චින්තන චින්තා






චින්තන ජයසේන අපගේ චින්තනය තුළ සදාකාලිකව ජීවත් වන්නකු යෑයි අප සිතන්නේ ඔහුගේ සිතුම් පැතුම් නිර්ව්‍යාජ නිර්භීතකමක්‌ උසුලන ලද නිසාය. එකී නිර්ව්‍යාජ අභීතකම දැවටුණු, ඔහු නිරත එක්‌ කලා මාධ්‍යයක්‌ වනුයේ චිත්‍රපට විචාරයයි. ඔහු චිත්‍රපට ගැන ලියා පළ කළ ලිපි පිරික්‌සද්දී අප ඔහුව හඳුනා ගනුයේ සිනමා විචාරකයකුටත් වඩා සිනමා බැතිමතකු වශයෙනි. සිනමා බැතිමතකු විචාරශීලී වනුයේ ඇතැම් විට ආවේගශීලී සංවේදීකමකිනි. බඩගෝස්‌තරික චිත්‍රපටවලට චින්තන පහර දුන්නේ චණ්‌ඩ සිනමා බැතිමතකු ලෙස ය. ඔහු නිර්භීත ලේඛකයෙකි. ඔහුගේ අභිප්‍රාය වූයේද යහපත් සිනමාවකි.

විචාරයකටත් වඩා චින්තනගේ සිනමා ලියෑවිලි තුළ තිබුණේ තදබල විරෝධයකි. එම තදබල විරෝධය එතරම් දරුණුවට ඔහු තුළ හට ගැන්වූයේද ඇතැම් චිත්‍රපටකරුවන් ම ය. චින්තන ජයසේනගේ විරෝධාකල්පවල පළමු උරුමක්‌කරුවෝ යනු චිත්‍රපට ජාවාරම්කරුවෝම වෙති.

චින්තන ජයසේනව සමීපව ඇසුරු කළ එනම් අඩිපුඩි ගැසූ සමීපතමයන් ඔහු ගැන කියන කතා කට ඇරගෙන අසා සිටින නොදරුවන් වන අප ඔහු ගැන සිතන්නේ පිටත සිට මෙම චරිතය දෙස බලා සිටින ස්‌වාධීන නිරීක්‍ෂකයන් සේය. ඔහු පිළිබඳ කවර කතා ඔවුන් කීවද ඒ සියලු කතා මැදින් චින්තන මතු වන්නේ නිර්ව්‍යාජ වීරයකු සේ ය.

චින්තන ජයසේනගේ චරිතය පිළිබඳව සිය සහෘද සගයන් කියන කතා මෙන් ම ඔහු අන් චරිත ගැන ලියූ කතාද ඔහු කෙබඳු චරිතයක්‌ දැයි කියා පායි. ඒවා නිකම්ම නිකං කතා නොවේ.

අනූව දශකයේ මුල් භාගයෙහි ආචාර්ය සරත් අමුණුගම විද්වතාගෙන් ලද ඇරයුමක්‌ මත චින්තනගේa "කොලම" පත්තරය යළි ඇරඹිණි. "කොලම" පත්තරයට චින්තන ලියූ ලිපි කියවන විට අපට දැනෙන පළමු හැඟීම වනුයේ ඒවා අනෙක්‌ දැනවතුන් ලියන ලිපිවලට වඩා වෙනස්‌ම වෙනස්‌ බවයි. එම වෙනස යනු නිර්ව්‍යාජකමයි. විවෘත නිර්භීතකමයි. හෘදයාංගම ප්‍රහාරාත්කමක බවයි. ජන සන්නිවේදනය පිළිබඳ ශාස්‌ත්‍රාලීය යෝධයන් මෙම අපූරු චින්තකයා ගැන දැන්වත් හදාරන්නට සිතිය යුතුය. ජන සන්නිවේදනය හදාරන වත්මන් ශිෂ්‍ය පරම්පරාව විභාග සමත්වීම සඳහාම තම න්‍යායාචාර්යවරුන්ගේ සටහන් කියවනවාට අමතරව ද යමක්‌ ඇතැයි එවිට සිතනු ඇත. න්‍යායාචාර්යවරුන්ගේ සටහන් කට පාඩම් කොට විභාග සමර්ථ වූ සන්නිවේදන සිසු පරම්පරාව චින්තන ජයසේන ගැන දන්නේ ද? ජන සන්නිවේදනයෙන් උසස්‌ අධ්‍යාපනය ලබා වුවද සන්නිවේදකයන් නොවන තම සිසු පරම්පරාව සංඛ්‍යාත්මකව කොතරම් දැයි මෙරට ශාස්‌ත්‍රාලීය උගතුන් විසින් ගණන් බැලීම චින්තන ජයසේනලාගේ පත්තර කලාව හැදෑරීම තරම්ම වටී.

"කොලම" පුවත්පත යළි අරඹන්නට චින්තන සමඟ එකතු වූ තිස්‌ස කොරතොට නම් වූ මාධ්‍ය දැනවතා තම සහෘද හිතවතා වන චින්තනව හඳුන්වන්නේ "හිත හොඳ නාස්‌තිකාරයකු" ලෙස මිස කැපීම්, සීරීම් හෝ කෝන්තර වැඩ කිසිවක්‌ නැත්තකු ලෙස ය. සොත්ති උපාලිගේ සිට මහාචාර්ය සෝමරත්න බාලසූරිය දක්‌වාද, කොල්ලුපිටිය ත්‍රීවීල් සුගතේගේ සිට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්Aඨ නිලධාරියකු වූ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී උපාලි සිල්වා දක්‌වාද, බොරැල්ල කාසල් වීදියේ "හෙල්ත් ක්‌ලබ්" හි බාර්මන් කෙනකු වූ ප්‍රේමරත්නගේ සිට අජිත් සමරනායක දක්‌වාද දේශපාලන හා කලා ලෝකයේ විවිධ අය ආගිය, "ඇසුරු කළ" මෙ තැන අමුතුම ජාතියේ පත්තර කන්තෝරුවකි. චින්තනගේ "කොලම" කාර්යාලය ගැන තිස්‌ස කොරතොටගේ විග්‍රහය එබඳුය."ඇසුරු කළ" යන වදන් විශේෂණ කොමා යොදා වඩාත් ඉස්‌මතු කිරීමෙන් ම චින්තනගේ මිනිස්‌ ආශ්‍රය අඩියක්‌ ගැසීමක්‌ ද වී යෑයි අනුමාන කළ හැක්‌කේ ඔහු ගැන දන්නා අයට පමණි. "අඩියක්‌ ගැසීම" යනු "මත්පැන් පානයම" නොවේ.

"කොලම පත්තරේට චින්තන ලියූ කතා අතර විවිධ ප්‍රකට පුද්ගලයන් ගැන අප්‍රකට කතා විය. එම කතා පුද්ගලයන් රාශියකගේ චරිත කතා එක්‌ පරිච්ඡේදයකට සංක්‍ෂිප්ත කළ අනගි රචනා ය. මහාචාර්ය සුනිල් ආරියරත්නත් හිටපු ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් හැරල්ඩ් පීරිස්‌ හා චින්තන එකල ඇන්දේ ස්‌පෝට්‌මීට්‌වලට ගැහැනු ළමුන් අඳින ටසෝ කලිසම් ය. සුනිල්ගේ ගෙදර චින්තනලාගේ නිවහන විය. නුගේගොඩ තිලක උයනේ නිවාස රැසක්‌ හිමිව තිබුණේ සුනිල්ලාටය. චින්තනගේa පත්තර භාෂාවෙන් ම කියනවා නම් මෙසේ ඔවුන් "සැට්‌ වී සිටින සමයේ සුනිල් ආරියරත්න ඔහුගේ ප්‍රථම නවකතාව ලීවේය. "ජීවිතය ගීතයක්‌ වේවා".

මෙය අඩු ගාණකට මුද්‍රණය කරගන්නට බොරැල්ලේ මාධව මුද්‍රණාලය පංගරාත්තු කළේ චින්තනය ය. සුනිලුත් චින්තනත් රෑ එළි වී හෝ පොත ගෙන යැමේ ආසාවෙන් මුද්‍රණාලයේම නැවතුණහ. එකල රෑට ගෙදරින් පිට යන්නට නොදෙන සුනිල්aට ඒ රැය නිවසින් පිට යන්නට සිය පියා අවසර දුන්නේ චින්තන විසින් කරුණු පහදාදීමෙන් පසුය. ජීවිතය ගීතයක්‌ විය.

රෑ අටට පමණ මාධව මුද්‍රණාලයේ අධිපති විමලසේන වන්නිආරච්චි මහතා යතුරුබාරදී පිටවී ගියේය. ජීවිතය ගීතයක්‌ වේවා" මුද්‍රණය වන්නේ පයින් පාගන ප්ලේටින් මැසිමකය. මදක්‌ රෑ වෙද්දී ගෝලයා වැඩ නතර කළේය. පොත බිහි වනතුරු කට ඇරගෙන සිටි සුනිල් සහ චින්තනගේ කටවල් වැසිණි. චින්තන ගෙනා හදිසි යෝජනාවකට අනුව සුනිල්ගේද ස්‌ථිරත්වයෙන් "ඩියුරෝයි" බාර් එකෙන් අරක්‌කු කාලක්‌ ගෙනැවිත් ගෝලයා වෙත ප්‍රදානය කෙරිණි. ඔහු එය එක හුස්‌මට ඇද දැම්මේය. දැන් වැඩේ නියමෙට කරාවි යෑයි සුනිල්, චින්තන දෙමිතුරෝ සිතූහ. "කාලා බීලා නිදාගන්නව මිසක්‌ වැඩ කරනවද" කියා ගෝලයා කඩදාසි රිම් කවරයක්‌ එළා නිදා ගත්තේය. සුනිල් අප්සට්‌ ගැසුවේය. චින්තනට "ගුත්තිලය" මතක්‌ විය. ගෝලයා නිදිය. චින්තන "ගුත්තිලයෙහි" පද දෙකක්‌ ලියා ගෝලයාගේ පපුව උඩින් තැබුවේය.

"අප ඔහුට දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගෝර සප්"

ටික වේලාවකින් මදුරුවෙක්‌ කෑම නිසාදොa ගෝලයාට ඇහැරිණි. තම පපුව උඩ තබා තිබුණු කවි දෙපදය දුටු විගසම වහා නැඟිට යළිත් මුද්‍රණය පටන් ගත්තේය. සුනිල්ටත් චින්තනටත් හරි සතුටුය.

මහ රෑ ඔවුහු බොරැල්ල පේව්මන්ට්‌ එක දිගේ ඇවිදිමින් සිටිති. මාධව මුද්‍රණාලයට කඩ තුනකට එහායින් විඡේරත්න මල්ශාලාව විවෘතව ඇත. මිනීපෙට්‌ටි සාප්පුවල දොරවල් රෑ එළිවනතුරු වසන්නේ නැත. විඡේරත්න මුදලාලි රේස්‌ කොලයක්‌ බලමින් සිටී. සුනිල් - චින්තන නිශාචරයන් මිනී පෙට්‌ටි දෙස බලනවා දුටු විඡේරත්න මුදලාලි රේස්‌ කොලය පසෙකලා දෙමිතුරන් වෙත ආවේය. "මහත්තයා මිනී පෙට්‌ටි හරි ලස්‌සනයි නේද? දැක්‌කහම මැරෙන්න හිතෙනව නේද?

කෙසේ හෝ පසු දින පාන්දර පහ වෙද්දී පොත් 10 ක්‌ සකස්‌ කර ගන්නට චින්තන - සුනිල් දෙසගයෝ සමත් වූහ. උතුරා යන ප්‍රීතියෙන් යුතුව තිලක උයනට ගියහ. "ජීවිතය ගීතයක්‌ වේවා".

චින්තනගේ ජීවිතය නැවතුණු වග සැළවූ විගස මා තිස්‌ස කොරතොට චින්තනගේ කතා එකතු කොට 2005 දී එළියට දැමූ "චින්තන කතා" නමැති පොත යළිත් කියවන්නට පටන් ගතිමි. ඉහත සැකෙවින් පෑ කතාන්දරය ඉන් පිටතට ගෙන කෙටි කරන ලද්දකි. චින්තනගේ කතා ඉතාමත් කෙටි වුවත් අප මෙහි ලීවාට වඩා දිගය. චින්තනගේ කෙටිම කෙටි කතාන්දර තුළ ඇත්තේ ඉතා විශාල බරක්‌, ගැඹුරක්‌ ඇති සිද්ධි මාලා ය. දැවැන්තයන්ගේ ක්‍ෂුද්‍ර සිදුවීම් ය. නමුත් ඒ කතා සහ ඊට නිමිති වූ චරිත නම් සුවිශාල ය. එම පොතට චින්තනගේ චින්තනයට උචිත චිත්‍ර ඇන්දේ ශාන්ත කේ. හේරත් ය.

චින්තනගේ කතා කියෑවූ විගස තමා තුළ ඇති වූ ක්‍ෂණික හැඟීම් වනුයේ ඔහු "ජීවමාන භූතයකු" බව යෑයි ජයන්ත චන්ද්‍රසිරි කියා ඇත. කලක්‌ අපගේ වීරයන් වූ හෝ මොඩලයන් වූ හෝ මිනිසුන් වෙතට ඔහු මේ කතා මගින් අප කැඳවාගෙන යයි. ඔවුන් සමග මධුවිතක්‌ පානය කිරීමට සලස්‌වයි. නිවැරැදිව කියනවා නම් පොඩිඅඩියක්‌ ගැසීමට සලස්‌වයි. යනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි චින්තනගේa කතා අරභයා ලියන පසුවදනක සඳහන් ය. (මත්පැන් විරෝධී අරගලකරුවන්ගේ දැන ගැනීම පිණිස නැවතත් අවධාරණය කරනුයේ අඩියක්‌ ගැසීම හා මත්පැන් පානය අතර වෙනසක්‌ ඇති බවය.)

විජය කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට ආ හැටි සහ ඔහු දක්‍ෂ කථිකයකු වූ හැටි චින්තනගේa රසවත් කතා අතර වෙයි.

හැත්තෑ හතේදී විජයට නොමිනේෂන් ලැබී මුලින්ම ආවේ බුලර්ස්‌ පාරේ පිහිටි සෝමසිරි දෙනිපිටියගේ කන්තෝරුවටය. විජය කටානට ඉල්ලන පුවත අසා චින්තනලා ඔටර්ස්‌ ක්‍රීඩා සමාජයට ගොස්‌ ප්‍රීතිය භුක්‌ති වින්දොaය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මංගල රැලිය පවත්වන ලද්දේ බෝගම්බර පිටියේය. ඊට සහභාගි වීමට විජයලා නුවර බලා පිටත් වූයේ විජයට ඒ දවස්‌වල තිබුණු "ෆොaඩ් කෝටිනා" රථයෙනි. එය පැද වූයේ චින්තන ය. "මචං මං වේදිකාවල කතා කරලා නැහැ. දැන් මොනවද කියන්න ඕන."

චින්තන පවතින තත්ත්වය පිළිබඳ විස්‌තරයක්‌ විජයට කටපාඩම් කරවූයේ රිය පදවන අතරතුරය. අනෙක්‌ අසුනෙහි සිටි ජිනදාස නිශ්ශංක ඊට අලගු තැබුවේය. බෝගම්බර රැලියට විශාල ජනකායක්‌ රැස්‌ව සිටියහ. විජය රියෙන් බසිනවාත් සමඟ රසිකයෝ ඔහු කර තබා ගත්හ. යාර පන්සියයක්‌ පමණ විජය වේදිකාවට ගියේ රසිකයන්ගේ කර පිටිනි.

නුවර ගුඩ්ෂෙඩ් බස්‌ ස්‌ටෑන්ඩ් එකේ පෙරේරා හෝටලය අයිති නිව්ටන් පෙරේරා විජයලා එන ආරංචියට බෝතල් පාටියක්‌ ලෑස්‌ති කර තිබිණි. මහනුවර "සුරසේ" තිබුණු එම පාටියට ධර්මසේන පතිරාජ, අමරසිරි කලංසූරිය, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙනිපිටිය, ජිනදාස නිශ්ශංක වැන්නෝද සහභාගි වූ බව චින්තන ලියයි. එහෙත් මේ සතුටු මොහොතේ විජය පසු වූයේ ශෝකාකූල ස්‌වභාවයකිනි. චින්තන කරුණු විමසයි. විජය කාරණය කීවේය. රසිකයන් විසින් එනම් විජයව කර තබාගෙන යන විට දිගින් දිගටම ආසාවට මෙන් ඔහුගේ වෘෂණ කෝෂ මිරිකූ බවය. ඉන් පසු විජය යන සෑම රැස්‌වීමකටම චින්තනලාට ද යැමට සිදු විය. හයිහත්තිය අතින් අන් සියල්ලන්ටම වඩා ශක්‌තිමත් ව සිටි ජිනදාස නිශ්ශංක විජයව කරට ගනී. බෙල්ලෙන් හා කකුල් දෙකෙන් අල්ලා ගන්නේ ස්‌ටැන්ලි සහ චින්තනය.

නළු දේශපාලනයේ අතීතය ලියන චින්තන තවත් කාරණයක්‌ අවධාරණය කරයි. එනම් ජිනදාස නිශ්ශංක උප්පත්තියෙන් ම යූ. ඇන්. පී. කාරයෙකි. ඔහු විජය සමග ආවේ යාළුකමට විනා දේශපාලනයට නොවේ. ජිනදාස නිශ්ශංක අනෙක්‌ පැත්තෙන් ගාමිණී ෆොන්සේකා සමග ද යූ. ඇන්. පී. වේදිකාවෙන් රට වටා ගියෝය.

විජය නොමිනේෂන් දෙන දවසේ චින්තනලා නළු නිළි රැස්‌වීමක්‌ සංවිධානය කළ අතර ඊට නළු නිළියන් සහභාගි වීම වැළැක්‌වීමට පසුව ශ්‍රී ලනිපයේ පතාක යෝධයකු වූ නීල් රූපසිංහ මහතා විධි විධාන යෙදූ බව චින්තන ලියයි. අඩුම තරමින් විජය සමග එකටම සිටි විමල් කුමාර ද කොස්‌තාවත්, විජය සමග "කරුමක්‌කාරයෝ" චිත්‍රපටයේ රඟපෑ ගීතා කුමාරසිංහවත් එම රැස්‌වීමට ආවේ නැත. "කරුමක්‌කාරයෝ" නිෂ්පාදක සනී සියඹලාපිටියත්, චින්තනත් එවක කොළඹ පාක්‌ රෝඩ්හි පදිංචිව සිටි ගීතාගෙන් පෞද්ගලිකවම ඇරයුම් කළ ද ඇය නොපැමිණි බව චින්තන "කොලම" පත්තරේට ලියයි.

ගාමිණී ෆොන්සේකා සමග සිය නිවසේදී හමුවූ විටක (සැට්‌ වූ විටක) සිනමාව ගැන, රට තොට ගැන දේශපාලනය ගැන දිගු කතාබහක යෙදී සිටියදී හදිසියේම විජය කුමාරණතුංග ද මාතෘකා විය. විජය ගැන ගාමිණී කී දෙයක්‌ මන්මත්ව සිටියද චින්තනට මතක තිබුණේය.

"නළුවෙක්‌ ඕනවට වඩා සමාජෙට හෙළිදරව් වෙන්න හොඳ නෑ. ඕනවට වඩා එළිපෙහෙළියේ හිටියම මිනිස්‌සු ගණන් ගන්නේ නෑ."

ගාමිණී එසේ කියන්නට හේතුව එකල තල කොටුවවත්තේ පදිංචිව සිටි විජය, තම මෝටර් බයිසිකලයෙන් නිතර එහෙ මෙහෙ යමින් අතරතුර ඕනෑම කෙනකුට අත වනා යැම සිරිතක්‌ කොට තැකූ නිසා විය යුතුය. ගාමිණී ගේ කතාවේ යම් ඇත්තක්‌ ඇතැයි චින්තන ලියයි.

එකල "සිත්සර" පත්තරයට සිනමා විචාරය ලියමින් සිටි චින්තන ගාමිණී රඟපෑ "හිත හොඳ මිනිහෙක්‌" ගැන ද ලීවේය. එම විචාරය පළ වූ "සිත්සර" පත්තරය හා පිස්‌තෝලයක්‌ ද රැගෙන සේනක පෙරේරා තමා හමුවන්නට ආ හැටි චින්තන මතක්‌ කරයි.

"මොනවද යකෝ තෝ මේ ගාමිණී ගැන ලියල තියෙන්නේ"

ගාමිණී සමග අප්‍රමාණ හිත හොඳ මිනිහෙක්‌ වන සේනක අමු කුණුහරුපයෙන් චින්තනට බැණගෙන බැණගෙන ගියේය. මුළු කන්තෝරුවම කලබල වෙද්දී චින්තන සේනකව ද රැගෙන පිටතට පැමිණ සේනකගේ රථයෙන්ම හැව්ලොක්‌ ක්‌ලබ් aඑකට ගිය හැටි චින්තන ලියයි. පසුව මෙම සිද්ධිය චින්තන ගාමිණීට කියයි. ගාමිණීගේ පිළිතුර "ඕකා ඔහොම තමයි. හොඳ එකා. ලබන සුමානෙත් මට බැණලා තව එකක්‌ ලියපං. උඹට හොඳට සලකයි." යනුවෙනි. හේමාල් රණසිංහගේ සපැමිණීම ගැන "මව්බිම" පත්තරේ මගේ අදහස විමසද්දී රන්ජන්ලා, සනත්ලා වැනි වයස පෙම්වතුන් දැක එපා වී ඇති අපට අලුත් තරුවක්‌ අවශ්‍ය යෑයි කී මගේ නිදහස්‌ මත දැක්‌වීමට රන්ජන්ගෙන් මා ලද ප්‍රතිචාරය හෙළි කිරීමට තවම වේලාසන වැඩිය.

ඉංජිනේරු බළකායේ විශ්‍රාමලත් හමුදා නිලධාරියකු සමග චින්තනගේ "සුරස" කාර්යාලයේදී ආර්. ආර්. සමරකෝන් සමග සැට්‌ වූ දාක "මේ තමයි "කැලණි පාලම" හදපු ආර්. ආර්" යෑයි චින්තන ජයසේන හමුදා නිලධාරියාට සමරකෝන්ව හඳුන්වා දුන්නේය. "ඔයා වැඩ කළේ කැලණි පාලමේ මොන කෑල්ලෙද. මම තමයි කැලණි පාලම හදනකොට ඉංජිනේරු අංශය භාරව සිටියේ."

චින්තනගේ කතා කියවමින් විඳිමින් කල් යවද්දී ඒවා යළි සැකෙවින් ලියන්නට යැම ඔහුට කරන නිගරුවකැයි සිතේ. චින්තනගේ ලියෑවිලි සොයා කියවන ආශාවෙන් ඔහු පිළිබඳ ලියන මෙම ලියෑවිල්ල නවතන්නේ තවත් හේතුවක්‌ නිසාය. එනම් චින්තන ජයසේනව ළඟින් ඇසුරු කළ මිතුරන් දන්නා කතා නොදන්නා අප කොතරම් ක්‍ෂුද්‍ර ප්‍රාණීන් දැයි අපටම සිනා සෙමිනි.

අජිත් ගලප්පත්ති

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.