තාජුඩීන් සිද්ධියට සැක හිටපු පොලිස්‌
ලොක්‌කෝ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

සිරුරු කොටස්‌ අතුරුදන්වීමට
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි වගකිව යුතුයි
සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයට දන්වයි

සමන්ත ඉලේපෙරුම

රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් ලබන 07 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (24දා) නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඝාතනය සිදුවූ දින සීසීටීවී කැමරාවල සටහන්ව ඇති දර්ශන පැහැදිලි කරගැනීමට කැනඩාවේ කොළොම්බියා තාක්‍ෂණික ආයතනය වෙත යෑවීමට කටයුතු යෙදූ බවත් තවත් කීපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඇති බවත් කියා සිටියේය.

සැකකාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ජාතික රෝහලේ ගෙවන වාට්‌ටුවක ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු වාර්තා කරමින් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියකු සිය රෝහලින් ප්‍රතිකාර ලබාගැනීමට ඉල්ලීමක්‌ කළහොත් ඒ පිළිබඳව සලකා බලන බවට දැනුම්දී ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

ඝාතනයට ලක්‌වූ තාජුඩීන්ගේ සිරුරේ කොටස්‌ අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාවක්‌ ගොනු කරමින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඝාතනය වූ අයගේ සිරුරේ කොටස්‌ අතුරුදන්වීමට වගකිවයුතු බවට දන්වා සිටියේය.

ඉදිරිපත්aවූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 07 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.