දෛවයේ කුරිරු ඉරණමකට
ගොදුරු වූ සොඳුරු කිවි රජු

ගලගෙදර විමලරත්න හීනාගම

එය හරියටම අදින් වසර 218 කට පෙර, ක්‍රි. ව. 1898 ජුලි මස 26 වන දින විය. වෙලාව රාත්‍රි 9.00 කණිසමට ආසන්න වී තිබිණි. පොද වැස්‌සේම අන්ධකාරය මැදින් මඩුවට ගොඩවැදුණු කිසියම් අමුත්තෙකුගේ ඡායාවක්‌ මඩු කොනේ යහනක වැතිර සිටි කොලුවාගේ නෙත ගැටිණි.".... කවුද ඔතන...?" යි ඔහු හඬනගා විමසුවද පිළිතුරක්‌ නොවීය. "....ඔය කවුද....?" දෙවන වරටද ඔහු හඬ නගා විමසුවද පිළිතුරක්‌ නොවූයෙන් වහා නැගිටගත් කොලුවා තෙවන වරටද "ඔය.... කවුද?" යි හඬ නගා අසමින්ම ඇඳ ඉහ යට සඟවා තිබූ කඩුව රැගෙන ක්‍ෂණයකින් අඳුර මැද නිසොල්මනේ සිටි හොල්මන වෙත වේගවත් කඩු පහරක්‌ එල්ල කළ අතර කඳෙන් හිස වෙන්ව ගිය 'හොල්මන'

 එතැනම මැරී වැටුණි.

පිටත ඇසුණු කලබල හඬ අසා එහි දිව ආ කොලුවාගේ මව සිදුවී ඇති දේ දැක භීතියෙන් වෙවුලා ගියාය. මරු වැළඳ සිටි අමුත්තා කවුදැයි දෙදෙනාම හඳුනා ගත්හ. සැබැවින්ම ඒ එසේ මෙසේ කෙනෙක්‌ නොවූයේය. වහා පණිවුඩයක්‌ යවා ඇය තම ආධාරයට එකල රටේ රජුට පමණක්‌ දෙවැනිව සිටි ඉහළම ප්‍රධානියා එහි කැඳවූ අතර, බියෙන් මුසපත්ව සිටි කොලුවා අස්‌වැසූ හෙතෙම එතැන් පටන් සියලු කටයුතු තම භාරයට ගත්තේය.

පසුදින උදාවත් සමඟම රට තොට පැතිර ගියේ ලක්‌වාසීන් ශෝකාන්ධකාරයේ ගිල්වනු සමත්වූ පුවතකි. එනම් රෝගීවී සිටි ත්‍රී සිංහලාධීශ්වර ශ්‍රී රාජාධිරාජසිංහ රජු (1780-1798) ස්‌වර්ගස්‌ථ වී ඇති බවයි. එසේම එදිනම යටකී ප්‍රධානියාගේම මෙහෙයවීම හා අභිමතය පරිදි "අම්මා අප්පා කවුරුදැයි කිසිවක්‌ නොදත් අටලොස්‌ හැවිරිදි වියෙහි වූ ගැටවරයෙක්‌ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට සිංහාසනාරූඪ කරවනු ලැබීය. හරියටම අදින් වසර 218 කට පෙර ඒ රැයේ එවන් අභිරහස්‌ ඝාතනයකට ලක්‌වූයේ අන් කිසිවෙකු නොව ශ්‍රී රාජාධිරාජසිංහ මිහිපලුන් වන අතර, පසු දිනම එසේ සිංහාසනාරූඪ කරනු ලැබුයේ පෙරදා රැයේ ඔහුට ඒ කඩු පහර එල්ල කළ "කන්නසාමී" නම් අටළොස්‌ හැවිරිදි කොලු ගැටයාය. මේ අභිරහස්‌ ඝාතන සිද්ධිය වසන් කොට තමාගේ අභිමතය පරිදි කොලුගැටයා සිහසුනට ඔසවා තැබූයේ අන් කිසිවකු නොව ඝාතනය වූ රජුගේ අගමැතිවරයා හෙවත් රටේ දෙවන පුරවැසියා වූ පිළිමතලව්වේ මහා අදිකාරම්ය.

ශත වර්ෂාධික කාලයක්‌ තිස්‌සේ කාලයේ වැලිතලාවෙන් වැසී ගොස්‌ තිබූ මේ අභිරහස්‌ ඝාතන සිද්ධිය හෙළිදරව් වූයේ එයින් වසර 128 කට පසු ක්‍රි. ව. 1926 දී බව අදත් බොහෝ දෙනකු නොදන්නා කරුණක්‌ වන අතර, එය හෙළිදරව් කරනු ලැබූයේ එසේ ඝාතනයට ලක්‌වූ රාජාධිරාජසිංහ රජුගේ සමීප හිතවතෙකු මෙන්ම රජවාසල කවිකාර මඩුවේ සාමාජිකයෙක්‌ද වූ වඩුගොඩපිටියේ නිලමේගේ ඥාති මුණුබුරෙකු වූ ඒ. ඡේ. ඩබ්. මාරඹේ රටේ මහත්තයා විසින් 1926 දී ප්‍රකාශයට පත්කළ '

ත්‍රී සිංහලේ කඩඉම් හා විත්ති'

 නම් කඩඉම් පොතේ'

කන්නසාමි විත්තිය'

 නම් පැරණි ලියෑවිල්ල මගිනි. "උඩරට විත්ති - හඟුරන්කෙත ජී. ඇම්. පී. අභයසිංහ පඬිතුමා 1957 පිටු 191 - 194 පාඨක ප්‍රයෝජනය සඳහා එකී දීර්ඝ ලියෑවිල්ලෙහි සඳහන් රාජකීය ඝාතන සිද්ධියට අදාළ කොටස්‌ පමණක්‌ ලුහුඬින් මෙහි පහත උපුටා දක්‌වමු.

"...... රාජසිංහ රජහට බිසෝවරු පස්‌ දෙනක්‌ වූහ. එයින් අගබිසව '

අල්මමේළුය. අනික්‌ හතරදෙනා '

රංගම්මාළු, '

සිරියම්මාළු, '

ඌපෙන්දම්මාළු'

 සහ මාම්පිටියේ කුමාරිහාමිය. සිරියම්මාළු ඇගේ මව සමඟ මල්වත්තේ වාසලකද, අනිත් බිසෝවරු පල්ලේවාසලද සිටියෝය. සිරියම්මාළු සහ ඇගේ මවු රඡ්ජුරුවන් විසින් මල්වත්තේ වාසලේ නවත්වා නිතර ඈ වෙත යන සිරිතක්‌ විය. මල්වත්තේ නිතර වැඩ පල ආදිය ඇති නිසා ඒවා බැලීමට පිළිමතලව්වේ මහ අදිකාරමට යැම නියමයක්‌ව තිබීමෙන් සිsරියම්මා සහ පිළිමතව්වේත් රහස්‌ මිත්‍රත්වයක්‌ ඇතිවූහ. මෙසේ සිටිනා අතර සිරියම්මා ගර්භණීව පුත්‍රයෙක්‌ ලද්දීය. මෙම ළදරුවාගේ ඇඟ ගෑමට රන් තැඹිලි 05 ක්‌ රජුගෙන් ලැබෙත්. පිළිමතලව්වේගෙන් රන් තැඹිලි 10 ක්‌ ලැබේ. මෙසේ කුමාරයාට කන්නසාමියයි නම් තියා වැඩුනේ දාහත් අවුරුද්දක්‌ වයස්‌ විය. දිනක්‌ රඡ්ජුරුවෝ මල්වත්තට පැමිණි වෙලාවේදී පිළිමතලව්වේ අදිකාරම තැන සැකයක්‌ ඇති විය. අදිකාරම්ගේ සැරයටියක්‌ සම්භවීමෙන් '

මෙය කෙසේ ලැබුණාදැයි'

 ඇසුවෙන් '

මෙය මම අදිකාරම් අත්තාගෙන් ඉල්ලා ගතිමි'

 යි කුමරු කීවාය. රජතුමා අත තිබූ කඩුව කන්නසාමිට දී මෙසේ වාසලට රෑ යමෙක්‌ ආවොත් කතා කර කතා නොකළොත් ඔහුව මේ කඩුවෙන් කපන්නට මම බලය දෙවැයි'

 රජුජුරුවෝ කඩුව දී යන්ට ගියේය. පිලිමතලව්වේ මහ වාසලට ආ වේලාවේදී '

මල්වත්තට අදිකාරම් මින්මතු නොයව'

 යි කීවේය. එහි භාරකාරයෙක්‌ වුවමනා නැතැයි කීවේය. රජ මැති දෙදෙනා භේද ඇතිවිය. රජතුමා වැසි සහිත දිනක මල්වත්තේ වාසලට රාත්‍රියේ ගොස්‌ අසුබැඳ තබා මඩුවට ගොඩවිය. මඩුවේ නිදාඋන් කන්නසාමි ශබ්ද නගා 'කවුද'

 යන වචනය තෙවිටක්‌ ඇසුවේය. රජු තැතිගැන්මත් සෑදී කථා කරන්නට බැරිව තුෂ්ණීම්භූත විය. රාජ නියමය සේ ඇඳ ඉහයට තබා තිබූ කඩුවෙන් කන්නසාමි ගැසුවේය. රජුගේ කරම (හිස) කැපී ගොස්‌ වැටුණේය ආදී වශයෙන් විස්‌තර කෙරෙන මේ දීර්ඝ ලියෑවිල්ලේ අදාළ කොටස්‌ ඉහත උපුටා දක්‌වා ඇති අතර, අනතුරුව පිළිමතලව්වේ කන්නසාමිට '

රජකම අරන් දෙන්නෙමියි'

 පොරොන්දු වී, කන්නසාමිගෙන්ද '

දිවි තිබෙන තුරු ඔහුට කීකරුව සිටින්නෙමෙදැයි, තමාගේ පිය තානාන්තරයේම තබමැයිද?. ප්‍රතිඥාවක්‌ ගෙන, ඇත්ගොව්වාටද රන්කැබලි දහසක්‌ අල්ලස්‌ දී අනෙකුත් ප්‍රධානීන් ද කැටුව මගුලැතු සරසා පෙරටු කොටගෙන රජකමට සුදුස්‌සකු සොයා යන නියාවෙන් උපායෙන් මල්වත්තට ඇතු හරවා කන්නසාමිට ඇතු දණගස්‌වා ඔහු ඇතුපිට තබාගෙන ගොස්‌

ශ්‍රී වික්‍රම රාජසිංහ යන නමින් සිහසුනෙහි වඩා හිඳුවනු ලැබූ අයුරු මේ ලියෑවිල්ල තවදුරටත් පෙන්වා දෙයි. මේ මාහැඟි ලියෑවිල්ලෙන් හෙළිවන අනෙක්‌ වැදගත් හා වටිනාම ඓතිහාසික රහස නම් ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිංහලේ අන්තිම රජු ලෙස සිහසුන්පත් කන්නසාමි කුමරුගේ පීතෘත්වය පිළිබඳව සැඟවී ඇති ඓතිහාසික රහසය. එයට අනුව කන්නසාමි කුමාරයාගේ පියා අන් කිසිවකු නොව, ළදරු කළ ඔහු ඇඟ ගෑමට රජු රන් තැඹිලි පහක්‌ යවන විට ඔහු ඇඟ ගෑමට තෙමේ රන් තැඹිලි දහයක්‌ යවන්නට තරම් තරගයක යෙදුණු පිළිමතලව්වේ මහ අදිකාරම් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. උඩරට රාජධානියේ අවසන් සමයේ සිදුවූ ඇතැම් සිදුවීම් තුළද මේ පිය - පුතු සබඳතාව ගැන ඉඟි කෙරෙන ඇතැම් අවස්‌ථාවන් දැකගත හැකි අතර මේ ඓතිහාසික රාජකීය ඝාතනය කදිමට තහවුරු කෙරෙන හා චිත්‍රණය කෙරෙන උඩරට අප්‍රකට ජනකවියක්‌ද මෙහිලා දැක්‌වීම වටී.


"රජ සැප මදිවී රජු සිරි යහනේ මැදියම් රෑ අවදිව යාලු


කාණ්‌ඩ සංගම් වාරු මඩිස්‌සල රූ ළඳ සිහිනෙන් දුටු වාලු


පිණි පොද මීදුම පීරාගෙන ගොස්‌ දැකගන්නට සිරියම් මාලු


ගිය මග කරුවල කන්දේ පාමුල කන්නසාමි පැනකෙටු වාලු


උඩරට නායක්‌කාර් රජ පෙළපතෙහි තෙවැන්නා ලෙස ක්‍රි. ව. 1780 දී සිහසුන් පත් අප කථානායක ශ්‍රී රාජාධි රාජසිංහයන්ගේ ලංකාගමනය සිදුවන්නේ ප්‍රථම නායක්‌කර් වංශික රජුවූ ශ්‍රී විජයරාජසිංහ රජුගේ (1739-1747) අග මෙහෙසිය ලෙස මෙරටට පැමිණි සිය සොහොයුරිය සමග වසරක හෝ දෙවසරක බිලිඳකු ලෙසය. ඔහු හා පැමිණි වැඩිමල් සොහොයුරා විජය රාජසිංහයන්ගේ ඇවෑමෙන් 1747 දී කීර්ති ශ්‍රී රාජසිංහ නමින් උඩරට රජ පැමිණි අතර, එතෙක්‌ "ආස්‌තාන කුමාරයා'


 නමින් ප්‍රකටව උඩරට රජවාසල ඇසුරේ දිවි ගෙවූ අප කථානායක බාල සොහොයුරා ඔහුගේ ඇවෑමෙන් ක්‍රි. ව. 1780 දී ශ්‍රී රාජාධිරාජසිංහ නමින් උඩරට සිහසුන් පත්වූයේය.


මහනුවර රජවාසල ඇසුරේ ගෙවූ තම කුමර අවධියේදී මුලින්ම අත්තරගම රාජගුරු බණ්‌ඩාර පඬිතුමන් වෙතින්ද, අනතුරුව මල්වතු මහනායක රාජගුරු මොරතොට ධම්මක්‌ඛන්ධ නාහිමිපාණන් වෙතින්ද සිප් සතර හැදෑරූ අප කථානායකයාණෝ ස්‌වල්ප කලකින්ම සිංහල, දෙමළ, පාලි හා සංස්‌කෘත යන භාෂාවන්හි සහ ශබ්ද ශාස්‌ත්‍ර හා කාව්‍ය ශාස්‌ත්‍රයෙහි හසල මහ පඬිරුවනක්‌ බවට පත්වූහ. සිහසුන් ප්‍රාප්තියත් සමඟ සැදැහැ බොදුනුවෙකු බවට පත්වුවද, උපතින් ද්‍රවිඩ ජාතික හින්දු බැතිමතෙකු වූ රාජාධිරාජසිංහ මිහිපලුන් විසින් මතු බුදුබව පතා, අසදෘශ ජාතකය ඇසුරෙන් ප්‍රබලත්වය වූ පැදි 603 කින් යුත් '


අසදිස මහා කාව්‍යය'


 එතුමාගේ විශිෂ්ට කවීත්වය හා පාණ්‌ඩිත්වය මොනවට පසක්‌ කරයි. මේ එහි එන එක්‌ පැදියකි.


සර නැඹ පෙර කිරණ - ඇලලු වර මෙර මත ගෙන


වට නැගි තරග මෙන - දිසෙයි පිළිමිණි පවුර යසොබන


වෙසෙසින්ම මෙතුමාගේ කවීත්වයේ විශිෂ්ටත්වය වඩාත් ප්‍රකට වන්නේ හිsටිවනම කී කවි තුළිනුයි කිවහොත් එය නිවැරැදිය. පහත කවි කිහිපය එය මැනවින් විශද කරයි.


දිනක්‌ උදෑසන තම බිසව නිදි යහනෙන් අවදි වීමට වූ ප්‍රමාදය රජු විමසා සිටියේ මේ රසබර කවියෙනි.


තුරු හිස නද කරති තැන තැන සැවුළන් ද


වන බැස තඹර බිඟු ගෙනයති මකරන් ද


දිය ඇස උදාවිය රන් දද ගිරගින් ද


මියුලැස නැගිටින්න කිම ඔබෙ සැපනින් ද


එවකට මල්වතු මහා නායක පදවිය හෙබවූ රාජගුරු මොරතොට ධම්මක්‌ඛන්ධ නාහිමියන් හා පහතරට නායක පදවිය හෙබවූ කරතොට ධම_රාම නාහිමියන් අතර පැවැති විරසකය ප්‍රකට කාරණයකි. වරක්‌ මොරතොට හිමියන් '


කරතොට ලංසියාව පක්‍ෂය'


 යි රජු ගතු කීමෙහි ඵල විසින් රජු විසින් කරතොට හිමියන් පදවියෙන්ද පහකොට හිස රැවුල බෑම පවා තහනම්කොට


මහවැලි ගඟෙන් එගොඩ කටුගස්‌තොට ප්‍රදේශයේ සිරකර තබනු ලැබීය. මෙහිදී එහිමියන්හට එකී දඬුවමෙන් නිදහස්‌වීමෙහිලා ඉවහල් වූයේද රජු තුළ වූ කාව්‍ය ලෝලීත්වයයි. එහිදී එහිමියෝ තම ආචාර්යවරයා වූ අත්තරගම රාජගුරු බණ්‌ඩාර පඬිඳුන්ගෙන් ලද රහස්‍ය උපදෙස්‌ ප්‍රකාර සිරස්‌ අතට හා තිරස්‌ අතට කියවා බැලූවිට පැදි තුනක්‌ තුළ පැදි දොළසක්‌ අන්තර්ගත වන පරිදි '


බාරස කාව්‍ය'


 නමින් කාව්‍යමය ප්‍රහේළිකාවක්‌ තනා රජු වෙත යෑවූහ. මේ කාව්‍ය ප්‍රහේළිකාව කිසිවෙකුටත් විසඳාලිය නොහැකි වූ අතර රජුට එය විස¹ගත හැකිවූයේ යළිත් එහි කැඳවනු ලැබූ කරතොට හිමියන් ලවාමය. එයින් රජු එහිමියන් ගැන කොතරම් පැහැදුනිද යත්, මෙතෙක්‌ ඉතිහාසයේ රජෙකු විසින් බෞද්ධ භික්‍ෂුවකට පිදුනු විශාලම ත්‍යාගය ලෙසින් සඟ සසුනේ සිව්පසය පිණිස කැපසරුප් කොට '


පල්ලේබැද්ද සන්නස්‌ මගින් එහිමියන් වෙත පිරිනැමූ පල්ලේබැද්ද ගම්වරයෙහි ප්‍රමාණය අක්‌කර 16000 කි. ඒ සමඟම රජු යළිත් එහිමියන් පහතරට නායක පදවියට ද පත් කරමින් aසිය පහන් සංවේගය හිටිවනම කවියකින් ප්‍රකාශ කළේ මෙසේය.


"කරතොට දහම්රම් නායක සමිඳු හට


නරදෙට මෙමා බුහුමන් කරපු හැටි යට


වරිගෙට ගෝල නමකට ඔහුගෙ යමෙ කුට


වරදට යමක්‌ නොකරව් මින් ඉදිරි යට"


වරක්‌ සත්කෝරළය ප්‍රදේශයේ කළ සංචාරයකදී දඹදෙනි කන්දේ චමත්කාරය දැක හිටිවනම රජුගේ මුවට නැඟුණු මේ කවිය ඔහුගේ විශිෂ්ට කවීත්වයට කදිම නිදසුනකි.


"තුඟුතර ගිරගින්ද සැදිවට පසුරින් ද


තුරු හිස මනනන්ද නද දෙන කොවුලන් ද


සුපිපෙන කුසුමන් ද හැසිරෙන බිඟුකැන් ද


බලසොඳ මිතුරින් ද රුව දඹදෙනි කන් ද"


රාජාධිරාජසිංහ රජු සමය උඩරට රජ වාසල කවිකාර මඩුවේද දීප්තිමත්ම සමය වී යෑයි කිව හැකිය. රාජ සභාව හමාර කිරීමෙන් අනතුරුව පැවැත්වෙන කවිකාර මඩුවට සහභාගි වීම රජුගේ ප්‍රියතම විනෝදාංශය ද විය. දිනක්‌ කවිකාර මඩුවට නවක කවියකු ද එක්‌ වී සිටිනු දුටු රජු "කියමු බලන්ට කවියක්‌·" යි ඔහුට අණ කළේ තම හිතවත් වඩුගොඩපිටියේට ද ඇසෙන් යමක්‌ ඉඟියක්‌ කරමිනි. උගුර පෑදූ නවකයා හඬනගා මෙසේ කවියක්‌ පටන් ගත්තේය.


"යෙදී පණත මුළු තුන් ලෝ වටියා


සැදී දෙපස රජ මැති සෙන් සිටියා"


එසේ දෙවන පදය හමාර කරත්ම කිසිවෙකුටත් සිතාගත නොහැකි ලෙස නවකයා කපා හෙලූ ගසක්‌ මෙන් බිම ඇද වැටුණේය. එසේ මුත් උපන් කවියකු වූ ඔහු බිම ඇද වැටෙනා අතරේම කවියේ ඉතිරි දෙපදයද මෙසේ සම්පූර්ණ කිරීමට සමත් වූයේය.

කදිම කවියක්‌ කියන්ට හිටියා

නොදී රැකපි මේ වඩුගොඩ පිටියා"

සැබැවින් ම සිදුවී තිබුණේ නවකයාගේ දස්‌කම් විමසා බලනු වස්‌ රජුගේ සංඥාවක්‌ අනුව වඩුගොඩපිටියේ විසින් කිසියම් උපක්‍රමයකින් කවියා බිම ඇද වැටීමට සැලැස්‌වීමය. (වඩුගොඩපිටියේ කාලමක්‌ පිම්බේ යෑයි ඇතැමෙක්‌ පවසති) කෙසේ වෙතත් නවකයාගේ aදක්‍ෂතාවය කෙරෙහි අතිශය පැහැදුනු රජු "උඹ නම් නිකම්ම නිකම් කටෙක්‌ නොවේ රක්‌ කටෙක්‌" යි පවසා කවියාගේ කටෙන් එකක්‌ රන් මසුරන් පුරවා ඔහුට තෑගි කළේලු· රන්කටා කවියාට ඒ නම පට බැඳුනේ එදා පටන් යෑයි කියෑවේ.

රාජාධිරාජසිංහ රජු හා වඩුගොඩපිටියේ අතර පැවැති මිත්‍රත්වය කොතරම් සමීප වූවක්‌ද යත් රජ වාසල කවිකාර මඩුව හමාර කිරීමෙන් පසු සියල්ලෝම රජුට දණ්‌ඩ නමස්‌කාර කොට පිට වී යැම චාරිත්‍රයක්‌ වුවද,

දිනක්‌ කවිකාර මඩුව හමාර වීමෙන් අනතුරුව වඩුගොඩපිටියේ පමණක්‌ ඒ බව නොතකා පිටවී යන්නට ගියේලු. මිතුදම කෙසේ වෙතත් මෙයින් දැඩි සේ සිත් පෑරුනු රජු ඔහුට අච්චු කිරීමක්‌ වශයෙන් එක්‌ පරම්පරා කාලයකට බලපවත්නා පරිදි වඩුගොඩපිටියේ පරපුර රජුගේ බිසෝවරුන් වන්දනාමාන කළ කුඩා නාථ දේවාලයේ කපුරාළ තනතුර දැරිය යුතු යෑයි නියම කොට වඩුගොඩපිsටියේ ඒ තනතුරට පත් කළේලු.· ඒ අනුව ඒ පරපුරේ උදවිය මෑත කාලයක්‌ දක්‌වාම එනම් 1925 පමණ වනතෙක්‌ ඒ තනතුරේ රාජකාරි ඉටු කළ බව කියෑවේ. රජු එසේ ඔහුට අච්චු කළ ද දෙදෙනා අතර වූ කුළුපග බවට රජු එය බාධකයක්‌ කර නොගත්තේ ය.

රජුගේ බිසෝවරු බොහෝ විට ජල ස්‌නානය කළේ රජ වාසලට ස්‌වල්ප දුරක්‌ ඔබ්බෙන් පිහිටි අම්පිටියේ ගිනිතිල්ලේ දිය ඇල්ලෙනි. මේ දිය ඇල්ලෙන් දිය නෑ සෑම දිනකම පාහේ ඔවුනට තද හිස රුදාවක්‌ සහ කන් කැක්‌කුමක්‌ වැළඳීම ගැටලුවක්‌ විය. රජු මෙයට හේතුව සොයා බැලීම පැවරුයේ තම හිතවත් වඩුගොඩපිටියේ නිලමේ වෙතය. කරුණු විමසා බැලූ වඩුගොඩපිටියේ එයට හේතුව සොයා ගැනීමට සමත් විය. දිය ඇල්ලෙන් ඇදහැලෙන ජල කඳෙහි විශාලත්වය හා ඔරොත්තු නො දෙන වේගවත් බව එයට හේතුව විය. මෙයට ද සුදුසු විසඳුමක්‌ සෙවීම රජු වඩුගොඩපිටියේටම පැවරීය. ස්‌වල්ප දිනකින් ඔහු එයට ද පිළියමක්‌ සොයා ගත්තේය. ඒ අනුව ඔහු දිය පහරේ විශාලත්වය හා වේගය අවම වන පරිදි කුඩා ඇළ මාර්ගයක්‌ ඔස්‌සේ අවශ්‍ය ප්‍රමාණයට ජලය ගෙනවිත් කෙළවර ගල් පීල්ලක්‌ මගින් ජලය වෑහෙන්නට සැලැස්‌වීය. එයින් පසු බිසෝවරුන්ගේ හිසරදය සහ කන් කැක්‌කුම සුව වුවද, එයින් අලුතින් ගැටලුවක්‌ නිර්මාණය වී තිබිණි. එනම් වරකට එක්‌ අයකු බැගින් බිසෝවරුන් පස්‌දෙනාට දිය නාගෙන ආපසු ඒමට දිගු වේලාවක්‌ ගත වීමය. රජු මෙයට ද විසඳුමක්‌ අපේක්‍ෂා කළේ වඩුගොඩපිටියේගෙනි. එහිදී හෙතෙම එයට ද අපූරු උපක්‍රමයක්‌ යෙදුවේය. ඒ අනුව පස්‌දෙනෙකුට එකවර දිය නා ගත හැකි අයුරු පීල්ලෙන් ඇද හැලෙන ජලය ඊට යටින් ගල් කුළුණක්‌ මත ස්‌ථාපිත කළ කටවල් පහකින් යුත් විශාල ගල් බේසමක කටවල් පහ හරහා වෑහෙන්නට සැලැස්‌වීය. එයින් පසු බිසෝවරුන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව දිය නා ගෙන ආපසු රජ වාසල බලා යා හැකි විය.

සැබෑ සෞන්දර්යකාමියකු වූ රජු දිනක්‌ හුදකලාව අගනුවරට මදක්‌ ඔබ්බෙන් පිහිටි කැලෑ රොදක්‌ මැදින් පරිසර චාරිකාවක යෙදෙමින් සිටියදී හදිසියේම ඔහුගේ සවන් වැකුනේ මියුරු හඬින් ළඳකගේ මුවෙන් නැගෙන සීපද රාවයකි.

ලස්‌සන හිමවතේ මාවී පැසෙන් නේ


දුක්‌ දෙන අලි ඇතුන් පන්නා හරින් නේ


රැක්‌මෙව දෙවියනේ වෙල්බත් බුදින් නේ


දුප්පත් කම නිසයි මා පැල් රකින් නේ


එයින් වශී වී ගිය රජු කැලෑ රොදෙන් පිටතට හිස පොවා බලන විට නෙත ගැටුණේ කෙත් යායක්‌ ඉස්‌මත්තේ පැල් මැස්‌සක්‌ මතට වී සීපද කියමින් සිටි රූබර ළඳකි. වහා කැලෑ රොදට මුවා වූ රජුගේ මුවෙන් පිට වූයේ ඇගේ කවියට පිළිතුරකි.


ලස්‌සන හිමවතේ පැල පිට සිටින ළඳේ


දුක්‌ දෙන අලි ඇතුන් පන්නා හරින ළඳේ


රැක්‌මෙන වෙලේ ඉඳ වෙල්බත් බුදින ළඳේ


දුක්‌ දෙනු සරිද ඔය සියුමැලි ගතට ළඳේ

කොහේ සිට කවරෙක්‌ ඒ පිළිතුර දුන්නේ දැයි ලලනාවිය නෙත් යොමා වට පිට විමසා බැලුවද කිසිවෙකු දැක ගත නොහැකි වූයෙන් උපන් කිවිඳියක වූ ඇයද එයට කවියකින් පිළිතුරු දුන් අතර එනයින් ඇය හා සැඟවුණු අමුත්තා අතර මියුරු සීපද හතක්‌ම හුවමාරු විය. පස්‌වන වාරය අමුත්තාගේ විය.

යල මහ පාලු වෙන්නට ඉඩ දෙන්නට එපා


දුක්‌ දෙන සතුන් පන්නා වෙහෙසෙන්ට එපා


ලැම බඳ ඉසුනු ගෝමර වැනසෙන්ට එපා


දුප්පත් කමින් මින් මතු දුක්‌ වෙන්ට එපා

තවදුරටත් සැඟවී සිටිය නොහී ඒ කවිය කියමින් ම රජු කැලෑ රොදෙන් පිටතට ආවේය. එතෙක්‌ තමා කවි හරඹයක යෙදී ඇත්තේ කවරෙකු සමඟදැයි ඇය වහා හැඳින ගත්තාය. බියෙන් මුසපත්ව ගිය ඇයට පලා යනු විනා වෙනත් කළ හැක්‌කක්‌ නොවීය. එය දුටු රජුගේ මුවට යළිත් සීපදයක්‌ නැගුනි.

ඇනලා මරණ කුළු මීමෙක්‌ නොවේ නම්


විකලා දමන සිහ රජෙකුත් නොවේ නම්


විදලා හරින වැදි රජෙකුත් නොවේ නම්


දුවලා වෙහෙස නොගනින් ළඳ බියේ නම්

එහෙත් ඒ වන විට ද ඒ රුවත්තිය වන වදුලට මුවා වී පලා යමින් සිටියාය. ඒ ද රජුගේ කවියට පිළිතුරක්‌ දීමට ද අමතක නොකරමිනි.

රෑන පිට රෑන තුඩුදෙන දීයන්


ඇදලා ඇටවූ දුන්නෙත් අගට ඊයන්


බළලුන් දුටුවාම බය නැද්ද මීයන්


දුටුවම බය නැද්ද රාසිංහ දෙවියන්

වරක්‌ මේ කවි සංවාදය පිළිබඳව අප මිතුරු හමුවකදී සිදුවූ අහඹු කතා බහකදී මගේ වැඩිහිටි මිතුරෙක්‌ කළ ප්‍රකාශයක්‌ අප සවන් අදහා ගත නොහැකි තරම් විය.

දන්නවද ඔය කවිකාරී කවුද කියලා? ඇය මගේ මී මිත්තණියක්‌. රාජාධිරාජසිංහ රඡ්ජුරුවන්ගේත්, ශ්‍රී වික්‍රම රාජසිංහ රඡ්ජුරුවන්ගේත් කිට්‌ටු මිත්‍රයෙක්‌ වගේම රජවාසල කවිකාර මඩුවේත් හිටපු වඩුගොඩපිටියේ නිලමේගේ සහෝදරියක්‌ හෝ දියණියක්‌ කියලයි කියන්නේ. පස්‌සේ රඡ්ජුරුවෝ කවිකාරි රජවාසලට ගෙන්නගෙන ඒ වෙල්යාය පිහිටි ප්‍රදේශයම ඇයට නින්ද පමුණු කොට පවරාදීලා. ඇයව රඡ්ජුරුවන්ගේ අන්තඃපුරයටත් ගත්තලු. මේ තොරතුරු මට කියා දුන්නේ මගේ මව. මහනුවර ධර්මරාජ කොලීජිය හදන්ට මුල් වෙච්ච වඩුගොඩපිටියේ මුහන්දිරම්ලාගේ පුංචිරාළ වඩුගොඩපිටියේ ගඟවට කෝරළේ කෝරළේ මහත්මයා තමයි වඩුගොඩපිටියේ නිලමෙගෙ පුත්‍රයා. පුංචිරාළ කෝරළේ මහත්තයාගේ පුතා රණසිංහ රාජපක්‍ෂ මුදියන්සේලාගේ විලියම් එඩ්වඩ් වඩුගොඩපිටියේ කොත්මලේ රටේ මහත්මයා. එතුමාගේ පුත්‍රයා රණසිංහ රාජපක්‍ෂ මුදියන්සේලාගේ පුංචිබණ්‌ඩා වඩුගොඩපිටියේ. එතුමාගේ දියණිය රණසිංහ රාජපක්‍ෂ වාසළ මුදියන්සේලාගේ රන්මැනිකා වඩුගොඩපිටියේ තමයි මගේ මව. 'ත්‍රිසිංහලේ කඩඉම් හා විත්ති පොත'

 එළිදැක්‌වු මාරඹේ රටේ මහත්මයාත් වඩුගොඩපිටියේ නිලමේගේ ඥාති මුණුබුරෙක්‌. රජකාලේ රජවාසල අභ්‍යන්තර රහස්‌ පිටට ගියෙත් නැහැ. ගියත් ප්‍රසිද්ධියේ කතාබහට ලක්‌වුණෙත් නැහැ. කන්නසාමී උත්පත්ති කතාව සහ රාජාධිරාජසිංහ ඝාතනය පිළිබඳව ඔය රජවරු දෙන්නාම ළඟින්ම ඇසුරු කරපු වඩුගොඩපිටියේ නිලමේ දැනගෙන හිටපු රහස ඊට අවුරුදු 128 කට පස්‌සේ කොහොමින් කොහොම හරි එළියට ආවේ එතුමාගේ මුණුබුරෙක්‌ හරහා.

ඒ රඡ්ජුරුවන්ට පස්‌සේ හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ අන්තිම රඡ්ජුරුවොයි, වඩුගොඩපිටියේ නිලමෙයි අතරේ ඇතිවෙච්ච තවත් රසබර සිදුවීම් ද රාශියක්‌ තියෙනවා.· යි මා හා එසේ දීර්ඝ විස්‌තරයක්‌ කළ මගේ වැඩිහිටි මිත්‍රයා, විශ්‍රාමලත් තැපැල් අධිකාරි. අම්පිටියේ පී. බී. ආර්. මුල්ලේගම මහතා. ක්‍රි. ව. 1861 වර්ෂයේ එවකට මධ්‍යම පළාතේ ආණ්‌ඩුවේ ඒජන්තවරයා වූ පිලිප් වොට්‌සන් බ්‍රේබෘත් මහතා විසින් තම මුත්තණුවන් වු පුංචිරාළ වඩුගොඩපිටියේ කෝරළේ මහතා ගඟවට කෝරළේ කෝරළේ මහත්මයා තනතුරට පත් කරනු ලැබූ 1861 06.11 දිනැති පත්වීම් ලිපියේ පිටපතක්‌ පවා මේ ලියුම්කරුට ලබාදීමට කාරුණික වූ බව කෘතඥා පූර්වකව සිහිපත් කර සිටිමි.

උපතින් ද්‍රවිඩයකු වුවද, හෙළ. දෙස, රැස, බස ප්‍රමුඛ හෙළ කවිය සහ හෙළයන්ගේ සදා අභිවාදනයට ලක්‌වියයුතු ශ්‍රී රාජාධිරාජසිංහ මිහිපල්තෙමේ මෙහි මුලින් සඳහන් කළ අයුරු හරියටම අදින් වසර 218 කට පෙර එසේ අවාසනාවන්ත ලෙස මෙලොවෙන් සමු ගත්තේය. මේ ඒ ශ්‍රී නාමයට උපහාර විසිනි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.