දරුවන්ට උණවලිප්පුව ඇතිවන හැටි

තම දරුවාට වලිප්පුව සැදීම තරම් බිය උපදවන අත්දැකීමක්‌ දෙමාපියනට තවත් නැති තරම්ය. පළමු වතාවට වලිප්පුව සෑදුන දරුවකුට එම අවස්‌ථාවේදී කළ යුත්තේ කුමක්‌දැයි සිතා ගැනීමට පවා නොහැකි තරමට දෙමාපියෝ අසරණ වෙති. ඇතැමුන් දරුවා ජලය පිරුණ බේසමකට බැස්‌සවූ අවස්‌ථා මෙන්ම කරාමයකින් ගලා යන ජලයෙන් නැහැවූ අවස්‌ථාද මා අත්දැක ඇත. දරුවාගේ දත කට zපූට්‌ටුZ වේ යයි බියෙන් තම ඇඟිල්ල වලිප්පුව සෑදී ඇති දරුවාගේ මුව තුළට ඇතුල් කර දරුණු ලෙස තුවාල වූ ඇඟිලි මා දැක ඇත. ඇතැමෙක්‌ යකඩ කැබැල්ලක්‌ වැනි ලෝහමය දෙයක්‌ දරුවාගේ දත් ඇඳි අතරට ඇතුළ් කරති. වලිප්පුව සෑදුන දරුවකුට තම මුඛයේ මාංශ පේශි පාලනය කරගත නොහැකි හෙයින් මුවට ඇතුල් කරන ඕනෑම දෙයක්‌ පාලනයකින් තොරව සැපීම සිදු කරයි. ඇඟිල්ලක්‌ ඇතුල් කළහොත් එම ඇඟිල්ල තුවාල වීම වැළක්‌විය නොහැකි සේම යකඩයක්‌ ඇතුල් කළහොත් දරුවාගේ දත් කැඩී හානි සිදුවීම වැළක්‌විය නොහැක.. වලිප්පුව සෑදුනු අවස්‌ථා බොහොමයකදී දරුවා රෝහල කරා රැගෙන එන්නේ නිවැරදි ඉරියව්වේ නොවේ. මේ සියලු දේට හේතු වන්නේ එම අවස්‌ථාවේදී ඇතිවන කලබලකාරී තත්ත්වයයි. කළයුත්තේ කුමක්‌දැයි නිසි පරිදි නොදැනීමයි.

උණ වලිප්පුව යනු දරුවෙකුගේ ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්‌ටමට වඩා ඉහළ යාමත් සමග ඇතිවන වලිප්පු තත්ත්වයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ අප මෙය හඳුන්වන්නේ zµsට්‌ එකZ කියාය. මෙය වයස මාස 6ත් අවුරුදු 5 ත් අතර දරුවන්ට වැළඳෙන රෝගයක්‌ වුවත් කලාතුරකින් මෙම වයස්‌ සීමාවන්ට පිටත දරුවන්ටද සෑදිය හැක. ස්‌නායු පද්ධතියේ කිසිදු ආබාධයක්‌ නොමැති සාමාන්‍ය දරුවන්ගෙන් 3% ක්‌ පමණ මෙම ආබාධයට ගොදුරු වේ.

උණවලිප්පුව සෑදීමට බලපාන හේතු

මෙම රෝගයේ ඇති සුවිශේෂී ලක්‌ෂණ වන්නේ මෙය උණ රෝගයක්‌ ආශ්‍රිතව සෑදීමත්, කුඩා දරුවන්ට පමණක්‌ සෑදීමත්ය. මේ හැරුණු කොට මෙම වලිප්පුව සෑදීමට තුඩුදෙන කරුණු කාරණා නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත්, ඒ සඳහා ප්‍රවේණික බලපෑමක්‌ තිබිය හැකි බව අනිවාර්යයෙන්ම කිව හැක. එනම් පවුලේ සාමාජිකයෙකුට මෙය සෑදී තිබේ නම් එම පවුලේ තවත් දරුවකුට සෑදීමේ හැකියාව වැඩිවේ.

මෙම රෝගී තත්ත්වය දෙමාපියන්ට භයානක අත්දැකීමක්‌ වුවත් එහි ප්‍රතිඵල එතරම් භයානක නැත. උණ වලිප්පුව නැවත නැවත සැදීමේදී වුවද (සංකූලතා ඇති නොවූයේ නම්) මොලයට හානියක්‌ සිදු නොවන බව පර්යේෂණවලින් සොයා ගෙන ඇත. එනම්, ස්‌නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ නොමැති සාමාන්‍ය දරුවෙකුට මෙය කීප විටක්‌ සෑදුනද එමගින් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම්, මානසික වර්ධනය හා හැකියාව, බුද්ධි මට්‌ටම යනාදියට අහිතකර බලපෑම් ඇති නොකරයි.

උණ වලිප්පුව සෑදෙන දරුවන්ගෙන් 30% කට පමණ එය දෙවරක්‌ සෑදිය හැකි අතර 15%කට පමණ ඊට වැඩි වාර ගණනක්‌ සෑදිය හැක. උණ වලිප්පුව එක වරකට වඩා සෑදීම කෙරෙහි බලපෑ හැකි කරුණු කීපයක්‌ ඇත. දරුවාට වයස අවුරුදු එකකට වඩා අඩුවීම, සෙල්සියස්‌ 38-39 වැනි අඩු උණ තත්ව වලදී වලිප්පුව සෑදීම, පිරිමි දරුවෙකු වීම, පවුලේ අයට උණ වලිප්පුව සෑදී තිබීම මේවා අතරින් ප්‍රධාන වේ.

වලිප්පුව සෑදුනු දරුවන්ට දිය යුතු ප්‍රතිකාර

දරුවාට වලිප්පුව සෑදුන විටදී අප කළ යුත්තේ කුමක්‌ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ නොමැති නිසාවෙන් අසාධ්‍ය මට්‌ටමට පැමිණුන රෝගීන් අප දැක ඇත. මෙවන් දරුවකු ඉක්‌මනින් වෛද්‍ය ආධාර ලබාදිය හැකි ස්‌ථානයකට ගෙන යා යුතු වුවත් එසේ ගෙනයන අතරතුර දරුවාගේ රෝගය තවත් උග්‍ර වීම වැලක්‌වීමට අපට කළ හැකි දේ ඇත. දරුවාගේ හිස ඉහලට සිටින සේ වඩාගැනීම නොකළ යුතුය. කටින් පිටවන සෙම, වමනය ආදී දෑ පිටතට ගලායන පරිදි දරුවා පැත්තට හරවා හරස්‌ අතට වඩා ගත යුතුය. මෙම ද්‍රව්‍ය පෙනහළු තුළට ඇතළු වුවහොත් එමගින් නියුමෝනියාව වැනි රෝග ඇතිවිය හැකි අතර එය උණ වලිප්පුවට වඩා භයානක තත්ත්වයකි. එසේම මෙම ද්‍රව්‍ය ශ්වසන මාර්ගයෙහි සිරවුවහොත් එමගින් ශරීරයට ලැබෙන ඔක්‌සිජන් සැපයුම අඩුවී ජීවිත තර්ජන පවා ඇතිවිය හැක. එමෙන්ම ඔහුගේ කට තුළට ඇඟිල්ල හෝ වෙනත් කිසිදු දෙයක්‌ දැමීමෙන් වැළකිය යුතුය. එසේම වලිප්පුව සෑදුන පසු දරුවාගේ ශරීරය ජලයෙන් තෙමීමෙන් හෝ වතුර බේසමක ගිල්වීමෙන් වලිප්පුව සුව නොවේ. එමනිසා වලිප්පුව සැදී ගැහෙන දරුවාව නැවීමට, වතුරෙහි බැස්‌වීමට, දරුවාට පැරසිටමෝල් පෙවීමට උත්සාහ නොකර ඉහත ඉරියව්වේ තබන්න. හැකි ඉක්‌මනින්, කලබල නොවී, සිහිකල්පනා ඇතිව, වෛද්‍ය ආධාර කරා රැගෙන යන්න.

උණ රෝගයක්‌ සෑදුන දරුවෙකුට වලිප්පුව සෑදුන විට එය උණ වලිප්පුවද නැතහොත් ඊට වඩා දරුණු මෙනින්ජයිටිස්‌ වැනි රෝගී තත්ත්වයක්‌ දැයි නිගමනය කළයුතු නිසා වලිප්පුව නිවසේදීම සුව වුවත් දරුවා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතුමය. මෙම කාරණාව, කීප වරක්‌ උණ වලිප්පුව සැදී ඇති දරුවෙකුට වුවද අදාළවේ.

උණ වලිප්පුව සෑදුන පමණින් දරුවෙකුට දීර්ඝ කාලීන බලපෑම් ඇති නොවේ. එහෙත් අපගේ නොදැනුවත්කම හේතුවෙන් සරල උණ වලිප්පු තත්ත්වයක්‌ වුවද භයානක ප්‍රතිඵල අත්කර දෙන තරමට සංකූල තත්ත්වයකට පත්වන අවස්‌ථා ඇත.

උණ වලිප්පුව සැදීම වලක්‌වා ගැනීමට සියයට සියයක්‌ම සාර්ථක ක්‍රමවේදයක්‌ පර්යේෂණවලින් පෙන්වා නැත. පැරසිටමෝල් ඖෂධය භාවිතයෙන් හෝ දරුවාගේ ශරීරය ජලයෙන් තෙමීමෙන් උණ තත්ත්වය සමනය කරගත හැකි වුවත් එමගින් වලිප්පුව සෑදීම වලක්‌වා ගත හැකි යයි පර්යේෂණවලින් ඔප්පු වී නැත. එහෙත් මෙම ක්‍රම මගින් උණ සමනය වී දරුවාට පහසුවක්‌ දැනීම සිදුවේ. උණ වලිප්පුව වලක්‌වා ගැනීමේ අරමුණින් පැරසිටමෝල් අධි මාත්‍රාවක්‌  ලබාදීම හෝ තද උණ සමනය කිරීමට ලබා දෙන වෙනත් ඖෂධ (NSAIDs) ලබාදීමෙන් අනිසි ප්‍රතිඵල අත්වේ. මීට අමතරව වලිප්පුව වලක්‌වාගැනීමේ ඖෂධ (ANTI) Epileptic Drugs) දීර්ඝ කාලීනව භාවිතා කිරීම පොදුවේ සෑම දරුවෙකුටම නිර්දේශ කළ නොහැකි අතර එය විශේෂඥ වෛද්‍ය උපදෙස්‌ මත, විශේෂ තත්ත්ව යටතේ සිදුවිය යුතුය. මන්දයත් මෙම ඖෂධ වල අතුරු ප්‍රතිඵල උණ වලිප්පුවට වඩා භයානක විය හැකි හෙයිනි. තවද උණ රෝගයක්‌ සෑදුන මුල් දින කිහිපය තුළදී වලිප්පුව ඇතිවීම වැලක්‌වීමට භාවිත කළ හැකි ඩයසිපෑම්  නම් පෙති වර්ගය මගින් වලිප්පුව ඇතිවීමේ අවදානම අඩුවන බව ඇතැම් පර්යේෂණ වලින් සොයාගෙන ඇති අතර මෙය දීර්ඝ කාලීනව ගන්නා ඖෂධයක්‌ නොව උණ රෝගයක්‌ වැළඳුන විට මුල් දින කීපයේදී පමණක්‌ භාවිත කළයුතු ඖෂධයකි. මෙයද වෛද්‍ය උපදෙස්‌ මත සිදුවිය යුත්තකි.

වෛද්‍ය සංජය කුලසිංහ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය සහ
ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.