තුන්බිය දැනෙන රියෝ ඔලිම්පික්‌ උළෙල...

ඔලිම්පික්‌ සත්කාරකත්වය යනු රටකට අහඹු ලෙස හිමිවන ලෝක ත්‍යාගයකි. වසර 120 ක්‌ පැරණි ලෝක ඔලිම්පික්‌ ඉතිහාසයේ 31 වැනි සත්කාරකත්ය ලද බ්‍රසීලය මේ වන විට ලෝකයේම අවධානය නතුකරගෙන තිබේ. එහෙත් බ්‍රසීලය මෙන්ම මෙවර ඔලිම්පික්‌ ගිය නඩවලට තුන්බිය දැනෙන ඔලිම්පික්‌ තරගාවලියක්‌ ලෙස මෙය හැදින්වීමට ඕනෑ තරම් සාක්‌ෂි තිබේ.

ඔලිම්පික්‌ ඉතිහාසයට කළු පැල්ලමක්‌ එකතු වුවහොත් එය ලොව පවතින තුරු මකා දැමීමට නොහැකිය. එමෙන්ම රටක පෞරෂය රැක ගැනීමටද ඔලිම්පික්‌ සත්කාරකත්වය මහත් ත්‍යාගයකි. නමුත් බ්‍රසීලයේ රියෝ ඔලිම්පික්‌ උළෙල පවත්වන විට බ්‍රසීල රජය අර්ථික අවපාතයකින් හෙම්බත්ව සිටීම හේතුවෙන් ඔවුන් ඔලිම්පික්‌ සත්කාරකත්වය වෙනුවෙන් බැරකන්නට බලාපොරොත්තු වූ බොහෝ මුදල් කපා හැරීමට තීරණය කිරීමද විශේෂත්වයකි.

බ්‍රසීලයේ ආර්ථික බැස්‌ම හේතුවෙන් එක්‌ තුන් බියක්‌ ඔවුන්ට මෙවර ඔලිම්පික්‌ උළෙලේදී දැනෙති. එහෙත් බ්‍රසීල රජය පවසන්නේ මෙවර ඔලිම්පික්‌ උළෙලට වියදම් කරන මුදලට වඩා මුදලක්‌ තම රටට මෙම සත්කාරය ඔස්‌සේ සොයාගත හැකි බවයි.

කෙසේ වෙත් මුදල් නොමැති වුවහොත් ඉල්ලා ගත හැක. ඔලිම්පික්‌ සත්කාරකත්වය තිබු රටකට ජාත්‍යන්තරයේ ලැබෙන කීර්තිය හේතුවෙන් එම රජයටද ආර්ථික අපහසුවෙන් ගොඩ යැමට ලෝක ආධාර වුවද ලබා ගැනීමේ හැකියාවක්‌ තිබේ. එහෙත් තවත් බියවල් දෙකක්‌ මෙවර ඔලිම්පික්‌ උළෙලේ සැරිසරමින් සිටීම ඔලිම්පික්‌ අවසානය වන තුරු ඇස ගසාගෙන සිටිය යුතු තවත් කරුණක්‌ බවට පත්ව තිබේ.

සීඝ්‍රයෙන් පැතිරී යන සීකා වෛරසය හේතුවෙන් රියෝ ඔලිම්පික්‌ උළෙල නියෝජනය කරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන්ද විශේෂ එන්නත් කිරීමකින් අනතුරුව බ්‍රසීලයට පයා තැබීමට පියවර ගැනුණි. ඒ අනූව සීකා වෛරසය ඔලිම්පික්‌ උළෙලේ එක්‌ අන්තයක්‌ පීඩාවට ලක්‌කරද්දී අයි.එස්‌ ත්‍රස්‌තයන්ගේ අභියෝගයකටද මෙවර ඔලිම්පික්‌ උළෙල අවධානමකට පත්ව තිබේ. පළමු වරට ඔලිම්පික්‌ තරග බිමට පැමිණ සිටින කොසෝවා සහ දකුණු සුඩානයටද මෙවර ඔලිම්පික්‌ උළෙලට නව පරිච්ඡේදයක්‌ බවට පත්ව තිබේ.

වැඩිම ආරක්‌ෂක වළලක්‌ යොදා පවත්වනු ලබන ඔලිම්පික්‌ උළෙලද මෙය ලෙස හැදින්විය හැකිය. ආරක්‌ෂකයින් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක්‌ මෙවර ඔලිම්පික්‌ සඳහා යොදවා තිබේ. විශේෂ ගුවන් යානා සහ නව්කාවන්ද විශාල ප්‍රමාණයක්‌ යෙදවීමට බ්‍රසීල ආරක්‌ෂක අංශය පියවර ගෙන තිබේ.

ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක්‌ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක්‌ සහභාගි වන ඉතිහාසයේ දැවැන්තම ඔලිම්පික්‌ උළෙල ලෙසද මෙය ඉතිහාසයේ නව පරිච්ඡේදයක්‌ සනිටුහන් කර තිබීම හේතුවෙන් තුන්බිය දුරන් කිරීමට බ්‍රසීල ඔලිම්පික්‌ සංවිධායකයන්ට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදුව තිබේ.

රටවල් 206 ක සුපිරිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,239 ක්‌ මෙවර ඔලිම්පික්‌ නියෝජනය කරන අතර බ්‍රසීලයේ නගර පහක්‌ කේන්ද්‍ර කොටගෙන ස්‌ථාන 33 කදී අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ඉලක්‌කය වෙනුවෙන් සටනට පිවිසෙති. ක්‍රීඩා ඉසව් 28 කදී පදක්‌කම් 306 ක්‌ වෙනුවෙන් දස දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්‌ රියෝ ඔලිම්පික්‌ උළෙලේදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා සහභාගීත්වය

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික්‌ උළෙල සඳහා නවදෙනකු සහභාගි වේ. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට හිමිව තිබේ. මීට අමතරව පිහිනුම් ශූර මැතිව් අඹේසිංහ, රබ ඉසිලීමේ ශූර සුදේශ් පීරිස්‌, වෙඩි තැබීමේ ශූර මංගල සමරකෝන්, හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ, පිහිනුම් ශූරි කිමිකෝ රහීම්, මැරතන් ශූර නිලුකා රාජසේකර, ජුඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන සහ බැඩ්මින්ටන් ශූර නිලුක කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික්‌ තරගාවලියට සහභාගි වෙති.

අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.