ඒ විදිහටම ගියා නම් රට දැං බංකොළොත්
ඇමැති මලික්‌ කියයි

සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර - ශ්‍යාම් නුවන් ගනේවත්ත

* 'එට්‌කා' නිසා ඉන්දියාවෙන් කවුරුත් මෙහෙ එන්නේ නෑ

වත්මන් රජයේ උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා සමඟ අපි කාලීන දේශපාලන හා ආර්ථික කරුණු ගණනාවක්‌ ගැන සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ "දිවයින ඉරිදා සංග්‍රහය" ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරයා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය - එජාප ප්‍රබල ඡන්ද මධ්‍යස්‌ථානයක්‌ කන්ද උඩරට. මේ කන්ද උඩරටින් තමයි රජයට එරෙහි ඒකාබද්ධ විපක්‌ෂයේ පාද යාත්‍රාව ආරම්භ වුණේ?

පිළිතුර - කන්ද උඩරටින් කිසි විරෝධයක්‌ ඇවිත් නෑ ආණ්‌ඩුවට. අපිත් පාද යාත්‍රා යනවා. දැන් අපි පාද යාත්‍රා යන්නේ සංවර්ධනය වෙනුවෙන්. අපිත් දැන් හම්බන්තොට, ත්‍රිකුණාමලය, වයඹ සහ කොළඹ සංවර්ධන කටයුතු රාශියක්‌ ආරම්භ කර තියෙනවා. ඒක තමයි අපේ පාගමන. මේ අය පා ගමන යන්නේ බල තණ්‌හාවට. බලයට කෑදරකමට. වෙන මොහොකටවත් නෙවෙයි. ඒක තේරෙනවනෙ, මිනිස්‌සු එච්චර සහභාගි වුණෙත් නෑ. පාද යාත්‍රා ගිහින් ආණ්‌ඩුවක්‌ පෙරළන්න බෑ.

දැන් අපේ ආණ්‌ඩුව ඇවිත් අවුරුද්දක්‌ නෑ. මේ වසරක කෙටි කාලය තුළ අපි සෑහෙන වැඩ කොටසක්‌ කරල තියෙනව. ඒවගේම තව වැඩ රාශියකට අත්තිවාරම් දාල තියෙනව. ප්‍රතිඵල එන්න අවුරුදු එකහමාරක්‌, දෙකක්‌ විතර යනව. හැබැයි සැලැස්‌මක්‌ අනුවයි අපි අත්තිවාරම් දාල තියෙන්නේ. අපි රට සංවර්ධනය කරන්නෙ සැලැස්‌මකට අනුවයි.

ප්‍රශ්නය - පළිගැනීමේ ගමන නම් දිගටම කරගෙන යනවා නේද?

පිළිතුර - පළිගත්තෙ නෑ. එහෙම පළිගත්ත නම් හිටපු ඇමැතිවරු බාගයක්‌ හිරේ. ඉස්‌සර ඔබලම දැක්‌කනෙ සරත් ෙෆාන්සේකා ඇමැතිතුමාගෙන් සහ අනිත් අයගෙන් පළිගත්ත හැටි. ඒක හැම එක්‌කෙනාටම පෙනුණ. දැන් අද එහෙම තත්ත්වයක්‌ නෑනෙ. අද උසාවියට ගිහින්, නඩු අහල ඇප ගන්න පුළුවන් නම් ඇපත් ගන්නව. එහෙම අද හැම දෙයක්‌ම සිද්ධ වෙන්නෙ නීතියට අනුවයි. උසාවියත් ස්‌වාධීනව කටයුතු කරනවා. ඒක කාටත් පේනව. දැන් පළිගන්නව කියන එක නම් කාටත් පිළිගන්න පුළුවන් කියල මම නම් හිතන්නෙ නෑ. පළිගන්න ඕනකම තිබුණ නම් හිටපු කැබිනට්‌ එකේ බොහෝ දෙනෙක්‌ මෙලහකට හිරේ.

ප්‍රශ්නය( ඇයි ඔබතුමාල විපක්‍ෂයේ කටයුතුවලට ඔය තරම් බාධා කරන්නෙ ඇයි? පා ගමනට එරෙහිව උසාවිවලින් තීන්දු ගන්නත් කටයුතු කළානෙ.?

පිළිතුර - නෑ අපි ගත්තෙ නෑනෙ. අපේ පක්‍ෂයෙන් ඒ සඳහා කිසිම සම්බන්ධයක්‌ නෑ. ඒක පොලිසියෙන් ගත්ත එකක්‌. අපි ඒ අයට එහෙම කරන්න කිව්වෙත් නෑ.

ප්‍රශ්නය - උදය ගම්මන්පිල මහතා පොලිස්‌පතිතුමාට චෝදනා කරනවා කොළපාට තොප්පියක්‌ දාගෙන සිරිකොත මුර කරන්න කියල.

පිළිතුර - උදය ගම්මන්පිල මහත්තයට ඕන එකක්‌ කියන්න පුළුවන්. පා ගමනට එරෙහිව අපි කිසිදෙයක්‌ කළේ නෑ. පාගමන පටන් ගත්ත දවසෙ තිබුණු අපේ සාමාජික ප්‍රවර්ධන කටයුතුත් නතර කළානෙ. පොලිසිය මොනවද කරන්නෙ කියලා පොලිස්‌පතිගෙන් අහන්න ඕන.

ප්‍රශ්නය - පොලිසිය තියෙන්නෙ රජය යටතෙනෙ.?

පිළිතුර - නෑ. පොලිසිය තියෙන්නෙ රජය යටතෙ නොවෙයි, පොලිස්‌ කොමිෂන් එක යටතේ.

ප්‍රශ්නය - ඔබතුමා බොහොම ළඟින්, සමහර විට යටින් හිටපු ජනාධිපතිතුමාව ආශ්‍රය කරා කියල ආරංචියක්‌ තියෙනව. අර සිරිකොතට එරෙහි ගැටුමෙදි සිරිකොත ඉස්‌සරහ පාරට තාර දැම්මෙ ඔබතුමාගෙ ඉල්ලීමක්‌ අනුව බවත් පැවසෙනවා?

පිළිතුර - නෑ. ඒක සම්පූර්ණ බොරුවක්‌. අපි යටින් කිසි වැඩක්‌ කරල නෑ. මට එතුමත් එක්‌ක මිත්‍රත්වයක්‌ තියෙනව අවුරුදු 40 කට වැඩිය. ඒ දේශපාලන ගමන යන එකට නෙවෙයි. අපි දේශපාලන වශයෙන් අපේ පක්‍ෂයේ කටයුතු කරගෙන යනවා. ඒ හැර ඒ මිත්‍රත්වය අනුව යටින් කිසි දෙයක්‌ කරල නෑ.

ප්‍රශ්නය - ඔබතුමාලගෙ පන්තියෙ සමාගම කරගෙන යන රට කොහොමද? ඔබතුමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි, චරිත රත්වත්තේ මහත්තයයි සිටි ඔබතුමාලගෙ පන්තියෙ සමාගම?

පිළිතුර - චරිත රත්වත්තේ අපිට වඩා අවුරුද්දක්‌ වැඩිමල්. අපේ පන්තියේ හිටිය දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සහ අනුර බණ්‌ඩාරනායක ඇමැතිතුමාත් පන්තියෙ නිසා නෙවෙයි. අපි රට දියුණු කරන්නයි යම්කිසි විදිහකට කටයුතු කරන්නේ. පෞද්ගලිකව අපට දෙයක්‌ ලබාගන්න නෙවෙයි.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‌ෂය බොහොම ප්‍රචලිත වෙලා තිබුණෙ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියල. මොකද එක්‌සත් ජාතික පක්‍ෂය තමයි රටේ ආර්ථිකයේ පෙරළි කළේ අතීතයෙ ඉඳල. විශේෂයෙන් විපක්‌ෂයේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තය නිතරම ආර්ථිකය ගැන කතා කළා. ඒත් තාම එක්‌සත් ජාතික පක්‍ෂය කරන සංවර්ධනය මොකක්‌ද කියන එක ප්‍රශ්නයක්‌. මහින්ද රාජපක්‌ෂ මහත්තය කරපු සංවර්ධනය විතරයි පේන්න තියෙන්නෙ?

පිළිතුර - මහින්ද රාජපක්‌ෂ කරපු සංවර්ධනයක්‌ නෑ. ඇත්ත කියනව නම් පාරවල් හැදුවා. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ හැදුවා. ඒවා කළේ සම්පූර්ණයෙන්ම රටට පාඩුවෙන විදිහට. රුපියල් කෝටි ගණන් වියදම් කරල හම්බන්තොට වරාය හදල, නැවක්‌ එකක්‌ දෙකක්‌ එනව නම්, ඒ වගේම එක දවසකට දහයක්‌ පහළොවක්‌ මගීන් බස්‌සන එයා පෝට්‌ එකක්‌ තියෙනව නම්, එක ප්ලේන් එකක්‌ ඇවිත්, ඒක සංවර්ධනය නෙවෙයිනෙ. සංවර්ධනය කියන්නේ යම්කිසි දෙයක්‌ කරල ඒකෙ හොඳ ප්‍රතිඵල එන්න ඕන. එහෙම හිතන්නෙ නැතුව, මොනව හරි ගොඩනඟල රටේ තියෙන සල්ලි නාස්‌ති කිරීම සංවර්ධනයක්‌ නෙවෙයි. අපි කරන්න යන්නේ ඒවායින් ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙළක්‌. අපි බලන්නෙ මේවායින් ප්‍රතිඵල ලබාගන්නෙ කොහොමද කියන එකයි. ඔබ කිව්ව වගේ එක්‌සත් ජාතික පක්‌ෂය හැමදාම සංවර්ධනය පෙන්නල තියෙනව. ඡේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙ කාලෙ සිටම. දැන් අපිත් ඒ අත්තිවාරම තමයි හදාගෙන යන්නේ. ඒකට දැන් හොඳම අවස්‌ථාවක්‌ තියෙනව. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, ඒ පක්‌ෂයත් එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරනව. එහෙම ඔක්‌කොම එකතුවෙලා වැඩ කරනකොට තමයි වෙනසක්‌ කරන්න පුළුවන්.

දැන් බලන්න රට ගිය විදිහටම ගියා නම් මෙලහට රට බංකොළොත්. රට එහෙනම් බොහොම පහළටම වැටෙන්න ඉඩ තිබුණා. නමුත් මේ හවුල් ආණ්‌ඩුව අද ලෝකමෙ පිළිඅරන් තියෙනව. මේක තමයි මේ රටට හරි විදිහට ඉස්‌සරට ගෙනියන්න පුළුවන් හොඳම අවස්‌ථාව.

ප්‍රශ්නය - ඔබතුමා ඔහොම කිව්වට තාම රටේ කිසිම සංවර්ධනයක්‌ පේන්න නෑ. ඡේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වගේ එජාප රජයන් කාලෙ ඒ ආණ්‌ඩුවල ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ බොහොම දක්‌ෂයන් හිටිය. ඒත් වත්මන් එජාපය තුළ එහෙම දක්‌ෂයන් ඉන්න බවක්‌ පේන්න නෑ. ඒ නිසා රටේ සිද්ධ වෙන සංවර්ධනයක්‌ පේන්නත් නෑ?

පිළිතුර - ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමත් ආව ගමන් පළවැනි අවුරුදු දෙකේ කිසි දෙයක්‌ වුණේ නෑනෙ. මුලින් ඒගොල්ලන් ඒ සැලැස්‌ම හැදුව. 77 දී ආවෙ. 77 සහ 78 දී ඒ සැලැස්‌ම හදාගෙන ගියා. 79, 80 වෙනකොට තමයි ඔක්‌කොම ව්‍යාපෘති ආරම්භ වුණේ.

ඒ වගේ අපේ රජයටත් තාම අවුරුද්දයි. අපි තාම සැලැස්‌ම සාදාගෙන යනවා. ලබන වසර වෙනකොට ප්‍රතිඵල පෙනෙයි. අනිත් එක අපි විතරක්‌ නොවෙයි ජනාධිපතිතුමාගෙ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂෙන් දක්‌ෂ ඇමැතිවරු ඉන්නව අපි එක්‌ක වැඩ කරන. ඉතින් අපි ඔක්‌කොම එකටයි වැඩ කරන්නෙ. එක්‌සත් ජාතික පක්‍ෂය විතරක්‌ නොවෙයි. මේ හොඳම අවස්‌ථාව. දෙගොල්ලන්ටම එකතුවෙලා රට දියුණු කරන්න. ඒකෙදි ආර්ථික තත්ත්වය ඔබලාට පෙනෙයි, වසරකින් දෙකකින් කොහොමද ඇති වන වෙනස කියලා.

ප්‍රශ්නය - ගිය වසරේ (2015) අගෝස්‌තු මාසෙ තමයි ඔබතුමාලා ඇමැතිවරු බවට පත්වන්නේ. මේ අවුරුද්ද තුළ විශේෂයෙන් ඔබතුමාගෙ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනවල ප්‍රගතියක්‌ ගැන අපට කියන්න පුළුවන්ද?

පිළිතුර - ඔව්. බලන්න අපි කරන වැඩ කොටස. දැන් හම්බන්තොට ඒ සැලැස්‌ම හදල තියෙනව.

මේ වසර (2016) අවසන් වීමට පෙර ඒ ආයෝජකයො ඇවිත් ඒවායේ ව්‍යාපාර පටන් ගන්න ලෑස්‌තියි. මම හිතන්නෙ තව මාසයකින්, දෙකකින් ඒව ඔක්‌කොම පෙන්වන්න පුළුවන්. වරාය විතරක්‌ නොවෙයි අයෝජන කලාප සඳහා අවශ්‍ය ඉඩම් අත්පත්කර ගත්තයින් පසු ඒගොල්ලන්ට ඒව භාර දෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක්‌ විතර ආයෝජනය වෙයි කියල අපිට පේනවා.

බලන්න කොළඹ මෙගා පොලිස්‌ නගර සංවර්ධන ව්‍යාපෘතිය. ඒ වගේම අපි නුවර සහ ත්‍රිකුණාමලෙත් දියුණු කරන්න යනවා. ඒ වගේම වයඹ. ඒ නිසා අපි ලොකු වැඩකොටසක්‌ කරගෙන යනවා. ඊළඟ මාස හය හතේදි පෙනේවි මොනවද වෙන්නෙ කියලා.

ප්‍රශ්නය - කෝ එතකොට අර එනව කියපු ෙෆාක්‌ස්‌වැගන් සමාගම.?

පිළිතුර - ඒකත් එනව කියල කියනවා. මම දන්න හැටියට ඒ ගිවිසුම දැන් අත්සන් කරලා තියෙන්නෙ.

ප්‍රශ්නය - හැබැයි ෙෆාක්‌ස්‌වැගන් සමාගමත් එක්‌ක නොවෙයි ලංකාවෙ සමාගමක්‌ එක්‌ක?

පිළිතුර - එහෙම තමයි මටත් ආරංචිය. හැබැයි ෙෆාක්‌ස්‌වැගන් කාර් තමයි හැදෙන්නෙ. ඒ වගේම පසුගිය දිනවල සාකච්ඡා කළා ඉන්දියාවෙ මහේන්ද්‍ර සමාගමත් එක්‌ක. ඒ අයගෙ අදහසක්‌ තියෙනවා මෙහේ වාහන නිපදවන්න ත්‍රිකුණාමලේ. ඒව අපි සාකච්ඡා කරගෙන යනවා. ඒව වෙන්න ටිකක්‌ කල් යයි.

ප්‍රශ්නය - දැන් මේ ආණ්‌ඩුව එජාප සහ ශ්‍රීලනිප හවුල් ආණ්‌ඩුවක්‌නෙ. ආණ්‌ඩුව නියෝජනය කරන එම දෙපාර්ශ්වයේම එකඟතාවෙන් තීන්දු තීරණ ගත්තොත් තමයි ඒව ප්‍රයෝගිකව සාර්ථක වෙන්නෙ.

පිළිතුර - ඔව්. ඒක ඇත්ත.

ප්‍රශ්නය - දැං වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාව ගත්තොත් මුලින්ම යෝජනාව ඉදිරිපත් කළා. ඒක ක්‍රියාත්මක කරන්න ගියහම රටේ විරෝධතා ආවා. ඊට පසු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ශ්‍රීලනිප සංශෝධන ප්‍රමාණයකුත් දෙනව කියලා. සමහර ශ්‍රීලනිප ඇමැතිවරු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනව ශ්‍රීලනිප සංශෝධන නැත්නම් පාර්ලිමේන්තුවෙ ඒ පනත සම්මත කරගන්න දෙන්නෙ නෑ කියලා. ඒ නිසා ආණ්‌ඩුව ඇතුළෙ දේශපාලන අර්බුදය විසඳගෙන, එක බදු යෝජනාවක්‌ ගෙනත් ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත නම් ඔය උසාවියෙ ප්‍රශ්නෙවත් මතු වෙන්නෙ නැහැ නේද?

පිළිතුර - මට තේරෙනව ඔබ කියන දේ. හැබැයි එකක්‌ කියන්න ඕන. දැන් තියෙනවනෙ ආර්ථික කටයුතු ගැන කැබිනට්‌ කමිටුව. ඒකෙ දෙපක්‍ෂයේම අය ඉන්නවා. ශ්‍රීලනිප ඇමැතිවරුත් අපේ ඇමැතිවරුත් ඉන්නවා. එතන ඔය ඔක්‌කොම සාකච්ඡා කරනවා. නමුත් ඔය කියන එක මම පිළිගන්නවා. මොකද අපි මීටත් වඩා දුරට සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ අනුව දැන් අගමැතිතුමාත් කල්පනා කරල තියෙනව, බජට්‌ ඔµsස්‌ එකක්‌ වාගේ එකක්‌ හදන්න. එතකොට මුදල් අමාත්‍යාංශයේ වෙන වැඩ කටයුතු එතන සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට පහසුවෙන් තීන්දු ගන්න පුළුවන් වෙනවා.

ප්‍රශ්නය - මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ලොකු දුර්වලතාවක්‌ තියෙනව කියල බොහෝ දෙනෙක්‌ කියනවා. සමහරවිට ප්‍රශ්නයක්‌ සාකච්ඡා කරන්නත් අපහසු බව කියනවා.?

පිළිතුර - ඒ ගැන මට කියන්න අපහසුයි. මම හිතන්නෙ එතුමත් හැම එක්‌කෙනා සමඟම සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය - ඇමැතිතුමා බොහෝ දෙනෙක්‌ කියන්නෙ දැන් පසුගිය අයවැයේ (2016) කෑලිත් නෑ කියලයි.?

පිළිතුර - එක අතකින් බලනකොට ඒකත් හොඳ දෙයක්‌. මිනිස්‌සුන්ගෙ ප්‍රශ්නවලට කන්දෙනවා. ඉස්‌සර එහෙම නොවෙයිනෙ. තීරණයක්‌ ගත්තම ඒ තීරණ එහෙමමයි.

ප්‍රශ්නය - ඒත් ඇමැතිතුමනි..........

පිළිතුර(- ඔව් මින් ඉදිරියට මම හිතන්නෙ මීට වඩා කල්පනා කරල තීරණ ගනියි. ඒ අනුව ගන්න තීරණ විටින් විට වෙනස්‌ කරන්න අවශ්‍යතාවක්‌ මතු වෙන එකක්‌ නෑ.

ප්‍රශ්නය - ව්‍යාපාරික ප්‍රජාවට, අයෝජකයන්ට අනාගතය පුරෝකථනය කරන්න, ඒ අනුව තම ව්‍යාපාරික හා ආයෝජන තීන්දු තීරණ ගන්න රටට පැහැදිලි බදු ප්‍රතිපත්තියක්‌, ආර්ථික ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. තාම වැට්‌ බදු ප්‍රතිශතය කුමක්‌දැයි කියල කිසිවෙක්‌ දන්නෙ නෑ.?

පිළිතුර - ඒක දැන් පාර්ලිමේන්තුවට ගේනවනෙ. ඔබ කියන කාරණයේ ඇත්තක්‌ තියෙනවා. අපි මේව හදාගෙන ඉස්‌සරහට යන්න ඕන. ඒකයි මම කිව්වෙ ඔක්‌කොම එකතුවෙලා තීරණයක්‌ ගත්තයින් පස්‌සෙ ඒ තීරණය අනුව කටයුතු කරන්න ඕන.

වැට්‌ ඒ විදිහට සියයට හතරක්‌ වැඩි කරන්න අවශ්‍යයි. මොකද අපිට තිබෙන මේ ආර්ථික තත්ත්වය නිසා. ඒ වගේම රටේ බදු ගෙවන කොටස ඉතාම සුළු කොටසක්‌. වෙන රටවල්වල වාගේ නොවෙයි. චීනෙ වුණත් හැම එක්‌කෙනාම වාගේ බදු ගෙවනවා. ඒ වගේ අපටත් ඒව කරන්න වෙනවා. ඒ මුදල්වලින් අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන්. සෞඛ්‍ය සේවය දියුණු කරන්න පුළුවන්. එහෙම රටක්‌ දියුණු කරන්න නම් මීට වඩා වැඩි දෙනෙක්‌ අපි බදු ගෙවන්න ලෑස්‌ති වෙන්න ඕන. ඒ වාගේම විදේශ ආයෝජන යටතේ මුදල් ඇවිත්, අපේ ආර්ථික තත්ත්වය දියුණු වුණහම සංවර්ධනය ඇති වුණහම. නැවතත් ඒ වැට්‌ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. අපි තවම අවුරුද්දයි ඇවිල්ල. අර පරණ ණය නිසා අපට මේ වගේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

ප්‍රශ්නය - ඔබතුමාලා අපේ ජනතාවගෙ ප්‍රශ්නවලට වඩා 'එට්‌කා' ගිවිසුම හරහා විසඳන්න යන්නෙ ඉන්දියාවෙ ජනතාවගෙ ප්‍රශ්න බවයි පේන්නෙ.?

පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්‌. එහෙම වෙන්නෙ නෑ. මොකද ඉන්දියාවෙන් කවුරුත් මෙහාට ගේන්නෙ නැහැ. මේ බොරු ප්‍රචාර කරන්නෙ දේශපාලන වාසි ගන්නයි. අවසන් ගිවිසුම අත්සන් කරන්න පෙර මම කියලා තියෙනවා අපි ඒක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනව කියලා. එතකොට හැම කෙනාටම පේනවනෙ. අපි තවම සාකච්ඡා කරලත් නැහැ. කිසිම දේකට තවම එකඟ වෙලත් නෑ. ඉතිං මොකටද මේ විරුද්ධ වෙන්නෙ. ඒකයි මට තියන ප්‍රශ්නය. මේ ගැන සාකච්ඡා කරන්න ඉන්දියානු නියෝජිත පිරිසක්‌ පැමිණීමට නියමිතව තිබෙනවා. අපි ඉට්‌කා ගැන වාණිජ මණ්‌ඩල, වෘත්තීය සංගම් හැම එක්‌කෙනෙක්‌ සමඟම සාකච්ඡා කරගෙන යනවා. දැනට අපි සාකච්ඡා කරන මූලික ගිවිසුම (Fර්පැඅදරන aටරුeපැබඑ) අපේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඇතුළත් කරන්න කටයුතු කරන්නම්.

ප්‍රශ්නය - එජාප ආණ්‌ඩුව ඉන්දියාවට හරියට කළගුණ සලකන ගතියක්‌ පේනවා.?

පිළිතුර - අපි හැම රටක්‌ සමඟම සහයෝගයෙන් වැඩ කරනවා. ඉන්දියාව කියනවා අපි චීනෙත් එක්‌ක හුඟක්‌ ළඟින් වැඩ කරනවා කියලා. චීනය කියනව අපි ඉන්දියාවත් එක්‌ක ළඟින් වැඩ කරනව කියලා. රටවල් අතර තියෙන ප්‍රශ්නනෙ ඒවා. නමුත් අපි හැම රටක්‌ සමඟම එක විදිහට වැඩ කටයුතු කරනවා.

ප්‍රශ්නය - 'එට්‌කා' හරහා ඔබතුමාල ඉටුකරන්නෙ ඉන්දියාවෙ අවශ්‍යතාවක්‌ නොවෙයිද?

පිළිතුර - නෑ නෑ ඒක අපේ අගමැතිතුමයි ආණ්‌ඩුවයි අවශ්‍යතාව අනුව කරන්නෙ. අපේ තියෙන වෙළෙඳපොළ මිලියන 20 යිනෙ. අපිට ඕන විශාල වෙළෙඳපොළක්‌. චීනයයි ඉන්දියාවයි එක්‌ක අපි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කළොත් බිලියන 2.5 ක විශාල වෙළෙඳපොළක්‌ විවර වෙනවා. අපිට වාසියක්‌ නැත්නම් අපි මේ ගිවිසුම් අත්සන් කරන්නෙ නැහැ.

ප්‍රශ්නය - ඔබතුමාට සහතිකයක්‌ දෙන්න පුළුවන්ද 'එට්‌කා' හරහා ඉන්දීය වෘත්තිකයින් මෙහේ රැකියාවලට එන්නෙ නෑ කියලා.

පිළිතුර - නෑ. එහෙම වෙන්නෙ නෑ. අවශ්‍යතාවක්‌ තියනව නම් පමණක්‌ අපට ගෙන්ව ගන්න පුළුවන්. ඕනෙ නැත්නම් ප්‍රශ්නයක්‌ නෑ. දැනට එහෙම ගෙන්වා ගන්න අවස්‌ථාවක්‌ තියෙනවා. වෛද්‍යවරු මේකට බය වෙන්නෙ මොකද කියලා මට හිතාගන්න බෑ.

ප්‍රශ්නය - ඉදිරි පළාත් පාලන ඡන්දෙදි එජාපය වෙනම ඉල්ලනවාද නැත්නම් හංසයාගෙන් ඉල්ලනවාද?

පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂයට තනිවම තමයි ඉල්ලන්න වෙන්නෙ. ආණ්‌ඩුවක්‌ විදිහට අපි එකට වැඩ කළත්, අපි බිම් මට්‌ටමේදී අපේ පාක්‌ෂිකයන්ට අවස්‌ථාව දෙන්න ඕන. පළාත් පාලන ආයතනවලට තරඟ කරලා ඒ පළාත්වලට සේවයක්‌ කරන්න.

ප්‍රශ්නය - දැන් එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩු බලයක්‌ තිබුණත් ගිය පාර ජනාධිපතිවරණයට අපේක්‌ෂකයෙක්‌ දාගන්න බැරිවුණා.

පිළිතුර - නෑ. අපේක්‌ෂකයෙක්‌ දාගන්න බැරි වුණා නොවෙයි. අපිට ඕනකම තිබුණෙ කොහොමද ගිය ආණ්‌ඩුව පෙරළන්නෙ කියන එකයි. ඒක නිසා තමයි අපි ඒ විදියට ඉදිරිපත් වුණේ. හැම කෙනාටම පිළිගන්න පුළුවන් අපේක්‌ෂකයෙක්‌ ඉදිරිපත් කළා. එජාපය තනිවම ඉදිරිපත් වුණා නම් එජාපය විතරයිනෙ. මේ විදිහට ආව නිසා තමයි ආණ්‌ඩුව පෙරළන්න හැකිවුණේ. ඒ අවස්‌ථාව බලල අපි තීරණය කරන්නයි ඕන. අපට මේ රට දියුණු කරන්න ඕන. රට හරි මගට ගෙනියන්න පුළුවන් අයට අපි සහාය දෙන්න ඕන. ඒ අනුව දැන් ජනාධිපතිතුමයි අගමැතිතුමයි සුහදව කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය - එජාපයේම ජනාධිපතිවරයෙක්‌ පත් කර ගැනීමට බැරිවෙයි නේද?

පිළිතුර - එහෙමත් අවස්‌ථාවක්‌ එයි. අපි ඒ ගැන දැනට හිතන්නෙ නෑ. අපි දැන් හිතන්නෙ මේ රට කොහොමද ඉස්‌සරහට ගෙනියන්නෙ කියන එකයි. දේශපාලන වුවමනාවන්ට වඩා ඉස්‌සෙල්ලාම රට හදා ගැනීමටයි අපට අවශ්‍ය.

ප්‍රශ්නය - ඔබතුමා අනාගතයෙදි ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?

පිළිතුර - බලාපොරොත්තුවක්‌ නෑ. මේ අවුරුදු පහ වැඩ කරල ඊට පස්‌සෙ තීරණයක්‌ ගන්නවා. අපිට ඕන මේ රට හරි විදිහට හදන්නයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.