌ථානය කෙතරම් පිරිසිදුව පැවැතියද පලක්‌ නොවේ. මේ පිළිබඳව ජනතාව නිවැරදි අයුරින් දැනුවත් කිරීම බලධාරීන් සතු යුතුකමකි.

මහා මාර්ග දෙපස පදික වේදිකාවල දමා ඇති ටයර් ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි ආකර ලෙසට සෞඛ්‍ය බලධාරීන් වසර ගණනක්‌ පුරා පුන පුනා ප්‍රකාශ කළ ද එම ටයර් ජලය පිරෙන ලෙස යොදා ඇත්නම් ඒවා ඉවත් කිරීමේ නිසි වැඩපිළිවෙලක්‌ තවමත් ක්‍රියාත්මක නොවීම අවාසනාවන්ත තත්ත්වයකි. ටයර් අලෙවි මධ්‍යස්‌ථානයන්ද පදික වේදිකාවල දමා ඇති ටයර් මදුරු කීටයින් බෝ නොවන අයුරින් වැසි දිනවල ආවරණය කර ගන්නා බවක්‌ද නොපෙනෙයි. මෙහි අවාසනාවන්ත ගොදුරු බවට පත් වන්නේ සාමාන්‍ය මහජනතාව බව අමතක කළ යුතු නොවේ.

ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව කෙතරම් නොතිසි නිකුත් කළද ඒවාට එරෙහිව නීති ක්‍රියාමාර්ගයන් ගත්තද තවමත් එම මදුරු කීටයින් බෝවන ස්‌ථානයන් සොයා ගැනීමේ අඩුවක්‌ නොමැති බව පෙනී යයි. කරුණු මෙසේ හෙයින් රටටම දැනෙන පරිදි නිසි සැලැස්‌මක්‌ යටතේ අඛණ්‌ඩව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් තොරව මෙරට දැනට පවතින ඩෙංගු වසංගතය මැඩලීම හුදෙක්‌ සිහිනයක්‌ පමණක්‌ වනු ඇතැයි අවධාරණය කර සිටිනු කැමැත්තෙමි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.