මහින්දගේ නම රැක්‌කේ රනිල්ලු!

බුලිත ප්‍රදීප් කුමාර



පසුගිය සතිය දේශපාලනමය වශයෙන් තරමක්‌ කලබලකාරී සතියක්‌ ලෙස සැලකුවාට වරදක්‌ නොවේ. දේශපාලන කරලියේ ලොකු විවාදයක්‌, සංවාදයක්‌ දිගහැරී තිබුණ සතියක්‌ ලෙස කැපී පෙනිණි.

මේ විවාදයට තුඩුදුන් ප්‍රධාන දේශපාලන කාරණා කිහිපයක්‌ම තිබිණි. ප්‍රධාන වශයෙන් කැපී පෙනුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන වැඩපිළිවෙළයි. රට හමුවේ පවතින ව්‍යවස්‌ථා මර උගුලට, පුංචි ඡන්දය කල් දැමීමට, බදු බර ඉහළ දැමීමට, යුද අපරාධ අධිකරණයට, එට්‌කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට හා දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන රජයට බලපෑම් එල්ල කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රධානතම අංගය වූයේ "ජන සටන" පාද යාත්‍රාවයි.

විපක්‍ෂය කල් තියාම සැලසුම් කළේ රටේම විසිර පැතිර සිටින, රජයට විවේචන එල්ල කරන බලවේග එකතු කර දින 5 ක්‌ තුළ මහනුවර සිට කොළඹ දක්‌වා විරෝධතා පා ගමනක්‌ පවත්වන්නටය.

කවුරු කෙසේ මොනවා කීවත් මේ පා ගමන නම් එසේ මෙසේ එකක්‌ නොවීය. මුළු රටේම අවධානයට ලක්‌වුණ, රජයේ අවධානය වඩාත් දිනාගත්, සංවිධානය කරන්නන්ට වඩා රජය හා ඒ සම්බන්ධ බලවේග සියල්ල කලබලයට පත්කළ පා ගමනක්‌ ලෙස කැපී පෙනිණි.

ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන් සියල්ලෝම සිය මුළු කාලයම කැප කළේ මේ පා ගමන වෙනුවෙන් යෑයි කීම නිවැරැදිය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයට ද මේ සතියේ ලොකු වගකීම් කොටසක්‌ පැවරී තිබිණි. රටේ ආර්ථිකය ශක්‌තිමත් කර රට නිවැරදි මාවතට ගෙන ඉදිරියට රැගෙන යැමේ වගකීම මුළුමනින්ම රජය වෙනුවෙන් බාරගෙන තිබුණේ එම බලවේගයයි. පසුගිය කාලයේ ඒ සඳහා දරනු ලැබූ සෑම ප්‍රයත්නයක්‌ම, ගසනු ලැබූ සෑම තුරුම්පුවක්‌ම පල රහිත වූ නිසා රනිල් ඇතුළු කණ්‌ඩායම වඩාත් කල්පනාකාරී වූයේය.

මේ පසුබිමේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩු පාර්ශ්වයට තිබූ ලොකුම ගැටලුව ලෙස සමාජයට පෙනුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ වර්ධනයයි. සැබවින්ම ඒ සියලුම දෙනාගේ ක්‍රියාකාරකම් ඉලක්‌ක වී තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ වටා යෑයි කිවහොත් එය නිවැරදිය.

මේ අතර රජයේ, යහපාලන ආණ්‌ඩුවේ යහපාලන ප්‍රතිපත්ති හා ජාතීන් අතර සමගියට බරපතළ ලෙස අභියෝගයට ලක්‌කළ සිදුවීමක්‌ යාපනය විශ්වවිද්‍යාලය පැත්තෙන් අසන්නට ලැබුණේ ද මේ ප්‍රශ්න සියල්ල විසින් අපේ දේශපාලන කරළිය විඩාපත් කර තිබියදීය.

විද්‍යා පීඨයට නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවයේදී සිංහල සිසුන් විසින් ඉදිරිපත් කරන ලද 'වෙස්‌ නැටුමකට' කුපිත වූ පිරිසක්‌ කළ පහරදීමක්‌ නිසා අන්තිමේ ප්‍රශ්නය කෙළවර වූයේ ජාතික මට්‌ටමේ අර්බුදයක්‌ ලෙසය.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය ද වසා දැමිණි. සිංහල සිසු සිසුවියන් යළි තම ගම් බිම් බලා දකුණට ආහ. දෙමළ ජාතිවාදී සමහර පිරිස්‌ ඉන් සතුටට පත්වූහ. බෙදුම්වාදයට හා දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දෙන ජාතික ගීයට ජාතික කොඩියට විරෝධය පාමින් සිංහල එපා කියමින් යාපනයේ තරුණ පරපුරට නරක ආදර්ශ සපයන මහේෂ්වරන් මන්ත්‍රීතුමීලා වැනි ජාතිවාදී පිරිස්‌ ද ඉන් සතුටට පත්වූවා නිසැකය. එහෙත් මේ රටේ බහුතර සිංහල දෙමළ මුස්‌ලිම් ජනතාව මෙය සැලකූයේ අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය අරමුණක්‌ වෙනුවෙන් ඇතිකර ගත් අනවශ්‍ය ගැටුමක්‌ ලෙසය....

පසුගිය සතියේ දේශපාලනය ආරම්භ වූයේම මෙකී කරුණුවලින් සමාජය ලෙඩකර හෙම්බත් කර තිබියදීය.

ජනසටන පාද යාත්‍රාව

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය සතියේ ක්‍රියා කළේ සිය උපරිම "බර හා බලය" ජන සටන පාද යාත්‍රාව සංවිධානය කිරීමේ කටයුත්තට යොදවමිනි. මේ සඳහා විමල්, ඩලස්‌, මහින්දානන්ද, රෝහිත, ජොන්ස්‌ටන්, නාමල් හා කංචන විඡේසේකරගේ සහභාගිත්වයෙන් ප්‍රධාන මෙහෙයුම් කමිටුවක්‌ ද ක්‍රියාත්මක වෙමින් තිබිණි.

මේ ජන සටනේ පළමු පියවර වූයේ රට පුරාම පැතිරෙන ලෙස ජනතාව දැනුවත් කිරීමේ මූලික ජනහමු මාලාවක්‌ සංවිධානය කිරීමය. පසුගිය සතියේ එම ජනහමු මාලාව මුළු රටේම ක්‍රියාත්මක වෙමින් තිබෙන ආකාරය දැකගත හැකිවිය.

පසුගිය සෙනසුරාදා මෙම ජනහමු මාලාවේ එක්‌ ප්‍රධාන රැස්‌වීමක්‌ මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්තේදී පැවැත්විණි. විමල්, බන්දුල, චමල්, ඩී. වී. චානක ඇතුළු පිරිසක්‌ ඊට සහභාගිව සිටියහ.

රැස්‌වීම ඉවර වී පිරිස දිවා ආහාරය සඳහා ගියේ මහින්ද රාජපක්‍ෂගේ කාල්ටන් නිවසටය. එහිදී ආහාර ගන්නා ගමන් පැවැති සුහද පිළිසඳරේදී ද රජයේ මේ පළිගැනීම් ගැන පුංචි කතාබහක්‌ ඇතිවිය...

දැන් සඳුදට නාමල්ව එළියට දාවි. එයාව තවදුරටත් තියාගන්න බෑ. මම දන්න විදියට මට ආරංචි විදියට නාමල්ව දාන්නේ බැසිල්ව අරගෙන. මේගොල්ලො හිතාගෙන ඉන්නවා බැසිල් තමයි 28 වැනිදා තියන පා ගමන ඔක්‌කොම සංවිධානය කරන්නේ කියලා... ඉතින් නිසැකවම ගනීවි... ඕවා අපට අමුතු දේවල් නොවේ... මහින්ද කීවේය. ඔයාලා පරිස්‌සමින්....

මාව අත්අඩංගුවට ගන්න පොටක්‌ පාදාගන්න බැරිවුණා. ඒක බැරි තැන දැන් එµa. සී. අයි. ඩී. එකේ උත්සාහය තියෙන්නේ මගේ අයියව අත්අඩංගුවට ගන්නයි... විමල් කීවේය. කතාව තවදුරටත් දිගටම ඇදීගෙන ගියේ මේ ආකාරයේ පළිගැනීම් ගැනය.

නාමල් එයි - බැසිල් යයි

පා ගමනට පෙර තමන්ට යම් කිසි හේතුවක්‌ මත සිරගත වන්නට සිදුවේ යෑයි බැසිල් රාජපක්‍ෂ කල් තියාම දැන සිටියේය. නිසැකවම මේ පාගමනේ කටයුතු සංවිධානය කරන ආසන්න දිනවල සැලසුම ක්‍රියාත්මක වේ යෑයි කල්පනා කළ බැසිල් ඊට වඩා සැලසුම් සහගතව ඉක්‌මන් වූයේය. ඔහු පා ගමනේ සියලු කටයුතු සෙසු සංවිධායකයෝ සමඟ එක්‌වි වෙන වෙනම කණ්‌ඩායම්වලට බෙදා වෙන්කර ගත්තෝය. ඒ අයට ඒ ඒ ප්‍රදේශ හා අදාළ වගකීම් පැවරූ ඔහු නිසි ආකාරයට කටයුතු ගලා යන්නේදැයි මෙහෙයවීමට මෙන්ම නිරික්‍ෂණය කිරීමට ද වෙන වෙනම යාන්ත්‍රණ පත් කළේය.

මේ කටයුතු කල්තියා ඉටු කළ බැවින් බැසිල් සිටියේ යම්කිසි විටක ඇතුළට යන්නට වුවහොත් ඒ සඳහා සූදානම්වය.

මේ අතර සඳුදා දිනයේ නාමල්ට ඇප ඉල්ලන්නට ද වෙනම මෙහෙයුමක්‌ සංවිධානය කරන්නට ඒකාබද්ධ විපක්‍ෂය කල්පනා කළේය. පළාත් සභා මන්ත්‍රී සංසදයේ මෙහෙයවීමෙන් තවත් පැත්තකින් තවත් වැඩසටහනක්‌ සංවිධානය විය. නාමල්ට ඇප දුන්නොත් ඔහුව පිළිගන්නට හා ඇප නොදී ඇතුළට දැම්මොත් ඊට සාමකාමී විරෝධයක්‌ පාන්නට ද වැඩ කටයුතු සංවිධානය විය.

පළාත් සභා මන්ත්‍රී සංසදයේ ඉල්ලීම පිට එදා උදේ වන විට ලොකු සෙනඟක්‌ උසාවිය භූමියට ද පැමිණ සිටියේය. රටේම ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු මේ සඳහා සංවිධානය වී සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද 35 ක්‌ පමණ එතනට පැමිණ සිටියහ.

නාමල්ට ඇප ලැබුණු පසු ඔහු කෙළින්ම ගියේ මිරිහානටය. මිරිහානට යන්නට පෙර එතන සිටි තමන් වෙනුවෙන් පැමිණි සියලුම දෙනාට ආචාර කර ස්‌තුතිය පළ කරන්නට ද ඔහු අමතක නොකළේය.

මේ අතර බැසිල් රාජපක්‍ෂ එදින එµa. සී. අයි. ඩී. එකට කැඳවා ඇති බව ද නාමල්ට ආරංචි විය. ඔහු කීවේ... පුළුවන් නම් මට කවුරු හරි කෝට්‌ එකක්‌ සොයල දෙන්න. මට මෙහෙමම කඩුවෙල උසාවියට ගියා නම් මට බාප්ප වෙනුවෙනුත් කතා කරලම ගෙදර යන්න තිබුණා... කොහොමටත් අද එළියට දාන එකක්‌ නෑ. 28 වැනිදා පා ගමන ඉවර වෙන තුරුම ඇප දීල එළියට නොදමන බවයි ආරංචි..... මන්ත්‍රීවරු කීහ.

ලොකුගේ, මහින්ද යාපා මේ ගැන අදහස්‌ දක්‌වමින් සිටින තැනට ආ කුමාරසිරි හෙට්‌ටිගේ හෙට දිනයේ පත්තරවල පළවිය හැකි ශීර්ෂ පාඨ කීපයක්‌ කීවේ සිය දිගුකාලීන පත්තර රස්‌සාව ද මතක්‌ කරමිනි.

නාමල්ට ඇප - බැසිල් ඇතුළට... කියල දායි... නාමල් එද්දී බැසිල් යයි ... කියල තව පත්තරයක තියේවි... කුමාරසිරි එසේ ශීර්ෂ පාඨ ගණනාවක්‌ම කියාගෙන ගියේය....

කෙසේ වෙතත් ඒ වන විට බැසිල් එµa. සී. අයි. ඩී එකේ සිට කඩුවෙලට ගෙනැවිත් තිබුණේ නැත. ඒ නිසා පිරිසක්‌ මිරිහාන ගෙදරට යද්දී තවත් පිරිසක්‌ කඩුවෙල ගියේය. තවත් පිරිසක්‌ යනු ලැබුවේ එµa. සී. අයි. ඩී. යටය.

හවස 2.00 ට පමණ බැසිල් රාජපක්‍ෂව කඩුවෙල උසාවියට ගෙනාවේය. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ජයන්ත විඡේසිංහ ඇතුළු පිරිසක්‌ පෙනී සිටියහ.... ඔවුන් තර්ක කළේ මේ සිදුවීම පොදු දේපළ සම්බන්ධ වරදක්‌ ලෙස නොගැනෙන බවය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මිලදී ගන්නා ලද කොඩි කණු තොගයක්‌ තවත් අමාත්‍යාංශයක්‌ යටතේ තිබෙන පළාත් පාලන ආයතනවලට පවරා දීමෙන් අගතියක්‌ වී නැතැයි තර්ක කරන්නට නීතිsඥයෝ උත්සාහ ගත්තත් කොපමණ තර්ක කළත් ඇප නොලැබිණි. උසාවිය පැය 1 1/2 කට පමණ අත්හිටවා ගිය විනිසුරු යළි උසාවියට පැමිණ සියල්ලන්ටම දන්වනු ලැබුවේ ඔහුව රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවයි.

ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා කඩුවෙල උසාවිය ගැන විවරණයක්‌ කරමින් ලොකු උත්සාහයක්‌ ගත්තත් ඇප ගන්නට නොහැකි විය. ඔහු කීවේ කඩුවෙල උසාවියට ආවොත් ඇප දෙන්නේම නෑ කියා මතයක්‌ සමාජයේ තිබෙන බවය.

එහෙත් එසේ එµa. සී. අයි. ඩී. එක නීතිපති උපදෙස්‌ මත ඇප ඉල්ලීමට විරුද්ධ විය. බැසිල්ව රැගෙන බස්‌ රථය උසාවි බිමෙන් එළියට ගනිද්දී ද අනතුරක්‌ සිදුවිණි. ඒ අසල නවතා තිබූ නීතිඥ මහතකුට අයත් මෝටර් රථයක හැප්පීමයි....

බැසිල්ව ගෙන ගොස්‌ ඇතුළු කරනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊට පෙර නාමල් හා අනුර සේනානායක නතර කර සිටි ඊ වාට්‌ටුවටය. බන්ධනාගාරගත වන විටත් බැසිල්ට ලොකු කොඳු නාරටියේ අමාරුවක්‌ තිබිණි. ඒ අසනීපය එදා රාත්‍රියේදී වැඩිවීම නිසා පසුදා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව අසන්නට ලැබිණි.

බන්ධනාගාර රෝහලින් ඊට පසුදා, පසළොස්‌වක පෝයදා මහ රෝහලටත්, එතනින් 15 වැනි වාට්‌ටුවටත් බැසිල් මාරු කර යවා තිබුණේ වෛද්‍ය උපදෙස්‌ මතය...

ඔහුව බලන්නට දේශපාලනඥයෝ බොහෝ දෙනෙක්‌ පැමිණ දුක සැප විමසූහ. පා ගමනේ වැඩ කටයුතු මඟහැරෙන්නේදැයි ඇසීය.

නෑ මම දන්නවා නේ මේ දේශපාලන රටාව... ඒක නිසා මම කලින්ම වගේ වැඩ කොටස කරලා ඉවරයි.. කොහොම වෙතත් අපේ අවශ්‍යතාව දැනටමත් ඉටුවෙලා ඉවරයි. අපිට ඕන මේ ආණ්‌ඩුව තමන් අතින් වුණ වැරදි ගැන බයවෙන කලබල වෙන තත්ත්වයකට පත්කරන්න නේ... දැනටමත් ඒක වෙලා ඉවරයි.... බැසිල් කීවේය..

එකතු වෙන්න ආරාධනා

පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්‌ වූ තවත්a සිදුවීමක්‌ වූයේ එස්‌. බි. දිසානායකගේ මෑණියන්ගේ අභාවයයි. ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් බොහෝ දෙනා මේ ආරංචිය ලත් මොහොතේ පටන්ම එස්‌බීට කතා බහ කරමින් කරුණු විමසන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙක්‌ හඟුරන්කෙත මළගෙදර යන්නට ද උත්සුක වූහ.

පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ නාමල් රාජපක්‍ෂ, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, සී. බී. රත්නායක, කන්චන විඡේසේකර, ඉන්දික අනුරුද්ධ, චානක වක්‌කුඹුර ඇතුළු පිරිසක්‌ සිටියේ දිවුලපිටියේය. දිවුලපිටියේ සිට ඔවුන් එක්‌තරා සංවිධාන කටයුත්තක නිරත වී සිටියහ. ලබන 28 වැනිදා පැවැත්වෙන මහනුවර - කොළඹ පාගමනේ තැනින් තැන කෙරෙන වැඩ රාජකාරි පවරමින් මේ දිනවල මෙසේ කුඩා කණ්‌ඩායම්වල රැස්‌වීම් රට පුරාම පැවැත්වෙයි. ගම්පහ දිවුලපිටියේ පැවැත්වුණු සාකච්ඡාවේ එදා වැඩ කොටස භාරව සිටියේ ඔවුන්ය.

මේ රැස්‌වීම ඉවර වුණු පසු සියලුම දෙනා හඟුරන්කෙත මළගෙදර යන්නට තීරණයක්‌ ගත්හ. දිවුලපිටියේ සිට කුරුණෑගල මහනුවර හරහා හඟුරන්කෙතට යන විට හොඳටම රෑ බෝවී තිබිණි.

එස්‌. බී. පැමිණ මේ පිරිස සාදරයෙන් පිළිගෙන රාත්‍රි ආහාරය සඳහා කැඳවාගෙන ගියේය. නාමල්, ජොනී, සී. බී. ඇතුළු පිරිස මළගෙදර සෙසු අය සමඟම රාත්‍රි ආහාර ගත්හ....

ආහාර ගැනීමෙන් පසු තරුණ මන්ත්‍රීවරු එකතුව එස්‌. බී. හා සී. බී. සමඟ ලොකු දේශපාලන කතාබහකට මුල පිරූහ.

දැන් මේ යන විදිය හරි නෑ.. රටේ කිසි දෙයක්‌ වෙන්නේ නෑ. විපක්‍ෂය හැටියට ඔයගොල්ලන්ටත් ලොකු වගකීමක්‌ තියෙනවා. ආණ්‌ඩුව ඇතුළේ ඉන්න අපේ අයත් සතුටින් නොවෙයි ඉන්නේ. රටට යමක්‌ කරන්න නම් පක්‍ෂය ගොඩනඟන්න නම් අපි දෙගොල්ල එකතුවිය යුතුමයි. එස්‌. බි. ලොකු යෝජනාවක්‌ කරමින් විග්‍රහයක්‌ ද කරන්නට පටන් ගත්තේය.

ඒක වෙන්නේ කොහොමද... ඔයාලා එකතුවීමක්‌ ගැන කතා කරනවා. යු. ඇන්. පී. එක අපේ අයගෙන් පළිගන්නවා. ආණ්‌ඩුව ඇතුළේ ඉන්න අපේම අය ඒ දිහා බලාගෙන ඉන්නවා. සමහරු පළිගන්න විදිය ගැන යෝජනා පවා හදල දෙනවා. රාජපක්‍ෂවරුන්ගෙන්, අපිත් එක්‌ක ඉන්න අයගෙන් පළිගැනිල්ල නවත්වන තුරු ඒ එකතුව ගැන කතා කරන්නවත් අපි සතුටු නෑ.... සි. බි. කිවේය.

කවුරු හරි කොතැනකින් හරි පටන් ගන්නයි ඕන. මෙහෙම ගිහිල්ලා බෑ ඔයාලටත් ලොකු සෙනඟක්‌ ඉන්නවා. පාද යාත්‍රාවටත් ලොකු සෙනඟක්‌ එයි. රැස්‌වීම්වලටත් සෙනඟ ඉන්නවා. අපි ඒ මිනිස්‌සුන්ගේ බලාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ විදියට තනි තනි ගමන් ගියාම ඒක වෙන්නේ නෑ. එස්‌. බී. නැවත කීවේය.

ඉස්‌සරවෙලා මේ පළි ගැනිල්ල ඉවර කරන්න ඕන. දැන් වෙන දේවල් පේනව නේ. අපේ සංවිධායකකම් අයින් කරනවා. වැඩවලින් ඉවත් කරනවා. පක්‍ෂය ඇතුළෙන් ඒවා වෙනකොට යූ ඇන් පී එකෙන් අපේ අයගෙන් පළිගන්න නිතිය අතට අරන් වැඩ කරනවා. ඉස්‌සරවෙලා මේවා නේ නතර වෙන්න ඕන... ජොන්ස්‌ටන් කීවේය.

ඔව්.... අපි ඔක්‌කොටම කලින් අපේ පක්‍ෂය ගැනයි හිතන්න ඕන.... එස්‌. බි. කිවේය... මේ අයුරින් අදහස්‌ දක්‌වමින් වාද විවාද කරමින් ඇදී ගිය කතාබහ මධ්‍යම රාත්‍රියේ සිට උදේ පාන්දර 2.30 පමණ වනතෙක්‌ පැවතිණි.

ඉන්පසුව සමුගෙන ආ මේ පිරිස පාද යාත්‍රාව යන මාර්ගයේ නිරීක්‍ෂණ කටයුතුවලට ද සහභාගි විය. රාත්‍රියේ කිසිවකුගේ බාධාවකින් තොරව මේ මන්ත්‍රීවරුන්ට පාරේ ඇවිදිමින් ඉඩ තිබෙන තැන් සටහන් කරමින් අතරමඟ අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය කතා කරගත හැකි වූහ.... මේ පිරිස යළි කොළඹට එන විට හොඳටෝම එළි වී තිබිණි.

එස්‌. බී. ගේ මවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 22 වැනි සිකුරාදා අවසන් කරන්නට සූදානම් කරගෙන තිබූ බැවින් දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ සිකුරාදා උදේ පටන් හඟුරන්කෙත බලා පිටත්ව යනු දක්‌නට හැකි විය.

සිකුරාදා දිනය පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයකි. පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ට එදා දවසේ මඟුල් ගෙවල්වලින් ද නිදහසක්‌ නොවීය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම එකට සාක්‍ෂි සටහන් කරන්නට සහභාගි වන තවත් විශේෂ මඟුල් ගෙදරක්‌ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්විණි. මඟුල් ගෙදර මනාලයා වූයේ ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති එරන්ද වැලිඅංගේ තරුණ නායකයාය.

විශේෂත්වය වූයේ ඔහුගේ අතගත් මනාලිය ද දේශපාලන පවුලකින් උපන් යුවතියක වීමය. එරන්ති නම් ඕ අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ දියණියයි. මේ සම්බන්ධය නිසා එදා දේ වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටියාටත් වඩා සිටියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ යෑයි කීම වරදක්‌ නැත.

රනිල්ගේ දයාව මහින්දට

තවත් සාර්ථක සිංගප්පූරු සංචාරයක්‌ නිමකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලංකාවට පැමිණියේය. තම සංචාරයේ සාර්ථකත්වය හිතවත් මැති ඇමැතිවරුන්ට විස්‌තර කරන්නට ඔහුට අවශ්‍ය විය. බදාදා පාර්ලිමේන්තුවට යන අතරතුර තම කාර්යාලයේදී මැති ඇමැතිවරු හමුවන්නට ඔහු කල්පනා කළේ ඒ නිසාය.

සිංගප්පූරු සංචාරය සාර්ථක බව පේනවා. අපේ සාම්ප්‍රදායික නිලධාරි පැලැන්තියට කාර්යක්‍ෂමතාව හා නව ලොවට සරිලන ලෙස නිර්මාණාත්මකව වැඩ කිරීම ගැන සිංගප්පූරු ආදර්ශයක්‌ දෙන එක වටිනවා. දයා ගමගේ කීවේය.

එට්‌කා ගිවිසුම ඉන්දියාව එක්‌ක මේ වසරේ අත්සන් කරනවා. ඒ වගේම වෙළෙඳ ගිවිසුමක්‌ මේ වසර අග සිංගප්පූරුව එක්‌කත් ලබන වසරේ චීනය එක්‌කත් අත්සන් කරනවා. ඊළඟට ඉරානය, තායිලන්තය, මැලේසියාව, පකිස්‌තානය ආදී රටවල් එක්‌කත් මේ වගේ ගිවිසුම් ඇති වෙනවා. ලංකාවේ වෙළෙඳපොළයි අපි මේ වර්ධනය කරන්නේ. මහනුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික ත්‍රිකෝණ කොරිඩෝර් එක ඇතිවුණාම ඉන්දියාවේ නගර අතර ඇති කොරිඩෝර් එකටත් වඩා ශක්‌තිමත් වේවි. අගමැති දිග විස්‌තරයක්‌ ගෙන අනාගත සැලසුම් පැහැදිලි කළේය.

ගල්අඟුරුවලින් ලොකු මුදලක්‌ වංචා වෙලා කියලා විපක්‍ෂය තවත් ප්‍රචාරයක්‌ ගෙන යනවා. තැන් තුනකින් නිදහස්‌ වුණත් අර්ජුන ගැන වැරදි මතයක්‌ හදල තියෙන නිසා ගල්අඟුරු ප්‍රශ්නය ගැනත් නිහඬව ඉන්න හොඳ නෑ. උත්තර දෙන්න ඕන... නවීන් කීවේය.

සියඹලාපිටිය හා චම්පික කියන්නේත් වංචාවක්‌ නෑ... ක්‍රමවේදය පිළිබඳ පොඩි ප්‍රශ්නයක්‌ තියනවා කියලයි. චම්පික විගණකාධිපතිටත් හොඳහැටි බැනලා තිබුණා.... රනිල් කීවේය.

කැබිනට්‌ එකේදී දයාසිරි හැදුවා නේ විගණකාධිපති හරි කියලා එයාව ආරක්‍ෂා කරන්න. යූ ඇන් පී ශ්‍රී ලංකා දෙගොල්ලෝම එකතු වෙලා දයාසිරිට ගහපු ගැහිල්ලත් හොඳයි. ඔහොම තමයි වෙන්න ඕන.... කිරිඇල්ල කීවේය.

නාමල් ඇතුළට ගන්නවා, එළියට දානවා බැසිල් ඇතුළට ගන්නවා රෝහල් දානවා. මේක දැන් විහිළුවක්‌ වගේ. බන්ධනාගාර වෛද්‍යවරුන්ටත් වෙබ් අඩවිවල හොඳටම ගහල දාල තිබුණා.... දයා ගමගේ කීවේය.

බැසිල් රාජ්‍ය දේපළ අවභාවිතය ගැන ප්‍රශ්නයක්‌ නිසා ටිකක්‌ අමාරු වේවි... නීතිඥයෝ මට කිව්වා ගැලවෙන්න බෑ කියලා... රන්ජන් කීවේය.

රටේ ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රධාන නිලධාරියා විදියට අර්ජුන්ව පත්කර ගැනීම ඉතා හොඳයි. ඔහුගේ අත්දැකීම් හා හැකියාවන්වලින් අපි ප්‍රයෝජන ගන්නයි ඕන.... කිරිඇල්ල කීවේය.

නැහැ.... එයාට අලුත් තනතුරක්‌ දීල නොවෙයි. මගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වගකීම් ඉටුකිරීමයි රැකියා ලක්‍ෂ 10 හදන වැඩපිළිවෙළ දියත් කිරීම තමයි එයාගේ වගකීම වෙන්නේ... රනිල් කීවේය. ආර්ථිකයට අදාළ වන බැංකුව ඇතුළු සියලු රාජ්‍ය ආයතන තියෙන්නේ අර්ජුන් අතේ. එයා පඩි ගන්නේත් නැතිව නේ වැඩ කරන්නේ...

යාපනයේ ශිෂ්‍ය ගැටුම ඉක්‌මනින් සමථයකට පත්වුණා. පටු ජාතිවාදය ආගම්වාදය මේ රටේ ඉදිරියට ගෙනයන්න බෑ කියන එක ඒකෙන් හෙළිවුණා. දයා ගමගේ කීවේය.

මත්තලට දවසකට එන්නේ එක ගුවන් යානයයි.... වසරකට මගීන් 10 ලක්‍ෂයක්‌ මෙහෙයවන්න පහසුකම් එතන තියෙනවා. මේවා දියුණු කරන්න ඕන.... නවීන් කීවේය.

දවසකට ප්ලේන් 25 ක්‌ ගෙන එන සැලසුම් අපි ළඟ තියෙනවා. හම්බන්තොට ව්‍යාපෘතිවලින් රාජපක්‍ෂලාගේ නම අයින් කරන්න කියලා සමහරු කිව්වා.... මම ඒකට එකඟ නෑ... රනිල් කීවේය.

අපොයි.... මහින්දගේ නම ඉවත් කරන්න එපා. එයා ශ්‍රීලනිපය දෙකට කඩල දෙයි... අපිට දිනන්න. අපිට උදව් කරන අයට අපි සලකන්න ඕන... රන්ජන් කීවේය.

පළාත් පාලන ඡන්දය ඉක්‌මන් කරන්නත් ඕන. ආණ්‌ඩුව බය නිසා මේක කල් දමනවා කියල නේ විපක්‍ෂය කියන්නේ. අපි ඉක්‌මනට තියමු.... කිරිඇල්ල කීවේය.

ඡන්දය ඉක්‌මන් කරන්න කියලා හුඟක්‌ අය මට කියනවා. අපි ඕනම වෙලාවක ඕනම ක්‍රමයකින් ඒකට සූදානම්.... රනිල් කීවේය.

සමෘද්ධිකාරයෝ ඡන්දෙට පරණ සෙල්ලමම කරන්න යනවා වගේ... එයාලා රජයේ සේවකයෝ... ඕනවට වඩා නටන්න ආවොත් බලමු. අපේ අයත් නිකන් ඉන්න එකක්‌ නෑ. රන්ජන් කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂය පාගමන් සංවිධානය කරල තියෙනවා. යන එන ගමන් අපේ පළාත්වලදී එක එක සෙල්ලම් දැම්මොත් ඔයාලට මගදීම පාඩම් ඉගෙන ගන්න ලැබෙයි. දකුණේ ඇමැති උපුල්ව අයින් කරල ජනාධිපතිතුමන් පොඩි සිග්නල් එකක්‌ එයාලට දීලයි තියෙන්නේ... නටන්න බෑ දැන් එයාලට... නවීන් කීවේය.

වැට්‌ අඩු කරලා ඉන්ධන වැඩි කරන්න කියලා විමල් කියනවා...

නෑ නෑ... ඒ ප්‍රශ්න විසඳෙයි. කොහොමටත් තෙල් මිල වැඩි කරන්න අපි එකඟ නෑ.... රනිල් කීවේය....

ඉන්පසුව මලික්‌ සමරවික්‍රම විස්‌තර කළේ කරු ජයසූරිය බලන්නට රනිල් මංගල සිංගප්පූරුවේ රෝහලට ගිය ගමන ගැනය. විෂබීජයක්‌ නිසා කකුලේ ඇති වී තිබෙන තත්ත්වය ඔහු විස්‌තර කළේය.

රේගුවේ අවනඩුව

පසුගිය බ්‍රහස්‌පතින්දා ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති හා නිලධාරීන් පිරිසක්‌ ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ තම රේගු ආඥ පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවකටය. නව පනත මගින් මෙරට සිටින කූට ව්‍යාපාරිකයන්ට අපමණ වාසි සැලසෙන, ආරක්‍ෂාවට ලබාදෙන අණපනත් නීතිගත වන බව රේගු නිලධාරීන්ගේ අදහසයි. ඒ හැරුණු විට එම පනත සකස්‌ කළ ආකාරය පිළිබඳව ද ඔවුන්ට ප්‍රශ්න තිබිණි.

පසුගිය කාලය මුළුල්ලේම මේ පනතට විරෝධය පළ කළ රේගු නිලධාරීන් මේ පිළිබඳ රට දැනුවත් කරන්නට ද විවිධ උත්සාහයන් ගනිමින් සිටියහ. ජනාධිපතිවරයා හමුවූයේ ද එහි ආදීනව ගැන විස්‌තර කරන්නටය.

ජනාධිපතිවරයා මේ නිලධාරීන් හමුවට ආවේම ප්‍රසන්න සිනාවකින් මුව සරසාගෙනය.

රේගු නිලධාරීන් මෙහි අඩුපාඩු එකින් එක විස්‌තර කරද්දී එය හොඳින් අසා සිටියේය.... අන්තිමේ ඔහු කීවේ මුදල් ඇමැති ඔයාලට සාකච්ඡාවක්‌ දුන්නේ නැද්ද.

නෑ... අපි අගමැතිට කිව්වා මුදල් ඇමැතිට ලිව්වා. මලික්‌ සමරවික්‍රමට ලිව්වා. ඔබතුමාට ලිව්වා. සාකච්ඡාවක්‌ දුන්නේ ඔබතුමා විතරයි. අගෝස්‌තුවේ මේ පනත සම්මත කරගන්නවා කියල නේ ඇමැතිතුමා කියන්නේ... නිලධාරීන් කීහ.

නෑ.... නෑ... ඉන්නකෝ බලන්න අපි මෙයාට කතා කරලා..... එසේ කියමින් මුදල් ඇමැතිවරයාට දුරකථන ඇමතුමක්‌ ගත් ජනාධිපති ටික වේලාවක්‌ කතා කර මෙසේ කීවේය.

ලබන 28 වැනිදා සාකච්ඡාවක්‌ දේවි. කතා කරල බලන්න. කොහොම වෙතත් හදිස්‌සියේ මේවා කරන්න දෙන්නේ නෑ. මේවා කරන පිළිවෙළක්‌ තියෙනවා. රටට ගැළපෙන විදියට මිසක්‌ හොරුන්ට ගැළපෙන විදියට මේවා හදන්න අපි ඉඩ තියන්නේ නෑ... බය වෙන්න එපා.... ජනාධිපති කීවේය.

මේ අතර රජයට සම්බන්ධ ප්‍රබල වෘත්තීය සමිතියක නියෝජිතයෙක්‌ ඇමැතිවරයාට එරෙහිව ලොකු විරෝධයක්‌ එල්ල කරමින් කතා කළේය. කරුණාකර රේගුව ඔහුගෙන් මුදාගෙන ජනාධිපති යටතට පවරා ගන්නා ලෙස ඔහු ඉල්ලීමක්‌ කළේ ඇමැතිවරයාට ඇති වැරදි චෝදනා එකින් එක ගෙන ජනාධිපතිවරයාට විස්‌තර කරමිනි.

මහින්දගේ පා ගමන් මතකය

බදාදා විශේෂ දිනයකි. උදේ පාර්ලිමේන්තුව පැවැත්විණි. ඒකාබද්ධ විපක්‍ෂයේ ලොකු කණ්‌ඩායම් රැස්‌වීමක්‌ ද කමිටු ශාලා අංක 4 දී පැවැත්විණි. එහිදී මුළුමනින්ම කතාබහ කර ගත්තේ ජන සටන පාද යාත්‍රාවේ සංවිධාන කටයුතු ගැනය.

මේ වෙලාවේ කණ්‌ඩායම් රැස්‌වීමට නාමල් පැමිණියේ තමන්ට ලැබුණ විශේෂ තෑග්ගක්‌ ද අත ඇතිවය. මේ තෑග්ග මොහොතකට පෙර නාමල්ට දී තිබුණේ ජොන්ස්‌ටන්ය. 1993 දී මහින්ද සංවිධානය කළ කොළඹ කතරගම පාද යාත්‍රාවට සහභාගි වූ අයට ලබාදුන් සහතික පත්‍රයකි ඒ තෑග්ග. නාමල් එය මහින්දට පෙන්නුවේය. මහින්ද ඒ පාද යාත්‍රාව ගැන මතක්‌ කරමින් එවක තිබූ අභියෝග ගැන කතා කළේ මහත් සොම්නසෙනි.

එදා ඒ පාද යාත්‍රාව කඩාකප්පල් කරන්නට එජාප ආණ්‌ඩුව කටයුතු කළ ආකාරය මතක්‌ කරමින් මහින්ද කතා කරද්දී වාසු හා දිනේෂ් කීවේ... ඒක තමයි 94 දී ආණ්‌ඩුව පෙරළන්න හේතු වුණ මහජන කැරැල්ල... කියාය.

ඉන් පසුව ආණ්‌ඩුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට දමන අණ පනත් ගැනත් කතාබහක්‌ ඇති විය. අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්‌ පිහිටුවීමේ පනත ද කතාබහට ලක්‌ විය.

මේක භයානක පනතක්‌. හමුදාව දඩයම් කරන එක තමයි මේකේ අරමුණ. ඇත්තම කියනවා නම් මේක කාර්යාලයක්‌ කිව්වට විමර්ශන සභාවක්‌. ඕනම වෙලාවක පොලිසියකට හමුදා කඳවුරකට ඇතුළු වෙන්න හිර ගෙවල්වලට ඇතුළු වෙන්න බලය මේ කාර්යාලයට තියෙනවා. මහින්ද විස්‌තර කළේය.

ඒ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසු දරු දැරියන්ට පහර දීමේ සිද්ධිය ගැන ද ලොකු කතාබහක්‌ ඇතිවිය.

යුද්ධයේ නරකම කාලෙදිවත් මේ වගේ සිද්ධි රටේ ඇතිවෙන්න මම ඉඩ දුන්නේ නෑ... මහින්ද කීවේය.

යාපනේ විශ්වවිද්‍යාලේ ඉන්න සිංහල ළමයින්ගේ ආරක්‍ෂාව ගැන ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවා. ළඟම තිබුණු කෝපායි කෑම්ප් එක අයින් කරලා. අහලක පොලිසියකුත් නෑ. කෙහෙළිය කීවේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නවකවදය දුන්නා කියලා ගෑනු ළමයින්ව පවා හිර කරපු ආණ්‌ඩුව යාපනයේ ගහපු අය ගැන මොනවද කළේ.... එතැන ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරනවා... සිසිර ජයකොඩි කීවේය.

මෛත්‍රි චන්ද්‍රිකා වැඩ අරඹයි

මේ අතර බදාදා රාත්‍රියේ තවත් විශේෂ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක හමුවක්‌ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් හා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සහභාගිත්වයෙන් පැවැති මේ හමුවට ශ්‍රීලනිපයෙන් මෛත්‍රී පාර්ශ්වයේ සියලුම සංවිධායකයෝ හා පළාත් සභා ප්‍රධානීහු පැමිණ සිටියහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ දේaශපාලන ක්‍රියාකාරකම් හමුවේ ශ්‍රීලනිප මෛත්‍රී පිල කොපමණ කම්පනයට පත්ව සිටින්නේද කියන කාරණය මෙහි කටයුතු හා තීන්දු තීරණවලින් හොඳටම පැහැදිලි විය. එම තීන්දු අතර පළාත් සභාවල සිටින මහින්ද පිලට සම්බන්ධ සියලු මැති ඇමැතිවරු ඉවත් කිරීම, මහින්ද පිලේ සියලු ආසන සංවිධායකයන් වෙනුවට නව ආසන සංවිධායකයන් පත්කර පරණ පත්වීම් අහෝසි වන්නට ඉඩ සැලසීම හා පක්‍ෂයේ බලය මෛත්‍රී පිල වෙත ලබාගැනීම ආදී තීන්දු කිහිපයක්‌ම ගනු ලැබූහ.

මෙහිදී පසුගිය දිනවල ගෝඨාභය රාජපක්‍ෂ ගැන යම් පැහැදීමකින් කතා කළ ජෝන් සෙනෙවිරත්නට ද දැඩි දොaෂාරෝපණයක්‌ එල්ල වීම විශේෂත්වයකි.

මෙහිදී ජෝන් සෙනෙවිරත්න කීවේ මම ඒ කතා කළේ මගේ පුද්ගලික අදහසක්‌ ගැන කියාය.

එහෙම පුද්ගලික අදහස්‌ පක්‍ෂයේ ක්‍රියාකාරිත්වයට ගේන්න බෑ.... මට මතකයි ඔයා ඉස්‌සරත් මහින්දලා වෙනුවෙන් කතා කළා.... ඔයා තාමත් මහින්දලාට කඩේ යනවා.... චන්ද්‍රිකා බැණ වැදුණාය.

ජෝන් ද අතඇරියේ නැත. ඔහු තම නිර්දෝෂීභාවය වෙනුවෙන් කතා කරද්දී චන්දන කත්‍රිආරච්චි නැගිට චන්ද්‍රිකා මැඩම්ට බැණවදින්නට එපා යෑයි කියමින් මුරකාරයාගේ සුපුරුදු කටයුත්ත ඉටුකරන්නට පටන් ගත්තේය. ඉන් පසු දෙදෙනා අතර වාග් සංග්‍රාමයක්‌ බවට ඒ වාදය පත්වුවත් අන් කිසිම කෙනකු මේ වාදයට සහභාගි නොවීම ද විශේෂත්වයකි. අන්තිමේ ගැටුම සමථයකට පත්කළේ ජනාධිපතිතුමා මැදිහත්ව කතාව නතර කරන ලෙස දෙපැත්තටම අණ කිරීමෙනි.

බදාදා රාත්‍රියේ පදනම් ආයතනයේදී ගත් තීන්දු මුලින්ම ක්‍රියාවට නැගීමේ "ගෞරවය" හිමිකර ගන්නට දකුණේ මහ ඇමැති ශාන් විඡේලාල් ද සිල්වා ප්‍රමුඛ දකුණු පළාත් සභාව සමත් විය.

සත්තකින්ම මෙය සිදුකරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේම අවශ්‍යතාවක්‌ අනුවය. එහෙත් දකුණු පළාත් සභාවේ ඩි. වී. උපුල් විසින් දැරූ අමාත්‍ය ධුරය වෙනත් අයකුට පවරා දීම සිදුවූයේ ද බදාදාය.

පසුගිය සෙනසුරාදා ශාන් විඡේලාල් ද සිය දේශපාලන ආධාරකරුවන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයට කැඳවා කළ කතාව ද දේශපාලන ලෝකයේ කැපී පෙනෙන කතාවක්‌ විය. ඔහු එහිදී සිය ආධාරකරුවන් අමතා තමන් හදවතින්ම ඉන්නේ කොතනදැයි ලොකු සංඥාවක්‌ නිකුත් කළේය. මහින්දලාගෙන් තම දේශපාලන ජීවිතයට වූ වැරදි හා මෛත්‍රීපාලගේ පිලට තිබෙන තම හිතවත්කම ප්‍රකාශ කිරීම ද කැපී පෙනෙන කාරණාවක්‌ම විය.

මේ සියලු වෙනස්‌කම්, විපර්යාස දෙස සිනාමුසු බැල්මෙන් උපේක්‍ෂාවෙන් බලා සිටියා මිස මහින්ද වෙන මොනවාවත් කියන්නට ගියේ නැත. බ්‍රහස්‌පතින්දා උදේ තවත් කටයුත්තක්‌ කළේය. එනම් රජයෙන් තමන්ට හිමිවිය යුතු නිල නිවසේ පදිංචිය සනිටුහන් කරන්නට යැමය. බ්‍රහස්‌පතින්දා සුබ මොහොතින් කිරි උතුරවා කිරිබත් කපා විඡේරාම මාවතේ ගෙදරට ඇතුළුවීම ඔහු කරනු ලැබුවේ වැඩි ප්‍රසිද්ධියකින් තොරවය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී දේශපාලන ලෝකයේ අප දුටු වැදගත්ම සිදුවීම වූයේ මෛත්‍රී චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රීලනිපය විසින් තවදුරටත් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟම රැඳී ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යැමට ගන්නා ලද තීන්දුව ප්‍රකාශයට පත්කිරීමයි. බදාදා පදනම් ආයතනයේදී ප්‍රකාශයට පත්කළ මේ තීන්දුවත් සමඟම දේශපාලන ලෝකයේ නව දේශපාලන කතිකාවක්‌ පටන්ගත් බව ද නිසැකය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.