ගුවන් නියමුවෙකු ලෙස කොටින්ගෙන්
වෙඩි කෑ පළමු වැන්නා

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

එයාර් මාර්ෂල් කපිල වීදිය බණ්‌ඩාර ජයම්පති
සමග පැවැත්වූ පළමුවන පුවත්පත් සාකච්ඡාව

පුටු යුද්ධ අස්‌සෙන් නව ගුවන් හමුදාපතිවරයෙක්‌

සෙනරත් ජයම්පති සහ සුමනාවතී ජයම්පති මාපිය යුවළගේ තෙවැනි දරුවා ලෙස 1963 මාර්තු 29 වැනිදා අම්පාරේදී උපත ලැබූ කපිල වීදිය බණ්‌ඩාර ජයම්පති පුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සත හදාරා 1982 මාර්තු මස 05 වැනිදා ආධුනික කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්‌ වී ගුවන් නියමුවකු ලෙස මවුබිම රැක ගැනීමේ උදාර මෙහෙවරේ නිරතව සිට 2016 සැප්තැම්බර් 14 වැනිදා එයාර් මාර්ෂල් නිලයට උසස්‌වී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපති වශයෙන් වැඩ භාර ගනු ලැබීය.

දක්‌ෂ ගුවන් නියමුවකු හා නියමු උපදේශකවරයකු ලෙස ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියකුව සිටිමින් පියවරින් පියවර ඉහළට පැමිණි ඔහු 2014 පෙබරවාරි 28 වැනිදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‌ෂ ධුරයට පත්විය.

2015 ජුනි 06 වැනි දින එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපති ධුරයට පත්වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඔහුට දෙවැන්නාව සිටි එයාර් වයිස්‌ මාර්ෂල් කපිල ජයම්පතිට ගුවන් හමුදාවේ දෙවැනි පුටුව වන මාණ්‌ඩලික ප්‍රධානි තනතුර හිමිවිය යුතුව තිබිණි.

නමුත් කුමන හෝ අවාසනාවකට එය එසේ නොවීය. මාස කීපයක්‌ පුරප්පාඩුව පැවැති මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට එයාර් වයිස්‌ මාර්ෂල් ජයම්පතිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටි එයාර් වයිස්‌ මාර්ෂල් රනිල් ගුරුසිංහ පත්කරන ලදී.

ඉන් නොනැවතුණු එවක සිටි ගුවන් හමුදාපතිවරයා එයාර් වයිස්‌ මාර්ෂල් කපිල ජයම්පති ගුවන් මෙහෙයුම් අධ්‍යක්‌ෂ තනතුරින් ඉවත් කර කිසිදු තනතුරක්‌ නොමැති කාර්ය නියමයක්‌ රහිත නිලධාරියකු ලෙස ගුවන් හමුදා මූලස්‌ථානයේ මේසයකට හා පුටුවකට සීමාකර තැබීය.

උදේම කාර්යාලයට එන මෙම ජ්‍යෙෂ්ඨ එයාර් වයිස්‌ මාර්ෂල්වරයා තම පුටුවේ හිඳගෙන පත්තර, පොත් කියවමින් ඔහේ කාලය ගතකර හවසට නිවස බලා ගියේය.

එපමණක්‌ නොව ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමින් පරීක්‌ෂණ කෙරෙන්නට පටන්ගත් අතර, ගුවන් හමුදාවේ බොහෝදෙනා සිතුවේ එයාර් වයිස්‌ මාර්ෂල් කපිල ජයම්පතිගේ ගුවන් හමුදා ජීවිතය එතැනින්ම අවසන් වනු ඇති බවයි.

සත්‍ය ජයගෙන කවදා හෝ තමාට සාධාරණය ඉටුවනු ඇතැයි යන විශ්වාසයෙන්, උපේක්‌ෂාවෙන් හා අපේක්‌ෂාවෙන් යුතුව සියල්ල ඉවසා විඳ දරාගෙන සිටි එයාර් වයිස්‌ මාර්ෂල් ජයම්පතිට තමා ගුවන් හමුදාපති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ඉකුත් 11 වැනිදා රාත්‍රි දැනගත හැකිවිය.

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල වයස අවුරුදු 55 සපුරා තවත් සේවා දිගුවක්‌ නොලැබීමේ හේතුවෙන් විශ්‍රාම ගිය අතර, එයාර් මාර්ෂල් කපිල ජයම්පතිට ගුවන් හමුදාපති ධුරය හිමිවිය.

මාණ්‌ඩලික ප්‍රධානි ධුරය දැරූ එයාර් වයිස්‌ මාර්ෂල් රනිල් ගුරුසිංහ ඉකුත් 14 වැනිදා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ගුවන් හමුදා මූලස්‌ථානයට යෑවීය. ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊළඟට ඉහළින් සිටින එයාර් වයිස්‌ මාර්ෂල් සුමංගල ඩයස්‌ මීළඟ මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට පත්වීමට බෙහෝ දුරට ඉඩ ඇත.

එයාර් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදාපති ධුරයට පත්වූ 14 වැනිදා ඔහු මුද්‍රිත මාධ්‍යයක්‌ සඳහා ලබාදුන් ප්‍රථම තනි සම්මුඛ සාකච්ඡාව ලබාගැනීමේ වරම "දිවයින ඉරිදා සංග්‍රහය"ට හිමිවිය.

මේ එම සම්මුඛ සාකච්ඡාවයි.

ත්‍රස්‌තවාදී යුද සමයේ ඔබ සිදුකළ ගුවන් මෙහෙයුම් සටන්වලට වඩා දරුණු මානසික පීඩාකාරී සටනකට ඔබ පසුගිය වසරක පමණ කාලයක්‌ මුහුණ දුන්නා. කිසිවකුත් නොසිතූ ලෙස ඔබ අද ඒ සටන ජයගෙන ගුවන් හමුදාපති තනතුරින් පිදුම් ලැබුවා. ඇත්තටම අද ඔබට දැනෙන හැඟීම් මොනවාද?

දැනෙන සතුට අපමණයි. ඒ වගේම මෙවන් උත්තරීතර පදවියක්‌ ඉසිලීමට වාසනාව හිමිවීම ගැන සිතට නිහතමානී ආඩම්බරයකුත් දැනෙනවා. පසුගිය වසරක පමණ කාලයක්‌ මම වින්ද වේදනාව, පීඩාව කටුකයි, අමිහිරියි. ඒත් එම ඉන් සැලුණේ නැහැ. මම ධෛර්ය සම්පන්නව උපේක්‌ෂාවෙන් යුතුව සියල්ල විඳදරාගෙන කටයුතු කළා. සත්‍ය කවදා හෝ ජයගෙන මට සාධාරණය ඉටුවන බවට දැඩි විශ්වාසයක්‌ මා තුළ තිබුණා. මම කවදත් රටත්, ගුවන් හමුදාවත් වෙනුවෙන් අවංකව, නිවැරදිව, එඩිතරව සේවය කළ කෙනෙක්‌. ඒ සේවයට අද නිසි ඇගයීම හිමිවුණා.

ඒ ගැන සතුටු වෙනවා හැර ඒ කටුක, අසුන්දර අතීතය ගැන හෝ මට එවන් තත්ත්වයක්‌ ඇති කළ පුද්ගලයන් ගැන කතා කරන්න මම කැමැති නැහැ. ඒවා සියල්ල අතීතයට භාරදී මම මට ලැබුණ වගකීම නිසි ලෙස අවංකව, නිවැරදිව, සාර්ථකව ඉටු කිරීමට අද සිට ක්‍රියාත්මක වෙනවා.

හොඳයි. ඔබ ඒ අසුන්දර සිදුවීම් හා අතීතය යළි හාර අවුස්‌සන්නේ නැතිව වර්තමානය හා අනාගතය දෙස සුබවාදීව බැලීම අගය කළ යුතුයි. නමුත් අද ඒ අතීතය රටට රහසක්‌ නොවෙයි. පසුගිය කාලය පුරා ඇතැම් මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මෙන්ම විශේෂයෙන් සමාජ වෙබ් අඩවි හරහා එය අනාවරණය වුණා. ඔබට සිදුවූ අසාධාරණයන්ට මුහුණ දුන්නේ කෙසේද?

සත්‍ය කවදා හෝ ජය ගන්නා බවට දැඩි විශ්වාසයකින් යුතුව මම මට එරෙහිව සිදු කළ අසත්‍ය චෝදනා, නින්දා, අපහාස හමුවේ කටයුතු කළා. ඒ වගේම සත්‍ය ජය ගත්තා. මම දැන් ඒවා අමතක කරලා ගුවන් හමුදාපති ලෙස මගේ රාජකාරිය උපරිමව ඉටු කරනවා.

ඇත්තෙන්ම මම ගුවන් හමුදාපති තනතුරට පත්වීම භාග්‍යයක්‌ හෝ අහඹුවක්‌ නිසා සිදුවූවක්‌ නොවෙයි. 1982 මාර්තු 05 වැනිදා ආධුනික කැඩෙට්‌ නිලධාරියකු ලෙස එක්‌වූදා සිට අද එයාර් මාර්ෂල් නිලයට උසස්‌වී ගුවන් හමුදාවේ ඉහළම තනතුරට පත්වීම දක්‌වා ආ ගමන විල්ලුද පාවඩ ඇතිරූ මල් මාවතක්‌ ඔස්‌සේ පැමිණි එකක්‌ නොවෙයි.

ඒ පිළිබඳව තවත් පැහැදිලි කරන්න පුළුවන්ද?

1985 අප්‍රේල් මස නියමු නිලධාරියෙක්‌ ලෙස සක්‍රිය සේවයට එක්‌වූ මා එතැන් පටන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවකු ලෙස දශක 03 ක්‌ පැවැති කුරිරු ත්‍රස්‌තවාදී යුද්ධයට ලේ, දහදිය හෙළමින් ශ්‍රමය හා කාලය කැපකරමින් විශාල මෙහෙවරක්‌ ඉටු කළා.

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවකු ලෙස සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්‌වූ නිලධාරියා මමයි. මගේ හිසට වෙඩි වැදී ලේ ගලමින් අසාධ්‍යව සිටියදී හෙලිකොප්ටර් යානය පදවමින් මගේ සහාය නියමුවා සහ අවිකරු ගුවන් භටයන් දෙදෙනාගේ ජීවිතත් රැකගෙන ගොඩබිම සිටි පාබල හමුදාවලට ආරක්‌ෂාව දීමට හැකිවුණා. මට ඒ වෙනුවෙන් 'දේශපුත්‍ර' සම්මානයද හිමිවුණා.

1996 වසරේ මුලතිව් හමුදා කඳවුරට එල්ල වූ කොටි ප්‍රහාරයේදී විශේෂ බළකා ආධාරක සේනා අලම්පිල්වලට ගොඩබැස්‌සවීමත් මාරක අත්දැකීමක්‌ වුණා. මම සෙබළුන් රැගත් හෙලිකොප්ටරය ගොඩ බැස්‌සුවේ වැලි යට අගල් කපාගෙන උඩින් ආවරණය කර වැලි අතුරාගෙන සිටි සතුරු භූමියකට. සතුරු ප්‍රහාර මධ්‍යයේ මම සෙබළුන්ද රැගෙන යානය නිරුපද්‍රිතව ගුවනට නංවාගෙන පැමිණියා. මට ඒ වෙනුවෙන් 'වීර වික්‍රම විභූෂණ' පදක්‌කම හිමිවුණා.

තවත් දවසක්‌ මම රෝගී සෙබළෙක්‌ රැගෙන ඒමට වවුනියාවේ සිට සිලාවතුර හමුදා කඳවුර බලා පියාසර කරමින් සිටියදී වවුනියාව මන්නාරම මාර්ගයේ පරයානකුලම් ප්‍රදේශයේදී කොටි ත්‍රස්‌තවාදීන්ගේ රථ පෙළක්‌ දැක්‌කා. මම ජීවිත අවදානමත් නොතකා යානය පහත්කර ඒවාට පහරදී විනාශ කළා. එහිදී කොටි ත්‍රස්‌තවාදීන් 48 ක්‌ මියගියා. ඒ සඳහා මට 'රණවික්‍රම' පදක්‌කම හිමිවුණා. එවැනි ගුවන් ප්‍රහාර හා මෙහෙයුම් වෙනුවෙන් මට 'රණශූර' පදක්‌කමත් සිවුවරක්‌ ලැබුණා.

දක්‌ෂ ගුවන් නියමුවකු වගේම ඔබ ගුවන් නියමුවන් රැසක්‌ බිහිකළ දක්‌ෂ ගුවන් නියමු උපදේශකවරයෙක්‌ නේද?

ඇත්තෙන්ම ඔව්, ඒ ගැනත් මට ඇත්තේ විශාල සතුටක්‌. ගුවන් හමුදා ඉතිහාසයේ ළාබාලතම වයසේදී ගුවන් නියමු උපදේශකවරයෙක්‌ ලෙස කටයුතු කරන්න මට හැකි වුණා. පයිලට්‌ ඔµsසර් නිලයේදී සුදුසුකම්ලත් හෙලිකොප්ටර් නියමු උපදේශකවරයකු ලෙස පත්වී ගුවන් නියමුවන් විශාල පිරිසක්‌ මම වසර 20 ක පමණ කාලයක්‌ තුළ බිහිකළා. එමෙන්ම අද ගුවන් හමුදා අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ හා සියලුම ගුවන් හමුදා කඳවුරුවල අණදෙන නිලධාරීන් ලෙස සේවය කරන සියලුම හෙලිකොප්ටර් ගුවන් නියමුවන් මගෙන් පුහුණුව ලැබූ නිලධාරීන්.

නව ගුවන් හමුදාපතිවරයා ලෙස ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

කාක්‍ෂණික සන්නද්ධ හමුදාවක්‌ වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නවීන තාක්‍ෂණයෙන් හෙබිව ලොව දැනට පවතින දියුණු ක්‍රමෝපායන් සමග ලෝකයේ සෙසු ගුවන් හමුදාවන් හා තරගකාරීව මුහුණදිය හැකි ගුවන් හමුදාවක්‌ බවට පත්කිරීමේ භාරදූර වගකීමට නායකත්වය දීම අද සිටම ආරම්භ කරනවා. එහිදී අපේ රටේ ආර්ථිකයට සරිලන අයුරින් ගුවන් හමුදාව වර්ධනය කළ යුතුයි.

ඒ වගේම සියලුම ගුවන් හමුදා නිලධාරීන්ගේ, සෙසු නිලයන්ගේ සහ සිවිල් සේවකයන්ගේ සුබසාධන කටයුතු නඟා සිටුවා ඔවුන්ගේ වෘත්තීය මට්‌ටම උසස්‌ තත්ත්වයකට ගෙන ඒමට මම විශේෂ අවධානය යොමු කරනවා.

ගුවන් හමුදා සාමාජිකයන් සතුටින් හා කැමැත්තෙන් සිය රාජකාරිය ඉටුකරන පිරිසක්‌ බවට පත් කළ යුතුයි. උදේ පිබිදුණු තෘප්තිමත් සිතින් තම සේවා ස්‌ථානවලට පැමිණෙන ඔවුන් සවස නිවසට යන විටත් එම තෘප්තිමත් මානසිකත්වයෙන් පසුවන්නන් විය යුතු වාතාවරණයක්‌ සකස්‌ කළ යුතුයි. එමෙන්ම මෙය සිවිල් ආයතනයක්‌ නොව හමුදාවක්‌ නිසා විනයානුකූල බව උපරිමව පැවැතිය යුතුයි. එහිදී අනවශ්‍ය දරදඬු පාලනයක්‌ ගෙන නොයා යුතු බවත් මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන් ඔබට කීමට ඇත්තේ මොනවාද?

විවිධ බාධක මෙන්ම ජයග්‍රහණ හමුවේ නොසැලී වසර 34 ක සේවා කාලය සපිරූ මා ගුවන් හමුදාපති ධුරයට පත් කිරීමට සේනාධිනායක හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය සහ අගමැතිතුමා හා ආරක්‌ෂක ලේකම්තුමා මා කෙරෙහි තැබූ විශ්වාසය එලෙසම රකිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස මට පැවරුණ වගකීම උපරිමව ඉටුකිරීමට මම පියවර ගන්නවා.

මෙය තවත් තනතුරක්‌, නිලයක්‌, බලයක්‌ හා වරප්‍රසාදයක්‌ ලෙස නොසලකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ භෞතික හා ආධ්‍යාත්මික සම්පත් මෙන්ම ගුණධර්මවලින් පිරි සුවපහසු ජීවිත ඔවුන්ට ලබාදීමට කටයුතු කරනවා. එය හුදෙක්‌ වචනවලට හෝ පත්‍රිකාවලට සීමා නොකර ප්‍රායෝගිකව ඉටුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 5 කට සරිලන ලෙස ගුවන් හමුදාවේ කාලානුරූපී වෙනසක්‌, නැවුම් පිබිදීමක්‌ ඇති වන සැලසුම් ක්‍රියාත්මක කරනවා.

විශේෂයෙන් වසර 30 ක පමණ කාලයක්‌ කුරිරු ත්‍රස්‌තවාදයෙන් බැටකෑ දේශයක්‌ වූ අප එම ත්‍රස්‌තවාදය පරදවා ලැබූ ජයග්‍රහණය අභිමානවත් විජයග්‍රහණයක්‌ බවට පත්කර ගැනීමට ජාතීන් අතර සහෝදරත්වය, සංහිඳියාව සහිත එක ධජයක්‌ යටතේ ඒකරාශී වූ ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස පෙරට යැමට ගුවන් හමුදාවේ සැම දෙනාගේම දායකත්වය ලබාදිය යුතුයි.

පටු අරමුණු ඉටුකර ගැනීම උදෙසා වපුරන ජාතිකවාදය , ආගම්වාදය වර්ගවාදය විනය ගරුක අභිමානවත් හමුදාවක්‌ වන ගුවන් හමුදාව තරයේ ප්‍රතික්‌ෂේප කරනවා. සිංහල, දෙමළ, මුස්‌ලිම් සහ සියලුම සුළු ජාතීන්ට ජාති ආගම් බේදයකින් තොරව වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියා ක්‍රියාදාමයට එක්‌වීමට තම ශ්‍රමය, ශක්‌තිය, දැනුම දායාද කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විවෘත බවද සඳහන් කළ යුතුයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.