නව ගුවන් හමුදාපති කපිල ජයම්පති

කීර්ති වර්ණකුලසූරිය, සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස්‌ මාර්ෂල් කපිල ජයම්පති පත්කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එයාර් මාර්ෂල් නිලයට උසස්‌ කර ගුවන් හමුදාපති තනතුරට පත්කළ එයාර් මාර්ෂල් කපිල ජයම්පති අද (13 දා) නව තනතුරේ වැඩ භාරගනී.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන එයාර් මාර්ෂල් ජයම්පති බඳවා ගැනීම් අංක 10 යටතේ 1982.03.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට බැඳී ඇත.

1985.04.01 වැනිදා ගුවන් නියමුවකු ලෙස ගුවන් හමුදා සේවයට එක්‌වූ හෙතෙම නියමු උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඉකුත් යුද සමයේ ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස ගුවන් මෙහෙයුම් රැසකට දායක වී ඇති එයාර් මාර්ෂල් ජයම්පති ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක ඇතුළු උසස්‌ තනතුරු රැසක්‌ හෙබවූ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල වයස අවුරුදු 55 සපුරා ඊයේ (12 වැනිදා) ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබීය.

මේ අතර ගුවන් හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස එයාර් වයිස්‌ මාර්ෂල් සුමංගල ඩයස්‌ පත්කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.