එවැන්නක්‌ යළි නොවේවා!

පුරා අවුරුදු 26 ක්‌ තිස්‌සේ මෙරට පැවැති සිවිල් යුද්ධයේදී අතුරුදන් වූ ගණන 65000 ක්‌ පමණ වන බව මේ අවුරුද්දේ ජුනි මස 6 වැනිදා නිකුත් වූ රොයිටර් වාර්තාවක සඳහන් විය. 88 - 89 භීෂණ යුගයේදී අතුරුදන් වූ ජවිපෙ සාමාජිකයන් ගණන ද එකතු කළොත් ඉහත සඳහන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නට ඉඩ ඇත. ඊට අමතරව ඒ කාලයේදී යූ.එන්.පී. කාරයන් විසින් ශ්‍රී ලංකාකාරයන්ව ද, ශ්‍රී ලංකාකාරයන් විසින් යූ.එන්.පී.කාරයන්ව ද මේ දෙගොල්ලම එකතු වී කිසිදු දේශපාලනයකට නැති තම විරුද්ධවාදීන්ව ද අතුරුදන් කරන ලදහ. ඊට අමතරව ජවිපෙ සන්නද්ධ අංශය ද තම විරුද්ධවාදීන් අතුරුදන් කළේය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී යුද්ධයෙන් අතුරුදන් වන ගණන ගැන මුලින්ම ගණන් තබන්නට පටන් ගත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ය. ඒ 1990 සිට ය. එදා සිට යුද්ධය නිමවන තුරු අතුරුදන් වූ පුද්ගලයන් 16064 ක්‌ ගැන තොරතුරු ඔවුන් සතුව තිබේ. ඒ අතර එම ගණන 40000 ක්‌ පමණ වෙතැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ගණන් හැදුවේ ය. ආණ්‌ඩුවේ නිලධාරියාගේ පටන් පුවත්පත් කලාවේදියා දක්‌වාත්, ඉංජිනේරුවාගේ පටන් මේසන්බාස්‌ උන්නැහේ දක්‌වාත් මෙසේ අතුරුදන් වූ අය අතර වෙති.

කෙනෙකු අතුරුදන් වූ විට සුවිශාල ප්‍රායෝගික ප්‍රශ්න පැන නගී. එවිට ඔහුගේ දේපළ සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගැනීමට යෑපෙන්නන්ට නීතිමය අවකාශයක්‌ නැත. ඔහුගේ බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගන්නට යෑපෙන්නන්ට අවකාශයක්‌ නැත. හත් අවුරුද්දක්‌ යන තුරු ඔහු ගැන කිසිදු ආරංචියක්‌ නැත්නම්, ඔහුගෙන් දුරකථන ඇමතුමක්‌ හෝ ලිපියක්‌ නැත්නම්, උසාවි ගොස්‌ අවුරුදු 20 ක්‌ පමණ නඩු කියා ඔහුගේ දේපළ අයිතිකර ගන්නට උරුමක්‌කාරයන්ට හැකිය. එහෙත් මේ කාලය වන විට ඔහුගේ උරුමක්‌කාරයන්ට ද පරලොව යන්නට කාලය හරිය. එබැවින් පරලොවදී හමු වී නීතිඥ ගාස්‌තු හා නඩු ගාස්‌තු නැතිව ඔවුනොවුන්ට මේවා විස¹ ගැනීම වඩා පහසුය.

යුද්ධයේදී සහ පසුගිය කාලයේදී අතුරුදන් වූ අය සම්බන්ධයෙන් අතුරුදන්වූවන් සඳහා වූ සහතික නිකුත් කරන්නට ආණ්‌ඩුව තීන්දු කර ඇතැයි නොබෝදා අපි දැන ගතිමු. මෙය මරණ සහතිකයකට සමාන ලියෑවිල්ලක්‌ දැයි අපි නොදනිමු. එය මරණ සහතිකයට සමාන නම් ජීවත් වන එකාට ඉතා ප්‍රයෝජනවත් ය. එහෙම නැතිව අතුරුදන් වූ තැනැන්තා ඉන්නවාද - මළා ද යන ඡැබාසබට මට්‌ටමින් මේ සහතිකය එනවා නම් එයින් අතුරුදන් වූ එකාට මෙන්ම ජීවත්වන එකාට ද වැඩක්‌ නැත.

අතුරුදන් සහතික සමගම තවත් කතාවක්‌ මතු වී තිබේ. ඒ වූ කලී අතුරුදන් වූවන් ගැන සොයන්නට කාර්යාලයක්‌ ලංකාවේ විවෘත කරන්නට යන බව ය. අතුරුදන් වූ තැනැත්තා ගැන හොයන විට ඔහුට එම ඉරණම අත්කර දුන් තැනැත්තා හෝ කණ්‌ඩායම ගැන හෙළි වීමද නිතැතින් ම සිදුවෙයි. 1990 ජුනි මස 11 වැනිදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේදී පොලිස්‌ නිලධාරීහු 600 ක්‌ අතුරුදන් වූහ. එදින කොටි සන්නද්ධ අංශයේ නායක කරුණාගේ කණ්‌ඩායම් පැමිණ නැගෙනහිර පළාතේ පොලිසි වැටලූහ. එවිට ආයුධ බිම තබා කොටින්ට යටත් වන්නැයි එම පොලිස්‌ නිලධාරින්ට කොළඹ සිටි පොලිස්‌ ලොක්‌කා පණිවුඩයක්‌ යෑවීය. එසේ කරන ලෙස පොලිස්‌ ලොක්‌කාට අණ කළේ එවකට සිටි දේශපාලන ලොක්‌කාය. ලොක්‌කන් - ලොක්‌කන් මෙසේ වැඩ කරන විට යටත් වූ රාළහාමිලාත්, සාජන්ලාත්, එස්‌.අයිලාත්, අයිපීලාත් බස්‌වලට පටවාගත් කරුණාගේ කණ්‌ඩායම ඔවුන් කැලෑවකට ගෙන ගොස්‌ එක පෙළට තබා වෙඩි තබා මැරූහ. මරණයට පෙර සියතින්ම මිනී වළක්‌ කපා ගැනීම සඳහා ඔවුන්ට උදලු සහ මුල්ලු සපයන ලදහ. මේ සිද්ධියේ වගකීම භාරගත යුතු කරුණා පසු කාලයේදී සන්ධාන ආණ්‌ඩුවට සෙට්‌ වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති තනතුරට පත් විය. ප්‍රභාකරන් එවැනි සමූහ සංහාරයක්‌ කර ශ්‍රීලනිපයට සෙට්‌ නොවීම ගැන අප සතුටු විය යුතුය. එසේ වුණානම් ඔහුට ශ්‍රීලනිප සභාපතිකම හිමි නොවනු ඇතැයි කීමට කාටවත් බැරිය.

අතුරුදන් වූවන්ගේ කාර්යාලයට විදේශිකයන්ගෙන් වැඩක්‌ නැති බව අපි අවධාරණයෙන් කියමු. ඒ සඳහා සුදුසු ස්‌වදේශික විද්වතුන් ඕනෑ තරම් සොයා ගත හැකිය. සුද්දන් එකකු හෝ කිහිපදෙනකු මේ වැඩේට සම්බන්ධ වුණොත් එය සහසුද්දෙන් ම ඇනෙන බව අපි අත්දැකීමෙන් ම දනිමු. එක්‌සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කමිසුරු වූ නවනීදන් පිල්ලේ ලංකාව සම්බන්ධ වැඩ සෑහෙන තරමක්‌ ඇනූ බව අපි දනිමු. එබන්දක්‌ යළි නොවේවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.