''අතුරුදන්වූවන්ගේ කාර්යාල'' පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති දහයක්‌

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලා ඔවුනට සහතික නිකුත් කිරීමේ වුවමනාව ඉටුකර ගැනීම සඳහා නම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ජනාධිපති කොමිසම හෙවත් පරණගම විනිසුරුතුමාගේ නම නිසා ''පරණගම කොමිසම'' ලෙසත් හැඳින්වෙන ආයතනයට හැකියාව ඇත. එම කොමිසමට මේ වන විට පැමිණිලි 20,000 කට ආසන්න ප්‍රමාණයක්‌ ලැබී තිබුණි. නමුත් පිටරටවලට පැනගොස්‌ තිබෙන දහස්‌ ගණනක්‌ කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් සහ සාමාන්‍ය සිවිල් පුරවැසියන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ නිල වශයෙන් ලබාදීමට අදාළ රටවල් ක්‍රියා කළේ නැත. එම කොමිසමේ ක්‍රියාකාරකම් සහ බලඅධිකාරිය වැඩි කිරීම සඳහා අවශ්‍යතාවයක්‌ තිබුණා නම් ඒ සඳහා කළ යුතු වූයේ ජනාධිපතිතුමා විසින් නියෝගයක්‌ නිකුත් කිරීම පමණි. නමුත් ඒ වෙනුවට නව පනතකින් ආයතනයක්‌ පිහිටුවීමේ සැබෑ අරමුණ කුමක්‌දැයි එමගින් අපේක්‌ෂිත ක්‍රියාකාරිත්වය සහ එම ආයතන ව්‍යqහයේ අරමුණ ඉතා කූට සහ දුෂ්ට එකක්‌ බව දැනටමත් විවිධ විද්වතුන් විසින් ප්‍රකාශයට පත්කොට ඇත. එවැනි පනතක්‌ ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් අංශවලින් නිර්මාණය කළායෑයි සිතිය නොහැකි බව එම විද්වතුන්ගේ අදහසයි. පසුගිය වසර 12ක කාලය තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක්‌ සකස්‌ කිරීමේ කමිටුවල නායකත්වය දරා ඇති මෙම ලියුම්කරුගේ දැනුම අනුවද එම චෝදනාව ඉතා සාධාරණ බව කිව හැක. එම පනතේ ප්‍රතිපාදන සැබෑ ලෙසම ක්‍රියාත්මක වීම ආරම්භ වන විට එය ජාත්‍යන්තර, දේශීය හෝ හයිබ්‍රිඩ් යන කුමන ආකාරයක යුද අපරාධ අධිකරණයකටත් වඩා භයානක බව පෙනෙනු ඇත. එම ඊනියා කාර්යාලය අර්ධ අධිකරණ බලය සහිත කොමිසමකි. ඒ මගින් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් යම් අතුරුදන් වීමකට අදාළ චූදිතයන් ලෙස නම් කොට චෝදනා එල්ල කිරීමට සහ ඒවා සනාථ කිරීම සඳහා බොරු සාක්‌ෂි ඉදිරිපත් කොට ඔවුන් වරදකරුවන් බවට පත්කළ හැක.

එම ක්‍රියාවලිය තුළම ඇතුළත් කොට ඇති ඉහත භයානක ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් 10ක්‌ හඳුනාගත හැක. ඉන් පළමු වැන්න මෙම අර්ධ අධිකරණ බලය සහිත කොමිසමේ ක්‍රියාකාරිත්වයට සාක්‌ෂි ආඥාපනත සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත අදාළ නොවීමයි. ඒ අනුව නිර්නාමික සාක්‌ෂි කරුවන්ගේ සාක්‌ෂි මත ආරක්‍ෂක හමුදා සාමාජිකයන් වරදකරුවන් කිරීමේ හැකියාව ඇත. එම කාර්යාලයේ ක්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු කිසිවක්‌ අධිකරණය මගින් හෝ ලබාගැනීමේ ඉඩක්‌ නැත. එවැනි තත්ත්වයක්‌ තුළ සිදුවන දෙවැනි භයානක ක්‍රියාවලිය වන්නේ දැනටමත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් තොග වශයෙන් එකතුකොට ඇති බොරු සාක්‌ෂි ඉදිරිපත් කරමින් ඕනෑම ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට හෝ කණ්‌ඩායමකට විරුද්ධව චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබීමයි. ඒ අනුව චෝදනා එල්ල කිරීම සඳහා දැනටමත් නම් වශයෙන් හඳුනාගෙන ඇති යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ රණවිරුවන්ට විරුද්ධව එවැනි බොරු සාක්‌ෂි තොග වශයෙන් ඉදිරිපත් වන බවට කිසිදු සැකයක්‌ නැත. එහිදී මේ වන විට දරුස්‌මාන් වාර්තාව මගින් සහ ඊට පසුව මානව හිමිකම් කොමසාරිස්‌ විසින් පත්කළ විමර්ශන කණ්‌ඩායම විසින් ඉදිපත් කළ වාර්තාව ආශ්‍රිත චෝදනා සහ ඊට අදාළ සාක්‌ෂි ද නැවත වටයකින් තෝරාගත් රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන බවට කිසිදු සැකයක්‌ නැත. එම ක්‍රියාවලිය තුළ දක්‌නට ලැබෙණ තුන්වැනි භයානක ප්‍රතිපාදනය වන්නේ අදාළ කොමිසමට පත්වන සාමාජිකයින් හත්දෙනාම අවශ්‍ය නම් විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලින් තෝරාගැනීමේ ඉඩකඩ ලබාදීමයි. ඒ අනුව නඩු අහන්නේ හොරාගෙන් අම්මා විසින් බවට ද සැකයක්‌ නැත.

මෙම පනතේ අඩංගු හතරවැනි භයානක ප්‍රතිපාදනය වන්නේ ඊනියා කාර්යාල විසින් Rජුව අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක්‌ සිදු නොකරන බවට ලබාදී ඇති ව්‍යාජ ආරක්‍ෂාවයි. එමගින් රණවිරුවන් පාවාදීමට සූදානම් වන පුද්ගලයින්ට බියකින් තොරව පාපොච්චාරණය කිරීමට අවස්‌ථාව සලසා ඇත. නඩු පැවරීමක්‌ සිදු නොකරන බවට එක්‌ පැත්තකින් පෙන්වන නමුත් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ ඊට සමාන ක්‍රියාවලියකි. ඒ අනුව පනතේ අඩංගු පස්‌වැනි භයානක ප්‍රතිපාදනය වන්නේ බොරු සාක්‌ෂි මත වරදකරුවන් වන රණවිරුවන් පිළිබඳ විස්‌තර නීතිපතිවරයාට සහ අදාළ ආරක්‍ෂක හමුදාවල ප්‍රධානීන්හට නිල වශයෙන් වාර්තා කිරීමයි. එම ප්‍රතිපාදනයේ අරමුණ පැහැදිලි වන්නේ ඊනියා ශ්‍රී ලංකා ඇමෙරිකානු යෝජනාවේ අටවැනි වගන්තිය දෙස බලන විටය. ඊට අනුව චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහි වන අධිකරණ ක්‍රියාවලියකින් තොරව පරිපාලන වශයෙන් දඬුවම් කළ යුතුය. ඒ අනුව මෙම පනත යටතේ බොරු සාක්‌ෂි මත චෝදනාවට ලක්‌වන රණවිරුවන්ට එම චෝදනා සැකයකින් තොරව ඔප්පු නොවූවද සේවයෙන් පහ කිරීමේ අනතුරට මුහුණ දීමට සිදු වේ. සේවයෙන් පහ කිරීමට තරම් චෝදනාව බරපතල නොවන්නේ නම් උසස්‌වීම් අහිමි වන අතර විදේශ සංචාර අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගී විමේ අවස්‌ථාව සහ විදේශ සාම හමුදා සේවය සඳහා වන අවස්‌ථාවද අහිමි වනු ඇත. මානව හිමිකම් කොමසාරිස්‌ගේ 2015 වාර්තාව මගින් සහ 2016 වාචික වාර්තාව මගින් එසේ චෝදනා එල්ල වන ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව පරිපාලන වශයෙන් දඬුqවම් කළ යුතු බවට විශේෂයෙන් අවධාරණය කොට ඇත. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්‌දැයි ඒ මගින් ඉතා හොදින් පැහැදිලි වේ. එම තත්ත්වය තුළ මෙම කාර්යාලය රණවිරුවන්ට එරෙහිව චෝදනා නිෂ්පදනය කෙරෙන ''චෝදනා කර්මාන්ත ශාලාවක්‌'' වන බවට කිසිදු සැකයක්‌ නැත.

මෙම ක්‍රියාවලියේ පවතින සයවැනි භයානක ප්‍රතිපාදනය වන්නේ විදේශ අරමුදල් Rජුව ලබාගැනීමට බලය පැවරීමයි. විදේශ ආධාර හෙවත් මූල්‍ය උපාංග සෑම විටම යොදා ගන්නේ අදාළ ක්‍රියාවලිය පාලනය කිරීමේ මෙවලමක්‌ ලෙසය. ඒ මගින් අතුරුදන්වූවන්ගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කොමසාරිස්‌ගේ සහ බටහිර අරමුදල් මත යෑපෙන ඊනියා මානව හිමිකම් විකුණාගෙන කන රාජ්‍ය නොවන සංවිධානවල අත්අඩංගුවට පත්වනු ඇත. සත්වැනි භයානක ප්‍රතිපාදනය සයවැන්නේම දිගුවකි. ඊට අනුව එම කාර්යාලයේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යැම සඳහා විවිධ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම්වලට එළඹීමේ හැකියාව ඇත. ඒ මගින් පනතේ වෙනත් ප්‍රතිපාදන මගින් ලබාදී ඇති භයානක බලතල බරපතල ලෙස රණවිරුවන්ට එරෙහිව යොදා ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණයක්‌ ලෙස ඒ මගින් හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීම, රණවිරුවන්ගේ පෞද්ගලික නිවාස පරීක්‍ෂා කිරීම, ඊනියා සමූහ මිනීවළවල් උත්සවාකාරයෙන් ගොඩ දැමීම වැනි ක්‍රියාකාරකම් සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන් යෙදවීමේ හැකියාව ලැබේ.

ඊනියා අතුරුදන් වූවන් ගැන සොයා බලන කාර්යාලයේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සහ ඔවුන්ගේ පිළිගැනීම ලැබෙන ආකාරයට සිදුකෙරෙන බැවින් රණවිරුවන්ට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට ජාත්‍යන්තරව සුජාත භාවයක්‌ ලැබේ. ඊට අමතරව ජීනීවා යෝජනාවේ එක`ගතාව අනුවද එසේ චෝදනා ලබන පිරිස්‌ ජාත්‍යන්තර අධිකරණ බලයට යටත්වනු ඇත. එනම් අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ චෝදනාවලට ලක්‌වූ රණවිරුවෙකුට එම චෝදනා සහ ඊට අදාළ සාක්‌ෂි මත ජාත්‍යන්තර අධිකරණයකදී නඩු පැවරීමේ හැකියාව ලැබේ. මානව හිමිකම් මහකොමසාරිස්‌ තම 2015 වාර්තාව මගින් ලෝකයේ අනෙක්‌ රාජ්‍යවලින් ඉල්ලීම් කොට ඇත්තේ චෝදනාවලට ලක්‌වන රණවිරුවන්ට ඒ ඒ රටවලදී යුද අපරාධ චෝදනා එල්ලකොට දඬුවම් කරන ලෙසය. ඒ අනුව චෝදනාවලට ලක්‌වන රණවිරුවන්ට විදේශීය රටකදී අත්වන ඉරණම පැහැදිලි වේ. මෙම දුෂ්ට ප්‍රතිපාදනට පනතේ අඩංගු අටවැනි භයානක ප්‍රතිපාදනය ලෙස හඳුනාගත හැක.

පනතේ අඩංගු වන නම වැනි භයානක ප්‍රතිපාදනය වන්නේ රණවිරුවන් හෝ රජයේ වෙනත් නිලධාරීන් ඊනියා කාර්යාලය හෙවත් කොමිසම විසින් තොරතුරු ලබාදෙන ලෙසට කරනු ලබන නියෝග පැහැර හරිනු ලැබුවහොත් එය පනත යටතේ වරදක්‌ බවට පත්කිරීමය. ඒ අනුව ඔවුන් අභියාචනා අධිකරණයට අපහාසයක්‌ කළවුන් සේ සලකා ඔවුනට විරුද්ධව අභියාචනා අධිකරණය ඉදිරියේ නඩු පැවරෙනු ඇත. එමගින් රණවිරුවන්ට එරෙහිව සිදු කෙරෙන බියවැද්දීමේ තරම සහ එම කාර්යාලයේ නිලධාරීන් තමා වෙත ආරෝපණය කරගන්නා වූ බලයේ තරම පැහැදිලි වේ.

පනතේ තවත් භයානක මෙන්ම හාස්‍ය ජනක ප්‍රතිපාදනයක්‌ ඇත. එම දසවැනි ප්‍රතිපාදනයේ දුෂ්ට අරමුණ වන්නේ ව්‍යාජ චෝදනා සහ සාක්‌ෂිවලට අමතරව මූලික වශයෙන් ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි. මෙම කාර්යාලයට යම් අතුරුදන් වූවෙකු පිළිබඳ පැමිණිලි කරන විට ඔහු සත්‍ය වශයෙන්ම වෙනත් නමකින් ජීවත්වනවා විය හැක. එවැනි උදාහරණ රාශියක්‌ පසුගිය කාලයේදී වාර්තා විය. පරණගම කොමිසමට පවා බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් වෙනත් නම් වලින් ජීවත්වන පිරිස්‌ පිළිබඳ සොයා බැලීමට විදේශීය රටවල සහයෝගය ලැබුණේ නැත. මෙම පනත යටතේ ද එම සහයෝගය නොලැබෙන බවට සැකයක්‌ නැත. ඊට අමතරව ඊනියා අතුරුදන් වූවන් ජීවත්වන බවට සාක්‌ෂි ලැබුණහොත් ඔහු ජීවත් වන බව ප්‍රකාශ කිරීමට අදාළ පුද්ගලයාගේ කැමැත්ත අවශ්‍ය වේ. එවැනි තත්ත්වයකදී අදාළ පැමිණිල්ල සහ චෝදනාව ඉවත් කෙරෙන බවටද සහතිකයක්‌ නැත. එමගින් ඊනියා අතුරුදන් වූවන් වෙනත් නම් වලින් ජීවත්වන අතර රණවිරුවන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට සහ ඔහුගේ හෝ ඇයගේ නියම නමට අදාළව රජයෙන් වන්දි ලබාගැනීමේ හැකියාවද ලැබේ. ඊට අමතරව මෙම පනත ක්‍රියාත්මක වන්නේ උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදන් වූවන්ට පමණක්‌ වීමද විශේෂත්වයකි. එය සැබවින්ම ව්‍යවස්‌ථා විරෝධී ප්‍රතිපාදනයකි. රටේ එක්‌ ජනතාවකට හෝ ප්‍රදේශයකට පමණක්‌ විශේෂිතව සැලකීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාව අහිමි වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පනත පළමුවර කියවීම පිළිබඳ අවධානයෙන් නොසිටීම නිසාය. රට පුරා අතුරුදන්වීම් වලින් විශේෂයෙන්ම බටලන්ද වධකාගාරය තුළ සිදුවූ අතුරුදන්වීම්වලින් විශාලම වන්දියක්‌ ගෙවා ඇති ජනතා විමුක්‌ති පෙරමුණද රණවිරුවන් පාවාදෙන මෙම ව්‍යවස්‌ථා විරෝධී පනතට එරෙහිව වචනයක්‌වත් කතා කරන්නේ නැත. ඔවුන් අද දේශපාලන වශයෙන් පල්ලම් බැස සිටින ස්‌ථානය ද ඒ මගින් පැහැදිලි වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.