පෝරකය පෙනි පෙනී නිදහස ලැබූ රණවිරුවෝ

සමන් ගමගේ

නොකළ වරදකට සිරගතව වසරක්‌

මේ ගෙවෙමින් තිබෙන්නේ රට බේරාගත් රණවිරුවන් දඩයම් කරනා යුගයකි. නැතහොත් පාවා දෙන යුගයකි. දැන් මේ කතාව ඇතැමුන්ට වහකදුරු වෙන්නටද බැරි නැත. එහෙයින් හෙට දිනයේ ඇතැමුන් විටෙක චණ්‌ඩින් සහ තවත් විටෙක රස්‌තියාදුකාරයන් සේ කතා කරමින් "දිවයිනේ" පතුරු අරින්නටද පුළුවන.

එහෙත් මොකා එසේ මොර දුන්නද මේ රටත් ජනතාවත් වෙනුවෙන් අප සත්‍ය කතා කළ යුතුය. මෙවන් පාවා දෙන්නන් රජ කළ යුග මෙරට ඉතිහාසයේද ඕනෑ තරම් තිබිණ.

අපි සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජෝත්තමයාණන්වත් පාවා දුන් ජාතියක්‌ වන්නෙමු. ඉතින් තව කවර කතාද? හැමදාමත් එසේ රට ජාතිය අනුභව කෙරුවෝ අප සමාජයේ සිටියහ. ඇතැම්විට එය ජානගත දොසක්‌ වූවාද විය හැකිය.

ඒවා කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ සිදුවූ එවන් පාවා දීමේ කතාවක අඳුරු මූසල බව පරදා රිදී රේඛා ඇඳී ගිය සිදුවීමක්‌ ඉකුත් සතියේ අනුරාධපුරයෙන් වාර්තා විය.

එකී සිදුවීම වූයේ සමූහ මිනිස්‌ ඝාතනයක චූදිතයන් කෙරුණු රණවිරුවන් හය දෙනකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකින් ඔවුන් සියලු දෙනා නිදොස්‌ කොට නිදහස්‌ කිරීමය. දැන් ඔවුහු නිර්දොaෂී මිනිස්‌සු වන්නාහ.

එහෙත් මේ නිදහස ඔවුනට උරුම වූයේ, නැතහොත් මේ විරුවන් හය දෙනාට නිදොස්‌ මිනිසුන් ලෙස සමාජ පිළිගැනීමක්‌ ලැබුණේ විසි වසරකට පසුවය.

එසේ නම් ඒ ගෙවී ගිය දශක දෙකක කාලය තුළ මිනීමරුවන් ලෙස සමාජ අපකීර්තියට පත් කෙරුණු ඒ විරුවන් කොතෙක්‌ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට ඇතිද? ඔවුනට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ නඩුවේදී එක්‌ එක්‌ අයට වෙන් වෙන් වශයෙන් අධි චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණ.

මේ අතරේ ස්‌ත්‍රී දූෂණ චෝදනාද වූ අතර එක්‌ එක්‌ පුද්ගලයාට අධි චෝදනා 101 බැගින් ඉදිරිපත් කරමින් මෙරට මහාධිකරණයක්‌ හමුවේ විභාග වූ එකම නඩුවද මෙය වෙනවා විය හැකිය.

හමුදා නිලයෙන් කෝප්‍රල්වරුන් වූ මේ විරුවන් හය දෙනා මීට විසි වසරකට ඉහතදී මෙසේ සමූහ මිනිස්‌ ඝාතන සහ ස්‌ත්‍රී දූෂණ චෝදනා ඇතුළුව චෝදනා 101 ක සැකකරුවන් වී අනුරාධපුර මහාධිකරණයේ විත්ති කූඩුවට නැගුණේ කුමක්‌ නිසාද?

ඒ ඉකුත් 1996 වසරේදී ත්‍රිකුණාමලය මුතූර් ප්‍රදේශයට අයත් කුමාරපුරම් ගම්මානයේදී සිදුවූ මහා මිනිස්‌ ඝාතනයක සැකකරුවන් ලෙස නම් කෙරුණු නිසාය.

ශ්‍රී ලංකා හමුදා යාපනය අර්ධද්වීපය ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා 1994 වසරේදී ඉතිහාසගත රිවිරැස මෙහෙයුම ආරම්භ කරනු ලැබිණි. එහිදී යුද හමුදාවේ පිරිස්‌ බලය රිවිරැස මෙහෙයුම සඳහා උපරිමයෙන් යොදා ගත යුතුව තිබූ බැවින් ත්‍රිකුණාමලය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශයන්හි ස්‌ථානගතව සිටි හමුදා කණ්‌ඩායම්ද එයට සම්බන්ධ කෙරිණි.

මෙහිදී රිවිරැස මෙහෙයුමේ ප්‍රබලත්වය හමුවේ එල්ටීටීඊයද නැගෙනහිර කාඩරයන් ඊට මුහුණ දීම සඳහා කැඳවන්නට වූයෙන් මෙකී කාලය වන විට ත්‍රිකුණාමල ඇතුළු ප්‍රදේශයන්හි හමුදා බලය මෙන්ම කොටි බලයද තිබුණේ දියවී යමින්ය.

එහෙත් 1996 වසර වන විට මේ තත්ත්වය තිබුණේ ටිකින් ටික වෙනස්‌ වෙමින්ය. යුද හමුදාව මෙන්ම එල්ටීටීඊයද ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර ප්‍රදේශයන්හි බලය යළි තහවුරු කර ගැනීම සඳහා තැනින් තැන ස්‌ථානගත වෙමින් කඳවුරු තනන්නට විය.

එකල මෙකී ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර භූමියේ යුද හමුදාව සහ එල්ටීටීඊය මුහුණට මුහුණලා සටන් වැදුණු සටන් පෙරමුණු හෝ ආරක්‍ෂක වළලු නොවීය. එහෙත් තැනින් තැන ස්‌ථානගතව සිටි හමුදාව සහ කොටි ත්‍රස්‌තයන් අතර හිටි හැටියේ මහා සටන් ඇවිලී ගියේය. යුද හමුදාව එල්ටීටීඊ කඳවුරක්‌ හෝ එල්ටීටිඊය හමුදා කඳවුරක්‌ ආක්‍රමණය කිරීමට යෑම මෙසේ සටන් ඇවිළී යැමට හේතු විය.

නිසි දේශපාලන නායකත්වයක්‌ නොමැති වීම හමුවේ එල්ටීටීඊය පරාජය කිරීමේ Rජු මෙහෙයුම්ද ක්‍රියාත්මක නොවීමෙන් විටින් විට ඇතිවූ මෙවන් සටන් නිසා දෙපාර්ශ්වයටම හානි සිදුවූ අවස්‌ථාද විය. එසේම ඇතැම් අවස්‌ථාවල අපේ රණවිරුවන් එල්ටීටීඊයේ කඳවුරු සුණු විසුණු කරමින් ඒවා අත්පත් කරගත් අවස්‌ථාද විය. එසේම එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදාවට බරපතළ හානි සිදුවීම්ද විය.

ඒ දිනය 1996 පෙබරවාරි මස එකොළොස්‌ වැනිදාය. ඒ වන විට ත්‍රිකුණාමලය කුමාරපුරම් ගම්මානයට ආසන්නයේ 58 සැතපුම් කණුව හමුදා කඳවුර පිහිටා තිබිණි. එකී ආසන්නය යනු සැතපුම් කිහිපයක දුර ගෙවා ළඟා විය යුතු ප්‍රමාණයකි.

ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු නැගෙනහිර ප්‍රදේශයන්හි එකල පැවැති වටපිටාව මෙසේ වෙද්දී එදින රාත්‍රියේ කුමාරපුරම් ගම්මානයට කඩා වැදුණු අවිගත් කණ්‌ඩායමක්‌ හතර අතට වෙඩි තබමින් මහා විනාශයක්‌ සිදු කරන්නට වූහ.

එම ප්‍රහාරයේදී කුමාරපුරම්හි දෙමළ ගම්වැසියන් දුටුවේ යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක්‌ ගමට කඩා වැදී වෙඩි තබා මිනිසුන් මරණ අයුරුය. එහෙයින් ඔවුහු හිස්‌ ලූ ලූ අත දිව යමින් ජීවිත බේරා ගැනීමට වෙහෙසුණහ.

ඒ අතරේ ගමට කඩා වැදී එම දෙමළ වැසියන්ට අමානුෂික ප්‍රහාරයක්‌ එල්ල කරමින් සිටි ඝාතකයෝ ජීවග්‍රහයෙන් අල්ලා ගත් දෙමළ තරුණියන් දෙදෙනකුද දූෂණය කර මරා දමා අවසානයේ පලා ගියහ.

රාත්‍රී අඳුර මැකී යමින් පසුදාට හිරු උදා වන්නට විය. ඒ අතරේ පණ බයේ ගැහෙමින් එළිය වැටීමත් සමඟ සැඟව සිටි තැන්වලින් පිටතට පැමිණි කුමාරපුරම් ගමේ මිනිසුන් දුටුවේ පෙරදා රැයේ එකට කාබී නින්දට ගිය සිය ඥතීන් විශාල පිරිසක්‌ තැන තැන මැරි වැටී සිටින අයුරුය.

ගණනින් විසිහතරක්‌ වූ ඒ මළ මිනි අතරේ දූෂණය කර මරා දැමුණු තරුණියන් දෙදෙනාගේ සිරුරු මෙන්ම කුඩා දරුවන්ගේ සිරුරු කිහිපයක්‌ සහ ගැබිණි මාතාවකගේ සිරුරක්‌ද විය. එය දුටු ගම්වැසියන් එකහෙළා මේ අපරාධය පිළිබඳ චෝදනා එල්ල කරනු ලැබුවේ යුද හමුදාව වෙතය.

යුද හමුදාවට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක්‌ පැමිණ මේ අපරාධය කරනු පෙරදා රැයේ ඔවුන් දැසින් දැකීම එසේ චෝදනා කිරීමට හේතු වන්නට ඇත. එහෙත් එය සිදු කළේ යුද හමුදාවමද? එය නිශ්චිතව තහවුරු කරන්නට කිසිදු සාක්‍ෂියක්‌ නොතිබිණ.

එකල එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් යුද හමුදාව අපකීර්තියට පත් කිරීම සඳහා උපක්‍රමික වශයෙන් මෙසේ තමන්ගේ ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ ක්‍රියාදාමයක්‌ද දියත් කර තිබිණ. ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්‌තවාදය ගෙවුණු තිස්‌වසරක කාලයේදී එසේ දෙමළ වැසියන් ඝාතනය කළ බව තහවරු කිරීමට පැහැදිලි සාක්‍ෂි ලැබුණේ ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් සටනේදීය.

එහිදී ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදීන් පෙරට එන හමුදාවේ ආගමනය වළකාලමින් තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා පළිහක්‌ ලෙස යොදා ගත්තේ උතුරේ විසූ දෙමළ ජනතාවය. එකී මිනිස්‌ පළිහෙන් මිදී තමන් හැරදා යන්නට යම් අයකු සූදානම් වුවහොත් ඔහුට සිදු වූයේ භිහිසුණු මරණයකට මුහුණ දීමටය.

එල්ටීටීඊය පරාජය කිරීම සඳහා මෙරට ආරක්‍ෂක හමුදා සිදු කළ අවසන් මෙහෙයුම ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මානුෂික මෙහෙයුමක්‌ වූයේද ඒ නිසාය.

කෙසේ වෙතත් කුමාරපුරම් වැසියන් මෙසේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ යුද හමුදාව දෙසට ඇඟිල්ල දිගු කිරීමත් සමඟ එවකට පැවති රජය ඒ පිළිබබඳ විමර්ශනයක්‌ සිදු කළේය. ඒ දිනවල එල්ටීටීඊය වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීම් දිගින් දිගටම සිදු වෙමින් තිබීම නිසාත්, විවිධ රාජ්‍ය නොවන සංවිධාන යුද හමුදාවට චෝදනා කිරීමේ මෙවලමක්‌ ලෙස කුමාරපුරම් ප්‍රහාරය ගැනීමත් රජයේ මෙම තීරණයට හේතු වන්නට ඇත.

එහෙත් මෙකී විමර්ශනයේදී අවසානයට සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. ත්‍රිකුණාමලය කුමාරපුරම් ගම්මානයට කඩාවැදී ගම්වැසියන් 24 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 58 සැතපුම් කණුව කඳවුරේ සෙබළ පිරිසකට එකී විමර්ශනයෙන් පසු චෝදනා එල්ල විණි.

පසුව එකී සෙබළුන්ගේ හමුදා ජීවිතයද නිමාවට පත් වෙද්දී අත්අඩංගුවට ගනු ලැබූ ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නට විය.

ඒ අනුව එකී රණවිරුවන්ට එරෙහිව නඩු පැවරුණු අතර මහෙස්‌ත්‍රාත් අධිකරණයකදී පැවති මූලික නඩු විභාගයකින් පසුව ඔවුනට එල්ල වූ චෝදනා විභාග කිරීම අනුරාධපුර මහාධිකරණයට යොමු විය.

මේ අතරතුර වසරක පමණ සිරගත ජීවිතයක්‌ ගත කිරීමට ද මේ විරුවන්ට සිදු විය. එසේ අනුරාධපුර මහාධිකරණයට යොමු කෙරුණු කුමාරපුරම් ඝාතන නඩුව දීර්ඝ කාලයක සිට විභාග වෙමින් තිබිණ. එහිදී නීතිපතිවරයා විසින් චූදිතයන්ට එරෙහිව අධි චෝදනා 101 ක්‌ ගොනු කරමින් ඒ සඳහා ඉදිරිපත් කළ සාක්‍ෂි ප්‍රමාණය පමණක්‌ 107 ක්‌ විය.

කුමාරපුරම් ප්‍රහාරය දා චූදිත සෙබළුන් ප්‍රහාරයට යොදාගත් ගිනි අවි ඇතුළුව නඩු භාණ්‌ඩ රැසක්‌ද මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අතරේ යහපාලනය පැමිණීමත් සමඟ එකී නඩුව පසුගිය මාසයක පමණ කාලය පුරා එක දිගට විභාග කිරීමට තීරණය විය. යහපාලනයත් සමඟ ගනු ලැබූ ඒ තීරණයත් සමඟ මෙම නඩුවේ චූදිතයන් වූ එකී රණවිරුවනට ඇතැම්විට තමන්ගේ ඉදිරි ජීවිතය පෝරකය අභියස ගෙවී යන අයුරු මැවී පෙනුනාද විය හැකිය.

එහෙත් ජූරි සභාවක්‌ යටතේ පැවත්වුණු මෙම නඩු විභාගයේදී පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චූදිතයන්ට එරෙහි චෝදනා ඔප්පු කර නොමැති බව තීරණය වීමෙන් අවසානයේ ඔවුනට නිදහස හිමි විය.

එහිදී ජූරියේ ඒකමතික තීරණය වී තිබුණේ සාක්‍ෂිකරුවන් පුද්ගලයන් හඳුනා ගැනීමෙන් පමණක්‌ චූදිත හමුදා නිලධාරින් වරදකරුවන් කිරීමට නොහැකි බවය. එහෙයින් ඔවුන් සියලු චෝදනාවන්ගෙන් නිදොස්‌ කොට නිදහස්‌ කළ යුතු බව ජූරි සභාව තීරණය කළේය.

ඒ අනුව උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ජූරියේ එකී තීරණය විත්තිය සහ පැමිණිලි පාර්ශ්වයන් වෙත දුනුම් දෙනු ලැබූ අතර කුමාරපුරම් ඝාතන චෝදනා හමුවේ පෝරකය වෙත යැම වෙනුවට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු වීම හමුවේ යළි නිදොස්‌ මිනිසුන් ලෙස සමාජය වෙත එන්නට ඒ රණවිරුවනට අවස්‌ථාව ලැබිණ.

එදා මෙකී සමූහ මිනිස්‌ ඝාතන චෝදනා හමුවේ මේ විරුවන් පිරිස යුද හමුදාවෙන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබිණ. එහෙත් දැන් ඔවුන් නිදොස්‌ මිනිසුන්ය. එසේ නම් ඔවුන් වෙනුවෙන් හමුදාවෙන් නෙරපූ දින පටන් ගෙවිය යුතු හිඟ වැටුප් ඇතුළු විශ්‍රාම දීමනා ගෙවන්නට ආණ්‌ඩුව සූදානම්ද?

අප අවසන් වශයෙන් මේ සටහන සමඟ ඒ ප්‍රශ්නය නඟන්නේ දිනෙන් දිනම යහපාලනයත් අද රණවිරුවන් පාවා දෙමින් සිටින නිසාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.