දැන හෝ නොදැන අමතක කළ
අමතක නොකළ යුතු පිරිසක්‌
සහෝදරත්වයේ දැත ඔවුන්ට දිගුකරමු


ඔවුන්ද මනුෂ්‍යයෝය.

ආබාධ සහිත තත්ත්වයේ පසුවන, අපිට මෙන්ම සමාජ අයිතිවාසිකම් උරුමවිය යුතු, අප විසින් අමතක නොකළ යුතු, ඔවුන්ද මනුෂ්‍යයෝය.

ආබාධ සහිත බව ඔවුන් පැතූවක්‌ නොවේ. ඔවුන් පසුපස හඹා ආ අවාසනාව විසින් නිර්ලෝභීව දායාද කළ කාලකණ්‌නි තත්ත්වයකි, ආබාධිත බව. උප්පත්තියෙන්ම ආබාධ සහිත වූවන් මෙන්ම උපතින් පසු සිදුවූ විවිධ හේතු කාරණා නිසා මේ අවාසනාවන්ත තත්ත්වයට පත්වූවන්, සමාජයේ විවිධ හැලහැප්පිලි මැද නොසැලෙන ආත්ම ශක්‌තියකින් හා විශ්වාසයකින් යුතුව ජීවත්වීම, ශාරීරික ආබාධයකින් තොර ඔබටත්, මටත් බොහෝ පාඩම් කියා දෙන බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කාරණාවකි.

2015 දී සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් කරන ලද සංගණනයකදී හඳුණාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයන් සියයට 12.5 පමණ ජීවත්වන බවයි. මෙයින් සියයට 53ක්‌ පිරිමි උදවිය වන අතර කාන්තාවන් සියයට 47ක්‌ බව පැවසේ. ලෝකයේම ජීවත්වන ආබාධ සහිත ප්‍රජාව සියයට 15 පමණ වන බව විවිධ සංගණන මගින් සොයාගෙන ඇති බවද පැවසෙයි.

ශ්‍රී ලාංකික ආබාධ සහිත ප්‍රජාව විසින් පිහිටුවාගෙන ඇති ප්‍රාදේශීය සංවිධාන විශාල ප්‍රමාණයක නිලධාරීන් පසුගිය දිනක මඩකළපුවේ සර්වෝදය සම්මන්ත්‍රණ ශාලාවේදී වැඩමුළුවක්‌ පවත්වන්නේ ඔවුන්ට ඇති ප්‍රශ්න සහ ගැටලු පිළිබඳ විසඳුම් සහිත නිර්ණායකයන් ගොඩනඟා ගැනීම සඳහාය.

එම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක්‌ නියෝජනය කරමින් අදාළ කණ්‌ඩායම්ද, සමාජ සේවා දෙපාර්තමෙන්තුවේ නැගෙනහිර පළාත් අධ්‍යක්‌ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද, ජනමාධ්‍යවේදීන් කණ්‌ඩායමක්‌ද සහභාගී වූහ.

ආබාධ සහිත ප්‍රජාව සියයට 12ක්‌ යනු, අමතක කළහැකි හෝ ගණන් නොගත යුතු ප්‍රමාණයක්‌ නම් නොවේ. ඒ රටේ ජීවත්වන ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයකි. ඔවුන් ගැන අපි හිතනවා, බලනවා ප්‍රමාණවත් ද.? ඒ අපි අපෙන්ම අසාගන්නවා විනා, ආබාධ සහිත අයකුගෙන් නම් නොඇසිය යුතු ප්‍රශ්නයකි.

මෙම වැඩමුළුවේදී ආබාධ සහිත ප්‍රජාවට ඇතිවන ප්‍රධාන ගැටලු පිළිබඳ ඔවුන් හඬගා පවසන්නේ, තමන්ට ගැරහීමකින් තොරවූ සමාජ අයිතිවාසිකම් ලබාදීම මූළිකවම සිදුවිය යුතු බවයි. සියයට 03ක්‌ වූ රැකියා අවස්‌ථා ලබාදීමේ ප්‍රතිශතය ඉහළ නැංවිය යුතු බවයි. ව්‍යාපාර, විවිධ නිෂ්පාදන, කර්මාන්ත, වගා කටයුතු වැනි තමන්ට හැකි විවිධවූ වෘත්තීන්හී යෙදෙන උදවිය සඳහා අළෙවි පහසුකම් ලබාදීම, ඒ සඳහා සුදුසු වෙළෙඳ පොළ සොයාදීම ඇතුළු කාරණා සහ ආබාධ තත්ත්වය සැළකිල්ලට ගෙන රියදුරු බළපත්‍ර ලබා ගැනීමේ නීති රීති ළිහිල්කර දිය යුතු බවයි.

මේ ඉල්ලීම්වල අසාධාරණයක්‌ අප දකින්නේ නැත. යම් යම් සංශෝධන කළ යුතු සමහර ඉල්ලීම් නැතුවා නොවේ. එහෙත්, මේ ඉල්ලීම් පිළිබඳ රජය නොසළකා නොහැර විශේෂිත සැළකිල්ලක්‌ දැක්‌වීම රජයක්‌ හැටියට ආබාධ සහිත ප්‍රජාව වෙණුවෙන් කළ හැකි වැදගත් මෙහෙවරක්‌ ලෙස අපද පෙන්වා දෙන්නෙමු.

මේ යටතේ ආබාධ සහිතවූවන්ගේ අදාළ ආබාධය හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිශ්පාදනයන් වෙළෙඳපොළට රැගෙන යාමට, වෙළෙඳපොලෙන් අවශ්‍ය දේ රැගෙන ඒම වැනි දේ සඳහා ඊට ගැළපෙන වාහනයක්‌ මෙරට නිර්මාණය කර හෝ පිට රටකින් ගෙන්වා සාධාරණ මුදලකට හෝ මිලදී ගැනීමේ පහසුකම් සැපයීම ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රජයට කළ හැකි යහපත් ක්‍රියාවකි.

කලකට පෙර සිට ගරාජයක්‌ හිමි මහත්මයකු විසින් නිර්මාණය කර ඇති කුඩා මෝටර් බයිසිකල් දෙකක්‌ එකතුකර සාදා ඇති ආබාධ සහිත අයට පමණක්‌ ධාවනය කළ හැකි කුඩා රථයට පේටන්නට්‌ බළපත්‍රයක්‌ හෝ වෙනත් බළපත්‍රයක්‌ මෙතෙක්‌ ළබාදී නොමැති බව පැවසෙයි. එය ආබාධ සහිත අයට කරන අසාධාරණයකි.

(ශ්‍රී ලංකා පොලීසිය, මෙම රථයට හෝ පදවන්නාට කිසිදු බලපෑමක්‌ නොකර ධාවනය කිරීමට ඉඩ සළසා දීම ගැන ශ්‍රී ලංකා පොලිසියට සAතූති වන්ත විය යුතුය.)

අපේ රටේ දක්‌ෂ නිර්මාණකරුවන් කිසිදු වැඩක්‌ නොගෙන අගැයීමකට ලක්‌ නොකර සිටින බව නොදන්නවා නම්, ඒ රජයේ වගකිවයුත්තන් විනා සාමාන්‍ය ජනතාව නොවේ. ආබාධ සහිත අයට ගැළපෙන වාහන නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩ දෙන්නේ නම්, උදව් කරන්නේ නම් මේවා ප්‍රශ්න නොවේ.

අදාල වැඩමුළුවේදී ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හොඳ සේවාවක්‌ සපයමින් තිබෙන ඒ යටතේ ආබාධ සහිත බවට තීරණය වූ අය වෙත මේ වන විට මාසිකව රුපියල් 3000ක දීමනාවක්‌ සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා රජයෙන් ලබා දීමත්, යම් පිළිගත් නිශ්පාදනයක්‌ හෝ ව්‍යාපාරයක්‌ කිරීමට කැමති ආබාධ සහිත ප්‍රජාව වෙත රුපියල් 30000ක දීමනාවක්‌ ලබාදීමත් මේ අතර වන බව එම දෙපාර්තමේන්තුව නියෝජනය කළ නැගෙනහිර පළාත් අධ්‍යක්‌ෂකවරයා ඇතුළු නිලධාරීන් පැවසූ අතර, සේවා ලාභීන් පැවසුවේ තමන් වෙණුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව යම් සහන සහ සේවා සැපයුවද එහි විධිමත් බව පිළිබඳ ගැටලු තවමත් පවතින බවයි.

රජයත්, සමාජ සේවා දෙපාර්තමේන්තුවත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානත් මේ වන විට ආබාධ සහිත ප්‍රජාවගේ සුබ සාධන කටයුතු වෙණුවෙන් යම් යම් සාධනීය කටයුතු ඉටුකළද සමහර රාජ්‍ය නොවන සංවිsධාන ආබාධ සහිත ප්‍රජාව විකුණා තමන්ගේ මඩිය තරකර ගන්නා බව සමහර ආබාධ සහිත පුද්ගලයෝ අප සමග පැවසූවේ කණගාටුවෙනි.

එමෙන්ම මෙම වැඩමුළුව සංවිධානය කළ සීබීටීඩී ආයතනයේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පවසන්නේ සියයට 12.5ක්‌ පමණ වූ ආබාධ සහිත ප්‍රජාවට රජයෙන් පමණක්‌ හැමදේම සිදුවන තුරු බලා නොසිට ශ්‍රී ලාංකික ජනතාව තමන්ගේ සහෝදරත්වයේ දැත් ඔවුන් වෙතට දිගු කරන්නේ නම්, එය මිල කළ නොහැකි සද්කාර්යයක්‌ වන බවයි.

අපිද එය නොපැකිලවම අනුමත කරන්නෙමු. මේ මොහොතේ සිට, ඔබ දකින ආබාධ සහිත වූ අය කෙරේ දක්‌වන අනුකම්පාවට වඩා සහෝදරත්වය, සහයෝගය, ආදරය ඔවුන් ඉහළට ඔසවා තබනු ඇත.

අමරසිංහ මාලගේ
amarasinghemalage@gmail.com

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.