මෛත්‍රීට කොළඹදී ප්‍රහාරයක්‌
සැළසුම පොට්‌ටු අම්මාන් ගෙන්

ත්‍රස්‌තවාදය පරාජය වූ තවත් කතාවක්‌ - 04

* කොටි බුද්ධි අංශය කොළඹදී මෛත්‍රී යන එන තැන් සොයති...
* ප්‍රහාරය සඳහා සම්මුගරාසා ගජබාලනී ඕමන්තෙන් එයි...

ප්‍රභූ ඝාතන ඒ සඳහා වන සැලසුම් රටේ සාමාන්‍ය ක්‍රියාවලියක්‌ වන තරමට ත්‍රස්‌තවාදය විසින් රට අවියක්‌ කරගෙන සිටි බිහිසුණු කාලයක්‌ අපි පසු කළෙමු. රාජ්‍ය නායකයන් ප්‍රභූන් මෙන්ම අහිංසක වැසියන් සිය දහස්‌ ගණනින් ඝාතනය කළ මේ ම්ලේච්ඡ ත්‍රස්‌තයන් මුළු ශ්‍රී ලංකාවම මහා අගාධයකට ඇද දැමුවේය.

පොළොන්නරුවේ ඉපිද අනේකවිධ දුක්‌ඛ දොaමනස්‌සයන්ට මුහුණ දෙමින් රටේ පළමු වැනි පුරවැසියා වීමේ මහා භාග්‍යය උදාකර ගත් මෛත්‍රිපාල සිරිසේන මහතා ද කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධානම ඉලක්‌කයක්‌ බවට පත්ව සිටියේය.

වරක්‌ දෙවරක්‌ නොව පස්‌ වතාවක්‌ම මේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීහු මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට උත්සාහ කළහ.

වරක්‌ වැලිකන්ද ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට යද්දී එහි රැක සිටි මරාගෙන මැරෙන කොටි කාන්තාවක්‌ මෛත්‍රිපාල මහතා ඝාතනයට උත්සාහ කළාය.

පොළොන්නරුව කදුරුවෙල නගරයේදී පාපැදියක බෝම්බයක්‌ අටවා ගත් මරාගෙන මැරෙන කොටි ත්‍රස්‌තයකු මෛත්‍රිපාල මහතා මරා දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

තවත් වරෙක මෛත්‍රිපාල මහතාගේ නිවසට බෝම්බයක්‌ සවිකළ කේක්‌ පාර්සලයක්‌ රැගෙන ආ කොටි ත්‍රස්‌තවාදියකු එය පුපුරුවා හැර ඒ මහතා ඝාතනයට කළ උත්සාහය අසාර්ථක වුණේය.

වාසනාව හැම විටම තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැත්තේය. කාසල් වීදිය මංසන්ධියේදී කොටි ත්‍රස්‌තයන් එල්ල කළ ප්‍රහාරයකින් මෛත්‍රිපාල මහතා ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා දිවි ගලවා ගත් බිහිසුණු සිදුවීම මෙවර කොටසින් දිගහැරෙයි.

2008 වර්ෂය ආරම්භ වන විට කොටි සංවිධානය යුද්ධයේ අමිහිරිතම අත්දැකීම් විඳිමින් දරුණු පසුබෑමකට ලක්‌වෙමින් සිටියහ. ඒ වන විට නැගෙනහිර පළාත මුළුමනින්ම පාහේ රජයේ හමුදා පාලනය යටතට නතුව තිබුණේය.

කොටි සංවිධානය මුළුමනින්ම පරාජයට පත් කර රට බේරා ගැනීමේ බිහිසුණු සටන උතුරුකරය දක්‌වා රැගෙන යැමට වීරෝදාර රණවිරුවන් සමත්ව සිsටියහ. රජයේ හමුදා විසින් කොටි ත්‍රස්‌තයන් වෙත නොනවත්වා දරුණු ප්‍රහාර එල්ල කරමින් සිය ඉලක්‌කය කරා ගමන් කරමින් සිටියහ.

සිය ප්‍රධාන පෙළේ කඳවුරු එකින් එක බිඳ වැටෙද්දී කොටි නායකත්වය දැඩි ලෙස කලබලයට පත් වූහ. මොනතරම් දරුණු ප්‍රහාර රජයේ හමුදාවලින් එල්ල වුවද සටන අත්හැරීමට ත්‍රස්‌තවාදීන් සූදානම් වුණේ නැත. රජයේ හමුදා වෙතින් එල්ල වන දැවැන්ත ප්‍රහාරවලට නොදෙවෙනි ප්‍රහාර එල්ල කිරීමට කොටි ත්‍රස්‌තයන් හැම විටම උත්සාහ කළහ.

තමන් වෙත එල්ලවන ප්‍රහාරවලට එකට එක කිරීමක්‌ ලෙස දකුණේ විවිධ ප්‍රදේශවල මහා විනාශකාරී ප්‍රහාර මාලාවක්‌ දියත් කිරීමට ත්‍රස්‌ත නායකත්වය සැලසුම් කළෝය. රටේ ආර්ථික මර්මස්‌ථාන විනාශ කිරීම මෙන්ම රජයේ ප්‍රබල දේශපාලනඥයන් ඝාතනය කිරීම ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන පෙළේ සැලසුම් බවට පත්ව තිබුණේය.

එවකට රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කීප දෙනෙකු ඝාතනය කිරීම මෙන්ම ආර්ථික මර්මස්‌ථාන රැසක්‌ විනාශ කිරීමේ අරමුණු ඇතිව කොටි ත්‍රස්‌තයන් බුරුතුපිටින් කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශ වෙත පැමිණ සැඟවී සිටියහ.

කෘෂිකර්ම මහවැලි සංවර්ධන ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොටි ත්‍රස්‌තවාදීන්ගේ නිරන්තර ඉලක්‌කයක්‌ බවට පත්ව සිටි දේශපාලනඥයෙකි. මේ පිළිබඳව බුද්ධි අංශ මගින් දිගින් දිගටම මෛත්‍රිපාල මහතා දැනුවත් කර තිබුණේ තම ආරක්‍ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස අනතුරු අඟවමින්ය. එහෙත් ත්‍රස්‌තවාදීන්ගේ තර්ජන ගර්ජන හමුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිවිටෙකත් පසුබට වුණේ නැත. ඒ සියලු තර්ජනයන්ට නොබියව මුහුණ දුන් ඒ මහතා තම දේශපාලන කටයුතු සුපුරුදු අන්දමින් කරගෙන ගියේ ත්‍රස්‌තවාදීන්ට බියේ සැඟවී සිටි සෙසු දේශපාලනඥයන්ට ද ආදර්ශයක්‌ දෙමින්ය.

ඒ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ධුරය දැරුවේද මෛත්‍රිපාල මහතාය. ජනාධිපතිවරයා විදේශගත වූ අවස්‌ථාවල ආරක්‍ෂක ඇමැති ධුරයේ වැඩ බැලීමේ භාරධුර කාර්යය පැවරී තිබුණේ ද මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතය.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්‌ක බවට පත්ව සිටින දේශපාලනඥයන්ට ප්‍රසිද්ධ ස්‌ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගි නොවන ලෙස බුද්ධි අංශ මගින් දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබුණේය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ කිsසිවක්‌ ගණනකට ගත්තේ නැත. අභියෝගවලින් පලා යැම නොව අභියෝගවලට මුහුණදීම තම සටන් පාඨය කරගත් මෛත්‍රිපාල මහතා සුපුරුදු පරිදි සිය දේශපාලන කාර්යන්වල නිරත වුණේය.

"මැරෙනවා නම් මැරෙන්නෙ එක පාරයි. කොටි තුන් හතර වතාවක්‌ මාව මරන්න හැදුවා. ඒත් ඒක උන්ට කර ගන්න බැරි වුණා. මගේ දැත් පිරිසිදුයි. මම ආගම දහම හොඳින් අදහනවා. ඒ නිසා මට කරදරයක්‌ කරන්න කාටවත්ම බැහැ. කොටින්ට බය වෙලා හිටියොත් මේ රටේ අහිංසක මිනිසුන්ට සේවය කරන්න වෙන්නෙ නැහැ.

කොටි ත්‍රස්‌තවාදීන්ට බියේ සැඟවී නොසිටි මෛත්‍රිපාල මහතා මහජනතාවගේ සේවය පිණිස සිදු කෙරෙන සියලු කටයුතුවලට නොවැරදීම සහභාගි වීමට උනන්දු වුණේය.

ඒ වන විට කොටි ත්‍රස්‌තවාදීන් තුන් වතාවක්‌ම මරාගෙන මැරෙන මිනිස්‌ බෝම්බ යොදාගෙන මෛත්‍රිපාල මහතාගේ ජීවිතය විනාශ කර දැමීමට උත්සාහ කර තිබුණේය. එහෙත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගොස්‌ තිබුණේ රටේ වාසනාවටය. ජාතියේ වාසනාවටය.

එහෙත් කොටි ත්‍රස්‌තයන්ද මෛත්‍රිපාල මහතා ඝාතනයට ගත් උත්සාහය අතහැර තිබුණේ නැත. ඒ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිතය විනාශ කිරීම ඒ තරමටම කොටි ත්‍රස්‌තයන්ට වැදගත් වූ නිසා විය යුතුය.

පොළොන්නරුව කදුරුවෙල නගර මධ්‍යයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කර මෛත්‍රිපාල මහතාගේ ජීවිතය විනාශ කිරීමට කොටි ත්‍රස්‌තයන් ගත් උත්සාහය අවසාන මොහොතේ අසාර්ථක වුණේය.

ඊට පෙර පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී මරාගෙන මැරෙන කොටි කාන්තාවක්‌ යොදවා මෛත්‍රිපාල මහතා මරා දැමීමට කළ සැලසුම ද සාර්ථක වී තිබුණේ නැත.

අලුත් අවුරුදු දින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පොළොන්නරුවේ නිවසට කේක්‌ පාර්සලයක බෝම්බයක්‌ සඟවාගෙන ගොස්‌ එය පුපුරුවා හැර මහා විනාශයක්‌ කිරීමට ත්‍රස්‌තවාදීන් කළ උත්සාහයද ව්‍යාර්ථ වී ගොස්‌ තිබිණි. කොටි සංවිධානය සිව් වැනි වතාවටත් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කරන්නේ මුළු රටම ලේ විලක්‌ බවට පත්කිරීමේ අරමුණු ඇතිවය.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝග මත කොටි බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන් විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය සඳහා අලුතින් සැලසුමක්‌ සකස්‌ කරන්නේ 2008 වර්ෂයේ අප්‍රේල් මාසයේදීය.

වැලිකන්දේදී සහ පොළොන්නරුවේදී තුන් වතාවක්‌ම මෛත්‍රිපාල මහතා ඝාතනය කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වීම නිසා මෛත්‍රිපාල මහතා කොළඹදී ඝාතනය කළ යුතු බව කොටි බුද්ධි අංශයේ අදහස විය.

ඒ වන විට ආරක්‍ෂක අංශ සහ කොටි ත්‍රස්‌තවාදීන් අතර උතුරේ දැඩි සටන් ඇවිලෙමින් තිබිණි. ගුවනින් සහ ගොඩබිමින් එල්ල වූ දරුණු ප්‍රහාර හමුවේ අන්දමන්ද වී සිටි කොටි ත්‍රස්‌තවාදීන් එම ප්‍රහාර නතර කර ගැනීමට විකල්ප ක්‍රම සොයන්නට වූහ.

දිනෙන් දිනම පහළ මට්‌ටමට වැටෙමින් තිබූ කොටි ත්‍රස්‌තවාදීන්ගේ මානසික මට්‌ටම ඉහළට ගෙන ඒම සඳහා කොළඹදී ප්‍රහාර මාලාවක්‌ එල්ල කළ යුතු බව පොට්‌ටුඅම්මාන්ගේ අදහස විය.

මේ සම්බන්ධයෙන් පොට්‌ටුඅම්මාන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී විශේෂ සාකච්ඡාවක්‌ද පැවැත්විණි. මේ සාකච්ඡාවට කොටි බුද්ධි අංශ ප්‍රධානීන් කීප දෙනෙකුම සහභාගි වූහ. බිඳවැටෙමින් තිබෙන කොටි සාමාජිකයන්ගේ මානසික මට්‌ටම ඉහළට ගෙන ඒම සඳහා දකුණේ සිදුකළ යුතු දැවැන්ත ප්‍රහාර පිළිබඳව ඔවුන් සාකච්ඡා කරන්නට වූහ.

එවකට රජයේ ප්‍රබලම චරිතයක්‌ බවට පත්ව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීම හරහා බිඳවැටෙමින් තිබෙන කොටි ත්‍රස්‌තවාදීන්ගේ මානසික මට්‌ටම ඉහළට ගෙන ඒමට හැකිවනු ඇතැයි කොටි බුද්ධි අංශ ප්‍රධානීහු විශ්වාස කළහ.

මොන තරම් තර්ජන ගර්ජන එල්ල වී තිබුණද මෛත්‍රිපාල මහතා නිදහසේ සිය දේශපාලන කටයුතුවල නිරත වී සිටින බව ඔත්තුකරුවන් විසින් කොටි බුද්ධි අංශ මූලස්‌ථානය වෙත වාර්තා කර තිබුණේය. මෛත්‍රිපාල මහතා නිදහසේ ගමන්බිමන් යන නිසා ඒ මහතා ලෙහෙසියෙන්ම සිය ඉලක්‌කයක්‌ බවට පත්කර ගත හැකි වෙතැයි කොටි බුද්ධි අංශ ප්‍රධානීහු විශ්වාස කළහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී ඝාතනය කිරීමේ සැලසුම සකස්‌ වන්නේ ඒ අනුවය.

පොළොන්නරුව කදුරුවෙල නගරයේදී ශිවරාජා ජෙනීවන් නමැති මරාගෙන මැරෙන කොටි සාමාජිකයා යොදවා මෛත්‍රිපාල මහතා මරා දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීම නිසා මෙවර මරාගෙන මැරෙන කොටි කාන්තාවක්‌ යොදා ගැනීමට පොට්‌ටුඅම්මාන් තීරණය කළේaය. ඒ සඳහා කොටි බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ලැබුණේද සුබවාදී පිළිතුරකි.

කිලිනොච්චියේ මෙන්ම වන්නියේ ප්‍රදේශ කීපයක පවත්වාගෙන ගිය මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා කොටි ත්‍රස්‌තයන් පුහුණු කරන කඳවුරු කීපයක්‌ම පොට්‌ටුඅම්මාන්ගේ නිරීක්‍ෂණයට භාජන විය. ඒ වන විට ආරක්‍ෂක හමුදා ප්‍රදේශ කීපයක්‌ ඔස්‌සේ උතුරේ පිහිටි ප්‍රධාන පෙළේ කොටි කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබුණේය.

මෙම දැවැන්ත ප්‍රහාරවලට මුහුණදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතරතුරදීම මෛත්‍රිපාල මහතා මරා දැමීමේ සැලසුම ද ක්‍රියාත්මක විය. ප්‍රහාරය සඳහා සුදුසු කොටි කාන්තාවක්‌ සොයා ගැනීමට පොට්‌ටුඅම්මාන් ප්‍රමුඛ බුද්ධි බළකායේ ප්‍රධානීහු කටයුතු කරමින් සිටියහ.

මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් කීප දෙනෙකුම සම්මුඛ සාකච්ඡාවලට භාජන කිරීමට පොට්‌ටුඅම්මාන් කටයුතු කළේ ඒ සඳහා සුදුසුම කාන්තාව සොයා ගැනීමේ අරමුණ ඇතිවය. ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි කාන්තාව වෙත කොටි බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී තිබිණි. ගජබාලනීගේ සියලු තොරතුරු මෙන්ම ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳවද විශේෂ අධ්‍යයනයක්‌ කළ කොටි බුද්ධි අංශය ප්‍රහාර සඳහා සුදුසුම තැනැත්තිය ඇය බවට තීරණය කළහ.

සම්මුගරාසා ගජබාලනී වසර පහකට අධික කාලයක සිට කොටි සංවිධානයට සම්බන්ධ වී සිටි තැනැත්තියකි. ගජබාලනී මරාගෙන මැරෙන කොටි ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක්‌ ලබා සිටි අතර රජයේ හමුදා වෙත එල්ල කළ ප්‍රහාර ගණනාවකට සහභාගි වූ කොටි කාන්තාවක වූවාය.

වව්නියාව පත්තිරිකුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සම්මුගරාසා ගජබාලනී මෛත්‍රිපාල මහතා ඝාතනය සඳහා යොදා ගැනීමට පොට්‌ටුඅම්මාන්ගේ ද අනුමැතිය ලැබුණේය.

ඒ වන විට කොටි බුද්ධි අංශය විසින් මෛත්‍රිපාල මහතාගේ කොළඹ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සෙවීමේ කාර්යය ආරම්භ කර තිබිණි. කොටි බුද්ධි අංශ සාමාජිකයන් පස්‌ දෙනෙකු ඒ සඳහා යොදවා සිටි අතර ඔවුහු කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත පැමිණ ඉතාම රහසිගතව සිය කාර්යය ක්‍රියාත්මක කරගෙන ගියහ.

මෛත්‍රිපාල මහතා ඝාතනයට සූදානම්ව සිටින ගජබාලනී කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්‌ටුඅම්මාන් වෙත ඉදිරිපත් කිරීමට බුද්ධි අංශ ප්‍රධානීහු ක්‍රියා කළහ. එහිදී පොට්‌ටුඅම්මාන්ගෙන් ගජබාලනීට උපදෙස්‌ මාලාවක්‌ ලැබුණි. කොටි සංවිධානයේ ප්‍රතිපත්ති මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී ඇය දැනුවත් කරනු ලැබීය.

එහෙත් ප්‍රහාරය එල්ල කිරීමට නියමිතව සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බවට ඇයට හෙළි නොකිරීමට කොටි බුද්ධි අංශ පියවර ගෙන තිබිණි.

සම්මුගරාසා ගජබාලනී ඉතාම රහසිගතව කොළඹට යෑවීම සඳහා සැලසුමක්‌ සකස්‌ කිරීමට කොටි බුද්ධි අංශයේ කාන්තා සාමාජිකයන් දෙදෙනකු වෙත පැවරිණි. ඒ වන විට දකුණේ ආරක්‍ෂක හමුදා සීරුවෙන් සිටිමින් සිය රාජකාරි අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා මරාගෙන මැරෙන කොටි කාන්තාව කොළඹට යෑවීම පහසු කටයුත්තක්‌ නොවීය.

ගජබාලනී කොළඹට යෑවීමට ඉතාම සූක්‍ෂම සැලසුමක්‌ සකස්‌ කළ යුතු විය. කොළඹ නගරය සමඟ සම්බන්ධතා පවත්වන දෙමළ කාන්තාවක්‌ හෝ පවුලක්‌ සොයාගෙන ඔවුන්ගේ සහාය ලබාගෙන ගජබාලනී කොළඹට පිටත් කළ යුතු බවට කොටි බුද්ධි අංශයේ අදහස විය.

උතුරේ කොටි පාලන ප්‍රදේශ වෙත ගමන් ගන්නා පුද්ගලයන් ඕමන්තේ පිහිටි කොටි මුරපොල පසුකළ යුතු විය. කොටි පාලන ප්‍රදේශය වෙත පැමිණෙන සියලුම පුද්ගලයන් මෙම මුරපළේදී දැඩි පරීක්‍ෂාවට ලක්‌ කෙරිණි. මුරපොල හරහා ගමන් ගන්නා පුද්ගලයන්ට විශේෂ අවසර පත්‍රයක්‌ද නිකුත් කිරීමට කොටි සංවිධානය කටයුතු කර තිබුණේය.

ඕමන්තේ මුරපොලේ එල්.ටී.ටී.ඊ. අවසර පත්‍ර නිකුත් කරන මධ්‍යස්‌ථානය භාරව ක්‍රියාකළේ තුල්සි නමැති කොටි කාන්තාව විසින්ය. දකුණේ සිට කොටි පාලන ප්‍රදේශ වෙත නිතර යන එන සියලුම පුද්ගලයන් පිළිබඳව සියලු විස්‌තර තුල්සි හොඳින් දැන සිටියාය.

කොටි බුද්ධි අංශ ප්‍රධානීන් සිය සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තුල්සිගේ සහාය ලබා ගැනීමට තීරණය කරන්නේ ඇය කොළඹට යන එන දෙමළ ජාතිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසාය. කොටි බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් තුල්සිට කැඳවීමක්‌ ලැබිණි.

මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ සඳහා කොළමට යෑවීමට සූදානම් කර සිටින කොටි කාන්තාව පිළිබඳ එහිදී ඇයට තොරතුරු ලබා දුන් කොටි බුද්ධි අංශය ඊට සහාය ලබාදෙන ලෙස නියෝග කළහ.

"ගජබාලනීව කොළඹට යවන එක බොහොම රහසිගතව සිද්ධ වෙන්න ඕනෙ. මේ ප්ලෑන් එක වැරදුණොත් ඒක අපේ සංවිධානයට ලොකු පාඩුවක්‌ වෙනවා. ඒ නිසා සංවිධානයේ විශ්වාසය ආරක්‍ෂා වෙන විදිහට මේ නියෝගය ක්‍රියාත්මක කරන්න."

කොටි බුද්ධි අංශ ප්‍රධානීන්ගේ නියෝග අකුරටම ක්‍රියාත්මක කළ යුතු විය. නියෝග ක්‍රියාත්මක නොකළහොත් අත්විඳින්නට සිදුවන ඉරණම පිළිබඳව තුල්සි හොඳින් දැන සිටියාය. සියලු කාර්යයන් පසෙකලා තුල්සි කොටි බුද්ධි අංශය තමන් වෙත පැවරූ රාජකාරියට මුල්තැන දීමට කටයුතු කළාය.

ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි කාන්තාව සුරක්‍ෂිතව කොළඹට යෑවීමට සුදුසුම ආකාරය පිළිබඳව ඇය සොයන්නට වූවාය.

සෙල්ව කුමාර් වේලුමනී හැට වැනි විය ඉක්‌ම වූ මහලු කාන්තාවක වූවාය. වව්නියාව පොම්පෙමඩු ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය ජීවත් වුණේ තනිවමය. වේලුමණීගේ එකම දියණිය කුඩා කාලයේදීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වුණේ ඇගේ දැඩි අකැමැත්ත මතය.

වේලුමනීගේ දියණිය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙස කටයුතු කළාය. ඇය හොර රහසේම විවාහ වූ අතර පසු කලෙක දියණියන් දෙදෙනෙකු ද ප්‍රසූත කළාය. ඒ දියණියන් දෙදෙනා ද ලොකුමහත් වීමෙන් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ කර ගැනීමට ඇය කටයුතු කළාය.

වේලුමනීගේ දියණිය මෙන්ම ඇගේ මිණිබිරියන් දෙදෙනා ද පදිංචිව සිටියේ කිලිනොච්චිය උදය නගර් ප්‍රදේශයේය. වේලුමනී සිය දියණියට මෙන්ම මිණිබිරියන් දෙදෙනාට ද අසීමිතව ආදරය කළාය. ඇය ඔවුන් බැලීමට මාසයකට දෙතුන් වතාවක්‌ කිලිනොච්චියේ උදය නගර් වෙත යන්නට පුරුදුව සිටියාය.

වේලුමනී ඕමන්ත හරහා කිලිනොච්චියට එන හැම විටකදීම තුල්සි මුණගැසිණි. ඒ හමුවීම දැඩි මිත්‍රත්වයක්‌ දක්‌වා දුරදිග යන්නට එතරම් කාලයක්‌ ගත වුණේ නැත.

කිලිනොච්චියට එන හැම වතාවකදීම තුල්සිට නොයෙකුත් ආහාර පාන පවා රැගෙන ඒමට වේලුමනී අමතක කළේ නැත. වේලුමනීට තුල්සිගෙන් ලැබුණේද විශේෂ සැලකිල්ලකි.

"මගේ දුවයි මිණිබිරියො දෙන්නයි දකින්නෙ නැතිව මට ඉන්න බැහැ. මොන ප්‍රශ්න තිබුණත් මම කිලිsනොච්චියට එන්නෙ ඒ නිසයි."

වේලුමනී තම හිතවතියක වී සිටින තුල්සිට නිතර කීවාය. වේලුමනී කිලිනොච්චියට මෙන්ම නිතර කොළඹ නගරයට ද යැමට පුරුදුව සිටියාය. තුල්සි ඒ බව දැන ගත්තේ වේලුමනී හරහාය. වේලුමනීට කොළඹ සම්බන්ධකම් තිබෙන බව දැන ගැනීමත් සමගම තුල්සිට ඇති වුණේ විශාල සතුටකි.

වේලුමනීගේ සහාය ලබාගෙන ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි කාන්තාව කොළඹට යෑවීමට අවශ්‍ය කටයුතු තුල්සි විසින් සූදානම් කරන්නේ ඉන් පසුවය. තුල්සි මේ පිළිබඳව කොටි බුද්ධි අංශ ප්‍රධානීන් වෙත දැනුම් දෙනු ලැබුවේ ඔවුන්ගේද අනුමැතිය ලබා ගැනීම සඳහාය.

"වේලුමනී කියලා ගෑනු කෙනෙක්‌ ඉන්නවා. එයාගේ දුවයි මිණිබිරියන් දෙන්නයි අපේ සංවිධානයේ ඉන්න අය. වේලුමනී නිතර කොළඹ යනවා එයාට කොළඹ සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා ගජබාලනී වේලුමනි මාර්ගයෙන් කොළඹට යවන්න පුළුවන්.

තුල්සි මේ පිළිබඳව කොටි බුද්ධි අංශ ප්‍රධානීන් දැනුවත් කළාය. ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි කාන්තාව ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් කොළඹට යැමට සූදානමින් සිටින බව තුල්සි දැන සිටියේ නැත.

වේලුමනීගේ සහාය ලබාගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය සඳහා ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි කාන්තාව කොළඹට පිටත් කළ ආකරය ලබන සතියේ කොටසින් දිගහැරෙයි.

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.