මැදරටට ඓතිහාසික ප්‍රවේශයක්‌

එච්.එම්. අයි. හේරත්
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

(අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්‌වා මැදරට ඉතිහාසය)

ක්‍රි.පූ. 06 වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්‌වා වූ කාලපරිච්ඡේදය තුළ මැදරට ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යන වැදගත් කරුණක්‌ වනුයේ ඒ පිළිබඳ රචනා වී ඇති සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල පවතින හිඟයයි. විශේෂයෙන් ලංකාවේ වංසකතා ආදී සාහිත්‍ය මූලාශ්‍ර රචනා වී ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව යනාදී රාෂ්ට්‍ර කේන්ද්‍රීය නගර මුල් කර ගෙන ය. එහෙත් මේ දිවයිනේ ඉතිහාසය රචනා වී තිබෙන මහාවංසය, දීපවංසය, පූජාවලිය, රාජාවලිය, නිකාය සංග්‍රහය යනාදී සාහිත්‍ය මූලාශ්‍ර සහ ගෝනවත්ත අලු විහාරය, දූල්වල, වෑගොඩපොළ, වේගිරිය වැනි ශිලා ලේඛන අධ්‍යයනය කිරීමෙන් ප්‍රස්‌තුත කාල පරිච්ඡේදයට අයත් මැදරට ඉතිහාසය කිසියම් දුරකට ගොඩ නැගිය හැක. උක්‌ත මූලාශ්‍රවලට අනුව මැදරට ප්‍රදේශය විවිධ නාමයන්ගෙන් හ`දුන්වා ඇත. එනම්, මලය, මලය දේස, මහාමලය, මායා රජය, මායාරාම, මායාරම්ම, මලය මණ්‌ඩලය, මලයාණ්‌ඩුව, ගිලී මලේ, ස්‌වර්ණ මලේ, හිරණ්‍යමලේ, දක්‌ණ මලේ, කොත්තු මලේ, කොට්‌ටමලෛ, ගල්වල, ගල්වල්රාමය සහ ක`දුරට ය. දෙමළ භාෂාවට අනුව මලය යන්නෙහි අර්ථය නම් ක`දුකරය යන්නය. එබැවින් මෙම ප්‍රදේශ නාමකරණය පිළිබ`දව පරීක්‌ෂා කළ යුතු ය. ගිරිදුර්ග, වන දුර්ග, ජලදුර්ග යනාදී භූවිෂමතා ලක්‌ෂණයන්ගෙන් සමන්විත මැදරට ප්‍රදේශය මුහුදු මට්‌ටමේ සිට අඩි 1000ක උසින් පිහිටා ඇත. මෙම භූමි කලාපය ඉහළ ජෛව විවිධත්වයකින් පැවැති බව පහත දැක්‌වෙන මහාවංස ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ.

ක්‍රි. පූ. 06 සියවසේ සිට ක්‍රි.ව.13වන සියවස දක්‌වා මැදරට ඉතිහාසය අධ්‍යයනය කරන විට ඒ හා සබැ`දි පැරැණිතම සාධක හමුවන්නේ වංසකතාවල ය. එනම්, බුදුරජාණන් වහන්සේගේ පළමු සහ තෙවන ලංකාගමනයට මැදරට සම්බන්ධව පැවතීම ය. එකී තොරතුරු අතර බුදුරදුන් මහියංගණයට වැඩමවීම, යකුන් ගිරි දිවයිනට පළවා හැරීම, සමන්ත කූටයේ ශ්‍රී පාදය පිහිටුවීමෙන් පසුව සුමන සමන් දෙවි`දුන් ප්‍රමුඛ දෙවිවරුන්ට ධර්මය දේශනා කිරීම, සුමන සමන් දෙවි`දුන් සහ සරභූ තෙරුන් බුදුරදුන්ගේ කේෂ ධාතු නිදන් කොට මහියංගණ ස්‌තූපය ඉදි කිරීම වැනි ඓතිහාසික තොරතුරු අන්තර්ගත ය. මෙම තොරතුරුවල අන්තර්ගත මිථ්‍යා කථා ස්‌වරූපය හේතුවෙන් ඒවා ප්‍රවේශමෙන් අධ්‍යයනය කළ යුතු ය. මක්‌ නිසා ද යත් බුදුරදුන් පැරැණි ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් පරිභාහිරව ධර්ම ප්‍රචාරණයේ යෙදුණු බවක්‌ බෞද්ධ ත්‍රිපිටකයේ අඩංගු නොවන බැවිනි. එහෙත් උක්‌ත වංසකතා පුවත් සුපරීක්‌ෂාකාරීව හැදෑරීමෙන් පෙනී යන්නේ ක්‍රි.පූ.06 සියවසත් ක්‍රි.පූ.03 සියවසත් අතර කාල පරිච්ඡේදය තුළ මැදරට ප්‍රදේශය තුළ කිසියම් දුරකට බුද්ධාගම ව්‍යාප්තව පැවැති බවයි. එසේම තත්කාලය තුළ බුද්ධාගම වැනි ගැඹුරු දර්ශනයක්‌ සහිත ආගමක්‌ ග්‍රහණය කළ හැකි විචාරශීලී පිරිසක්‌ මැදරට කලාපය තුළ ජීවත් වූ බවයි. මීළ`ගට මැදරට හා සම්බන්ධ වැදගත්ම ඓතිහාසික පුවත විජයාගමනය හා සම්බන්ධ වී ඇත. එහි විජයට දාව කුවේණිය ලද ජීවහත්ත සහ දිසාලා යන දරුවන් දෙදෙනා සමන්තකූටයට පළාගිය බවත් ඔවුන්ගෙන් පුලින්ද යන ජන කොට්‌ඨාසය බිහි වූ බව මහාවංසය වාර්තා කරයි.

මෙම වංසකතා පුවත විචක්‌ෂණශීලීව අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ බටහිර දිග ඉන්දියාවෙන් මෙරටට ආගමනය වූ ආර්ය ජන සංක්‍රමණිකයන් සහ ස්‌වදේශිකයන් අතර අන්තර් සම්බන්ධතා තුළින් බිහි වූ සුවිශේෂී ග්‍රාම්‍ය ජන කොට්‌ඨාසයක්‌ ශ්‍රීපාදය හා ඒ ආසන්න මැදරට ප්‍රදේශය තුළ ජනාවාස ගොඩනගා සිටි බවයි. වංසකතාකරුවන් කිසිදු පැකිලීමකින් තොරව ඔවුන් වැද්දන් ලෙස හ`දුන්වා තිබීමෙන් පෙනී යන්නේ ඔවුහු වනාන්තර මුල් කොට ගත් සරල හා අප්‍රසිද්ධ ජීවන රටාවක්‌ ගෙන ගිය පිරිසක්‌ බවයි. විශේෂයෙන්ම මෙරට ප්‍රාග් ඓතිහාසික ජනාවාස විශාල ප්‍රමාණයක්‌ හමු වී ඇත්තේ සමන්තකූටයට ආසන්න සබරගමුව ප්‍රදේශයේ බව අප අමතක නොකළ යුතු ය. ඇතැම් විට ඊනියා විජයාගමනයට පෙර මැදරට කලාපය තුළ ආර්ය සහ ස්‌වදේශීය ජන කොටස්‌ අතර අන්තර් සම්බන්ධතා පවතින්නට ඇත.

මී ළඟට මැදරට ඉතිහාසය තුළ ක්‍රි.පූ.05 සියවස පණ්‌ඩුවාසුදේව රාජ්‍ය සමය ද වැදගත් වේ. රාජාවලියට අනුව පණ්‌ඩුවාසුදේව රජුට වැළ`දුණු දිවි දෝෂය නමැති මානසික රෝගය සුව කිරීම ස`දහා මලය දේශයෙන් පැමිණි මලය නම් කුමාරයකු විසින් කොහොඹා කංකාරිය නම් ශාන්තිකර්මයක්‌ පැවැත්වූ බවත් ශාන්තිකර්මය අවසානයේ රජු සුවපත් වූ බව ස`දහන් වේ. එහෙත් මෙම කතා පුවත මහාවංසාදී වංසකතා මූලාශ්‍රවල ස`දහන් නොවේ. අනෙක්‌ අතින් මහනුවර යුගයේ රචිත රාජාවලියට මෙම පුවත මුඛපරම්පරාගත ජනකතා අනුසාරයෙන් ඇතුළත් වන්නට ඇත. එහෙත් මෙ පුවතේ මතුපිටින් පෙනෙන මිථ්‍යා පුවත් බැහැර කොට සූක්‌ෂමව අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ පැරැණි ආර්ය ජනපදවාසීන් සහ අඩතැනි කලාපයේ ඇතැම් ස්‌වදේශික ජන කොටස්‌ අතර ගැටුම් පැවැති බවත් එහිදී ආර්ය ජනපදිකයන්ට කඳුකර ස්‌වදේශික ජනප්‍රධානීන්ගේ සහාය ලැබුණු බවයි. විදේශ ආක්‍රමණ අභ්‍යන්තර ආරවුල් පැන නැගුණු අවස්‌ථාවලදී පරාර්ථයන්ගේ අභය භූමියක්‌ වූ මෙම අසිරිමත් භූමි කලාපය එකී දේශපාලන සංචල්‍යතා මැනවින් විස`දා දිවයින එක්‌සේසත් කළ කාර්යශූර කුමාරවරුන්ට රැකවරණය සැලසූ බලකොටුවක්‌ වූ බවට සාධක අපමණය.

වංසකතා හා අනෙකුත් ශ්‍රී ලාංකේය දේශීය මූලාශ්‍රවල උත්කර්ශවත් ලෙසින් වර්ණිත දුටුගැමුණු කතා පුවතෙහි ද මැදරට ප්‍රදේශයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වූ බව පෙනෙයි. විශේෂයෙන්ම එළාර නම් ද්‍රවිඩ ආක්‍රමණිකයාගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට එරෙහිව කාවන්තිස්‌ස සහ දුටුගැමුණු රජු ගෙන ගිය උපායශීලී යුද්ධ සංවිධාන කටයුතුවලදී මැදරට ප්‍රදේශය අතිශය තීරණාත්මක විය. එය මොනවට තහවුරු වන ඓතිහාසික තොරතුරු රැසක්‌ වංසකතා තුළ අන්තර්ගත ය. ඒවා අතර රජරටත් රෝහණයත් අතර පිහිටි මහවැලි ගෙ`ගහි සෑම තොටුපළකම කාවන්තිස්‌ස රජුගේ නියමයෙන් ආරක්‌ෂා කරවීම, කාවන්තිස්‌ස රජු ස්‌වකීය නැගෙණිය මලය රට ගිරි අබා කුමරුට විවාහ කරවීම, පිය රජු සමග අමනාප වී ගැමුණු කුමරු ක`දුකරයට පළා යැම, පසුව ඔහුගේ සහායට දාවා නම් ඇමතිවරයකු යෑවීම, ගැමුණු කුමරු සමග විරසකයක්‌ පැන නැගී ගිරි අබා කුමරු ස්‌වකීය බිරි`දත් සමග සෝම නුවරට පළා යැම යනාදී ඓතිහාසික පුවත් අන්තර්ගත ය.

පංච ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් පරාජය ලද වලගම්බා රජු අනුරාධපුරයේ සිට පලා විත් ස්‌වකීය සේනාව යළි ප්‍රති සංවිධානය කරන ලද්දේ මලය දේශයේ සිට බව වංසකතාව පෙන්වා දෙයි. මෙහිදී ඔහුට මහාකුපික්‌කල තිස්‌ස වැනි භික්‌ෂූන් වහන්සේලා පමණක්‌ නොව තනසිව, කපිසිස ඇතුළු ප්‍රබල සේනාපතිවරු අට දෙනකු සහය විය. විශේෂයෙන්ම ද්‍රවිඩ ආක්‍රමණිකයන් පළවා හැරීම ස`දහා වලගම්බා රජුට අවශ්‍ය වූ සේනාවේ ඉහළ ප්‍රතිශතයක්‌ මැදරට ජනතාවගෙන් සමන්විත වන්නට ඇත. අවසානයේ ක්‍රි.පූ.01 සියවසේ දී වලගම්බා රජු දාඨික නම් ද්‍රවිඩ ආක්‍ර්‍රමණිකයා පරාජයට පත් කොට අනුරාධපුරයේ රජ විය. ලෝක බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක්‌ මැදරට ප්‍රදේශය හා සම්බන්ධ වේ. එනම් මුඛ පරම්පරාගතව පැවැති ථෙරවාදී ත්‍රිපිටකය මාතලේ අළු විහාරයේ දී ග්‍රන්ථාරූඪ වීමයි. එහෙත් මහාවංසය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද්දේ කුමන ස්‌ථානයකදී ද යන බව නිශ්චිතව දක්‌වා නොමැති අතර ගම්පළ යුගයේදී රචිත නිකාය සංග්‍රහය පෙන්වා දෙන්නේ ත්‍රිපිටකය මාතුල දනව්වේ දී රචනා වූ බවයි. මාතුල දනව්ව යනුවෙන් ව්‍යවහාර වී ඇත්තේ වර්තමාන මාතලේ බව බොහෝ විද්වතුන්ගේ අදහසයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ක්‍රියාවලියේ දී එයට වලගම්බා රජු අනුග්‍රහය ලබා දුන් බවක්‌ වංශකතාවල ස`දහන් නොවන අතර එක්‌තරා ප්‍රදේශාධිපතිවරයකු ඊට අනුග්‍රහය පළ කළ බව නිකාය සංග්‍රහය වාර්තා කරයි.

මැදරට ඉතිහාසය අධ්‍යයනය කරන විට ඉලනාග රාජ සමය වැදගත් වේ. තමන්ට එරෙහිව ලම්බකර්ණ වංශිකයන් ගෙන ගිය කැරැල්ල හමුවේ ඉලනාග රජු උපක්‍රමශීලීව මලය දේශය හරහා රුහුණට පලා ගිය බවත් එයින් වසර තුනකට පසුව හෙතෙම යළි ස්‌වකීය සේනා ප්‍රතිසංවිධානය කොට කැරළිකරුවන් පරාජය කොට අනුරාධපුරය බලය ලබා ගත් බව මහාවංසයේ ස`දහන් වේ. ක්‍රි.ව. 03වන සියවසේ දී අනුරාධපුරයේ රජ කළ විජයකුමාර නම් රජු පරාජය කොට පිළිවෙළින් රජ බවට පැමිණි සංඝතිස්‌ස, සංඝබෝධි, ගෝඨාභය යන රජවරු කුමාර අවධියේ පැමිණියේ ද මැදරට භූමි කලාපයට අයත් මහියංගණයට ආසන්න ගමකිනි. ලම්බකර්ණ වංශයට අයත් උක්‌ත කුමාරවරු තිදෙන අනුරාධපුරයට යන අතරමග සිටි අන්ධ නක්‌ෂත්‍රවේදියකු පැවසුයේ ඔවුන් තිදෙනාම මතු රජ වන බවයි. මහාවංසය, එළු අත්තනගලු වංසය යනාදී දේශීය මූලාශ්‍රවල හැ`ගීම්බරව රචිත උක්‌ත ඓතිහාසික පුවත් තීක්‌ෂණව පරීක්‌ෂා කිරීමේදී පෙනී යන්නේ ලක්‌දිව සිහසුන අරබයා මෞර්ය සහ ලම්බකර්ණ වංශිකයන් අතර අභ්‍යන්තර ගැටුමක්‌ පැවති බවත් ලම්බකර්ණ වංශිකයන්ට අයත් ප්‍රබල බල ප්‍රදේශයක්‌ මහියංගණය හා ඒ අවට ප්‍රදේශයේ පැවැති බවයි.

කල්යැමේදී මෙම මලය රාජ තනතුර දැරූවන් අනුරාධපුර පාලකයන්ට එරෙහිව කැරලි ගැසීම හෝ අනුරාධපුර පාලකයන් පරාජය කොට බලය අත්පත් කර ගැනීමට තරම් දේශපාලනික වශයෙන් ශක්‌තිමත් වූ බව පෙනේ. එය වඩාත් තහවුරු වන්නේ සිලාකාලගේ මරණින් පසුව බලයට පත් ඔහු පුත් දාඨාපභූති නම් මලය රජ විසින් අනුරාධපුරයේ බලය ලබා ගැනීමෙනි. දාඨාපභූතිට එරෙහිව ඔහුගේ සහෝදරවරුන් කැරැල්ලක්‌ ආරම්භ කළ ද එය අසාර්ථක විය. පළමුවන අග්බෝ රජු ස්‌වකීය දියණිය වන දළ කුමරිය මලය රජ හට විවාහ කර දුන් අතර මිනිපේ ප්‍රදේශයේ සුප්‍රකට මණිමේඛලා ඇළ ඉදි කළේය. දෙවන මුගලන් රජු මලය රාජ තනතුර දැරූ ප්‍රභූවරයාගේ අත් පා සිඳ දැමූ බව වංසකතාවේ ස`දහන් වේ. දෙවන අග්බෝ රජු කල ද දෙටුතිස්‌ නම් ප්‍රභූවරයෙකු මලය ප්‍රදේශයේ සැ`ගව සිට කැරලි ගැසූ බව මහාවංසය වාර්තා කරයි. ක්‍රි.ව. 07වන සියවසේදී හත්ථදාඨ ඇවෑමෙන් රජ වූ මානවම්ම ස්‌වකීය අගමෙහෙසිය වශයෙන් තෝරාගත්තේ මලයරාජගේ දියණියක වූ සංඝා කුමරියයි. ක්‍රි.ව. 08 වන සියවසේදී දෙවන මහින්ද රාජ සමයේ ඔහුගේ මස්‌සිනා වූ දප්පුල නමැත්තා රජරට කැරැල්ලක්‌ ඇති කොට පරාජයට පත් වී මලය දේශයට පලා ගොස්‌ ඇත. බලසම්පන්න පාණ්‌ඩ්‍ය රජෙකු වූ ශ්‍රී මාර ශ්‍රී වල්ලභයන් ක්‍රි.ව. 09වන සියවසේ දී පමණ ලංකාව ආක්‍රමණය කොට අනුරාධපුරය සම්පූර්ණයෙන්ම කොල්ල කෑ අතර එයට මුහුණ දීමට නොහැකි වූ පළමුවන සේන රජු සියලු හස්‌තසාර වස්‌තුව රැගෙන මලය දේශයට පළා ගිය බව වංසකතාවල ස`දහන් වේ. දෙවන සේන රජු ද මලය දේශයේ පරිපාලන කටයුතු ප්‍රතිසංවිධානය කළ බව පෙනේ. පස්‌වැනි කාශ්‍යප රජතුමා ද ස්‌වකීය පුත්‍රයාට මලය රාජ තනතුර ප්‍රදානය කළේ ය. ක්‍රි.ව. 11වන සියවසේ දී ලංකාවට බලපැවැත්වුණ චෝළ ආක්‍රමණවලට මුහුණ දී ගත නොහැකිව රුහුණට සහ මැදරට ප්‍රදේශයට විශාල සිංහල ප්‍රභූවරුන් පිරිසක්‌ පලා යන්නට ඇත.

මැදරට ඉතිහාසය අධ්‍යයනය කරන විට කීර්ති හෙවත් පළමුවැනි විජයබාහු රජුට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. හෙතෙම බුද්ධරාජ දේවමල්ල වැනි දේශප්‍රේමී නායකයන් හා එක්‌ව ගෙන ගිය චෝළ විරෝධී විමුක්‌ති ව්‍යාපාරය ආරම්භ කරන්නේ මලය දේශයේ සිට ය. එහිදී ඔවුනට චෝළ ආක්‍රමණ පමණක්‌ නොව ලෝකේශ්වර, කේශධාතු කාශ්‍යප යනාදී දේශීය අධිපතිවරුන්ගේත් කැරලි මර්දනය කිරීමට සිදු විය. ඇතැම් අවස්‌ථාවල ඔහුට චෝළයන්ගේ ප්‍රබල ආක්‍රමණවලට මුහුණදීමට නොහැකිව මධ්‍යම ක`දුකරයට පලා ගියේ ය. අවසානයේ ඔහු ස්‌වකීය සේනාව මැනැවින් සංවිධානය කොට ලංකාවේ චෝළ අගනුවර වන ජනනාථපුරය හෙවත් පොළොන්නරුවට ප්‍රහාර එල්ල කොට අත්පත් කර ගන්නා ලදී. විජයබාහු රජුගේ කාර්යභාරය පරීක්‌ෂා කරන විට පෙනී යන්නේ ඔහුගේ චෝළ විරෝධී යුද්ධ ව්‍යාපාරයේ දී මැදරට ප්‍රභූවරුන් සහ ජනතාව සුවිශාල කාර්යභාරයක්‌ ඉටු කළ බවයි. අනෙක විජයබාහු රජුට චෝළ අධිරාජ්‍යය වැනි බලසම්පන්න අධිරාජ්‍යයක මැනවින් සංවිධානය වූ සේනාවක්‌ පරාජය කිරීමට අවශ්‍ය දේශීය සේනාවකට සුදුසු මිනිස්‌ බලයක්‌ එකල මැදරට ප්‍රදේශය තුළ පැවැති බව පෙනේ. ක්‍රි.ව.1072දී විජයබාහු පොළොන්නරුවේ රජ වූ පසු ආදි මලය, ඡත්තගාහකනාථ, ධම්මගාහකනාථ සහ සෙට්‌ඨනාථ ආදී ප්‍රභූවරු හතර දෙනකු රෝහණය සහ මලය දේශයේ රාජ්‍ය විරෝධී කැරලි ඇති කළ බවත් රජු දැඩි පරිශ්‍රමයක්‌ දරා උක්‌ත කැරලි මර්දනය කළ බවත් මහාවංසයේ ස`දහන් වේ.

පළමුවන විජයබාහුගෙන් පසුව පොළොන්නරුවේ රජවූවන් අතර වැදගත්ම පාලකයා වන පළමුවන පරාක්‍රමබාහු රජුට පෙර ලංකාව එක්‌සත් කිරීමේ ක්‍රියාවලියේ දී මධ්‍යම ක`දුකරයට සුවිශේෂී අවධානයක්‌ යොමු කොට ඇත.

පරාක්‍රමබාහුගෙන් පසුව මධ්‍යකාලීන මැදරට ඉතිහාසය හා සම්බන්ධ වන වැදගත් පාලකයකු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා ය. කාලිංග වංශිකයකු වූ හෙතෙම දඹුල්ල විහාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණය කොට එහි බුදු පිළිම 73 ක රන් ආලේප කර ස්‌වර්ණගිරි ගුහා යනුවෙන් නම් කළ බව විහාරයේ ඉදිරිපසින් හමු වී ඇති ඔහුගේ සෙල්ලිපියකින් පැහැදිලි වේ. මීට අමතරව මහියංගණය සමන්තකූටය වැනි බෞද්ධ සිද්ධස්‌ථාන වැ`ද පුදා ගත් බව නිශ්ශංකමල්ලගේ ශිලා ලේඛන සාක්‌ෂි දරයි. විශේෂයෙන්ම ශ්‍රී පාදය අවට පවතින ජනකථා සහ දිවාගුහාවේ දක්‌නා ලැබෙන නිශ්ශංකමල්ලගේ රුවක්‌ සහිත සෙල්ලිපියකින් පැහැදිලි වන්නේ හෙතෙම සමන්ත කූටය වැ`දපුදා එහි නඩත්තුවට ගම්වර පූජා කළ බවයි. එහෙත් නිශ්ශංකමල්ලයන්ට පෙර පළමු වන විජයබාහු රජු ශ්‍රීපාද වන්දනාවේ යෙදී සිටින වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය ස`දහා ගිලීමලේ නම් ග්‍රාමය පුද කළ බව අප අමතක නොකරමු.

ක්‍රි.ව.1196 න් පසු සිදු වූ නිශ්ශංකමල්ලගේ මරණයත් සමග පොළොන්නරු රාජධානියේ බලය විකේන්ද්‍රණය වීම වේගවත් වූ බව පෙනේ. මේ ස`දහා පරාක්‍රමබාහු රජුගේ අදූරදර්ශී දේශීය හා විදේශිSය ප්‍රතිපත්ති ලංකාවේ සිහසුන අරබයා පාණ්‌ඩ්‍ය කාලිංග වංශිකයන් ගෙන ගිය බල අරගලය අමාත්‍යවරුන් බලවත් වීම රජරට ශිෂ්ටාචාරයේ කො`දු නාරටිය වන් ජල කළමනාකරණය බිඳ වැටීම වැනි සාධක මෙන්ම විදේශ ආක්‍රමණ ද බලපෑ බවට සාධක ඇත. මීට පෙන්විය හැකි කදිම නිදසුන වන්නේ භාම සෙනෙවියාගේ මිනිපේ පුවරු ලිපිය සහ කල්‍යාණවතී රැජිනගේ බෝපිටිය පුවරු ලිපියයි. උක්‌ත සෙල්ලිපිවලට අනුව කල්‍යාණවතී රැජිනගේ අටවන රාජ්‍ය වර්ෂයේදී ලංකාවට දෙමළ ආක්‍රමණයක්‌ සිදු වූ බවත් ඔවුහු ආති සෙනෙවියා මරා දමා දිවයිනට මහත් විනාශයක්‌ කළ බවත් ස`දහන් වේ. මධ්‍යකාලීන ලංකා ඉතිහාසය පිළිබ`ද විශේෂඥයකු වන මහාචාර්ය අමරදාස ලියනගමගේ පෙන්වා දෙන්නේ උක්‌ත දෙමළ ආක්‍රමණය මෙහෙයවූයේ තුන්වන කුලෝත්තුංග නම් අවසාන වැදගත් චෝළ අධිරාජයා විසින් බවයි. ස්‌වකීය මතය සනාථ කිරීම ස`දහා එතුමා තුන්වන කුලෝත්තුංග විසින් කොටවන ලද චිදම්බරම් සහ තිරුවිඩමරුදූර් යන ශිලා ලේඛන උපයෝගී කර ගනියි. මෙපරිද්දෙන් බාහිර සහ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් පරිහානිය කරා ගිය පොළොන්නරු රාජධානිය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද්දේ කාලිංග දේශයෙන් පැමිණි කාලිංග මාඝ ප්‍රමුඛ 24000ක්‌ පමණ වූ බලසම්පන්න කේරළ හමුදාවක්‌ විසිනි. ලංකාව යටත් කර ගැනීමේ ක්‍රියාවලියේ දී ඔහුට මානාභරණ ප්‍රමුඛ දේශීය සෙබළුන්ගේ අනුග්‍රහය ලැබුණු බවට වංසකතා සාක්‌ෂි දරයි.

මාඝ විසින් සිදු කරන ලද උක්‌ත විලෝපනය හේතුවෙන් මරණාසන්නව සිටි රජරට ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. ඉතිරි වූ ලාංකේය ප්‍රභූන් සහ ජනතාව සුපුරුදු පරිදි මලය කඳුකරය ප්‍රමුඛ තෙත් කලාපයේ ආරක්‌ෂාව පැතූහ. ඔවුන් අතර බුවනෙකබාහු ආදිපාද (ගෝවින්ද හෙළ), සංඝ ඇමැති (මිනිපේ), සුබ සේනාපති (යාපහුව) සහ විජයබාහු කුමාරයා වැදගත් වේ. විශේෂයෙන් මෙම ප්‍රභූවරුන් සහ කඳුරට ජනතාව දැඩි පරිශ්‍රමයකින් යුතුව මාඝයන්ගේ බලය තුලනය කළ බව ස`දහන් කිරීම සාධාරණ ය. මින් පසුව රජරට කේන්ද්‍ර කොට ගත් ලාංකේය රාජධානි මූලස්‌ථානය මධ්‍යම ක`දුකරයෙන් ආරම්භ වන තෙත් කලාපයට සංකේන්ද්‍රගත වන බව පෙනේ. මාඝ ප්‍රමුඛ ආක්‍රමණිකයන්ට මධ්‍යම ක`දුකරය හරහා තෙත් කලාපය අත්පත් කර ගැනීමේ අරමුණක්‌ නොතිබූ බව පෙනේ. මෙපරිද්දෙන් ලිත මූලාශ්‍රවලින් හෙළිවන මැදරට ඉතිහාසය සංක්‌ෂිප්තව දැක්‌විය හැක.

මීට අමතරව ක්‍රි.පූ. යුගයට අයත් ලෙන් ලිපි රැසක්‌ මැදරට කලාපය සහ මහවැලි නිම්නය ආශ්‍රිත බඹරගල, ගෝනවත්ත, දූල්වල, ලිහිණියගල, වෑගොඩපොළ, අලුවිහාරය, වේගිරිය, රුසිගම යන ස්‌ථානවලින් හමු වී ඇත. මෙම සෙල්ලිපිවල පරුමක, ගපති, රCධ, අය වැනි එවකට සමාජයේ වැදගත් නායකත්ව හිමි ප්‍රභූවරු පිළිබ`ද සහ ඔවුන්ගේ බෞද්ධාගමික ක්‍රියාකාරකම් පිළිබ`ද තොරතුරු අනාවරණය කර ගත හැක. එසේම පුරාතන මැදරට සමාජ ආර්ථික ඉතිහාසය පිළිබ`ද තොරතුරු මෙමගින් ලබා ගත හැක. මහාචාර්ය ගුණවර්ධන පෙන්වා දෙන පරිදි උක්‌ත සෙල්ලිපිවලින් ඇතැමකු ක්‍රි.පූ. දෙවන සියවසේ දුටුගැමුණු රජු යටතේ එක්‌සත් ලංකාවක්‌ බිහි වීමට ප්‍රථම දිවයිනේ මධ්‍යම ක`දුකරයේ පැවැති කුඩා පාලකධානි සහ ඒ ඒ පාලකධානි අතර දේශපාලනික, සංස්‌කෘතික සහ සමාජ ආර්ථික වශයෙන් වැදගත් අන්තර් සබඳතා පැවැති බව පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ සහ ලිපි නාමාවලිය

දීපවංසය, කිරිඇල්ලේ ඥාණවිමල හිමි, කොළඹ ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, පරි. 11 ගාථා 20

ඌණ පුර්ණ සහිනෝ මහාමංසෝ, සංස්‌, පොල්වත්තේ බුද්ධවත්ත හිමි, කොළඹ. ඇම්. ඩී. ගුණසේන සමාගම, 1959, පරි. 07, ගාථා 68

මහාවංසය, හික්‌කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‌ෂිත පඬිතුමා කොළඹ, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පරි. 24, ගාථා 7

එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන්, සංක්‍ෂ්පිත ලංකා ඉතිහාසය, කොළඹ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2005, පිටු. 9-10

මහාවංසය, හික්‌කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‌ෂිත පඬිතුමා කොළඹ, කෞතුකාගාර දෙපාර්තමේන්තුව 996, පරි. 24.32

නිකාය සංග්‍රහය සංස්‌ ගුණවර්ධන නානායක්‌කාර, කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම 1988 පි. 11

මහාවංසය (ම.ව. ) සංස්‌ හික්‌කඩුවේ සුමංගල හිමි , බටුවන්තුඩාවේ දේවරක්‌ෂිත පඬිතුමා, කොළඹ, කෞතුකාගාර දොපර්තමේන්තුව, 1996, පරි. 35, ගාථා 44, 45 පූජාවලිය , සංස්‌ බෙන්තර සද්ධාතිස්‌ස හිමි, පානදුර, 1930, පි. 779 අමරදාස ලියනගමගේ, මධ්‍යකාලීන ලංකා ඉතිහාසය, කොළඹ, අධ්‍යාපන ප්‍රකාශන දොපර්තමේන්තුව, 1971 , පිට 45

ම.ව. 1996, පරි. 80, ගාථා 60-69

හ`ගුරන්කෙත ධීරානන්ද හිමි, කන්ද උඩරට සහ යටිනුවර ඓතිහාසිකත්වය, සාර්ථි, මහනුවර , සංස්‌කෘතික කටයුතු දොපාර්තමේන්තුව, 2011, පිටු 64

රණවීර ලෙස්‌ලි ගුණවර්ධන, රාජ්‍යයව පෙරාතුව, පුරාතන ශ්‍රී ලංකාවේ දේශපාලන ආයතන පරිණාමයේ මුල් අවධියක්‌, ප්‍රවාද, කොළඹ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2001, පිටු 9-14

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.