සේවා කාලය සපුරා නොමැති
ආබාධිත රණවිරුවන්ටත් විශ්‍රාම වැටුපක්‌


චමින්ද සිල්වා

ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුකොටගෙන තුවාල ලබා ඇති හමුදාවේ සහ පොලිසියේ වසර 10 ක හෝ 12 ක සේවා කාලයක්‌ සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුපක්‌ ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත වැඩපිළිවෙළක්‌ සකස්‌ කරමින් පවතින බව යුද හමුදාවේ වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සනත් පෙරේරා මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.

මේ වන විට ආබාධිත රණවිරුවන් පිරිසක්‌ විශ්‍රාම වැටුපක්‌ ඉල්ලා පිටකොටුවේ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වන බවත් ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට වසර 10 ක අඛණ්‌ඩ රාජ්‍ය සේවයක්‌ නොමැති නිසා විශ්‍රාම වැටුපක්‌ ලබාදීමට සුදුසු ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට සාකච්ඡා කරන බවත් හෙතෙම ආරක්‍ෂක මාධ්‍ය මධ්‍යස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම උපවාස කරන පිරිස අතර වසර 10 කට අඩු සේවා කාලයක්‌ ගතකොට ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව හමුදාවෙන් හා පොලිසියෙන් ඉවත් වූ 4000 ක පමණ පිරිසක්‌ සිටින බව ද සනත් පෙරේරා මහතා කීය.

මෙම උපවාසයේ නිරත පිරිස මේ වන විට වැටුප් හා ආබාධිත දීමනා සමඟ මසකට රුපියල් 65,000 ක පමණ දීමනාවක්‌ ලබන බව පැවසූ සනත් පෙරේරා මහතා ඔවුන් අවුරුදු 55 ක්‌ විශ්‍රාම යැමෙන් පසු මාසිකව ලැබූ දීමනාවෙන් සියයට 85 ක්‌ මියයන තෙක්‌ම ලබාදෙන අතර ඔවුන්ගේ අභාවයෙන් පසු එම දීමනාව අඹුදරුවන්ට ලබාදෙන බව ද කීය.

රාජ්‍ය සේවයේ රැකියාවක නිරත වී විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට නම් අවම වශයෙන් වසර 10 ක්‌ සේවයේ නිරතව සිටිය යුතු බවට විශ්‍රාම වැටුප් නීතිය තිබියදී ඊට වඩා අඩු කාලයක්‌ සේවයේ නිරතව සිටි මෙම ආබාධිත පිරිසට විශ්‍රාම වැටුපක්‌ ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය සමඟ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව පැවසූ සනත් පෙරේරා මහතා එහි අවසන් තීරණයක්‌ ගන්නා දින වකවානු නිශ්චිතවම සඳහන් කළ නොහැකි බවත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.