යටිතල පහසුකම් සඳහා දැවැන්ත සැළැස්‌මක්‌
මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්‌කරණ
හඳුන්වා දීමට ශ්‍රී ලංකාව සූදානම්

අගමැති රනිල් ලෝක ඉස්‌ලාමික ආර්ථික සමුළුව අමතමින් කියයි

සමාජ සාධාරණත්වය සහ වෙළෙඳපොළ ආර්ථිකයේ සමානාත්මතාවය මෙන්ම ආගමික අන්තවාදයද කරළියට පැමිණ ඇති මෙවන් යුගයක, අපේ රටවල් සාරවත් කළ හැක්‌කේ අපේ ඓතිහාසික වෙළෙඳ පසුබිම, ගෝලීයකරණයේ බහුවිධ බලපෑම් සහ අනාගමික බටහිර රටවල ආර්ථික ක්‍රමවේද, අපිට අනන්‍ය වූ ආගමික ආචාර ධර්ම හා සිරිත් විරිත්, වර්තමාන අභියෝග සහ අවස්‌ථා යන සියලු ක්‍රමවේදයන්ගේ සහ සංස්‌කෘතීන්ගේ සම්මුතියක්‌ පිළිගනිමින් සිදු කෙරෙන සංවාදයක්‌ ඔස්‌සේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

02 වන දා පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්‌ථානයේදී මුළු දුන් 12 වන ලෝක ඉස්‌ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ සමස්‌ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩුදෙන මූලික සාධකය වන්නේ මීළඟ සියවසේදී අන්තර් ආසියාතික වෙළෙදාම පුළුල් කිරීම බවය. ඉදිරි දශකයේදී අන්තර් ආසියානු වෙළෙඳ බාධක ඉවත් කිරීමේ වැදගත් පියවර සිදුවන බව දැකිය හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මේ පසුබිම මත ඉන්දියන් සාගරයේ භූ ආර්ථික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වීමේ බලාපොරොත්තුව සහිතව, යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැලස්‌මක්‌ හා බැඳුණු මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්‌කරණ සමුදායක්‌ හඳුන්වාදීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන්ම සැදුම්ලත් ජාතික රජයක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇත්තේ දේශපාලනික ස්‌ථාවරත්වය පමණක්‌ නොව ස්‌ථාවර ආර්ථික වැඩ රාමුවක්‌ ඇති කිරීමේ ද්වි පාර්ශ්වික එකඟතාවක්‌ ද ඇති කර ගැනීම සඳහා යෑයි ද පැවසීය.

ලෝකයේ රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් පැමිණි 2500 කට අධික නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්‌ථානයේදී අභිමානවත් හා විචිත්‍රවත් ලෙස ඇරඹුණු ලෝක ඉස්‌ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ මහතා විසින් පවත්වන ලද අතර, මැලේසියානු අග්‍රාමාත්‍ය, ලෝක ඉස්‌ලාමික ආර්ථික සමුළුවේ අනුශාසක දතෝ ශ්‍රී මොහොමඩ් නජිබ් තුන් අබ්දුල් රසාක්‌ මහතා විසින් විශේෂ දේශනය පවත්වන ලදී.

නවෝත්පාදන ඔස්‌සේ නිවැරදි දැක්‌මක්‌ සහිතව ඉදිරියට යැමෙන් තොරව අනාගතය ගොඩ නංවා ගැනීමට නොහැකි බව සමුළුව අමතමින් ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ මහතා පැවසීය. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසූයේ එවැනි ක්‍රියාමාර්ගයකින් තොරව ජයග්‍රාහකයන් බවට පත්වීමට නොහැකි බවය. එහෙයින් මේ අවස්‌ථාවේ පුළුල් හා ගැඹුරු ලෙස සාකච්ඡා කළ යුත්තේ ජයග්‍රහාකයන් බවට පත්වෙනවාද නැතිනම් පරාජිතයන් බවට පත්වෙනවාද යන්න පිළිබඳව බවද ඔහු පැවසීය.

මැලේසියානු අග්‍රාමාත්‍ය, ලෝක ඉස්‌ලාමික ආර්ථික සමුළුවේ අනුශාසක දතෝ ශ්‍රී මොහොමඩ් නජිබ් තුන් අබ්දුල් රසාක්‌ මහතා ප්‍රකාශ කළේ ඉස්‌ලාම් දහම සමග ත්‍රස්‌තවාදයේ කිසිදු සම්බන්ධතාවක්‌ නැති බවය. සැබෑ ඉස්‌ලාම් භක්‌තිකයා ත්‍රස්‌තවාදය පිළිකෙව් කරන බවත්, ඉස්‌ලාම් දහම කරුණාව හා දයාව පදනම් කොට ගෙන ගොඩනැගුනක්‌ බවත් ඔහු අවධාරණය කළේය. විදේශීය බලපෑම් වලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ පවත්වාගෙන යැමේ ශඛ්‍යතාව සෑම ඉස්‌ලාම් රාජ්‍යයකටම තිබිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

උළෙල අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

"ජකර්තා නුවර පැවැත්වෙන 12 වැනි ඉස්‌ලාමික ආර්ථික සමුළුවට සහභාගිවන ලෙස මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබට ස්‌තුති කරන්න කැමතියි. මේ සමුළුව පැවැත්වෙන්නේ ලෝක ආර්ථිකයේ ඉතා වැදගත් අවධියකයි. එනම් වසර 8 කට ඉහත 2008 දී හටගත් ගෝලීය ආර්ථික අර්බුදයේ පසු කම්පනවලට මුහුණ දෙන්නට වෙර දරන සමයකයි.

ඉස්‌ලාමීය ජාතීන් ලෝකයේ අන්‍ය රටවලට වඩා ශක්‌ත්මත්ව මේ ආර්ථික කුණාටුවට මුහුණ දී තිබෙනවා. වේගවත් සමාජ ආර්ථික ප්‍රගතියකට රුකුල්දෙන ස්‌වභාවික සම්පත් ගොන්නකින් ආශිර්වාද ලැබූ නිසා අප්‍රිකාවේ සිට අග්නිදිග ආසියාව තෙක්‌ විහිදෙන ඉස්‌ලාමීය ජාතීන්ගේ චන්ද්‍රවංකය දශක කිහිපයක්‌ තිස්‌සේම සංවර්ධනය සහ සමෘද්ධියට උරුමකම් කීවා.

සේද මාවතත් ඉන්දියන් සාගරයත් පුරා අරාබි වෙළෙඳුන් අණසක පතුරුවා ගෙන සිටින අයුරු අප දන්නවා. 16 වන සියවස දක්‌වාම, එනම් වඩාත් වාසිදායක ලෙස වර්ධනය වූ පෙර - අපරදිග වෙළෙඳ සබඳතාවෙන් කොටසක්‌ ඩැහැගැනීම සඳහා යුරෝපීය වෙළෙඳුන් ඔවුන් සමඟ තරග කළ යුගය දක්‌වාම මේ තත්වය පැවතුණා.

මුqල් යුගයේ මීට සමාන්තරව තවත් දෙයක්‌ සිදුවුණා. ඒ තමයි චීනයත් ඉන්දියාවත් යුරෝපයත් අතර ගොඩබිමින් හා මුහුදින් භාණ්‌ඩ ප්‍රවාහනයත් සමග බුදුදහම මියෑන්මාරයේ ශ්‍රී විජය රාජධානියේ සිට ඊසානදිග ආසියාවේ ඈත කෙළවර දක්‌වාම ව්‍යාප්ත වීම.

ප්‍රධාන වශයෙන්ම වෙළඳුන් හා ව්‍යාපාරිකයන් හරහා බුදු දහමත් ඉස්‌ලාම් ධර්මයත් ආසියාකරය හරහා ව්‍යාප්තවීම නිසා මේ කලාපයේ සෙසු ආගම් අතරත්, ජන සමාජ අතරත්, සංස්‌කෘතීන් අතරත්, ඉවසීම, කරුණාව හා දයාව පැතිරී ගිය බව උපකල්පනය කරන්නට පුළුවන්.

වර්තමානය දෙස බලන විට ගෝලීයකරණයේ සහ බටහිර නව ලිබරල්වාදයේ බලපෑම් මත ගෝලීය ආර්ථික ව්‍යQහයේ කඩිනම් වෙනස්‌කම් රැසක්‌ සිදුවනු අපට දක්‌නට ලැබෙනවා. මේ වෙනස්‌කම් තවත් වසර ගණනාවක්‌ සිදු වේවි. එසේ නැතිනම් ඒවායේ පූර්ණ බලපෑම අපට දැනෙන්නට වසර ගණනාවක්‌ හෝ දශක කිහිපයක්‌ ගතවේවි.

තවත් වසර ගණනාවක්‌ යනතෙක්‌ බටහිර ජාතීන් ගෝලීය වෙළෙඳාම හා ප්‍රාග්ධන ගලනය වෙත ඔවුන්ගේ අණසක පතුරුවන්නට ඉඩ ඇතත්, ඒ සංවර්ධිත රටවල සැබෑ මධ්‍යම පන්තියේ ආදායම එකතැන ර¹ පවත්නා බව නිරීක්‍ෂණය වෙනවා.

එසේම පෙර-අපර දෙදිග වෙළෙඳාමේ සමස්‌ත ක්‍රියාශීලීත්වයම වඩාත් සංකීර්ණ වන්නේ නැගී එන වෙළෙඳපොළවල් හරහා ලාභදායී සහ ඵලදායි තරුණ ශ්‍රමිකයන් ප්‍රාමාණික වශයෙන් වැඩිවීමත්, ඔවුන් නිපදවන භාණ්‌ඩ හා සේවා සඳහා කැපී පෙනෙන පාරිභෝගික ජනතාවක්‌ එක්‌ කර ගැනීමට හැකිවීමත් නිසයි.

අත්ලාන්තික්‌ හා ඉන්දීය සාගරයත් මධ්‍යම ආසියාවත් අතර විහිදී පැතිරී ගත් ඉස්‌ලාමීය ජාතීන් ලෝකයේ නැගී එන දැවැන්තම පාරිභෝගික වෙළෙඳපොළවල් වන චීනයේ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ වර්ධනය වන ජනගහණය හරහා අස්‌වැන්න නෙළා ගැනීමට කටයුතු කරනු ඇති. නමුත් එතැනදී අපමණ අභියෝගයන් පමණක්‌ නොව අවස්‌ථාවන් ද අප වෙත එල්ල වෙනවා.

දැන් අප අභිමුවෙහි පැහැදිලිවම දකින්ට ඇති අවස්‌ථාව වන්නේ අප්‍රිකාවත් මැද පෙරදිගත් දකුණු හා අග්නිදිග ආසියාවත් අතර වෙළෙඳාම වර්ධනය වීමට එරෙහිව තිබූ ඓතිහාසික බාධක ඉවත්වීමයි.

සමස්‌ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩුදෙන මූලික සාධකය වන්නේ මීළඟ සියවසේදී අන්තර් ආසියාතික වෙළෙදාම පුළුල් කිරීම බව අප අමතක නොකළ යුතුයි. කෙසේ වෙතත් ඉදිරි දශකයේදී අන්තර් ආසියානු වෙළෙඳ බාධක ඉවත් කිරීමේ වැදගත් පියවර සිදුවන බව අපට දකින්න තියෙනවා. මෙය මුලික වශයෙන් ආසියානු අපනයනවලට බටහිර ලෝකයේ ඉල්ලුම අඩුවීමට ප්‍රතිචාරයක්‌. නමුත් වඩා වැදගත් වන්නේ එමගින් ආසියානු රටවල ඒක පුද්ගල පාරිභෝගික ආදායමෙහි ශක්‌තිමත් වර්ධනය පිළිබිඹු වන නිසයි.

අද බිලියන 1.7 ක මහා ජනගහනයක්‌ ද ලෝක බැංකුව පෙන්වාදෙන අන්දමට ලෝකයේ ඉහළම වර්ධන වේගය ද හිමි දකුණු ආසියාව ජීවත් වීම සඳහා යහපත් ම කලාපයයි.

බටහිර ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට ලැබෙන අවස්‌ථා වැඩි දියුණු කර ගන්නා අතරම, බුදුදහම, හින්දුදහම සහ ඉස්‌ලාම් දහම පදනම් කරගත් අපේ අනන්‍ය සංස්‌කෘතීන් ඔස්‌සේ ද පාඩම් උගත යුතුව තියෙනවා. උදාහරණ ලෙස දක්‌වතොත් ඉස්‌ලාම් වෙළෙඳ නීතියෙන් අනාගමික රාජ්‍යයන්ට උගත හැකි දේ බොහොමයි. විශේෂයෙන්ම සාධාරණ කර්මාන්ත සබඳතා, සාධාරණ කොන්ත්‍රාත්, වෙළෙඳ ඒකාබද්ධතා, පොලී බරෙන් නිදහස්‌ කිරීම ආදී ඉස්‌ලාම් සංකල්ප මෙහිදී අවධාරණය කළ හැකියි.

1970 ගණන් වලදී දකුණු ආසියාවේ ආර්ථිකය නිදහස්‌ කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ මගේ රට වන ශ්‍රී ලංකාවයි. දකුණු ආසියාවේ ආර්ථික නිදහස උපරිමයෙන්ම තිබෙන රට ලෙස ශ්‍රී ලංකාව ශේ්‍රණිගත වී තියෙනවා.

අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන්ම සැදුම්ලත් ජාතික රජයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීම උදෙසා සම්මුතිවාදී දේශපාලනයක්‌ හඳුන්වා දෙමින්. මේ දේශපාලනික ප්‍රවේශය ඔස්‌සේ දේශපාලනික ස්‌ථාවරත්වය පමණක්‌ නොව ස්‌ථාවර ආර්ථික වැඩ රාමුවක්‌ ඇතිකිරීමේ ද්වි පාර්ශ්වික එකඟතාවක්‌ ද ඇතිව තියෙනවා. දශක ගණනාවක්‌ තිස්‌සේ බෙදී වෙන්වී ක්‍රියා කළ දේශපාලන පසුබිමෙක මේ නව ප්‍රවණතාව කාලීන අවශ්‍යතාවක්‌. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්‌කරණවලට ලැබෙන්නේ නව ජවයක්‌.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන අභිලාශයක්‌ වූයේ ඉන්දීය සාගරයේ භූ ආර්ථික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වීමයි. මේ බලාපොරොත්තුව සහිතව, යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැල්ස්‌මක්‌ හා බැඳුණු මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්‌කරණ සමුදායක්‌ හඳුන්වාදීමට අප ක්‍රියා කරනවා.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. µවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම් පෙරේරා, පස්‌ අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ අවස්‌ථාවට එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.