බම්බු වර්ජනය උදුරාගත් ජීවිත තුනක්‌

සමන් ගමගේ

අලුයම වාදනය වූ එලාම් හඬින් කඩිමුඩියේ ඇඳෙන් බිමට බැසගත් දීපානි දිල්රුක්‍ෂි ඉක්‌මනින්ම මුළුතැන්ගෙට දිවගියේ දවසේ පළමු රාජකාරිය ලෙස ලිප ගිනි මොලවා ඉක්‌මනින්ම කෑමට දෙයක්‌ රත්කර ගැනීමටයි. අද දීපානිගේ ලොකු දුව වන හය හැවිරිදි ඕවින්ද්‍යා තරුෂි කෝනාරසිංහට ඇය ඉගෙනුම ලබන හිරියාල අඹගස්‌වැව මහා විද්‍යාලයේ අමතර පන්තියකට යා යුතුව ඇත. ඕවින්ද්‍යා ඉගෙන ගන්නේ පාසලේ පළමු ශ්‍රේණියේය. නිවාඩු කාලය වුණත් ඇය අමතර පන්තියට සහභාගි කරවීමට සිතාගෙන කලින් දවසේ පොත්පත්, ඇඳුම් පැළඳුම් සූදානම් කර තැබුවේ නිවසේ සිට පාසලට කිලෝමීටර් හතරක්‌ පහක්‌ පමණ යා යුතු බැවින් ප්‍රමාදය වළක්‌වා ගැනීමටය.

ඕවින්ද්‍යාගේ පියා එසේ නැතිනම් දීපානිගේ ආදරණීය සැමියා නමින් කේ. එම්. චන්ද්‍රබණ්‌ඩාරය. මොහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටී. මාසයකට වරක්‌ රාජකාරි නිවාඩු ලබාගෙන නිවසට පැමිණෙන චන්ද්‍රබණ්‌ඩාර මීට දින දෙකකට පෙර අහම්බෙන් මෙන් නිවසට ගොඩවැදුණේ ලැබුණු අවස්‌ථාවෙන් තමන්ගේ ආදරණීය බිරිඳගේත් කිරිකැටි දරු පැටව් දෙදෙනාගේත් මුහුණ බලාගෙන යැමේ අපේක්‍ෂාවෙනි. පියාගේ සුවඳ ගේ පුරා තවමත් රැඳී ඇති බැවින්දොa වයස අවුරුදු 1 1/2 ක්‌ පමණ වූ චූටි දියණි දැහැමි විහංසා දියණිය ද පාන්දරින්ම අවධි වී ගේ ඔබ මොබ වැටි වැටී දිවයන්න වූයේ "තාත්තා තාත්තා" යෑයි හඬ නගමිනි. මේ කලබලකාරී පරිසරය මැද්දේ ඉක්‌මනින්ම බතක්‌ හා මාළුවක්‌ ලිප තබා උයා පිහා ගත්තේ ලොකු දුව ඕවින්ද්‍යාට ඉක්‌මනින්ම කවා පොවා පන්තියට පිටත් කරවීමේ අරමුණෙනි.

මේ අතර ඕවින්ද්‍යා සුදොaසුදු ඇඳුමින් සැරසී අම්මා ළඟට දිව ආවේ "අම්මේ අද මගේ කොණ්‌ඩේ කරල් දෙකක්‌ ගොතන්න ඕනෑ"යි කියමිනි. තවමත් කොණ්‌ඩය හරිහැටි වැටී නැතත් ආදරයෙන් තමන්ගේ තුරුලට ලොකුදුව ගෙන ලස්‌සන කොණ්‌ඩ කරල් දෙකක්‌ ගොතා දීපානි විසින් ඇයව හැඩ වැඩ කළාය. "අද දුව හරිම ලස්‌සනයි" දීපානි එසේ සිතුවාය. ඉක්‌මනින්ම බත් කටක්‌ දෙකක්‌ වදෙන් පොරෙන් වගේ ඇයට කවා පොත් බෑගය ද ගෙන චූටි දුව දැහැමි හට ද ලස්‌සන ඇඳුමක්‌ අන්දවා පාසල වෙත පිටත්වීමට ඇය මිදුලට බැස්‌සේ හැමදාමත් වගේ තමන්ගේ ගමන් බිමන් සඳහා උදව් වෙන රතු පැහැති "මේට්‌" වර්ගයේ යතුරුපැදියට නැගීමටය.

දීපානිලාගේ නිවස පිහිටා තිබුණේ ඇයගේ මහගෙදර ආසන්නයෙන්මය. ඒ නිසා ඔවුන් සෑම ගමනක්‌ම යන එන විට මහගෙදර ඉන්න දීපානිගේ අම්මාටත් දීපානිගේ නංගි ශ්‍රියානිටත් කතා කර යැම ඕවින්ද්‍යාගේ දින චර්යාවේ එක්‌ පුරුද්දකි. එදත් ඔවුන් යන විට පුංචි අම්මා ශ්‍රියානි එළියේය. "චූටි අම්මේ, මම ඉස්‌කෝලෙ ගිහින් එන්නම් බායි" කියමින් අත වැනීය. "අක්‌කේ චූටි දුව දෙන්න මම තියාගන්නම්" කියූ ශ්‍රියානි දැහැමි තමන්ගේ තුරුලට ගත්තාය. "නංගී මම මෙයා දාල එනවනම් ඔයා ලෑස්‌තිවෙලා ඉන්න ණය දෙන සමිතියට යන්න" එසේ කියූ දීපානි ඕවින්ද්‍යා සමඟ පාසල වෙත යැමට පිටත් විය.

උදේ 8.00 පමණ වන විට නිවසට පැමිණි දීපානි ඉක්‌මනින්ම ගේ දොර අස්‌පස්‌ කර දමා ණය දෙන සමිතියට යන්න ලෑස්‌ති විය. ඒ වන විටත් අඩක්‌ වැඩ කළ නිවසේ ඉතිරි වැඩ ටික නිමකර ගැනීමට සැමියා චන්ද්‍රබණ්‌ඩාරත් සමඟ කතා කර රුපියල් ලක්‍ෂ 10 ක ණය මුදලක්‌ ලබාගැනීමට ඉල්ලුම් පත්‍රයක්‌ පුරවා අවසන් කර තිබිණි. දරුවන් ලොකු මහත් වීමට පෙර නිවසේ වැඩ අවසන් කර ගැනීම ඔවුන් දෙදෙනාගේම අරමුණ විය.

ඉක්‌මනින්ම අස්‌පස්‌ කිරීමේ කටයුතු සිදුකළ දීපානි නංගී ශ්‍රියානිත් සමඟ ණය දෙන සමිතිය සඳහා යැමට පිටත් විය. "අද ටිකක්‌ සෙනඟ වගේ. ඔයා සල්ලි බැඳලා ඉවර නම් යන්න. මම මේ වැඩ ටික ඉවර කරගෙන ඉස්‌කෝලෙට ගිහිං දුවත් අරගෙනම එන්නම්" පාසල් නිවාඩුවට පෙර පවුලේ ළමයි සියලු දෙනා පාසලට ගෙන ගියේ දීපානිගේ ලොකු අම්මාය. නමුත් දැන් පාසල් නිවාඩු කාලය බැවින් ඇය පාසලට යන්නේ නැත. එබැවින් දීපානි අත දරුවා ද ගෙන පාසල වෙත යැමට පිටත් වූයේ තවත් මොහොතකින් සියල්ල වෙනස්‌ වේ යෑයි යන්න පිළිබඳ හාංකවිසියක්‌ හෝ නොදැනය.

කඩිමුඩියේ අබලන් බයිසිකලයට නැගී දුෂ්කර මාර්ගය දිගේ පාසල වෙත යන විටත් ලොකු දුව ඕවින්ද්‍යා අම්මා එන මඟ බලා සිටියාය. දීපානිගේ ඊළඟ අරමුණ වූයේ දහවල් කෑමෙන් පසු ඊළඟ උපකාරක පන්තිය වෙත ඕවින්ද්‍යා පිටත් කර හැරීමය. "පුතේ මං ඔයාට "ක්‍රීම් බනිස්‌" ගෙඩියක්‌ ගත්තා. අපි ඒක ගෙදර ගිහිං කමු" එසේ කියූ දීපානි ඕවින්ද්‍යා බයිසිකලයේ පිටුපසට නංවා ගත්තාය. ඒ වන විට සිඟිති දියණිය දැහැමිට නින්ද ගොසිනි. දීපානිගේ අසල්වැසි කාන්තාවක්‌ පවසා සිටියේ "නංගි චූටි දුව නිදි නිසා ඔයාට දෙන්නම අරන් යන්න අමාරු වෙයි. පොඩි එක්‌කෙනා දෙන්න අපි ගේන්නම්" කීවාය. අනේ අක්‌කේ ඔයාලා වේගයෙන් යනව නේ. මම හිමිහිට දරු පැටව් දෙන්නත් එක්‌ක එන්නම් ඇය අවසන් වරට කීවාය.

කිසිවෙකුටත් කරදරයක්‌ නොකර ජීවත් වූ දීපානි ගමේ කාගේත් හොඳ හිත දිනාගත් තරුණියකි. හැම දෙනාටම පුළුවන් ආකාරයට උදව් පදව් කරමින් සැමියාත් නොමැති නිවසේ දරු දෙදෙනාත් රැක බලා ගනිමින් පවුලේ දියුණුව වෙනුවෙන් වීර්ය වඩමින් ක්‍රියා කළ කාන්තාවකි. දරු දෙදෙනාත් සමඟ මේ කෙමෙන් කෙමෙන් ළංවෙන්නේ තමන්ගේ පුංචි පැල්පත වෙත හෝ දරුවන්ගේත් තමන්ගේත් ඉරණම විසඳෙන තීරණාත්මක ස්‌ථානයට බව ඇය මොහොතකටවත් නොසිතන්නට ඇත.

ඈඳගල දුම්රිය හරස්‌ මාර්ගය වූ කලී අනාරක්‍ෂිත ස්‌ථානයකි. එය උණබම්බු යොදා දුම්රියක්‌ පැමිණෙන විට හරස්‌ මාර්ගය භාවිත කරන්නන්ගේ ආරක්‍ෂාව සපයයි. ඒ සඳහා තිදෙනෙක්‌ එම ස්‌ථානයේ සේවයේ යෙදෙමින් සිටිති. නමුත් තමන්හට ලබාදෙන දීමනාව වැඩි කරන ලෙස "වර්ජන" ක්‍රියාමාර්ගයක්‌ ගැනීම හේතුවෙන් එදින කිසිවෙක්‌ එම ස්‌ථානයේ රාජකාරියේ නිරතව සිටියේ නැත. මේ නිසා එම ස්‌ථානය දැඩි ලෙස අනාරක්‍ෂිතව පැවතිණි. මෙවැනි තත්ත්වයක්‌ තුළ දුම්රිය හරස්‌ මාර්ගය පසුකරන්න පැමිණි දීපානි තමන්ගේ යතුරුපැදියේ ඉදිරිපස රෝදය පීල්ලට දැමුවා පමණි. අධික වේගයෙන් පැමිණි යාපනය - කොළඹ "දැයට කිරුළ" ශීඝ්‍රගාමී දුම්රියේ හැපී විසිවී ගියේ මුළු ප්‍රදේශයම කම්පාවට පත්කරමිනි. නොසිතූ විරූ මේ ෙ€දවාචකය නිසා ආදරණීය සැමියකුට ආදරණීය පියකුට තමන්ගේ දරු පවුලම අහිමි විය. සමීප ඥතීන්ට දරු මුණුපුරන් සහෝදර දූ පුතුන් අහිමිව ගොස්‌ ඇත.

මේ සංවේදී කාරණය පිළිබඳ එම ස්‌ථානයේ රාජකාරි කටයුතු කළ එම්. ජී. කුලරත්න මහතාගේ අදහස්‌වලට ද අප ඇහුම්කන් දුනිමි. "මහත්තයෝ අපි තුන්දෙනෙක්‌ මෙතන මාරුවෙන් මාරුවට රාජකාරිය කරනවා. අපිට කිසිම පහසුකමක්‌ නෑ. මේ තැන හරිම අනතුරුදායක තැනක්‌. දෙපැත්තෙම වංගු. ඒ නිසා කෝච්චිය ළඟ එනකන්ම ශබ්දය ඇසෙන්නේ නෑ. මේ මුරකුටියට දෙපැත්තේ තියෙන මුරකුටි දෙකේ ඉන්න අයත් එක්‌ක දුරකථනයෙන් සම්බන්ධවෙලා තමයි කෝච්චිය එන වෙලාවට අප මාර්ග බාධක යොදන්නේ. ඒකට දවසකට අපිට රුපියල් සීයක විතර ෙෆාaන් එකට කාඩ් දානවා. උද්ඝෝෂණය කරපු දවසේ අපි කවුරුත් මෙතන හිටියේ නෑ. නමුත් අපි රතු කොඩි දාලා, දැන්වීම් දාල මෙතන අනාරක්‍ෂිත බව ගැන කීවා. අපිටත් හරිම කනගාටුයි මේ සිදුවීම ගැන. මීට කලින් මේ වගේ අනාරක්‍ෂිත ස්‌ථාන ගැන බලධාරීන් අවධානය යොමුකළා නම් මේ වගේ අහිංසක ජීවිත විනාශ වෙන්නේ නෑ. අපි මොකද කරන්නේ මහත්තයා අපිත් අහිංසකයි.

මොරගොල්ලාගම - එෆ්. ආර්. වෛද්‍යරත්න
ඡායා- ආණමඩුව ටෙරන්ස්‌ වනිගසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.