පැකට්‌ එකෙන් පටන්ගෙන කප්පමෙන් සෙල්ලං දමා උණ්‌ඩයෙන් නැතිවුන පොඩි චානක
රත්මලාන රත්කර අවසන් ගමන්ගිය පාතාලයේ සෙල්ලමක්‌...

හේමන්ත රන්දුණු

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි චානකගේ සුවදුක්‌ බැලීමට පැමිණි තරුණයන් දෙදෙනකු ඔහු සමඟ මොනවාදොa හෙමිහිට මුමුණන්නට වූහ. තරුණයන් කියු දෙයට හොඳින් කන් දී ගෙන සිටි පොඩි චානක එකවරම පරල වුණේය. ඔහු කෝපයෙන් වෙව්ලන්නට පටන් ගත්තේය.

"මන්න මංජුව මම ඉතුරු කරන්නේ නැහැ. මම නැති අතරේ ඕකා මගේ ගෑනිට සෙට්‌ වෙච්ච කථාව කීප දෙනෙක්‌ම මට කිව්වා. ඒත් උඹලා කියන කල් මම ඒ කිසි දෙයක්‌ විශ්වාස කළේ නැහැ."

පොඩි චානක දත්කූරු සපමින් සිය කෝපය පාලනය කර ගන්නට උත්සාහ කළේය. ඔහුගේ සිරුරම ගැහෙන්නට විය.

"ඕකනේ උඹට මොකුත් කියන්න බැරි. උඹ පොඩ්ඩ ඇත්නම් වලිගෙ පාගගෙන දඟලනවා. අපි මේ ගැන තව ටිකක්‌ හොයල බලනකල් උඹ කලබල නොවී හිටපං...."

මිතුරන් දෙදෙනා පොඩි චානක අස්‌වසාලන්නට උත්සාහ කළහ. එහෙත් එය එතරම් පහසු කටයුත්තක්‌ වුණේ නැත. අවසානයේදී මිතුරන් දෙදෙනා පොඩි චානකගෙන් සමු ගත්තේ අලුත් තොරතුරක්‌ සොයාගෙන දින කීපයකින් නැවත පැමිණෙන පොරොන්දුව ඇතිවය.

මිනීමැරුම් සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොඩි චානක බන්ධනාගාරගතව සිටියදී තම බිරිඳ වූ ශ්‍රියා අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන යන බවට තොරතුරක්‌ ඔහුගේ කන වැකිණි. ශ්‍රියා අනියම් සම්බන්ධතාව පවත්වා ගෙන ගොස්‌ තිබුණේ 'මන්නා මංජු' නමින් ප්‍රසිද්ධ තවත් අපරාධකරුවකු සමඟය. තම බිරිඳගේ අනියම් සම්බන්ධය පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟම වැලිකඩ බන්ධනාගාරයේ සිටි පොඩි චානක දැඩි ලෙස කෝපයට පත් වුණේය. කෙසේ හෝ මන්නා මංජුගෙන් පලිගන්නා බවට පොඩි චානක ප්‍රසිද්ධියේ තර්ජනය කළේය.

චානක මධුරංග අත්තිඩිය පැරකුම් මාවතේ නිවසක උපත ලබන්නේ මීට වසර තිහකට උඩදීය. කුඩා කාලයේදීම චානකගේ පියා මෙලොව හැර ගොස්‌ තිබුණේය. පියාගේ අභාවයෙන් චානක සිය නැගණිය ද සමඟ අසරණ වුණේය. මව දෙවැනි විවාහය කර ගන්නේ චානක තව තවත් අසරණ තත්ත්වයට ඇද දමමින් ය.

මවගේ දෙවැනි විවාහයෙන් ඇයට දාව දරුවන් පස්‌දෙනකු විය. චානක සහ නැගණිය ගැන බලන්නට තරම් උනන්දුවක්‌ මවට තිබුණේ නැත. ඔවුන්ට හරි හමන් අධ්‍යාපනයක්‌ ලබා දෙන්නටවත් ඇය උත්සාහ නොකළාය.

අනාථ නිවාසවල සහ දන්නා හඳුනන අයගේ ගෙවල්වල ජීවත් වූ චානක ලොකුමහත් වන්නේ සමාජයට මහා බරක්‌ වන පුද්ගලයකු ලෙසය. අත්තිඩිය පැරකුම් මාවත පාතාල අපරාධකරුවන් පෝෂණය කළ ප්‍රදේශයක්‌ ලෙස ප්‍රසිද්ධය.

හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු වූ මර්වින් ජානක ජීවත් වුණේද අත්තිඩිය පැරකුම් මාවතේ ය. කිසිවකුගේ හව් හරණක්‌ නොමැතිව නන්නත්තාර ජීවිතයක්‌ ගත කළ චානක අන්තිමේදී මර්වින් ජානක නමැති අපරාධකරුගේ කල්ලියට සම්බන්ධ වුqණේය. ඒ මීට වසර දහයකට පමණ උඩදීය.

මර්වින් ජානකගේ අපරාධ පාසලේ හොඳ අධ්‍යාපනයක්‌ ලැබූ චානක වැඩිකල් නොගොස්‌ දරුණු අපරාධකරුවකු බවට පත් වන්නේය.

මර්වින් ජානකගේ අවවාද උපදෙස්‌ අනුව ක්‍රියාකළ චානක රටපුරා කොල්ලකෑම්, මිනීමැරුම්, කප්පම් ගැනීම්, කුඩු ජාවාරම් කරමින් මුදල් උපයන්නට පටන් ගත්තේය. හෙරොයින් ජාවාරමේ මහා කෙළිකාරයා ලෙස හැඳින්වෙන වෙලේ සුදා ජීවත් වුණේ ද ගල්කිස්‌ස බඩෝවිට ප්‍රදේශයේ ය. හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි චානක වැඩිකල් නොගොස්‌ වෙලේ සුදා සමඟÊද සබඳතා ගොඩනගා ගන්නට සමත් වුණේය.

වෙලේ සුදාගෙන් ලබාගත් හෙරොයින් තොග පිටින් අලෙවි කිරිමේ කාර්ය චානක ජයටම කරගෙන ගියේය.

මර්වින් ජානක සහ චානක මධුරංග සුසංයෝගය හරහා බිහි වූ පාතාල කල්ලිය මුළු රත්මලාන ප්‍රදේශයටම මහා හිසරදයක්‌ වන්නට වැඩි කාලයක්‌ ගත වුණේ නැත. මර්වින් ජානක ලොකු ජානා ලෙසත් චානක මධුරංග පොඩි චානා ලෙසත් පාතාල ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණේය. මහා පරිමාණ හෙරොයින් ජාවාරම හරහා මොවුන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන්නට පටන් ගත්තේය.

රත්මලාන, ගල්කිස්‌ස. මොරටුව, පානදුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් සහ ධනවත් පුද්ගලයන්ට තර්ජනය කර මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් ලොකු චානා සහ පොඩි චානා මහා ධනවන්තයන් බවට පත්වූහ.

කාලයක්‌ ගත වෙද්දී ලොකු චානා සහ පොඩි චානා අතර නොහොඳ නෝක්‌කාඩුවීම් ඇති වන්නට පටන් ගත්තේ ය. ඒ කප්පම්වලින් සහ හෙරොයින් ජාවාරම්වලින් උපයා ගන්නා මහා ධනය බෙදා හදා ගැනීමේදී ඇතිවූ ගැටලු නිසාය.

පාතාල කල්ලියේ කිරුළ දිනා ගැනීම සඳහා ද මොවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වන්නට විය. මේ ගැටුම්වල අවසන් ප්‍රතිඵලය වන්නේ ලොකු චානා සහ පොඩි චානා වෙනම පාතාල කල්ලි දෙකක්‌ බිහි කරගෙන දෙපසට වීමෙන් පසුවය.

කලක්‌ සමීප මිතුරන් ව සිටියවුන් අවසානයේ බද්ධ වෛරකාරයන් බවට පත් වූහ. ඔවුන් එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත් වන්නේ පාතාල කිරුළ තමන් වෙත නතුකර ගැනීමේ අරමුණ ඇතිවය. පොඩි චානකගේ මුල් විවාහය සිදුවන්නේ බොරලැස්‌ගමුව ප්‍රදේශයේ තරුණියක සමඟය. මේ තරුණිය පොඩි චානකට දැඩිව ආදරය කළාය. දහදුරා වැඩවලින් ඉවත් කරගෙන පොඩි චානක යහ මඟට ගැනීsමට ඇය දැඩි ලෙස උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

අවසානයේදී පොඩි චානකගේ පළමු විවාහය දෙදරා ගියේය. පොඩි චානක යහ මඟට ගැනීමට නොහැකි වූ නිසා පළමු බිරිඳ ඔහු අතහැර ගියාය. පළමු විවාහය බිඳ වැටී වසර දෙක තුනකට පසු ශ්‍රියා නමැති කාන්තාව පොඩි චානාට මුණ ගැසුණේa අහම්බෙනි.

ශ්‍රියාගේ පළමු විවාහයේ සැමියා සුරාබදු දෙපාර්තමේන්තුවේ රියෑදුරෙකි. ශ්‍රියා අමතර ආදායමක්‌ ලෙස මුදල් පොලිsයට දෙන ව්‍යාපාරයක්‌ කරගෙන ගියාය. පොලී මුදල් ලබා නොදුන් පුද්ගලයකුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රීයා පොඩි චානකගේ සහාය පැතුවාය. පොඩි චානක ද ශ්‍රියාට උදව් උපකාර කිරීමට දැඩි ලෙස උනන්දු වන්නේ ඇය කෙරෙහි ඇති වී තිබූ ප්‍රේමය නිසාය. මේ දැන හඳුනාගැනීම අවසානයේ කෙළවර වන්නේ පොඩි චානකගේ දෙවැනි විවාහයෙන් ය. පොඩි චානකට වඩා දස වසරක්‌ පමණ වැඩිමහල් තැනැත්තියක වූ ශ්‍රියා දෙදරු මවක වූවාය. ඇයට ලොකු මහත් වූ දරුවන් දෙදෙනෙකි. දරුවන් රැකබලා ගැනීමේ වගකීම ද පොඩි චානක භාර ගත්තේ ශ්‍රියාට තිබූ ආදරය නිසා ය.

මුදල් පොලියට දීමේ ව්‍යාපාරය මහා පරිමාණයෙන් කරගෙන ගිය ශ්‍රියා ඉන් විශාල මුදලක්‌ උපයා ගත්තාය. මුදල් නොදෙන පොලී නොගෙවන පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට පොඩි චානකගේ සහාය ලබා ගැනීමට ශ්‍රියාට හැකි විය.

වරක්‌ අත්තිඩිය ප්‍රදේශයේ ලී මෝල් හිමියකු ශ්‍රියාගෙන් පොලියට මුදල් ලබා ගත්තේය. කාලයක්‌ තිස්‌සේ පොලී මුදල් නියමාකාරයෙන් ගෙවා ගෙන ගිය ද ව්‍යාපාරික ප්‍රශ්න නිසා පොලී ගෙවීම පැහැර හැරියේය. ශ්‍රියා ලී මෝලේ හිමියාගෙන් කොතෙකුත් මුදල් ඉල්ලා සිටිය ද එය ලැබුණේ නැත. අවසානයේ මේ ගැටලුවට පොඩි චානක මැදිහත් වන්නේ ශ්‍රියාගේ ඉල්ලීම මතය. පොඩි චානක සිය පාතාල කල්ලියේ ගෝල බාලයන් ද සමඟÊගොස්‌ අත්තිඩියේ ලී මෝල් හිමියාගේ නිවසට කඩා පැන්නෝය.

"උඹ ශ්‍රියාගේ සල්ලි ටික දෙනවද? නැත්නම් මෙතැනම මැරුම් කනවද?"

පොඩි චානක ගිනි අවි පෙන්වමින් ව්‍යාපාරිකයාට තර්ජනය කළේය. ඒ වන විට ව්‍යාපාරිකයා දැඩි මූල්‍ය අර්බුදයකට වැටී සිටියේය. ශ්‍රියාගේ මුදල් ගෙවනවා තබා තම ලි මෝල පවත්වාගෙන යැමටවත් ප්‍රමාණවත් මුදලක්‌ ඔහු සතුව තිබුණේ නැත.

අවසානයේ ලී මෝල් හිමියාගේ ඩබල් කැබ් රථය බලහත්කාරයෙන් ලබා ගත් පොඩි චානක ඔහුගේ නිවසින් පිටවුණේ මාසයක්‌ ගත වීමට පෙර මුදල් ආපසු නොදුන්නොත් කැබ් රථය ආපසු ලබා නොදෙන බව කියමින්ය. අවසානයේ ව්‍යාපාරිකයාට සිදු වුණේ කැබ් රථය සඳහා මාසික ලීසිං මුදල් ලෙස රුපියල් හැත්තෑඑක්‌දහසක මුදල් ගෙවා දැමීමට සහ රුපියල් පනස්‌දහස බැගින් කප්පම් මුදලක්‌ පොඩි චානකට ලබා දිමටය. තමන්ට සිදු වූ අසාධාරණය හමුවේ පොලිසිය වෙත යෑමට ව්‍යාපාරිකයා ඉදිරිපත් වුණේ නැත. මේ ප්‍රශ්නය පොලිසිය වෙත ගෙන ගියේ නම් තමන්ට ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ව්‍යාපාරිකයා හොඳින් දැන සිටියේය.

ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයකු රත්මලාන ප්‍රදේශයේදී පොඩි චානක අතින් ඝාතනය වන්නේ මේ අතරතුරදීය. පතෝලයා නමැති පාතාල සාමාජිකයා බාල්දි හන්දියේදී කපා කොටා ඝාතනය වන්නේ පාතාල ආරවුලක්‌ මුල් කරගෙනය.

මෙම ඝාතනයෙන් පසු පොඩි චානක අත්අඩංගුවට පත් වුණේය. පසුව ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබීය. ඒ වන විට තම දරුණුම ප්‍රතිවාදියා වූ මර්වින් ජානක නොහොත් ලොකු ජානා ද සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ලොකු ජානා මාස කීපයක්‌ තිස්‌සේ බන්ධනාගාරගතව සිටියේය.

ලොකු ජානා සහ පොඩි චානා අතර බද්ධ වෛරය නැවත උග්‍ර අතට හැරුණේය. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්‌ දෙපිළකට බෙදුනහ. ලොකු ඡානාට සහාය වීමට වෙනම කණ්‌ඩායමක්‌ සිටි අතර පොඩි චානා ගේ ගෝල බාලයන් පිරිසක්‌ ද ඔහු වටා එකතු වී සිටියහ.

මොවුන් දෙපිරිස ප්‍රසිද්ධියේම ඇනකොටා ගන්නට වූහ. ඇතැම් අවස්‌ථාවලදී බන්ධනාගාරයේ නිලධාරීන්ට පවා මේ සටන් මැඬපවත්වන්නට හැකියාවක්‌ නොවීය. දිනක්‌ ලොකු ජානා සහ පොඩි චානා අතර ගැටුමක්‌ හට ගත්තේය. දෙපාර්ශ්වයේ ම ගෝලබාලයන් ද ඊට මැදිහත් වූහ. සටනට විවිධ ආයුධ යොදා ගෙන තිබිණි. කම්බිකූරු, පොලු මුගුරු, යකඩ තහඩු මේ සඳහා මොවුන් යොදාගෙන සිටියහ. මේ සටනේදී ලොකු ජානාගේ සමීපතම ගෝලයකු පොඩි චානා අතින් ඝාතනයට ලක්‌ වන්නේය.

පොඩි චානා එල්ල කළ බාල්දි කොකු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ලොකු ජානාගේ ගෝලයා අවසන් ගමන් යන්නේ මුළු බන්ධනාගාරයම උණුසුම් කරමින් ය.

මේ ගැටුමින් පසු පොඩි චානාගේ බන්ධනාගාර ජීවිතය තවත් දිග්ගැස්‌සුණේය. පොඩි චානාගේ දෙවැනි බිරිඳ වූ ශ්‍රියා අනියම් ඇසුරක පැටලෙන්නේ මේ අතරතුරදීය.

මන්නා මංජු රත්මලාන ප්‍රදේශයේ අලුතින්ම පාතාල කල්ලියක්‌ බිහිකරගෙන සිටියේය. හෙරොයින් ජාවාරම්, කුලී මිනීමැරුම් කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරත වූ මන්නා මංජු පාතාල ලෝකයේ අපරාධකාරයකු ලෙස ප්‍රසිද්ධ වීමට වැඩි කාලයක්‌ ගත වුණේ නැත. මන්නා මංජු ශ්‍රියා සමඟ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධය පාතාල ලෝකයේ අපරාධකරුවන් අතර ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබිණි.

බන්ධනාගාරයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු නිවසට පැමිණි පොඩි චානක ශ්‍රියා සමඟ පැටළුනේය.

"උඹ මම නැති අතරේ මඟුල් නටලා. මට මේ හැම දෙයක්‌ම ආරංචි වුණා. මම ඕකව ඉතුරු කරන්නෙ නැහැ....." කෝපය පහව යනතුරුම පොඩි චානක එදින ශ්‍රියාට පහර දුන්නේය.

"අනේ චානක මම ඒ මිනිහ එක්‌ක සම්බන්ධයක්‌ ඇතිකර ගත්තෙ නැහැ. ඌ මාව බලෙන් අරගෙන යන්න හැදුවා. මම ඒ මිනිහට කැමැති නැහැ" ශ්‍රියා තම නිර්දොaෂීභාවය ඔප්පු කිරීමට දැඩි ලෙස උත්සාහ කළාය. එහෙත් එය පහසු වුණේ නැත. දැඩි ලෙස කෝපයට පත්ව සිටි පොඩි චානක සිය ගෝල බාලයන් යොදවා මන්නා මංජුට දරුණු ලෙස පහර දුන්නේය. මන්නා මංජු කපා කොටා බරපතළ තුවාල කර ද ජීවිතය බේරා ගන්නට ඔහුට වාසනාවක්‌ තිබුණේය.

පොඩි චානක සිය අපරාධ කල්ලිය මෙහෙයවමින් රත්මලාන ප්‍රදේශයේ දරුණු අපරාධවල යෙදෙන්නට පටන් ගත්තේ පොලිසියට ද අභියෝග කරමින් ය. 2012 වර්ෂය වන විට ගල්කිස්‌ස කොට්‌ඨාශ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නලවංශ මහතා ය.

පොඩි චානා අත්අඩංගුවට ගැනීම සඳහා නලවංශ මහතා ඇතුළු නිලධාරීන් මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ගල්කිස්‌ස අත්තිඩිය ප්‍රදේශයේ නිවසකට පොඩි චානක ඇතුළු ගෝලබාලයන් පැමිණ සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත නලවංශ මහතා ඇතුළු නිලධාරීන් ඒ නිවස වට කළහ. නලවංශ මහතා නිවස වටකර පොඩි චානක අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී ඔහු ඉතාම සූක්‍ෂම ලෙස පලා ගියේය. එහෙත් පොඩි චානකගේ සමීපතම ගෝලයන් වන කොට සංඛ සහ ගුවන් හමුදා සෙබළකු එහිදී පොලිසියට කොටු වුණේ ආයුධ කීපයක්‌ ද සමඟය.

ඒ වන විට පොඩි චානක මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි අතර වෙලේ සුදා හරහා ලබා ගත් හෙරොයින් තොග පිටින් අලෙවි කරමින් සිටියේය. පොඩි චානකගේ හෙරොයින් ජාවාරම පිළිබඳ සෙවීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්‌ ද එක්‌ව සිටියහ.

පොලිස්‌ පරීක්‍ෂක එම්. රංගජීව මහතා ඇතුළු නිලධාරීන් මාස ගණනක්‌ තිස්‌සේ කළ මෙහෙයුමකින් පසු පොඩි චානක කොටුකර ගැනීමට හැකි විය.

පොඩි චානක සිය ගෝලබාලයන් සමඟ කොට්‌ටාවේ නිවසක සැඟ වී සිටිනා බවට ලැබුණු තොරතුරක්‌ මත රංගජීව මහතා ඇතුළු නිලධාරීන් නිවස වැටලූහ. ඒ 2014 වර්ෂයේ අප්‍රේල් 16 වැනිදාය. එහෙත් පොඩි චානක අත්අඩංගුවට ගැනීම පහසු කටයුත්තක්‌ වුණේ නැත.

එහිදී පොඩි චානකගේ ගෝලයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගැනීමට රංගජීව මහතා ඇතුළු නිලධාරීන්ට හැකි විය. එහෙත් පොඩි චානක පොලිස්‌ නිලධාරීන්ගේ ඇස්‌වලට වැලි ගසමින් එම ස්‌ථානයෙන් ද සූක්‍ෂමව පලා ගියේය.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ද සිය සටන අතහැර තිබුණේ නැත. අත්අඩංගුවට ගත් ගෝලබාලයන්ගෙන් ලබා ගත් තොරතුරු ඔස්‌සේ සිය විමර්ශන කළ රංගජීව මහතා ඇතුළු නිලධාරීන් එදින රාත්‍රියේම දොම්පේ ප්‍රදේශයේ නිවසක්‌ වටලා පොඩි චානක අත්අඩංගුවට ගත්තේ රුපියල් දෙකෝටියක හෙරොයින් සහ අවි ආයුධ කීපයක්‌ ද සමඟය. මෙහිදී සොයාගත් ආයුධ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පිස්‌තෝලයක්‌ ද තිබුණේය. හෙරොයින් සමඟ අත්අඩංගුවට පත් වූ පොඩි චානක වසර දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ බන්ධනාගාරගතව සිටියේය.

ඒ කාල සීමාව තුළ ද ශ්‍රියා තම අනියම් සම්බන්ධතාව ජයටම කරගෙන ගිය බව පොඩි චානක දැන ගත්තේ තම කල්ලියේ ගෝල බාලයන්ගෙන් ය. පොඩි චානක මන්න මංජු කෙරෙහි පසුවුයේ දැඩි වෛරයකින් ය.

''මේ පාර මම ඕකව මරලා දානවා. ඌට මගෙන් කිසිම සමාවක්‌ නැහැ. මන්නා මංජු කෙරෙහි දැඩි වෛරයකින් සිටි පොඩි චානක ඔහුට මරණ වරෙන්තු නිකුත් කළේය. මීට මාස හතරකට පමණ උඩදී පොඩි චානක ඇප ලබාගෙන නැවත අත්තිඩිය ප්‍රදේශයට ආවේය. එවර ඔහුගේ ප්‍රධානම ඉලක්‌කය වී තිබුණේ මන්නා මංජු මරා දැමීමය.

මන්නා මංජු ඝාතනය කිරීම සඳහා පොඩි චානක ඉතාම රහසිගතව මෙහෙයුමක්‌ සකස්‌ කළේය. ඒ පිළිබඳව ශ්‍රියාගේ කන වැකුණහොත් මන්නා මංජු මරා දැමීම කළ නොහැකි බව පොඩි චානක හොඳින් දැන සිටියේය.

ඉකුත් ජුලි මස 21 වැනිදා සවස පොඩි චානකට සිය කල්ලියේ ගෝලයකුගෙන් තොරතුරක්‌ ලැබුණේය.

"චානක අයියා අද රෑ මන්න මංජුවා ගල්කිස්‌සේ තැනකට එනවා. මිනිහා තනියම බයික්‌ එකේ එන්නේ."

ගෝලයාගෙන් ලැබුණු තොරතුරු ඉතාම වැදගත් විය. මන්නා මංජුගෙන් පළිගැනීමට හොඳම සුදුසුම වේලාව මෙය බව තේරුම් ගත් පොඩි චානක ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළේය.

ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවියක්‌ ද සූදානම් කර ගත් පොඩි චානක තම කල්ලියේ දක්‍ෂතම යතුරුපැදි ධාවකයා ද සූදානම් කර ගත්තේය. මන්නා මංජුගේ ගමන් බිමන් පිළිබඳ හොයන්නට තම කල්ලියේ ගෝල බාලයන් කීපදෙනකුම ගල්කිස්‌ස නගරය වෙත යෑවීමට පොඩි චානක කටයුතු කළේය.

එදින රාත්‍රියේ ගල්කිස්‌ස සිල්වෙස්‌ටර් පාරේ රැක සිටි පොඩි චානක යතුරුපැදියේ තනිවම එන මන්නා මංජු කොටුකර ගත්තේය. මන්නා මංජු පසුපස පන්නාගෙන ගිය පොඩි චානක ටී 56 ගිනි අවියෙන් ඔහුට ප්‍රහාර එල්ල කළේ මුළුÊගල්කිස්‌ස ප්‍රදේශයම දෙවනත් කරමින් ය.

මන්නා මංජුට වෙඩි තබා ඝාතනය කළ පොඩි චානක නිරුපද්‍රිතව පලා ගියේය. තම දෙවැනි බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පැවැත්වීමේ වරදට මන්නා මංජුට දඬුවම් ලබා දීමට හැකි වීම පිළිබඳව පොඩි චානකගේ සිතට දැනුනේ මහා සැහැල්ලුවකි.

ඒ වන විට පොඩි චානක මහා ධනස්‌කන්ධයක්‌ උපයා ගෙන තිබුණේය. හෙරොයින් ජාවාරම් සහ කප්පම් ගැනීම් හරහා උපයා ගත් මහා ධනස්‌කන්ධය යොදවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ විශාල ඉඩමක සුවිසල් මන්දිරයක්‌ ඉදිකළ පොඩි චානක එය සිය ආරක්‍ෂිත නිල නිවස්‌නය ලෙස යොදා ගත්තේය.

කොට්‌ටාව ප්‍රදේශයේ ද ඔහුට අයත් සුවිසල් නිවසකි. තම මව සහ පවුලේ සාමාජිකයන්ට පදිංචිය සඳහා පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ද නිවසක්‌ ඉදිකර දී තිබුණේය.

මන්නා මංජු ඝාතනයෙන් පසු අත්තිඩිය ප්‍රදේශය ගිනි ගත්තේය. මංජුගේ ගෝල බාලයන් දැඩි ලෙස කෝපාවිෂ්ඨ වී සිටියහ. ඔවුන් පොඩි චානක මරා දැමීමට අත්තිඩිය ප්‍රදේශය පුරා සැරිසරන්නට වූහ.

මන්නා මංජුගේ ගෝල බාලයන් තමන් මරා දැමීමට සොයන බව දැන ගත් පොඩි චානක සිය ආරක්‍ෂිත නිල නිවස්‌නය පිහිටි ඇඹිලිපිටිය වෙත ගොස්‌ සැඟවුණේය. තම බිරිඳ වූ ශ්‍රියා සහ සමීපතම ගෝල බාලයන් කීපදෙනෙකුම ඇඹිලිපිටියේ නිවසට

රැගෙන යැමට පොඩි චානක අමතක කළේ නැත. පොඩි චානක රහසිගතව සැඟවී සිටිය ද මන්න මංජුගේ ගෝලබාලයන්ගෙන් ඔහුට ගැලවීමක්‌ නොවීය.

මන්නා මංජු ඝාතනය කර සතියකට පමණ පසු පොඩි චානක නැවත කොළඹ ආවේය. ඔහු සිතා සිටියේ ඒ වන විට අනතුරුදායක තත්ත්වය පහව ගොස්‌ ඇති බවය. එහෙත් මන්න මංජුගේ කල්ලියේ සාමාජිකයන්ගෙන් පොඩි චානකට ගැලවීමක්‌ නැත. ඔවුන් පොඩි චානක මෙන්ම ශ්‍රියාවද ඝාතනය කිරීමට සැලසුම් කර ගෙන සිටියහ.

මේ බව පොඩි චානකගේ කන වැකුණේය. ඔහු ශ්‍රියාට දැඩි ලෙස ආදරය කළේය. ඒ නිසාම ශ්‍රියා ආරක්‍ෂා කර ගැනීමට පොඩි චානක හැම විටම කටයුතු කළේය. ශ්‍රියා බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තබන්නට පොඩි චානක පියවර ගත්තේය.

ඉකුත් අගෝස්‌තු මස 03 වැනිදා රාත්‍රියේ පොඩි චානක කිසියම් අවශ්‍යතාවක්‌ සඳහා බොරලැස්‌ගමුව ප්‍රදේශයට ආවේය. ඔහු ගමන් බිමන් සඳහා යතුරු පැදියක්‌ යොදාගෙන තිබුණේ ආරක්‍ෂාව සඳහා ය. ගෝල බාලයන් නොමැතිව තනිවම යතුරු පැදියෙන් ගමන් බිමන් යැම වඩා ආරක්‍ෂාකාරි බව ඔහු සිතුවේය.

එහෙත් ඒ සිතුවිල්ල වැරදි සහගත එකක්‌ බව පොඩි චානකට තේරුම් යන විට ප්‍රමාද වැඩිය. පොඩි චානක යතුරු පැදියේ නැගී බොරලැස්‌ගමුව කටුවාවල මාර්ගය ඔස්‌සේ වේගයෙන් ධාවනය කළේය.

එහෙත් මරුවා තමා පසුපස පවනට බදු වේගයෙන් පැමිණෙන බව පොඩි චානක දැන සිටියේ නැත. යතුරුපැදිය පසුපස වේගයෙන් පන්නා ගෙන ආ මෝටර් රථයක්‌ කටුවාවල මාර්ගයේ දී මඟ හරස්‌ කළේය. මෝටර් රථයේ ගැටුණු යතුරුපැදිය එක්‌වරම අසල තිබූ විදුලි පහන් කණුවක ද ගැටී පෙරළී ගියේය. මරුවා තමා බිලි ගැනීමට පැමිණ සිටින බව තේරුම් ගත් පොඩි චානක සිරුරේ තිබූ බරපතළ තුවාල ගැන නොසිතා දිවි ගලවා ගැනීමට දුවන්නට විය.

එහෙත් ඔහුට මාරයාගෙන් ගැලවීමක්‌ නැත. මෝටර් රථයෙන් බැස ගත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු පොඩි චානක පසුපස පන්නාගෙන ගියහ. ඔහුට වැඩි දුරක්‌ දිව යැමට ඉඩ ලැබුණේ නැත. සන්නද්ධ පුද්ගලයන් එල්ල කළ වෙඩි ප්‍රහාර පොඩි චානකගේ හිස සහ පපු ප්‍රදේශය විනිවිද ගියේය. වසර ගණනක්‌ තිස්‌සේ පොඩි චානක සිදුකළ මහා අපරාධවලට දඬුවම මිහිපිටදීම ඔහුට ලැබුණේය. වෙඩි ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ පොඩි චානක රෝහල කරා රැගෙන යන අතර අවසන් ගමන් ගියේය.

ඝාතනයට ලක්‌වන විට පොඩි චානක තිස්‌වැනි විය සම්පූර්ණ කර සිටි ලාබාල තරුණයෙකි. පාතාල අපරාධකරුවන්ට ආයුෂ නොමැත යන වදන නැවත සත්‍යක්‌ බවට පත් කරමින් පොඩි චානක අවසන් ගමන් ගොස්‌ තිබුණේ සෙසු පාතාල අපරාධකාරයන්ට ද පණිවිඩයක්‌ ලබා දෙමින්ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.