මහීපාලගේ ඩබල් ගේම අතාවුද හෙළි කරලා
ජනපති මැදිහත්ව ගැටුම නවත්වයි

බුලිත ප්‍රදීප් කුමාර

හිරිහැර බාධක අභියෝග හා ඉවරයක්‌ නැති විවේචන සමඟ ගැටෙමින් නුවර සිට කොළඹට ආ ජන සටන පාද යාත්‍රාව සඳුදා හවස ලිප්ටන් වටරවුමේ පැවැති ජන රැලියත් සමඟම අවසන් විය. බොහෝ දෙනකු මේ සම්බන්ධයෙන් කල්පනා කළේ "දැන්වත් මේ අලකලංචිය ඉවර වේවි" යෑයි කියාය.



එහෙත් අපේ දේශපාලන කරලියේ ජන සටන පාද යාත්‍රාව පිළිබඳ සංවාද වාද විවාද එතෙකින් අවසන් වූයේ නැත. පසුගිය සතිය පුරාමත් දේශපාලන කතිකාව උණුසුම් කරන්නට තරම් ජන සටන පාද යාත්‍රාව පිළිබඳ කතාබහ ප්‍රබල විය. එය මුළු සතිය පුරාම රඟදැක්‌වුණ නාට්‍යයක්‌ බඳුය.

ජන සටන පාද යාත්‍රාව පටන් ගන්නට පෙර සංවාදයට ලක්‌ වූ කරුණු වූයේ එබඳු පා ගමනක්‌ කරන්නේ කෙලෙසද කියාය. පා ගමන ආරම්භ කරන විට පැමිණි අභියෝග ද රැසකි. පොලිසියේ විවිධ බලපෑම් මෙන්ම විවිධ අධිකරණ නියෝග ද ආරම්භය සඳහා බලපෑ බව නොරහසකි.

පසුගිය සති අන්තයේ පා ගමන අතරමැද පැමිණෙද්දී පොලිසිය විසින් පා ගමන වළකමින් ලබාගන්නට ගිය වාරණ නියෝග ද ප්‍රතික්‍ෂේප විය. මෙරට අධිකරණ ක්‍ෂේත්‍රයේ ඇති "සමබර බව" පෙන්නුම් කරමින් ඒ ලබාදුන් තීන්දුවලින් පසුව නිරුපද්‍රිතව කොළඹට එන්නට පා ගමනට වරම් ලැබුණත් එකක්‌ පසුපස එකක්‌ ආ අභියෝගවල නම් කෙළවරක්‌ම නොවීය.

පා ගමන කොළඹට ආ පසුව අවසාන රැස්‌වීම පවත්වන්නට කල් තියා යොදාගෙන තිබුණේ හයිඩ් පාක්‌ පිටියයි. එය මුදල් ගෙවා ඒ සඳහාම වෙන්කර ගන්නට වාසුදේව නානායක්‌කාර මන්ත්‍රීවරයා නිසි පරිදි කටයුතු කර තිබිණි. එහෙත් අවසානයේ එම පිටියේ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු කිහිපයක්‌ එදිනටම යොදාගෙන තිබීම නිසා එතන ද බාධකයක්‌ නිර්මාණය විය.

මේ සියලු අභියෝග මැද ජන සටන පා ගමන අවසන් වූයේ ලිප්ටන් වටරවුමේ පවත්වන ලද යෝධ මහජන රැලියකිනි.

සඳුදා පස්‌වරුවේ එය අවසන් කළ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් විසිර ගියත් ඊළඟට පටන් ගත් ගුණදොස්‌ විවේචනවලට ද මුහුණපාන්නට සිදුවිය. දැන් තර්කය වී ඇත්තේ කියූ තරම් සෙනඟක්‌ කොළඹට නොආ බවය. රැස්‌වීමට ලිප්ටන් වටරවුමට ආවාය කියන ලක්‍ෂ සංඛ්‍යාත සෙනඟ වෙනුවට නිසැක වශයෙන් පැමිණ ඇත්තේ 12500 ක්‌ පමණ වූ සෙනඟක්‌ බවය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රීවාදී පිළේ මැති ඇමැතිවරුන්ගෙනුත් එක්‌සත් ජාතික පක්‍ෂයෙනුත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක කාරකාදීන්ගෙනුත් පසුගිය සතිය පුරාම එල්ල වන්නට වූයේ මේ ආකාරයේ එකම වාගේ චෝදනා පත්‍රයක්‌ වීම අප දුටු විශේෂත්වයයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජන සටන පාද යාත්‍රාවට සහභාගි වූයේ වෙනත් වැඩ කටයුතු ද

රැසකට සහභාගි වන අතරතුරයි. කල් තියා යොදාගත් වැඩ කටයුතු ඔහුට බැහැර කළ නොහැකි විය.

පසුගිය 29 වැනි සිකුරාදා උදේ උතුවන්කන්දෙන් පාද යාත්‍රාව ආරම්භ කළ මහින්ද ඉන්පසුව අනුරාධපුරයට ගියේ මෙසේ යොදාගෙන තිබූ වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වන්නටය. පඩිකාරමඩුව හා තිලෝගම විහාරස්‌ථානවල උත්සව කිහිපයකින් පසුව ඔහු කැබිතිගොල්ලෑව යකාවැව විහාරස්‌ථානයට ගියේ රාත්‍රි 9.00 ට පමණය.

එම විහාරස්‌ථානයේ උත්සවයකට 31 වැනිදා සහභාගි වන්නට ඔහුට ආරාධනා ලැබ තිබිණි. එදා කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය පිපිරීමේ ෙ€දවාචකයට ඒ ගමට ගිය නිසා ගමේ ජනතාව මහින්ද සමඟ ලොකු දැන හැඳුනුම්කමක සිටියහ.

මහින්ද රාජපක්‍ෂ ආ බව ආරංචි වූ සැණින් රැය කියා නොබලා ගමේම සෙනඟ පන්සලට වට වූහ. පැමිණ යට ගිය ෙ€දවාචකය ගැන විවිධ තොරතුරු කතාකරන්නට වූහ.

මම ආවේ ඔයාලට වුණු පොරොන්දුවකට අනුව 31 වැනිදා මට එන්න වෙන්නේ නැහැ කියල දන්වල කනගාටුව පළ කරල යන්න. මොකද 31 තමයි අපේ පාද යාත්‍රාවේ උණුසුම්ම අවස්‌ථාව. මේ වගේ දුර බැහැර ගමනක්‌ එන්න අමාරුයි.

මහින්ද කියද්දී පන්සලේ හාමුදුරුවෝ සහ ජනතාව ඒ කතාවේ අරුත වටහා ගත්හ.

අන්තිමේ මෙසේ බොහෝ වේලාවක්‌ සිට එස්‌. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරු ද සමඟ මහින්ද ගමෙන් ආවේ රාත්‍රි 12.00 ද පසු වීමෙන් අනතුරුවය.

පසුවදා උදේ අනුරාධපුර නාච්චදූව, අටේගල, පයාගල, බුදුගේහින්න ආදී තැන්වල උත්සව කිහිපයකට සහභාගි වූ මහින්ද ඇතුළු පිරිස කෙළින්ම ආවේ පාද යාත්‍රාවටය. ආපසු එන අතරතුර මහින්ද ප්‍රසන්න රණතුංගට ඇමතුමක්‌ ගත්තේය.

මම මේ ළඟ ඉන්නේ. කොහොමද එන්න ඕන... මහින්ද කීවේය.

ඔබතුමා එන්න අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම ළඟට. එසේ කීවද ප්‍රසන්න මහින්ද එනතුරු බලා සිටියේ නැත. පාරේ ගිය මෝටර් බයිසිකලයක නැගී ඔහු කඩවත දක්‌වා ගොස්‌ මහින්ද හමු වූයේය. අපි ගිහිල්ලා පෙළපාලියේ මුලට එකතු වෙමු. මැදින් ගියොත් පෙළපාලිය දෙකට කැඩෙනවා කියා මහින්දට ආරාධනා කළ ප්‍රසන්න යළි පාද යාත්‍රාව වෙත ආවේය. ඒ අනුව මහින්ද පාද යාත්‍රාවේ මුලට පැමිණියේ කඩවතදීය. එතැන් සිට කිරිබත්ගොඩ දක්‌වාම මහින්ද පැමිණියේ පාද යාත්‍රාව සමඟය.

ප්‍රසන්නලා එහෙමලු

පසුවදා කිරිබත්ගොඩින් නිසි වේලාවට පාද යාත්‍රාව ආරම්භ වූයේ මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙනි. ඊට ලොකු සෙනඟක්‌ සහභාගි වී සිටියහ.

ඊයෙත් ලොකු සෙනඟක්‌ හිටිය නේද.... මහින්ද එසේ ඇසුවේ වටපිටේ උන් සෙනඟ දෙස බලමින් ප්‍රසන්න රණවීරගෙනි.

ඔව් සර්... ප්‍රසන්න රණතුංගට වැඩක්‌ බාරදුන්නොත් එහෙම තමයි... කොහොහමටත් ඉතින් "ප්‍රසන්නලා ඔක්‌කොම එහෙමයි" දුන්නොත් වැඩක්‌ හරියට කරල ඇති.... රණවීර එසේ කීවේ තමනුත් ප්‍රසන්න කෙනෙක්‌ බව හුවා දක්‌වමිනි.

චොප්පෙත් ඇවිල්ලලු

පසුගිය සඳුදා පාද යාත්‍රාවේ අවසන් දිනයේ වැඩ කටයුතු කතාබහ කරමින් මහින්ද රාජපක්‍ෂ මිරිහාන නිවසේ සිටින අතරතුර පොලිසියේ කණ්‌ඩායමක්‌ එතනට ආහ.

අපි ආවේ හිටපු ජනාධිපතිතුමාට පොලිස්‌පතිතුමාගෙන් ලියුමක්‌ අරන්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ කීවේය. ඒ අනුව ඔවුන්ට මහින්ද හමුවීමට අවසර ලැබිණි.

පොලිස්‌පතිතුමාගෙන් ලියුමක්‌ තියනවා ඔබතුමාට බාරදෙන්න.... ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.

ආ... කවුද මේ අපේ "චොප්පෙද" ලියුම එව්වේ... කියමින් මහින්ද ලියුම අතට ගෙන බැලුවේය.

මේ දීල තියෙන්නේ අපට රැස්‌වීම කරන්න කැම්බල් පිටිය දෙනවලු.... මහින්ද ලියුමෙහි ඇති පණිවුඩය කියවමින් සෙසු අයට ලිපිය පෙන්නුවේය.

කෙසේ වෙතත් රැස්‌වීම කොතන පැවැත්වෙන්නේද කියා කිසිවෙක්‌ කල් තියා කාටවත් විස්‌තර කියන්නට ගියේ නැත. මහින්දගේ ප්‍රධානත්වයෙන් කිරිබත්ගොඩින් නිසි වෙලාවට පාද යාත්‍රාව ආරම්භ කළේය.

අතිවිශාල සෙනඟකින් යුතු මේ ජනගඟ නියමිත සැලසුම් අනුව බේස්‌ලයින් මාවත ඔස්‌සේ ගමන් කරන්නට පටන්ගෙන තිබිණි.

අවසන් දිනයේ අවසන් රැස්‌වීම කොතැන කරනවාද කියා තීරණය කිරීමේ වගකීම පවරා තිබුණේ කීපදෙනකුටය. ඩලස්‌, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග මේ කණ්‌ඩායමේ සිටියහ. ප්‍රසන්න ඊට පළාත් සභා මන්ත්‍රී සංසදයේ සහාය ලබා ගත්තේය. සුනිල් ජයමිණි, කංචන ජයරත්න, අසංක නවරත්න ප්‍රසන්න සමඟ සිටියහ.

පොලිසිය බේස්‌ලයින් පාර දිගේ රැකවල් කරමින් බලා සිටියේ පෙළපාලිය කොහාට යාද කියාය. කැම්බල් පිටිය දී තිබුණත් කැම්බල් පිටියේ කිසිදු සූදානමක්‌ නොවූ නිසා ඔවුන්ට මෙය මහ ප්‍රශ්නයක්‌ විය.

පාද යාත්‍රාව යන අතරතුර ඩලස්‌ ප්‍රසන්නට ඇමතුමක්‌ ගෙන "මල්ලි දැන් වැඩේ හරි" යෑයි කීවේය. ඒ අනුව යතුරුපැදියක නැඟුණු ප්‍රසන්න ලිප්ටන් වටරවුම බලා ගිය අතර පාද යාත්‍රාව කෙළින්ම දෙමටගොඩින් මාලිගාවත්ත දෙසට හැරී මරදාන ඔස්‌සේ ඩාර්ලි පාරට ගෙනයැමට සැලසුම් කර තිබිණ.

පොලිසිය අවසන් රැස්‌වීම කොතැන කරාවිද කියා දැනගන්නට විවිධ උපක්‍රම යෙදුවත් නොහැකි විය. ඊළඟට ඔවුන් කළේ ලිප්ටන් වටරවුම හයිඩ්පාක්‌ පිටිය ටවුන් හෝල් පිටිය ආදී සියලු තැන්වලට විසිර ගොස්‌ ආරක්‍ෂාව සඳහා ක්‍රියා කිරීමය.

මේ අතර පෙර සැලසුම්වලට අනුව ටවුන් හෝල් සොයිසා වටරවුම අසලට ගිය ප්‍රසන්න, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කණ්‌ඩායම ඔඩෙල් වාහන නැවතුමේ සැඟව බලා සිටියේ ජංගම වේදිකාව සහිත රථය ප්‍රසන්නගේ නිවසේ සිට පැමිණෙන තුරුය.

ඒත් සමඟම පොලිස්‌ සන්නද්ධ භටයන් රැගෙන ආ බස්‌ රථයක්‌ ලිප්ටන් වටරවුම ඉදිරියේ පාරේ නතර කරනු දුටු ප්‍රසන්න හිසේ අත ගසා ගත්තේය. බස්‌ රථය ගාල්කර තිබුණේ ජංගම වේදිකාව රඳවන්නට සැලසුම් කළ ස්‌ථානයේය.

ඔපරේෂන් ස්‌ටේඡ්

ඊළඟට ප්‍රසන්න සැලසුම වෙනස්‌ කරමින් වේදිකාව සහිත රථය වෙනත් තැනකට ස්‌ථානගත කරන්නට සැලසුම් කළේය. වේදිකාව සහිත රථය පැමිණියේය. ප්‍රසන්න කංචන රෝහිත ඇතුළු පිරිස වහා වාහනවලින් බැස ජංගම වේදිකාව අදාළ තැන නවත්වා වේදිකාව දිගහරින්නට පටන් ගත්හ. පොලිසිය බලා සිටියේ අන්දමන්දවය. කළ හැකි කිසිවක්‌ නොවීය.

වේදිකාව සැකසිණි. මහින්දානන්දට ඇමතුමක්‌ ගත් ප්‍රසන්න කීවේ "ඔපරේෂන් ස්‌ටේඡ් රෙඩී" කියාය.

ඒ අනුව මහින්දානන්දලා, ඩලස්‌ලාගේ මෙහෙයවීමෙන් ඩාර්ලි පාර දිගේ ආ පාද යාත්‍රාව ද මහා ජන ගඟක්‌ සේ ලිප්ටන් වටරවුම ආක්‍රමණය කරන්නට පටන් ගත්හ. මේ සියල්ල සිදුවීමට ගනු ලැබුවේ පැය භාගයකටත් අඩු කාලයකි.

රැස්‌වීම මහ විශාල ජනකායක්‌ ඉදිරියේ ඉතා සාර්ථක හා ඉතා ඉක්‌මනින් පැවැත්විණි. එසේම ඉතා ඉක්‌මනින් රැස්‌වීම අවසන් කරන්නට ද සංවිධායකයෝ වගබලා ගත්හ.

රැස්‌වීම අවසන් කළ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස ඊළඟට ගමන් කළේ ලොහාන් රත්වත්තේගේ නිවසටය. මහින්දානන්ද, නිරෝෂන්, පවිත්‍රා, පියල් නිශාන්ත, කනක හේරත් ආදී මන්ත්‍රීවරු පිරිසක්‌ ද එතැන සිටියහ.

සර්... පාද යාත්‍රාව ඉතාම සාර්ථකයි. කාටවත් කියන්න දෙයක්‌ නෑ... මහින්දානන්ද කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු දෙනාගේ කැපවීම වගේම අනෙක්‌ පැත්තේ කට්‌ටියගේ බාධා කිරීම් තමයි ඒ සාර්ථකත්වයට හේතුව.... මහින්ද නිහතමානීව කීවේය.

මෝල්ගස්‌ පත්තු වේ

පාද යාත්‍රාව ගැන විවිධ කතා පැතිර යන්නට පටන්ගෙන තිබිණි. ඒ අතර ළමා අපයෝජන සිද්ධියක්‌ ගැන ද නොයෙකුත් චෝදනා කරන්නට විය. එක්‌තරා හුරතල් කුඩා දරුවෙක්‌ පෙළපාලිය අතරමගදී මහ හයියෙන් කරන ලද අදහස්‌ ප්‍රකාශ කිරීම් කිහිපයක්‌ මුල්කරගෙන මේ චෝදනාව නඟන්නට විය. දරුවා යොදාගෙන නොහොබිනා කතා කියමින් රාජ්‍ය නායකයන්ට හා ශ්‍රීලනිප නායකත්වයට බැණ වැදුණේ යෑයි කියා චෝදනා කෙරිණි. චෝදනාවට වරදකරු ලෙස නම් කෙරුණේ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්වය. චෝදනා කළ අය කීවේ මේ දරුවා ගෙන ආවේ ජනක බණ්‌ඩාර ඇතුළු පිරිස කියාය.

මේ චෝදනාව රාජ්‍ය මාධ්‍ය හා අනෙකුත් වෙබ් අඩවි ඔස්‌සේ නැගෙද්දී මේ ගැන ජනකගෙන් විමසූ අය ද වූහ.

මොකක්‌ද ඔබතුමාට මේ එල්ල වෙන චෝදනාව. ඔබතුමා ද ඇත්තටම මේ දරුවයි කාන්තාවයි ගෙනාවේ.

නරක වෙලාවට මෝල්ගසුත් පත්තු වෙනවයි කියල කියන්නේ ඔන්න ඕවට තමයි. ජනක කීවේය.

මම පෙළපාලියේ ඇවිදගෙන යනකොට එක තැනක කට්‌ටියක්‌ නතරවෙලා හිටියා. කවුදොa දරුවෙක්‌ හරිම හුරතල් විදියට මොන මොනවාද කෑ ගගහා කියනවා. තව පිරිසක්‌ වාඩිවෙලා ඒ දරුවව වීඩියෝ කරනවා.

ඉතින් මමත් ළඟට ගියා. බලනකොට පුංචි දරුවෙක්‌ නේ. මම දැක්‌කා අර වටේ ඉඳන් වීඩියෝ කරපු මිනිස්‌සු කියන කියන දේවල් තමයි අර දරුවා ගිරවා වගේ කියෙව්වේ. ඒ අදහස්‌ දරුවගේ නොවෙයි. මේ මිනිස්‌සුන්ගේ. නමුත් දරුවා කියන විදිය හරි හුරතල්.

මමත් දරුව ළඟට ගිහින් ඔහුව අතගාලා පුංචි තොත්තුවක්‌ දීලා ආවා. මගේ ඇති ඇඳුනුම්කමක්‌ නෑ. ඔන්න ඔය ටික අල්ලගෙන තමයි මට චෝදනා නඟන්නේ.

ජනක බණ්‌ඩාර තම හිතවතකුට මේ සිද්ධිය විස්‌තර කරනු ලැබුවේ එසේය.

එජාපයේ අනාවැකි

ඒකාබද්ධ විපක්‍ෂයේ ජනසටන පාගමනට සහභාගි වෙමින්, ඊට නායකත්වය සපයමින් ක්‍රියාකාරීව කටයුතු කළ මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයන්ට පහුවදාම බොහෝ දේ අහිමි වී යනු ඇතැයි අනාවැකි පළ කළේ එජාපයයි. එජාප නායකයෝ ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනසටන පාද යාත්‍රාවේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්ට පහුවදාම කාරණා දෙකක්‌ අහිමි වී යනු ඇත කියාය. එකක්‌ ඔවුන්ගේ ආසන සංවිධායකකමය. දෙවැන්න පක්‍ෂ සාමාජිකත්වයය.

මේ අනාවැකි එජාපය පැත්තෙන් මුලින්ම පැමිණි අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ යම් ප්‍රකාශකයෝ ද ඒ බැව් නොකියා කී බව අපට මතකය. සමහරු කීවේ නිසැකවම මේ සම්බන්ධයෙන් පක්‍ෂය විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි කියාය. කොටින්ම කිවහොත් පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කීවේ "කරනා දේ ඔබට ඉදිරියේදී බලාගත හැකි" යෑයි කියාය.

මෙබඳු කරුණු කාරණා රාශියක්‌ නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් එහි ක්‍රියාකාරිකයිනුත් මධ්‍යස්‌ථ දේශපාලනඥයනුත් රටේ ජනතාවත් මේ ඔක්‌කෝම එක්‌ක මඟ බලා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය ඊළඟට කුමක්‌ කරනු ඇත්ද කියාය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැස්‌වන කවර හෝ රැස්‌වීමක්‌ දෙස විමතියෙන් හා කුතුහලයෙන් යුතුව බලන්නට මේ කොයි කවුරුත් පෙළඹ සිටියහ. අඟහරුවාදා පැවැති පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්‌වීම දෙසත් බ්‍රහස්‌පතින්දා පැවති පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීම දෙසත් රටේ ජනතාව මෙන්ම මාධ්‍ය ආයතන වඩාත් උනන්දුවෙන් බලා සිටියේ මේ නිසාය.

අඟහරුවාදා හවස ජනාධිපති නිල නිවසේ පැවති පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්‌වීමට එන්නට කියා තිබුණේ කොළඹ ආසන්නයේ සිටින පක්‍ෂයේ ක්‍රියාකාරී මට්‌ටමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට පමණි. මෙය පක්‍ෂයේ ඉදිරි තීන්දු තීරණ රාශියක්‌ ගැනීම සඳහා මූලික සාකච්ඡාවක්‌ ලෙස ද වැදගත් විය. ආරාධනා ලැබ සිටියේ මහ ලේකම් දුමින්ද, සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර ඇතුළු පිරිසක්‌ පමණි.

රැස්‌වීම පටන් ගන්නට පෙර ජනාධිපතිවරයා එක්‌තරා අවනඩුවක්‌ ඉදිරිපත් කළ බව වාර්තා විය.

"අපි අද රැස්‌වෙනවා, ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතාබහ කරනවා කියල මම කාටවත් කියල නෑ. ඔයගොල්ල කට්‌ටියට විතරයි දැනුම් දුන්නේ. ඒ මොකද මේක රහසිගත සාකච්ඡාවක්‌ නිසා. කොහොමද මේ ගැන මාධ්‍යවලට ආරංචිය ගියේ.

ජනාධිපතිවරයා මේ නෝක්‌කාඩුව ඉදිරිපත් කළේ පක්‍ෂයේ මෙබඳු තීරණාත්මක කරුණු ගැන පවා පත්තරවලට කියන අය මෙතන ඉන්නවා නේද? යන ප්‍රශ්නය නඟමිනි. මේ හේතුව නිසා එම සාකච්ඡාවේ කතා බහකරගත් කිසිදු කරුණක්‌ පත්තරවලට නොදෙන්නට තරම් මේ දේශපාලනඥයෝ පරිස්‌සම් වූහ.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවේදී ඉතා වැදගත් කාරණා කිහිපයක්‌ සාකච්ඡාවට බඳුන් වූ බව පමණක්‌ හෙළිදරව් විය. කතාබහ කරගත් කරුණු කාරණා පසුව හෙළිදරව් වූයේ ශ්‍රීලනිපයේ නායකයන් වන ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පා ගමනට සහභාගි වූවන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට බලා සිටි දැඩි ක්‍රියාපිළිවෙත හිටි හැටියේම සරල සෞම්‍ය ක්‍රියාපිළිවෙතක්‌ බවට පරිවර්තනය වීමත් සමඟය.

ඒ පිළිබඳ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ 'දිවයින' ට ප්‍රකාශ කළේ මෙබඳු වැරදි ඉදිරියට දමා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන "පක්‍ෂයෙන් හෝ තනතුරුවලින් නෙරපීම" ඉදිරියේදී වෙනම පක්‍ෂයක්‌ පිහිටුවීමට ඔවුන්ව තල්ලු කර දැමීමක්‌ වන බව පැහැදිලි කරමිනි.

එබඳු තල්ලුවක්‌ ලබාදෙන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ මේ වෙලාවේ ගතයුතු නැතැයි හේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ ක්‍රියාකාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීම වූ කලී "බාලගිරි දොaෂය" වැනි කාරණාවක්‌ විය. ඒකාබද්ධ විපක්‍ෂයේ සමහර ක්‍රියාකාරීන් පසුගිය සතියේ බලා සිටියේ කවර හෝ රැස්‌වීමකදී තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමත් ඒ පිළිබඳ ආරංචි මාත්‍රයක්‌ එළියට එනතුරුය.

දේශපාලන කථිකාවේ ක්‍රියාකාරී අංශවල පුල පුලා බලා සිටි මධ්‍යම කාරක සභා රැස්‌වීම පසුගිය බ්‍රහස්‌පතින්දා හවස ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

එදා හවස 6 ට ශ්‍රීලනිපයේ දිස්‌ත්‍රික්‌ නායකයන්ගේ රැස්‌වීමකුත් හවස 7.00 ට මධ්‍යම කාරක සභා

රැස්‌වීමත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට සියලු කටයුතු සැලසුම් කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා සහභාගි වූ වෙනත් විශේෂ සාකච්ඡාවක්‌ හිතුවාට වඩා ප්‍රමාද වූ නිසා ශ්‍රීලනිප දිස්‌ත්‍රික්‌ නායකයන්ගේ රැස්‌වීම පටන්ගත්තේ 6.00 ට නොව 7.00 ටය.

මෙහිදී ජනාධිපතිවරයා පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ නායකයන් සමඟ වැඩිපුර කතාබහ කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සර උත්සවය ගැනයි. ලබන සැප්තැම්බර් 02 දාට යෙදෙන මේ සංවත්සරය කුරුණෑගලදී මහත් හරසරින් පවත්වන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. 02 දා සතියේ දවසක්‌ බැවින් 04 වැනිදා මේ සංවත්සරය පැවැත්වීම වඩාත් සුදුසු බව මෙහිදී තීන්දු විය. දිස්‌ත්‍රික්‌ක 25 ට දිස්‌ත්‍රික්‌ සංවිධායක කමිටු 25 ක්‌ පත්කොට එමගින් සංවත්සරය සඳහා අතිවිශාල සෙනඟක්‌ ගෙන එන්නට අවශ්‍ය සැලසුම් සියල්ල මෙහිදී කතාබහට ලක්‌විය. මීට පෙර 64 වතාවක්‌ මේ සංවත්සරය පැවැත්වී ඇත. ඒ සෑම අවස්‌ථාවකටම වැඩි උත්කර්ෂයකින් මෙවර සංවත්සරය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අදහස විය.

මෙම සාකච්ඡාව 08 ට අවසන් විය. මධ්‍යම කාරක සභා රැස්‌වීම පටන් ගත්තේ ඉන් පසුවයි.

මහීපාල අතාවුද ගැටුම

මධ්‍යම කාරක සභා රැස්‌වීමට සමහරු ආවේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඕනවට වඩා දඟලන මන්ත්‍රීවරුන්ට යස පාඩමක්‌ උගන්වන තීන්දු තීරණ රැසක්‌ ගන්නට දතකට මැදගෙනය. පණ්‌ඩිතයන්ට දෙඤ්ඤං වැඩේ කියාගෙනම ආ පිරිසක්‌ වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ පක්‍ෂ නායකත්වය විසින් මේ සඳහා "පළමු ගල" ගැසීම පමණකි. එහෙත් ඊට වඩා නිර්මාණශීලීව සැලසුම් සහගතව හා බුද්ධිමත්ව කටයුතු කරන්නට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්‌ තීන්දුවක්‌ ගෙන තිබෙන බව සමහරු දැන සිටියේ නැත.

මධ්‍යම කාරක සභාවේදී පක්‍ෂයේ අනාගත වැඩ කටයුතු ගැන මූලික කතාබහ ඇතිවිය. 65 වැනි සංවත්සර උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ඊට පෙර පැවැති රැස්‌වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ගැන දැනුවත් කිරීමක්‌ ද සිදුකෙරිණි. වත්මන් අර්බුද ගැන කතාබහ කරලියට ආවේ ඉන් පසුවයි.

මුලින්ම කතාබහට ලක්‌වූයේ පාද යාත්‍රාවේ තත්ත්වයයි. මහ ලොකුවට මවා පෙන්වූ පරිදි පාද යාත්‍රාව සාර්ථක කර ගන්නට සංවිධායකයන්ට නොහැකි වූ බව මධ්‍යම කාරක සභාවේ වැඩි දෙනකුගේ මතය වූහ. කුමාර වෙල්ගම වැනි අය එතන සිටියත් ඒ ගැන වැඩි උනන්දුවකින් තොරව ඔහු අසා සිටියා පමණි.

පාද යාත්‍රාවට සෙනඟ නෑ. මමත් හොරගොල්ල පසුකරන හැටි බලාගෙනයි හිටියේ කියපු තරම් සෙනඟක්‌ ආවේ නෑ. චන්ද්‍රිකා කීවාය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කතා කළේ බුද්ධි අංශ වාර්තා මත පදනම්වය. ඒ තොරතුරුවලට අනුව කොළඹට ඇතුළු වී ඇති මුළු සෙනඟ 7500 ක්‌ බව හේ කීවේය.

ඉන්පසුව විනය ක්‍රියාමාර්ග ගැනීම් ගැන අදහස්‌ පළ වුවත් අවසාන තීන්දු තීරණවලට කිසිවෙක්‌ උනන්දු වූයේ නැත. විනය කමිටුවේ ලේකම් ලෙස µයිසර් මුස්‌තාපාට වගකීමක්‌ බාරවිය. ඒ වූ කලී මේ අයට එරෙහිව ගතයුතු විනය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය කරුණු ඒකරාශි කිරීමයි. වීඩියෝගත තොරතුරු හා වාර්තා එක්‌රැස්‌ කොට අධ්‍යයනයක්‌ කිරීම පිළිබඳ කතාබහකින් පමණක්‌ ඒ පිළිබඳ සාකච්ඡාව අවසන් විය.

ඒ අතර අතාවුද සෙනෙවිරත්න නැගිට ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමනට කෑගල්ල ප්‍රදේශයෙන් සිදු වූ දායකත්වය ගැන විග්‍රහයක්‌ කළේය.

පා ගමනේ කෑගල්ල කොටසේ වැඩ කටයුතු ඔක්‌කොම සැලසුම් කළේ මහීපාලලයි ගෙදර. තාත්තා මෙතන එක චරිතයක්‌ රඟපාවා. පුතා එහේ තව චරිතයක්‌ රඟපානවා. ඩබල් ගේමක්‌ කරන්නේ. ඔක්‌කොම සාකච්ඡා ටික සැලසුම් ටික පුතා ගෙදර කරනතුරු තාත්තලා මොනවද කරන්නේ. ඕක තමයි ඩබල් ගේම... අතාවුද මහීපාලට ලොකු ප්‍රහාරයක්‌ එල්ල කරන්නට පටන් ගත්තේය. අතාවුද කීවේ මහීපාල පළාත් සභාවේ සම්පත් පවා ඒකාබද්ධ විපක්‍ෂයේ වැඩ කටයුතුවලට යොදා ගන්නට ඉඩ හැර ඇති බවකි.

මේ වෙලාවේ මහීපාල මුලින් ඊට උත්තර දෙන්නට පටන් ගත්තේ ඉතා සංවේදී ආරම්භයකිනි.

පුතා කරන්නේ වෙනම දේශපාලනයක්‌. නමුත් ශ්‍රී ලංකාකාරයෙක්‌ හැටියට මගේ දේශපාලනය ගැන ඔය විදියට චෝදනා නගන්න බෑ. අපි පක්‍ෂය පාවලා දෙන අය නොවෙයි. පක්‍ෂය පාවලා දීල වෙනම පක්‍ෂවලට මම යන්නේ නෑ. මම දේශපාලනයෙන් පැරදුණත් කරන්නේ ශ්‍රී ලංකා කාරයෙක්‌ හැටියට ගෙදර ඉන්න එක මිසක්‌ වෙන වෙන පක්‍ෂ හොයාගෙන යන එක නෙමෙයි...

එහෙත් ඊට බාධා කරමින් අතාවුද දිගටම ප්‍රහාර එල්ල කරන්නට විය. මෙයා මේවා ගැන කතා කරන්නේ මෙයා ශ්‍රී ලංකා කාරයෙක්‌ද නෑ.... මෙයා සම සමාජ කාරයෙක්‌ විතරයි... මහීපාල කීවේය.

නමුත් තමුන් ආවේ යූ. ඇන්. පී. එකෙන්... අතාවුද කීවේය.

දෙදෙනා අතර ආරවුල ටික ටික නරක පැත්තට යන බව තේරුම් ගත් ජනාධිපති මෛත්‍රී මේ "ආසන දෙකේ බණ" පූජාව නතර කරවමින් මෙසේ කීවේය.

හා හා ඇති දැන් දෙපැත්තෙන්ම ඕක නතර කරගන්න. අපි අනිත් දේවල් ගැන කතා කරමු.

ඒ අතර කුරුණෑගල ප්‍රශ්නයක්‌ ගැන කතාබහක්‌ ඇරඹිණි. පළාත් පාලන ඡන්දය සඳහා ශ්‍රීලනිපයෙන් තරග කරන අපේක්‍ෂකයන් තේරීමට මේ දිනවල පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණවලට නොපැමිණි පිරිසක්‌ පසුගියදා තම "පරීක්‍ෂණ ලිපි" පුළුස්‌සා දමමින් කළ විරෝධය ගැන කවුරුත් කතා බහ කරන්නට පටන් ගත්හ.

මේ ඔක්‌කොම කරවලා තියෙන්නේ ජොන්ස්‌ටන්. මෙහෙම කැඳවුම් ලිපි ගිනි තියපු තුන්දෙනෙක්‌ අද දවල් සම්මුඛ පරීක්‍ෂණවලටත් ඇවිත්. එයාලා ගිනි තිබ්බේ ලියුමේ ෙෆාටෝ කොපි විතරලු. ලිපිය අරන් ආවා. අපේ විජිත් විජයමුණි එයාලගෙන් ප්‍රශ්න කරලා තියනවා. අමරවීරත් දුමින්දත් විස්‌තර කර කියන්නට වූහ.

මෙයාලා කවුද කියලා හඳුනාගෙන විනය ක්‍රියාමාර්ග ගන්න තියන හැකිය හොයල බලන්න... µයිසර්ට එම වගකීමත් පැවරිණි.

ඉන් පසුව මතු වූ කාරණාව වූයේ පුත්තලමේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රශ්නයකි.

මෙයා කෙළින්ම කිව්වා ඔබතුමාගේ පක්‍ෂ නායකත්වය පිළිගන්නේ නැහැ කියලා දුමින්ද කීවේය.

ඔව්. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න එක්‌ක පැවැත්වුණු රූපවාහිනී සංවාදයකදී ලකීගේ ප්‍රශ්නයකට උත්තරයක්‌ දෙමින් එයා කෙළින්ම කිව්වා මෙහෙම අය පක්‍ෂයේ තියාගෙන බෑ. නායකත්වයට අභියෝග කිරීම වැරදියි.... මේ අයුරින් මැති ඇමැතිවරු යෝජනා කළේ සනත් නිශාන්තට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුම බවය.

තව ඉන්නවා මෛත්‍රීගේ නායකත්වය පිළිගන්නේ නෑ කියල තැන තැන කිය කියා යන කට්‌ටියක්‌. අර ප්‍රසන්න රණතුංගත් කියනවා මට ඇහිල තියෙනවා. ඇයි එයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න යෝජනා නොකරන්නේ.... චන්ද්‍රිකා ලොකු බෝම්බයක්‌ පත්තු කළත් කවුරුවත් ඊට හවුල් වූයේ නම් නැත.

සනත් පිළිබඳව ද තීන්දුවක්‌ තදට නොගැනිණි. එහෙත් ඔහුට එරෙහි චෝදනා ගොනු කරන්නට උපදෙස්‌ ලැබිණි.

කංචන ජයරත්න කියන්නේ සබරගමුවේ සභාපති. පවිත්‍රාගේ මහත්තයා. පසුගිය දවස්‌වල පළාත් සභාවේ වාහන පාවිච්චි කරගෙන ඇවිල්ල තමයි කංචනයි පවිත්‍රයි ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ වැඩ කරල තියෙන්නේ. මං ළඟ ඔක්‌කොම විස්‌තර තියෙනවා.

චන්ද්‍රිකා තව වෙඩිල්ලක්‌ පත්තු කළාය. නමුත් ඊට ද සෙසු අයගෙන් ලොකු තල්ලුවක්‌ නොවීය.

කෙසේ වෙතත් මේ මධ්‍යම කාරක සභා රැස්‌වීම සිතූ තරම් දරුණු එකක්‌ නම් වූයේ නැත. යම් යම් චෝදනා පමණක්‌ ඉස්‌මතු විය. එහෙත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග කිසිවක්‌ පිළිබඳ තීන්දු තීරණ නොවීය. සොයා බලන්නට පමණක්‌ µයිසර්ට උපදෙස්‌ ලැබිණි. මේ රැස්‌වීම හමාර කළ නායකයෝ විසිර ගියහ. කුමාර වෙල්ගමලා වැනි කිහිපදෙනෙක්‌ ආපසු ගියේ කරපු බිබික්‌කමක්‌ නැහැ නේ කියා සිතමින් විය හැකිය. කෙසේ වෙතත් මෙතන නොසතුටට පත් පිරිසක්‌ ද වූහ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඔවුන්ට පාඩමක්‌ උගන්නන්ට කියා දත කට මැදගෙන ආ පිරිස යළි ගියේ නම් නොසතුටිනි.

කරු වැඩ පටන් ගනියි

සති කිsහිපයක්‌ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව දේශපාලන කටයුතුවලින් බැහැර වී කටයුතු කළ කථානායක කරු ජයසූරිය යළි වැඩට බැස්‌සේ පසුගිය සතියේ මැද ය. එහිදී ඔහු මහත් සොම්නසින් එක්‌ විශේෂ රාජකාරියක්‌ සඳහා මැදිහත් විය. ඒ වූ කලී පාර්ලිමේන්තුවේ දී සම්මත වූ තොරතුරු දැන ගැනීමේ පනත පසුගිය බ්‍රහස්‌පතින්දා තම අත්සන යොදා ක්‍රියාත්මක කිරීමේ අවස්‌ථාවට මැදිහත් වීමයි.

මේ පනත මුල්වරට පාර්ලිමේන්තුවට ගෙන ආවේ කථානායක කරු එවක මන්ත්‍රීවරයකුව සිටි යුගයේ නිසා මෙය ක්‍රියාත්මක කරවීමට ලොකු උනන්දුවක්‌ ඔහු තුළ තිබිණි. මුලදී මුල්වරට පාර්ලිමේන්තුවට ගෙන ආ විට විශාල බහුතරයකින් පරාජය වූ මෙම පනත මෙවර පාර්ලිමේන්තුවේ 225 දෙනාම අනුමත කරන ලද පනතක්‌ වීම ගැන කරු මහත් සේ සතුටු වූයේය. බ්‍රහස්‌පතින්දා උදේ 8.52 ට යෙදුණු සුබ මොහොතින් කරු එම පනත බලාත්මක කරමින් අත්සන් තැබුවේය.

මම අද විශාල බරකින් නිදහස්‌ වුණා. අනාගත පරපුර වෙනුවෙන් ශිෂ්ට සම්පන්න සමාජයක්‌ වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක්‌ ඉටුකළ දවසක්‌ ලෙස මේ දිනය මට වැදගත් වේවි. කරු කීවේය.

පනත අත්සන් කිරීමෙන් පසුව නිලධාරීන් සමඟ කතාබහ කරමින් සතුට බෙදාගත් කරු ඊළඟට ගියේ පක්‍ෂ නායක රැස්‌වීමේ මුලසුන හොබවමින් ලබන සතියේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කතාබහ කර ගන්නටය.

රනිල් විපක්‍ෂයට ඇවිත්

ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි ශ්‍රී ලංකාවට ආවේ බදාදා මහ රාත්‍රියේ ය. එහෙත් පසුවදා උදෙන්ම ගමන් වෙහෙස පවා නොතකා වැඩ පටන් ගත්තේ අතපසුවුණ වැඩ රාජකාරි ද රාශියක්‌ තිබූ නිසා ය.

උදෙන්ම සිරිත් පරිදි සිරිකොත කාර්යාලයට යන විට හිතවත් මැති ඇමැතිවරු සියල්ල අගමැතිවරයා හමුවීමේ බලාපොරොත්තුවෙන් මග බලා සිටියහ.

අර පාද යාත්‍රාවක්‌ ආව නේද නුවර ඉඳල කඩාගෙන බිඳගෙන කොළඹට ආණ්‌ඩුව පෙරළන්න කියාගෙන. මම ඉන්දුනීසියාවේ ඉඳල ආවේ විපක්‍ෂයේ වාඩි වෙන්න බලාගෙන...... කෝ..... තවමත් මේවා මෙහෙමම තියෙනවානේ.

රනිල් කාර්යාලයට ඇතුළු වුණේම කිරිඇල්ලට විහිළුවක්‌ කරගෙනය.

"කෝ.... කෝ. ලකී.. මට කියන්නකෝ මොනවද ඔය මහනුවර වුණේ...." රනිල් කිරිඇල්ලගෙන් ඇසීය.

28 වැනිදා අපේ සාමාජික ප්‍රවර්ධන වැඩ කටයුතුයි එයාලගේ පාද යාත්‍රාවයි දෙකටම මහනුවර නගරය තහනම් වුණා. ජනාධිපතිතුමා සහභාගි වුණ උත්සව ගණනාවක්‌ මාවනැල්ලේ තිබුණ නිසා පාද යාත්‍රාවට මාවනැල්ල නගරය තහනම් වුණා. එච්චරයි. කිරිඇල්ල කීවේය.

"ඇයි ඔයාලා ඔය වෙලාවටම මහනුවර සාමාජික ප්‍රවර්ධනයක්‌ දමා ගත්තේ" රනිල් ඇසීය.

"මම සාමාජික ප්‍රවර්ධනයකට පොලිසියෙන් අවසර ගන්න කොට ඔය පාද යාත්‍රාවක්‌ ගැනවත් පිට්‌ටනි බුක්‌ කිරීමක්‌ ගැනවත් පොලිසිය දැනුවත් වෙලා නෑ. පොලිසිය කියනවා එහෙම දේකට එයාලා අවසර අරන් තිබුණේ නැහැලු. අන්තිමේ මේ කොහේද යන පා ගමනක්‌ නිසා අපේ සාමාජික ප්‍රවර්ධනයයි කඩාකප්පල් වුණේ" කිරිඇල්ල කීවේය.

එදා කාර්Êරේස්‌ පැද්දා. කැසිනෝ ගෙනාවා. මත්පැන් බිබී ජෝගි නැටුවා. ආණ්‌ඩු බලය තියාගෙන මේ පුණ්‍ය භූමියේ ජෝගි නටපු ඒ මිනිස්‌සුන්ට මෙදා මේ පුණ්‍ය භූමිය තහනම් කරන්න අධිකරණය පියවර ගත්තේ සතර මහා දෙවියන්ගේ ඇල්ම බැල්ම අධිකරණයට ලැබුණ නිසා වෙන්න ඇති." කිරිඇල්ල තවදුරටත් කීවේය.

"සර්..... පසුගිය සඳුදා උදේ මහින්ද සර්ට කතා කරල පිට්‌ටනියක්‌ ඉල්ලුවද? දයා ගමගේ ඇසුවේය.

"ඔව්. කතා කළා තමයි. කතා කරල පා ගමනේ රැස්‌වීම තියන්න පිට්‌ටනියක්‌ නෑ කියලා ලොකු කතාවක්‌ කිව්වා. පස්‌සේ මම ජනාධිපතිත් එක්‌ක කතා කළා. අර ඩලස්‌ කිව්වානේ ලක්‍ෂ 10 ක්‌ කොළඹට ගේනවා කියලා. ඉතින් ලොකුම පිට්‌ටනියක්‌ ඕන නිසයි මම කැම්බල් එක ගන්න කියලා කිව්වේ" රනිල් කීවේය.

ඒ වුණාට අන්තිමේ එයාලා ගත්තේ ලිප්ටන් එක. කොළඹට ඇවිල්ලා තියෙන්නේ 18,000 යි. ලිප්ටන් එක කියන්නේ ලොකු මිදුලක්‌ වගේ තැනක්‌නේ. කිරිඇල්ල කීවේය.

ඉන් පසුව වජිර, ගයන්ත, නවීන්, රන්ජන් පාද යාත්‍රාවේ වූ විවිධ විස්‌තර කියන්නට පටන් ගත්හ. රන්ජන් උත්කර්ශයට නඟමින් පාද යාත්‍රාවේ අඩුපාඩු පෙන්වා දෙමින් කතා කළේය.

අන්තිම නරක සටන් පාඨ ටිකක්‌ තමයි පාවිච්චි කළේ, එයාලා දිගටම කියපු සටන් පාඨයක්‌ තමයි "පොලොන්නරුවේ කලවැද්දා රනිල් එක්‌ක ...... වැද්දා" කියන පාඨය. ඉතාමත් ම නරක දේවල්. රන්ජන් කීවේය.

"පක්‍ෂ මූලස්‌ථානයට හූ කිව්වා. පුංචි ළමයෙක්‌ යොදාගෙන රටේ නායකයන්ට අපහාස කෙරෙව්වා. නාමල් ඔළුවෙ රෙදි කෑල්ලක්‌ බැඳගෙන වැද්දෙක්‌ වගේ බයිල නැටුවා..... " රන්ජන් තවදුරටත් කීවේය.

"අන්තිමේ මහින්ද නාමල්ව සමාන කරනවානේ මැන්ඩෙලාට. මැන්ඩෙලාත් පෙළපාලිවල යන්නේ නට නටාලු......" කිරිඇල්ල කීවේය.

"නාමල්ට තියෙන අමාරුව මැන්ඩෙලාට තියෙනවා නම් අපි දැකල නෑ." රන්ජන් කීවේය.

ඉන් පසුව දයා ගමගේ, වජිර, ගයන්ත, නවීන්, කිරිඇල්ල තවත් විස්‌තර ගණනාවක්‌ කියන්න පටන් ගත්හ. සමහර විස්‌තර මිලින්ද මොරගොඩ ගැනය.

ෆාත් µයින්ඩර් එක හරහා මිලින්ද ජනාධිපති මෛත්‍රිවයි ගෝඨාභයවයි සමගි කරවන්න හදනවාලු චීනයේ වුවමනාවකට. කතාවක්‌ නම් යනවා...... කිරිඇල්ල කීවේ රනිල්ට රහසක්‌ කියන්නාක්‌ මෙනි.

මිලින්ද ඉන්දියාව අල්ලන් අවුරුදු 20 ක්‌ විතර හිටියා. දැන් ඉන්දියාව මිලින්ද කවුද කියලා දන්නවා. දැන් එතැනින් ගැලවිලා මිලින්ද චීනය අල්ලගෙන ඉන්නවා. චීනෙත් වැඩිකල් යන්න කලින් මිලින්ද කියන්නේ කවුද කියලා දැනගනීවි නේ." රනිල් කීවේය.

මේ කතාබහට පසුව අගමැතිවරයා ඇමැතිවරු සමඟ කතා කළේ හිටපු ජනාධිපති මහින්ද මල්වතු පාර්ශ්වය සමඟ සම්බන්ධ වූ එක්‌තරා කතාබහක්‌ ගැනය. කෙසේ වෙතත් ඒ කතාබහ වැඩිදුර ගියේ නැත.

අන්තිමේ රනිල් ඉන්දුනීසියානු සංචාරය හා ඉන් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන ලොකු විස්‌තරයක්‌ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.