මුල්‍ය වසරේ මුල් කාර්තුවේදී LOLC හි
ශක්‌තිමත් ලාභ වර්ධනයක්‌

2015 / 2016 ශක්‌තිමත් ප්‍රතිඵලවල දිගුවක්‌



කපිල ජයවර්ධන මහතා
සමූහ කළමනාකාර අධ්‍යක්‌ෂ / ප්‍රධාන විධායක නිලධාරි
LOLC ව්‍යාපාර සමූහය

LOLC හි ප්‍රමුඛ මූල්‍ය සේවා සමාගම්, 2016/17 මූල්‍ය වර්ෂයේ ප්‍රථම තුන්මස තුළ සමූහයේ ලාභ ශක්‌තිමත් කරමින් රුපියල් බිලියන 3.2 ක බදු පෙර ලාභයක්‌ වාර්තා කිරීමට සමත් වී තිබේ.

පසුගිය වසරේ එම කාල සීමාව තුළ සමූහයේ බදු පෙර ලාභය රු.බි. 2.7 කි. මූල්‍ය වසරේ ක්‍රියාකාරීත්වය 2015/16 වසරේදී පෙර වසරට සාපේක්‌ෂව 45% ක වර්ධනයක්‌ ලබමින් සමූහය වාර්තා කළ විශිෂ්ට වූ රු.බි. 11.9 ක බදු පෙර ලාභයේ වර්ධනයකි.

සමූහයේ බදු පෙර ලාභයෙන් 82% ක්‌ වන මූල්‍ය සේවා ක්‌ෂේත්‍රය, ණය නිකුතු අංශය ප්‍රමුඛව සෑම සමාගමක නිකුතුවලට අදාළව කැපී පෙනෙන වර්ධනයක්‌ පෙන්නුම් කරයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සමූහයේ වත්කම් සංචිතය රු.බි. 380 දක්‌වා වර්ධනය වී තිබේ. මෙලෙස ඉහළ වර්ධනයක්‌ ලැබීම සඳහා දායක වූ ආයෝජන කලඹ රු.බි. 140 සිට රු.බි. 213 දක්‌වා 52%කින් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික පවුරක්‌ වන LOLC එහි ප්‍රධාන මූල්‍ය සේවා ව්‍යාපාර මූල්‍ය සමාගම් තුනක්‌ සහ ලීසිං සමාගමක්‌ හරහා පවත්වාගෙන යනු ලබන අතර, එම සමාගම් හතරම ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්‌ථාපිත නියමයන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. පුරෝගාමීත්ව මූල්‍ය සමාගම LOLC ෆිනෑන්ස්‌ පී.එල්.සී., කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්‌ පී.එල්.සී. (CLC) සහ මෑතකදී අත්පත් කරගත් BRAC Lanka ෆිනෑන්ස්‌ පී.එල්.සී. (BRAC) සමග LOLC මයික්‍රො ක්‍රෙඩිට්‌ සමාගම 2015/16 මූල්‍ය වර්ෂයේදී මෙන්ම වත්මන් මූල්‍ය වසරේ මුල් මාස තුන තුළ ශක්‌තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කළ අතර, එය සමූහයේ බදු පෙර ලාභයට 89% පමණ දායක වේ. ඉහළ ඵලදායිතාවක්‌ සහිත විදේශීය ආයෝජනයන් වන කාම්බෝජයේ PRASAC - මයික්‍රො ෆිනෑන්ස්‌ සමාගම සහ LOLC Cambodia මෙන්ම LOLC Myanmar ඔස්‌සේ සමූහයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් වැඩිදියුණු වනු ඇත.

LOLC පුරෝගාමී මූල්‍ය සමාගම වන LOLC ෆිනෑන්ස්‌, සුළු සහ මධ්‍ය පරිමාණ (SME) ක්‌ෂේත්‍රයේ සිට ඉහළ ක්‌ෂුද්‍ර වෙළෙඳපොළ දක්‌වා සේවා සපයමින් රු.බි. 84 ක නිකුතු ආයෝජන කලඹක්‌ වාර්තා කර ඇත්තේ රු.බි. 60 ක ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතර ඉහලම තැන්පතු සංචිතයක්‌ද පවත්වා ගනිමිනි. LOLC ෆිනෑන්ස්‌ හි ආයෝජන කලඹ මේ වසරේ ජුනි මාසය වන විට රු.බි. 89 දක්‌වා වර්ධනය වී තිබේ. තැන්පතු මේ වන විට රු.බි. 67 ක්‌ වී ඇති අතර රු.බි. 7 ක ශක්‌තිමත් වර්ධනයෙන් තැන්පත්කරුවන් සමාගම වෙත තබා ඇති විශ්වාසය මුර්තිමත් කරයි. LOLC ෆිනෑන්ස්‌ දිවයිනේ සියලු ප්‍රදේශ කරා විහිඳුනු LOLC ශාඛා ජාලයේ පියසටහන්වලින් තවදුරටත් ශක්‌තිමත් වී ඇත. LOLC ෆිනෑන්ස්‌ වත්කම් 2015/16දී පෙර වසරට සාපේක්‌ෂව දෙගුණයකින් පමණ වැඩිවී රු.බි. 110 ක්‌ විය. වත්කම් සංචිත මෙම මූල්‍ය වසරේ මුල් මාස තුන තුළ රු.බි. 116 දක්‌වා වර්ධනය වී තිබේ.

ක්‌ෂුද්‍ර මූල්‍ය ක්‌ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකරමින් ලැබූ ඉහළ ව්‍යාපාරික වර්ධනය හේතුවෙන් LOLC ද ශක්‌තිමත් ආයෝජන කලඹ වර්ධනයක්‌ වාර්තා කිරීමට සමත් වී ඇත. මෙම අංශය සමූහයේ අනෙකුත් සමාගම් හා සැසඳීමේදී ඉහළ ඵලදායිතාවක්‌ හිමිකරදෙන අතර, සමුහයේ LOLC ණය නිකුතු ව්‍යාපාර කටයුතු පිරිසිදු නිකුතු ලෙස හැඳින්විය හැකි වේ.

සමාගමේ වත්කම් 2016 ජුනි මාසය වන විට රු.බි. 49 ක්‌ දක්‌වා වර්ධනය වී තිබූ අතර, 2015 /16 මූල්‍ය වර්ෂයේදී එය 54% ක ශක්‌තිමත් වර්ධනයක්‌ වාර්තා කළේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.