රියෑදුරන්ගේ අම්බලම හෙවත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන සංචිතය


නිලන්ත මදුරාවල



සිය අවශ්‍යතාවක්‌ සපුරාගැනීම සඳහා පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ගුරුවරයකු හදිසියේ රෝගාතුර වීමෙන් මියගියේ රෝහලට ගෙන යමින් සිටියදීය. අසනීප වූ විගසම රෝහලට ගෙන ගියේ නම් අදටත් එම ගුරුවරයාට ජීවත් වන්නට ඉඩ තිබිණි. එහෙත් රෝහලට ගෙන යැම සඳහා ඒ මොහොතේ අමාත්‍යාංශයෙන් වාහනයක්‌ නොලැබිණි. රියෑදුරෝ කිසිවෙක්‌ ද ඉදිරිපත් නොවුහ. මේ තත්ත්වය යටතේ සිය පෞද්ගලික වාහනයෙන් මෙම රෝගියා රෝහලට ගෙනයැමට අමාත්‍යාංශයේ ම එක්‌ රියෑදුරෙක්‌ ඉදිරිපත්වීම පැසසුම් කටයුතුය. අසනීප වීමෙන් පසු රෝහලට ගෙන යැම අතර කාලය දීර්ඝ වීමේ අවසාන ප්‍රතිඵලය ජීවිතයක ද අවසානය විය. මියගිය ගුරුවරයා පොල්පිතිගම ප්‍රදේශයේ ය. ඔහු එන්නට ඇත්තේ සිය වෘත්තියට අදාළ කටයුත්තකට බව නිසැක ය. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ "අමානුෂික ආගන්තුක සත්කාර" විසින් ඔහු යළි නිවසට යැම වළක්‌වන ලදී. ජීවිතයක වටිනාකම නොසැලකීමේ දුර්දාන්ත පිරිසකගේ මේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්‍ෂණයක්‌ හෝ නොපැවැත්විණි. ඉසුරුපායේ දී ජීවිතයක වටිනාකම එතරම්ම පහළට ඇද දමා තිබේ. ඉසුරුපාය යනු අධ්‍යාපන අමාත්‍යාංශයය. අධ්‍යාපන අමාත්‍යාංශය යනු ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ටත් ගුරුවරුන්ටත් මඟ කියන ආයතනය වේ. එවන් ස්‌ථානයකදී මෙවන් තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ නම් එය අතිශය ශෝචනීය ය.

අධ්‍යාපන අමාත්‍යාංශය සතුව වාහන 'ගණනක්‌' තිබේ. වාහන ගණනක්‌ ඇතැයි සඳහන් කළේ අමාත්‍යාංශය සතු වාහන සම්බන්ධයෙන් ඒවා භාර නිලධාරීන් ද කිසිවක්‌ නොදන්නා හෙයිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන යනු එහි කාර්ය මණ්‌ඩලය විසින් සිය වියදමින් මිලට ගෙන අමාත්‍යාංශයට භාරදුන් ඒවා නොවේ. එහි රියෑදුරන් විසින් මිලදී ගන්නා ලද වාහන ද නොවේ. මේ සියලු වාහන සඳහා වැය කෙරෙන්නේ ජනතාවගේ බදු මුදල් බව අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු වාහන එහි රියෑදුරන්ගේ හා එම අංශ භාර වගකිවයුත්තන්ගේ බූදලයක්‌ බවට පරිවර්තනය කරගෙන තිබේ. වාහන පිටතට යන විට ගේට්‌ටු අවසර පත් ක්‍රමයක්‌ ක්‍රියාත්මක නොවන එකම රාජ්‍ය ආයතනය ඉසුරුපාය විය යුතුය. චිරාත් කාලයක්‌ තිස්‌සේ පැවතගෙන එන මේ බූදල් ක්‍රමය මේ වන විට ඔද්දල්ව කුණු වී ඕජස්‌ ගලන තත්ත්වයට පත්ව ඇතැයි කිවහොත් නිවැරැදිය. සත්‍ය වශයෙන්ම අමාත්‍යාංශය සතු වාහන සංඛ්‍යාව නිශ්චිත වශයෙන් එහි කිසිදු නිලධාරියෙක්‌ දන්නේ නැත. වාහන භාර සහකාර ලේකම්වරයෙක්‌ කියන්නේ වාහන 160 ක්‌ ඇති බවකි. විෂය භාර නිලධාරියෙක්‌ ප්‍රකාශ කරන්නේ වාහන 186 ක්‌ ඇතැයි කියාය. පරිපාලන නිලධාරියකුට අනුව අමාත්‍යාංශයේ වාහන සංඛ්‍යාව 162 කි. තවත් ප්‍රවාහන නිලධාරියකුට අනුව වාහන සංඛ්‍යාව 145 ක්‌ වන අතර තවත් සහකාර ලේකම්වරයකු කියන්නේ වාහන සංඛ්‍යාව 149 ක්‌ බවය.

සංචිත වාහන සම්බන්ධයෙන් ද තත්ත්වය එලෙසය. විෂය භාර නිලධාරියකුට අනුව සංචිත වාහන සංඛ්‍යාව 61 කි. පරිපාලන නිලධාරියකුට අනුව 125 කි. සහකාර ලේකම්වරයකුට අනුව 93 ක්‌ වේ. ප්‍රවාහන නිලධාරියකුට අනුව සංචිත වාහන සංඛ්‍යාව 97 කි.

මෙම තත්ත්වය පිළිබඳව පුදුම විය යුතු යෑයි යමෙකුට හැඟීමක්‌ ඇති විය හැක. සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලැඡ්ජාවට පත්විය යුතුය. මෙමගින් මැවී පෙනෙන්නේ තමන්ට නියමිත කාර්යභාරය පසෙකලා පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණින් ඉසුරුපාය අරක්‌ගෙන සිටින හිඟන්නන් පිරිසකගේ චිත්‍රයකි. නාස්‌පුඩු නොමැතිවූවන් සේ මේ පිරිස ඉසුරුපාය වසුරුපායක්‌ කරගෙන සිටිති.

එක්‌ දිනකදී කළ පරීක්‍ෂාවකට අනුව මේ බැව් කදිමට හෙළි වී ඇත. එනම්, එදින කාර්ය මණ්‌ඩලය ප්‍රවාහනය සඳහා යෙදවූ වාහන, රාත්‍රි කාලයේ අමාත්‍යාංශයෙන් බැහැරව තිබිය යුතු වාහන, අලුත්වැඩියා කටයුතු සඳහා යවා තිබූ වාහන හැරුණුකොට තවත් වාහන 75 ක්‌ අමාත්‍යාංශයේ තිබිය යුතු වුවද එදින රාත්‍රියේ තිබී ඇත්තේ වාහන 40 කටත් අඩු සංඛ්‍යාවකි. සෙසු සියලුම වාහන නිශාචර යාමයේ අනාචාරයේ ගියේද යන්න පරීක්‍ෂා කිරීම අත්‍යාවශ්‍යය. අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවයසම් මහතා ගමන්ගත් වාහනයට ද අමාත්‍යාංශයේම වාහනයකින් ගමන්ගත් පිරිසක්‌ හූ කීවේ පසුගිය දිනකය. ඇමැතිවරුන්ට හූ කියන්නට නොව ඉන් එහා දේ කිරීමට ද හැකි ක්‍රමයක්‌ ඉසුරුපායේ නිර්මාණය වී තිබේ. වාහන මෙලෙස අනාචාරයේ යෑවීමේ සිද්ධීන් පරීක්‍ෂා කිරීමට පෙර ප්‍රවාහන අංශය විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රමවේදය පරීක්‍ෂාවට ලක්‌ කර වහාම පිළියම් යෙදිය යුතු වෙයි. මන්ද එම පරිපාලන ක්‍රමය ජරාජීර්ණව ගොස්‌ ඇති හෙයිනි. පවතින ක්‍රමය යටතේ වාහනවලට අදාළව භාවිත කරන ආකෘති පත්‍රයේ ඉල්ලුම් කරන නිලධාරියාගේ නම, තනතුර, නිර්දේශ කරන නිලධාරියාගේ නම, තනතර, අනුමත කරන නිලධාරියාගේ නම, තනතුර සටහන් කිරීමට ස්‌ථානයක්‌ නැත. රාජකාරී ගමන් පමණක්‌ නොව නඩත්තු කටයුතු, ඉන්ධන ලබාගැනීම් සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා වාහන යෑවීමේදී ද කිසිදු පිළිගත හැකි පැහැදිලි ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක නොවේ.

තවද රාජකාරී ගමන් සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ද ක්‍රියාත්මක වන්නේ අරුම පුදුම ක්‍රියාවලියකි. වාහනයට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය ලබාගනු වෙනුවට රාජකාරියෙන් රාජකාරියට ගමන් කරන දුර අනුව ඉන්ධන ලබාගැනීමේ අපූරු ක්‍රමයකි ඉසුරුපායේ ක්‍රියාත්මක කෙරෙන්නේ. ඉන්ධන ඇණවුම නිකුත් කෙරෙන්නේ රියෑදුරුටය. ඇණවුමෙන් ඇණවුමට ඉන්ධන පිවරවුම්පොළට යන්නේ රියෑදුරු පමණි. නියමිත පරිදි ඉන්ධන ලබාගත්තේ ද යන්න දන්නේ ද රියෑදුරුත් උඩ ඉන්න දෙවියොත් පමණි. කදිමය මේ කියන ඉසුරුපායට ප්‍රවාහන අංශයකුත් තිබෙන්නේය. ප්‍රවාහන නිලධාරීහු ද සිsටින්නාහ. ප්‍රවාහන නිලධාරීන් භාර නිලධාරීහු ද හිඟ නොවෙත්. මෙම අක්‍රමවත් ක්‍රියාදාමය පසුපස සිටිමින් මහා පරිමාණ ජාවාරම් වුව කරන්නට ඉඩ හසර තිබේ. ගණිකාවන් ප්‍රවාහනයට ද අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන යොදා නොගත්තේ යෑයි කිව නොහැකි තරමට එහි පවතින ක්‍රමය කුණු වී තිබේ. මෙම කුණු ක්‍රමය නිවැරදි කිරීම වෙනුවෙන් ගන්නා උත්සාහයන්ට ද ප්‍රබල විරෝධයක්‌ දියත් කෙරෙන්නේය. ඉහතින් සඳහන් කළ ගුරුවරයා රෝහලට ගෙනයැම සඳහා රියෑදුරන් ඉදිරිපත් නොවන්නේ ද වාහනයක්‌ සැපයීමට නිලධාරීන් උත්සුක නොවන්නේ ද මේ ක්‍රමය නිවැරදි කිරීමේ උත්සාහයට විරෝධයක්‌ ලෙසිනි. ජීවිතයක වටිනාකම පිළිබඳ අංශුමාත්‍රයක හැඟීමක්‌ නැතිවුන්ගෙන් රටේ අතිශය වැදගත් අමාත්‍යාංශයකට ගතහැකි සේවය කුමක්‌ද යන්න ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ සියල්ල කණපිට පෙරළුවහොත් පමණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.