ටැම්පිට විහාර සම්ප්‍රදාය

සුධර්මා කුමාරි
මධ්‍යම සංස්‌කෘතික අරමුදල

මහනුවර ව්‍යාපෘතිය

ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේ සිදු වූ මහින්දාගමනයත් සමග ශ්‍රී ලංකාවට හිමි වූයේ බුදු දහම පමණක්‌ නොවේ. ඒ හා සබැඳි කලා ශිල්ප, භාෂාව හා සාහිත්‍යය ද මෙරටට පැමිණි බව ලංකාව පුරා පැතිර පවතින පුරාවිද්‍යා ස්‌ථාන වලින් පැහැදිළි වේ. මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ ස්‌ථානවල බෞද්ධ විහාරාරාම රාශියක්‌ ඉදිවිය. මෙම විහාරාරාම ඉදි කිරීමට පාලකයාගේ, මැති ඇමැතිවරුන්ගේ හා ප්‍රාදේශීය නායකයින්ගේ නොමඳ සහය ලැබුණු බව මූලාශ්‍ර පරිශීලනයෙන් පැහැදිළි වේ.

ඉතා දියුණු අංගෝපාංග වලින් සමන්විත මහා විහාර සම්ප්‍රදායේ විහාර අනුරාධපුර, පොළොන්නරු ඓතිහාසික සිද්ධස්‌ථානවල මෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල වර්තමානයේ පවා දක්‌නට පුළුවන. මෙම විහාර සම්ප්‍රදායන් අතර ශ්‍රී ලාංකේය බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයක්‌ වන ටැම්පිට විහාර සම්ප්‍රදාය ද අධ්‍යයනයට භාජනය කළ යුතු ගෘහ නිර්මාණ අංගයකි. දැනට බොහෝවිට අභාවයට යමින් පවතින සහ අභාවයට ගොස්‌ ඇති මෙම විහාර සම්ප්‍රදාය වඩාත් දැකිය හැකි වන්නේ ගම්පොළ සහ මහනුවර යුගවලදීය. මෙම විහාර සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනයේදී එහි ඉතිහාසය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. මෙම විහාර ක්‍රමය අනුරාධපුර, පොළොන්නරු යුග දක්‌වා ඉතිහාසයට අයත් වේ. එම යුගවල කර ඇති නිර්මාණ වල දක්‌නට ලැබෙන විශාල ගල් ටැම්, ගල් කණු එකල ද ටැම්පිට ගොඩනැගිලි තිබු බවට සාධක සපයයි. අනුරාධපුරයේ පිහිටි ලෝවාමහා ප්‍රාසාදය ශිලා ටැම් මත ඉදිකළ ගොඩනැගිල්ලක්‌ බවට විශ්වාස කිරීමට පුළුවන. එහි ඇති ගල් කණු රාශිය මත දැව බාල්ක යොදා උපරි ව්‍යqහය ඉදිකරන්නට ඇත. එය ගින්නට හසුව විනාශ වන්නට ඇත්තේ ද දැව භාවිතය නිසා වන්නට හැකිය. එසේම ෙ-තවන විහාර භූමියේ පිහිටි පොහොය ගෙයද මෙවන් ගොඩනැඟිල්ලක්‌ සේ අනුමාන කෙරේ. කල් යැමෙදී මේවා විනාශ වන්නට ඇත. ටැම්පිට විහාරයේ ඉදිවීමත් සමගම ටැම්පිට ඉදිකළ අම්බලම් සහ ටැම්පිට ඉදිකළ විශාල ධාන්‍ය ගබඩා කළ අටු ගම්පොළ හා මහනුවර යුගවල දී ඉදිකිරීම සුලභ වේ. උඩුනුවර ඇම්බැක්‌ක දේවාලයේ වී අටුව වර්තමානයේ පවා දක්‌නට ඇත්තේ ගල් ටැම් මතයි. ක්‍රමයෙන් විකාශනය වු මෙම විහාර සම්ප්‍රදායේ සජීවී උදාහරණ ගම්පොළ හා මහනුවර අවධිවල දක්‌නට ඇත. මහනුවර යුගයේaදී බෞද්ධ විහාරය වශයෙන් බොහෝවිට ටැම්පිට ගොඩනැගිලි යොදාගත් බව පෙනේ. ටැම්පිට විහාරවලට උදාහරණ බොහෝවිට සපයන්නේ මහනුවර, මාතලේ හා කෑගල්ල ප්‍රදේශයන්ය. නමුත් ලංකාවේ වෙනත් ප්‍රදේශවල සුළු වශයෙන් ද කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ද මෙම විහාර සම්ප්‍රදාය දක්‌නට පුළුවන. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ මෙන්ම ප්‍රමාණයෙන් විශාල ටැම්පිට විහාර දෙකක්‌ මහනුවර පිහිටා ඇත. එනම් මැදවල විහාරය සහ සූරියගොඩ යන විහාර දෙකයි. එසේම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ සතර කෝරළයේ වාකිරිගල, දොඩම්තලේ, මාවෙල, අම්බුළුගල, කඩිගමුව, මාලියෑද්ද, මැදිලිය, මාකුර ආදී රජමහා විහාරවල ද පිහිටා ඇත්තේ ටැම්පිට විහාරයි. බස්‌නාහිර පළාතට අයත් එකම ටැම්පිට විහාරය කළුතර පිහිටි කැකුලන්දොර විහාරය බව සැළකේ. දකුණු පළාතේ පිහිටි වගේගොඩ විහාරය ද ටැම්පිට විහාරයකි. එය නිර්මාණයට අනුග්‍රහය දක්‌වා ඇත්තේ මහනුවර යුගයේ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. මාතලේ දිසාවේ පිහිටි ගුරුබැවිල විහාරය හා උඩස්‌ගිරිය යන විහාර ද ටැමපිට විහාර වන අතර ගුරුබැවිල විහාරය ගල්කණු සතරක්‌ මත ඉදි කර ඇත.

ටැම්පිට විහාරගෙයි ඉදිකිරීම් තාක්‌ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම ගොඩනැගිලි වර්ගය දකුණු ඉන්දියාවේ සහ මහායාන බුද දහම ව්‍යාප්ත වී ඇති රටවල දක්‌නට ඇති බව පැහැදිළි වේ. විශේෂයෙන්ම ජපානය, කාම්බෝජය වැනි රටවල මෙම ගෘහ නිර්මාණ ලක්‌ෂණ දක්‌නට ඇත. විද්වතුන්ගේ මතය වන්නේ මෙම විහාර බොහෝවිට ගොඩනගා ඇත්තේ පහත් බිම් හා වගුරු බිම් වලින් ආරක්‌ෂා වීමට හා ජල ගැලීම් වලින් ගහන ප්‍රදේශවලට ඔරොත්තු දෙන අයුරින් බවයි. එසේම විහාරයේ ටැම් සඳහා විශාල ගල් කණු යොදා ගැනීමෙන් විහාරයට සිදුවන කෘමි හානි, වෙනත් සතුන්ගෙන් වන හානි සහ තෙත් බිම් වලින් වන හානි වැලැක්‌වීමට උත්සහ ගෙන ඇති බව පෙනේ. මෙම විහාර ඉදිකිරීම සඳහා විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයක්‌ සාම්ප්‍රදායික ශිල්පියා විසින් භාවිතා කර ඇත. ගල් ටැම් මත ඉතා විශාල ප්‍රමාණයෙන් යුත් දැව බාල්ක යොදා ඒ මත වරිච්චි බිත්ති බැඳීමෙන් ගොඩනගා ඇති ටැම්පිට විහාර පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ නිර්මාණයකි. සාමාන්‍යයෙන් මෙම ගොඩනැගිලි පොළව මට්‌ටමේ සිට අඩි 2 1/2 පමණ උසට සිටින සේ සිටවූ ගල් ටැම් මත අඟල් 12Ü 12 හෝ අඟල් 10 Ü 10 ප්‍රමාණයේ බාල්ක යෙදීමෙන් නිර්මාණය කර ඇත. මෙසේ පොළව මට්‌ටමේ සිට ඉහළින් සිටින සේ දැව බාල්ක තබා ගැනීම වේයන් වැනි කෘමීන්ගෙන් දැවවලට වන හානිය වළක්‌වා ගැනීමට ගත් උත්සහයක්‌ බව පෙනේ. දැව බාල්කවලට සම්බන්ධ වන සේ අඟල් 2 හෝ අඟල් 1 1/2 ඝණකමන් යුත් ලෑලි ගසා විහාරය ඇතුළත පොළව සකස්‌ කර ඇත. මෙහි බිත්ති වරිච්චි තබා ගැනීමෙන් ගොඩනඟා ඇති අතර ඒ සඳහා මැටි බදාම, ලී කණු හා පුවක්‌ හෝ කිතුල් රීප්ප භාවිතා කර ඇති බව පෙනේ. මෙසේ වරිච්චියෙන් බැඳ ඇති බිත්ති කපරාරු කර සිනිදුවට මැද ඒවායේ සිතුවම් ඇඳ ඇත. එම සිතුවම්වලින් බුද්ධ චරිතයේ නොයෙක්‌ අවස්‌ථා සහ ජාතක කථා නිරූපණය කර ඇත.

ටැම්පිට විහාරවල වහලය නිර්මාණය සඳහා යොදාගත් විශේෂ දැවමය අංගයකි. එය හඳුන්වන්නේ කොටිකාවත" නමිනි. එය අඟල් 15 Ü 2 1/2 හෝ අඟල් 12 Ü2 ලෑල්ලෙන් සාදා බිත්ති උඩ තැබූ යට ලී මත සවි කර ඇත. මෙහි පරාල සම්බන්ධ වී ඇත්තේ මුදුන් යට ලීයට හා කොටිකාවතටය. ටැම්පිට විහාරයේ දක්‌නට ඇති සුවිශේෂී ලක්‌ෂණය දැව භාවිතය අධික වීමයි. දැව වඩුවාගේ ඇති අද්විතීය දක්‌ෂතාවය, කලා හැකියාව, ඒ කෙරෙහි පවතින නිපුණභාවය මෙම නිර්මාණයේදී හුවා දැක්‌වීමට විශාල ප්‍රයත්නයක්‌ දරා ඇත. තමාට අවශ්‍ය පරිදි දැව කපා සකස්‌ කර, ඔපමට්‌ටම් කර, හැඩ ගස්‌වාගෙන ඇති බව පෙනේ. බාල්ක සඳහා දැව යෙදීමේදී දැව මුට්‌ටු යෙදීම, වල් උල කපා සුළු පේකඩ යෙදීම කර ඇත. ලෑලි තට්‌ටුව සඳහා ලෑලි එළීම ක්‍රමානුකූලව කර ඇති අතර දොර හා උළුවහු ද එයට අවශ්‍ය සැරසිලි මෝස්‌තර ද ඊට උචිත පරිදි යොදා ඇත. මෙම පිළිම ගෙවල් සඳහා පල සතරේ වහලය, කැඩුම් වහලය හෝ කැණිමඬල සහිත වහලය යොදා ඇත. මේ සඳහා මල් පරාල හා ගොනැස්‌ හී ලීය යොදාගෙන ඇති බව පෙනේ. විහාරගෙයි අලංකාරය සඳහා යොදාගත් දැව කණු නොයෙක්‌ මෝස්‌තර හා අලංකරණ යොදා කැටයම් කර ඇත. මෙම කැටයම් අතර නෙලුම් මල්, ලණු දඟර, මල්ලව පොර, බෝපත් රටා, සත්ත්ව රූප, නාග බන්ධන, ලියවැල්, අටපට්‌ටම් හැඩ දක්‌නට ඇත. යොදා ඇති පේකඩ අලංකරණය සඳහා සැරපෙන්දියාගේ හිස හා මුවෙන් එල්ලෙන නෙලුම් මල් ද යොදාගෙන ඇති බව පෙනේ. මෙම ගොඩනැඟිල්ලේ ඇතුළත, බිත්ති උඩ මට්‌ටමෙන් ගසා ඇති සිවිලිම යට ඉතා අලංකාර මෙන්ම කලාත්මක සිතුවම් දක්‌නට ඇත. මෙම සිතුවම් අතර බොහෝවිට ලියවැල් හා මල් මෝස්‌තර දක්‌නට ඇත. නමුත් ඇතැම් විහාරවල දේව රූප, පංචනාරි ගැටය, නවනාරි කුංජරය සිතුවම් කර ඇත. ඈත අතීතයේ මෙම විහාරවල වහල සෙවිලි කිරීම සඳහා පිදුරු, ඉළුක්‌, පොල් අතු යොදාගෙන ඇත. නමුත් පසු කාලීනව පෙති උළු යොදා ගැනීම දක්‌නට පුළුවන.

ඉහතින් විස්‌තර වූයේ ටැම්පිට විහාරයක්‌ නිර්මාණය වී ඇති සාමාන්‍ය ආකාරයයි. නමුත් මෙම සම්ප්‍රදාය එක්‌ එක්‌ නිර්මාණය අනුව සුqළු වෙනස්‌කම් දක්‌වන අවස්‌ථාද ඇත. සමහර ටැම්පිට විහාර වල ගල්කණු පොළව මට්‌ටමේ සිට අඩි 6 ක්‌ පමණ උසින් පිහිටන අවස්‌ථාද ඇත. එයට කදිම නිදසුන මාවනැල්ලේ දොඩම්තලේ රජමහා විහාරය හා අම්බුළුගල රජමහා විහාරයේ පිහිටි ටැම්පිට විහාරයි. මෙම විහාරවල යොදා ඇති ගල් කණු අතරින් පුද්ගලයකුට රිංගා යැමට වුවද පුළුවන. එසේම පොළවේ සිටුවා ඇති ගල්කණු විටෙක හයක්‌, නවයක්‌ හෝ දොළහක්‌ බව පෙනේ. එසේම මෙම ගල්කණු යෙදීමද විහාරයෙන් විහාරයට වෙනස්‌කම් දක්‌වයි. ගම්පහ ප්‍රදේශයේ පිහිටි කෑරගල ටැම්පිට විහාරයේ කුලුනු දොළොස්‌ පට්‌ටම්වේ. මේවායේ ලතා කර්ම කැටයම් කර ඇත. මේ අතර ලණු ගැටය මෝස්‌තරය ද දක්‌නට ඇත. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි කෝට්‌ටේ යුගයට අයත් යයි සැලකෙන අම්බුළුගල දන්තපාය විහාරය ද ටැම්පිට විහාරයකි. මෙහි විශේෂත්වය වන්නේ අඩි අටක්‌ උස ගල් කණු 21 ක්‌ මත ලෑලි තට්‌ටුවක්‌ අතුරා ඒ මත විහාරය නිර්මාණය කර තිබීමයි. මෙම ගල් කණු සිංහ රූප, බහිරව රූප මගින් අලංකෘත කර ඇති අතර විහාරය ඇතුළත සුදු පසුබිමෙහි කළු වර්ණයෙන් දුර්ලභ ගණයේ සිතුවම් නිර්මාණය කර ඇත. මෙහි ශිලාමය උළුවස්‌සක්‌ දක්‌නට ඇත. එය අද්විතීය නිර්මාණයක්‌ ලෙස සැළකේ. උණ ගස්‌, බට ලී, වැරණිය කෝටු, කිතුල් පරාල යොදා බාඳුරා වැල්වලින් වෙලා හුඹස්‌මැටි සහ වැලි උක්‌ පැණියෙන් අනා බදාම යොදා කළ ශක්‌තිමත් ටැම්පිට විහාරයක්‌ වශයෙන් ගාල්ල වඳුරඹ විල්ගමු ටැම්පිට විහාරය හඳුන්වා දීමට පුළුවන. නිර්මාණකරණයේදී භාවිතා කළ අමුද්‍රව්‍යවල වෙනස්‌කම් මෙහිදී පැහැදිළි වේ.

ශ්‍රී ලාංකේය කලා ශිල්පියා විසින් නිර්මාණය කරන ලද පිළිම ගෘහවල පොදුවේ බිතුසිතුවම් නිර්මාණය කිරීම දක්‌නට පුළුවන. ටැම්පිට විහාරයටද මෙය පොදු ලක්‌ෂණයකි. බුද්ධ චරිතයේ නොයෙකුත් අවස්‌ථා නිරූපණය කිරීම, ජාතක කථා නිරූපණය කිරීම මෙහිදී සුලභ වේ. ඒ හැර මල් මෝස්‌තර. ලියවැල් ආදිය ද යොදාගෙන ඇත. බොහෝ විට සිතුවම් සඳහා රතු, කළු, නිල්, සුදු වැනි වර්ණ යොදාගෙන ඇත. බදාම යොදා සිනිදු ලෙස ඔප මට්‌ටම් කළ බිත්ති පෘෂ්ඨයේ පිටත හා ඇතුළත මෙම සිතුවම් දක්‌නට පුළුවන.

වර්තමානය වන විට මෙම විහාර සම්ප්‍රදාය බොහෝ සෙයින් විනාශ වීමට භාජනය වී ඇත. දේශගුණික හේතූන් සහ කෘමි හානි බහුල වී ඇත්තේ යොදාගෙන ඇති අමුද්‍රව්‍ය හේතුවෙනි. එසේම මෙම ගොඩනැඟිලි සංරක්‌ෂණයට අවශ්‍ය විශාල දැව කඳන් හා දැව කොටස්‌ සපයා ගැනීම ද අසීරු වී ඇත. ඊට ආදේශක දැව සපයා ගැනීම ද අසීරු වී ඇත. නමුත් ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ උසස්‌ නිර්මාණයක්‌ ලෙස සැලකෙන ටැම්පිට විහාර සම්ප්‍රදාය අනාගතයටත් සුරක්‌ෂිත කිරීම අපේ වගකීමයි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1. සෙනවිරත්න, අනුරාධ, ගම්පොල යුගයේ කලා ශිල්ප, කොළඹ, 1972

2. මහනුවර යුගයේ වාස්‌තු විද්‍යාව, නිමල් ද සිල්වා, අපේ සංස්‌කෘතික උරුමය, සංස්‌කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය, 1995

3Kandy, Anuradha Seneviratna, Central Cultural Fund, Ministry of Cultural Affairs,1983

4Mediaeval Sinhalese Art, Ananda Coomaraswamy, New York, 1956

5Report on the Kegalla District, H. C. P. Bell, Colombo,1892

6Sinhalese Doorways, C. E. Godakumbura, Colombo, 1966

7The Art and Architecture of the Gampola Period, Nandasena Mudiyanse, Colombo, 1963

8Udrata Vitti P. M. P. Abayasingha, Ceylon, 1957

9Wooden Architecture of Sri Lanka, L. K. Karunaratna, Ceylon Historical Journal,1-4 1978

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.