මොරගහකන්දේ නිධන් හාරපු කතාවේ ඇත්ත මේකයි

කුෂාන් සුබසිංහ



ප්‍රවෘත්ති වලට පියාපත් ඇත. හොඳ ප්‍රවෘත්ති වලටත් නරක ප්‍රවෘත්ති වලටත් එසේමය. එහෙත් හොඳ ප්‍රවෘත්තිවලටත් වඩා වේගයෙන් නරක ප්‍රවෘත්ති පැතිර යන්නේ ය. මේ නරක යෑයි කියන ප්‍රවෘත්ති ඇතැම් විට අසත්‍යය ය. මඩ සහ අවලාද වලින් පිරේය. ඒවා ජෙට්‌ වේගයෙන් ජනී ජනයා වෙත පැතිර යන්නේය.

ඊටත් වඩා භයානක වන්නේ එම ප්‍රවෘත්ති වලින් සිදුවන කැළඹීමය. තල් අත්තට බෙලි ගෙඩිය වැටුණ විට හාවා දිව්වේය. තවත් සත්තු ද ඒ පසුපස දිව්වෝ ය. වත්මන් සමාජය ද එසේය. නරක පුවත් වලින් වල්මත් වෙති.

මෙයද එවැනි සිද්ධියකි. මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ කළු ගඟ වේල්ලේ නිධන් වස්‌තු තැන්පත් කෙරුණේ පසුගිය 25 වැනිදාය. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහෙත් ඉන් දින දෙක තුනක්‌ යන්නට පෙර සමාජයේ පැතිර ගිය ප්‍රවෘත්තිය කුමක්‌ද?

එසේ කළු ගඟ වේල්ලේ තැන්පත් කළ නිධන් වස්‌තු හොරුන් විසින් සොරා ගැනීමට උත්සාහ කළ බවට පුවත් වාර්තා ඇතැම් වෙබ් අඩවිවලත් ඇතැම් පුවත්පත්වලත් පළවිණි. කට කතා ද පැතිරුණි. එසේම තවත් ප්‍රවෘත්තියකින් කියවුණේ ඉහළින් පැමිණි නියෝග දෙකක්‌ මත ඒවා ගලවා ඉවත් කළ බව ය. එම පුවත්පත් වාර්තා සහ කටකතා අතරට නිධාන කතා සහ වස්‌තු බීජ ද ඕනෑ තරම් විය. එනම් නිධන් වස්‌තු තැන්පත් කළ නැකත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අසුබ එකක්‌ බවත්, ඒ අනුව නිධන් වස්‌තු ඉවත් කිරීමට ජනපති නියමයෙන් කටයුතු කර ඇති බවත් එක්‌ ප්‍රවෘත්තියක විය. අනෙක නම් නිධන් වස්‌තු තැන්පත් කරන අවස්‌ථාවේදී ජනාධිපතිවරයා සමඟ එක පෙළට හිඳිමින් අගමැතිවරයාට එම කටයුතු සිදු කිරීමට නොහැකි වූ නිසා එජාපයෙන් පැමිණි නියෝගයක්‌ මත එම නිධන් වස්‌තු ඉවත් කිරීමට කටයුතු කළ බවත් ය.

මේ වෙබ් අඩවි වාර්තා කට කතා සහ ඇතැම් පුවත්පත් වාර්තා ද නිසා ජනතාවට ද ඒ ගැන කුකුසක්‌ ඇති විය. ඔවුහු කලබල වූහ. එම කටකතාවල සහ වාර්තාවල ඇත්ත නැත්ත විමසීමට මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ආර්. බී. තෙන්නකෝන් මහතා අපි දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. ඒ පිළිබඳව තෙන්නකෝන් මහතා අප හට පැවසුවේ මෙවැන්නකි.

"ඔය කතා සම්පූර්ණයෙන් අසත්‍යයක්‌. එහෙම දෙයක්‌ එතැන සිදු වුණේ නැහැ. එතන අපේ සහ චීන කට්‌ටිය තිස්‌ දෙනෙක්‌ විතර රෑ දවල් වැඩ. හොරකම් කරන්න තියා හිතන්නවත් ඉඩක්‌ නැහැ."

එහෙම දෙයක්‌ සිදුවෙලා නැත්නම් පොලිසිය එතැනට ආවේ ඇයි?

"නිධන් වස්‌තු තැන්පත් කළ ශෛලමය පුවරුව පස්‌ දාලා තලන්න ඕන. ඒ වෙලාවේදී බැකෝ යන්ත්‍රයේ කුල්ලේ වැදී එම ශෛලමය පුවරුවේ චුට්‌ටක්‌ කැඩිලා තිබෙනවා. මේ ගැන එතැන හිටපු නිලධාරින් ලග්ගල පොලිසියට කෝල් කරලා තිබෙනවා. බැකෝ ක්‍රියාකරු එය හිතා මතා කළ දෙයක්‌ නොවෙයි. ඒ වගේම නිධන් වස්‌තු තිබුණු ශෛලමය පුවරුවට දැනෙන හානියක්‌ ඒ මගින් සිදු වුණෙත් නැහැ. ඒත් ප්‍රශ්නයක්‌ ඇති වෙයි කියන බයට පොලිසියට දැනුම් දුන්නා."

තෙන්නකෝන් මහතාගේ ප්‍රකාශය අපගේ සැකය දුරු කරන්නක්‌ විය. එහෙත් එතැනින් සෑහීමකට පත් නොවූ අපි නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතාගෙන් ද මේ පිළිබඳව විමසුවෙමු. ඔහු මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය අයත් වන මාතලේ දිස්‌ත්‍රික්‌කය ද භාරව සිටියි.

"ඔය වගේ බොරු කතා නිසා අද සමාජය පිරිහිලා තියෙන්නේ. මෙතන ඔය කියන ආකාරයේ කිසිම සිදුවීමක්‌ වෙලා නැහැ. පොලිසිය ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ කළා. ලග්ගල පොලිසියට මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ වැඩ කරන සේවකයෙක්‌ ඒ පිළිබඳව දුරකථනයෙන් පැමිණිලි කර තිබුණා. පොලිසිය වහාම එතනට ගියා. ලග්ගල පොලිසියේ ස්‌ථානාධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එතනට ගියා. ඔවුන් මට දැනුම් දුන්නා එතන කිසි ප්‍රශ්නයක්‌ සිදු වෙලා නැති බව. නිධන් වස්‌තු තැන්පත් කළ පුවරුවට බැකෝ කුල්ලේ දතක්‌ වැදී සුළු හානියක්‌ සිදු වී තිබුණා. ඒත් එයින් නිධන් වස්‌තු වලට බලපෑමක්‌ සිදුවෙලා නැහැ. අඩුම තරමෙන් එහි ඇතුළට එය දැනිලාවත් නැහැ."

මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියේ නිධන් වස්‌තු හොරු කඩලා, එහෙමත් නැත්නම් නියෝගයක්‌ මත නිධන් වස්‌තු ඉවත් කරලා යෑයි පැතිර ගිය ආරංචිවල ඇත්ත නැත්ත එසේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 25 වැනිදා පෙරවරු 10.59 ට ජය පිරිත් සඡ්Cධායනා මධ්‍යයේ මහා පුණ්‍යකර්මයක්‌ අරමුණෙන් තැන්පත් කළ එම නිධන් වස්‌තුවලට දහස්‌ ගණනක්‌ ජනතාව ප්‍රාර්ථනා කළ පරිදිම කිසිදු අබමල් රේණුවක තරම්වත් හානියක්‌ සිදු වී නොමැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.