ශිෂ්‍ය පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සුභ පැතුම්
මිලියන 18 කට වැඩි ශිෂ්‍යත්ව 300 ක්‌ වාර්ෂිකව පිරිනමයි


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනය මගින් 2013 වසරේ දී දියත් කළ SLI LIFE සුභ පැතුම් ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය හරහා මේ වන විට වසරකට සිසුන් 300 ක්‌ වැනි ප්‍රමාණයක්‌ වාසි ලබා ඇත. 2014 හා 2015 වසර වලදී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර මෙම වසරේද 300 ට අධික සිසුන් ප්‍රමාණයක්‌ මෙම ශිෂ්‍යත්ව ලැබීමට නියමිතය. දැනටම අදාළ සිසුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස්‌ පෙළ විභාග වලට විශිෂ්ටම ප්‍රතිඵල ලබාගන්නා අයෑදුම්කරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන අතර වසරකට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ විසින් රුපියල් මිලියන 18 වැනි මුදලක්‌ මේ සඳහා යොදවයි.

5 වසර ශිෂ්‍යත්වය හා අපොස සාමාන්‍ය පෙළ විභාග වලට පෙනී සිට දිස්‌ත්‍රික්‌කයේ උසස්‌ම ප්‍රතිඵල ලැබූ අයදුම්කරුවන් හතරදෙනාට වසරකට රුපියල් 20000 හා 40000 බැගින් ශිෂ්‍යත්ව ලැබෙන අතර උසස්‌ පෙළ විභාගයට පෙනී සිට විද්‍යා, ගණිත, වාණිජ හා කලා යන විෂය ධාරා හතරෙන් උසස්‌ම ප්‍රතිඵල පෙන්වූ සිසුන් 4 දෙනා බැගින් තෝරාගෙන රුපියල් 50000 බැගින් ශිෂ්‍යත්ව ලබා දේ. මෙම ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇති විශේෂ ලක්‌ෂණය වන්නේ අයදුම්කරුවන් ශිෂ්‍යත්වයක්‌ ලැබීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් භාරකරුවන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ රක්‌ෂණ ක්‍රම යටතේ බැඳී සිටීම අත්‍යාවශ්‍ය නොවීමයි. නමුත් මෙම රක්‌ෂණ සමාගමේ ජීවිත රක්‌ෂණ හිමි අයගේ ළමුන් සඳහා වඩා දිගු කලක්‌ ඔස්‌සේ (05 වසර ශිෂ්‍යත්ව සමතුන්ට වසර 5 ක්‌, සාමාන්‍ය පෙළ සමතුන්ට වසර 02 ක්‌ හා උසස්‌ පෙළ සමතුන්ට වසර 03 ක්‌) ලෙස ශිෂ්‍යත්ව හිමිවන අතර අන් සිසුන්ට මෙම ප්‍රතිලාභ ලැබෙන්නේ වසරක්‌ පමණි. තමා ලබාගෙන ඇති ජිවිත රක්‌ෂණය අවසන් වීමට නොදී දිගටම පවත්වාගෙන යාමෙන් මෙසේ තමාගේ දියණියට, පුතාට දිගු කලක්‌ තුළ මෙමගින් ප්‍රතිලාභ ලැබීමට හැකියාව ඇත.

දැයේ දූ දරුවන්ගේ දක්‌ෂකම් ඇගයීමට මෙම ශිෂ්‍යත්ව ක්‍රමය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ මගින් දියත් කර ඇති අතර 2016 වසරේද සැප්තැම්බර්, ඔක්‌තෝම්බර් මාසයේදී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.