ග්ලයිපොසේට්‌ තහනම් කළත් ඊට වඩා දස ගුණයක්‌
විෂ සහිත කෘෂි රසායන මෙරටට ඇවිත් තිබෙනවා

වෛද්‍ය මලින් මෙත්තසූරිය

කරුණාරත්න ගමගේ - පොලොන්නරුව

ග්ලයිපොසේට්‌ කෘෂි රසායනය තහනම් කිරීමෙන් පසු ඊට වඩා දස ගුණයකින් විෂ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ඇතුලුවී තිබෙන බව අනාවරණය වී ඇතැයිද මේවා පරීක්‍ෂා කිරීමේ බලය තිබෙන්නේ පලිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයාට පමණක්‌ හෙයින් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව නැතැයි පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ස්‌ථාන භාර නිලධාරී වෛද්‍ය මලින් මෙත්තසූරිය මහ දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී ප්‍රකාශ කළේය.

පලිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයා විසින් එම බලතල ලබාදෙන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මගින් විෂ සහිත කෘෂි රසායන වැටලීමේ හැකියාව තිබෙන බවද ඒ මහතා කීය.

වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා එම අදහස්‌ පළකළේ දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ප්‍රගති සමාලෝචනයට එක්‌වෙමිනි.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් එස්‌. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම රැස්‌වීම පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදී තිබෙන උපදෙස්‌ අනුව මින් ඉදිරියට සෑම මසකම රැස්‌වන දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පරිසර සංරක්‍ෂණ වැඩසටහන සහ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සහ වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචන කෙරෙන බව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා රැස්‌වීම ආරම්භයේදීම දැනුම් දුන්නේය.

ඒ අනුව වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළේ ප්‍රගති සමාලෝචනයට එක්‌ වෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය මලීන් මෙත්තසූරිය මහතා මෙසේද කීය.

දැනට ලංකාවේ වකුගඩු රෝගීන් 70000 ක්‌ පමණ සිටින බවට වාර්තාවී තිබෙනවා. එයින් හරි අඩකට වඩා සිටින්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර, පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කවලයි. වකුගඩු රෝගීන් සිටින දිස්‌ත්‍රික්‌ක වශයෙන් දැනට දිස්‌ත්‍රික්‌ක 10 ක්‌ හඳුනාගෙන තිබෙනවා. ඒ අතුරින් අනුරාධපුර, පොලොන්නරුව සහ බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක තුන තුළ වකුගඩු රෝගීන් බහුලව සිටින බවට සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. දැනට මෙම රෝග හඳුනාගැනීම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම මෙම දිස්‌ත්‍රික්‌කය තුළ අඛණ්‌ඩව සිදුවෙනවා. පොලොන්නරුව, අනුරාධපුර දිස්‌ත්‍රික්‌ක දෙකෙහි රෝගීන් 35000-40000 ක්‌ අතර ප්‍රමාණයක්‌ දැනට සිටිනවා. පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වැඩිපුරම වකුගඩු රෝගීන් වාර්තාවන්නේ මැදිරිගිරිය සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලින්. කෘෂිරසායන සහ රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගය පැතිරෙන බවට දැනට සොයාගෙන තිබෙනවා. එම නිසා වස විස නැති ගොවි බිමට අපේ ගොවි ජනතාව යොමුවීම තුළින් මෙම වකුගඩු රෝගය නිවාරණය සඳහා විශාල සහයෝගයක්‌ ලැබෙයි කියා විශ්වාස කරනවා.

මින්නේරිය ව්‍යාපාරය ගොවි සංවිධානයේ සභාපති ගාමිණි ආරියරත්න මහතා - අපේ රටේ විතරක්‌ නොවෙයි ගොවිතැනේදී කෘෂි රසායන රසායනික පොහොර භාවිතා කරන්නේ. නමුත් විෂ සහිත කෘෂි රසායන අපේ රටට ගෙන්වීමට පෙර ඒ පරීක්‍ෂණයට ලක්‌කළ යුතුයි. උග්‍ර විෂ සහිත ඒවා නම් රට තුළට ඇතුලුවීම තහනම් කරන එකයි වඩාත් සුදුසු වන්නේ. එය ගොවි ජනතාව මගින් පාලනය කිරීමට වඩා.

වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා - ග්ලයිපොසේට්‌ කෘෂි රසායනය තහනම් කළාට පසුව වඩා දහ ගුණයක්‌ ප්‍රබල විෂ සහිත කෘෂි රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙනැවිත් තිබෙනවා. මේවා පරීක්‍ෂා කිරීමේ බලය තිබෙන්නේ පලිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයකු සෞඛ්‍ය අංශ වලටත් මේවා පරීක්‍ෂා කිරීමට බලය දෙනවා නම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ලවා වැටලීම් කිරීමට පරීක්‍ෂා කිරීමට හැකියාව තිබෙනවා.

මහවැලි බී. කලාපයේ ව්‍යාපාර ගොවි සංවිධාන සභාපති හේරත් අඹන්පොල මහතා

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා කොම්පෝස්‌ට්‌ පොහොර නිපදවීම සඳහා ගොවි ජනතාව දිරිමත් කරන්න. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් උපකරණ ලබාදීම අවශ්‍ය වෙනවා.

මහවැලි බී. කලාපයේ පානීය ජලය පිළිබඳව විශාල ගැටලු තිබෙනවා. වැඩිදෙනා බීමට සහ පරිහරණයට ගන්නේ වැව්වල ජලයයි. මේ ජලය පරිභෝජනයට සුදුසුද කියා කිසිම නිර්දේශයක්‌ නෑ.

දිස්‌ත්‍රික්‌ ලේකම් එස්‌. සේනානායක මහතා

විෂ සහිත කෘෂි රසායන ගෙන්වීමේ කාරණය සාමූහික වගකීමක්‌ ලෙස ක්‍රියාකළ යුතුයි. සභාපතිතුමියලා පෙන්වා දුන් ආකාරයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ සඳහා ක්‍රියාකිරීම අවශ්‍යයි. ජනාධිපති කාර්ය සාධන බළකායත් එයට යොමුවනු ඇති.

මත්ද්‍රව්‍ය නිවාරණය ප්‍රගතිය සමාලෝචන අවස්‌ථාවේදී අදහස්‌ දැක්‌වූ කවුඩුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ආර්. බී. කොබ්බෑවෙල මහතා - දැන් අපේ ගම්වල කසිප්පු ඉතාමත් බහුල වශයෙන් තිබෙනවා. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම විශාල ඉල්ලුමකුත් පවතිනවා. ඉස්‌සර කසිප්පු පෙරනවා වැඩිපුර දුමක්‌ නගිනවා පෙරන තැනක්‌ හොයා ගන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි ගෙවල් ඇතුලේ ඉතාම රහසිගතව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. මේවා මැඬලීම සඳහා නිසි වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි.

වැලිකන්ද ගොවි සංවිධානයේ සභාපති ටී. ඒ. වික්‍රම රාජපක්‍ෂ මහතා - වැලිකන්ද සිංහපුර මාර්ගයේ අසල පවත්වාගෙන යන සහල් මෝලක්‌ නිසා ඒ අවට ගම්මාන රැසක ජනතාවට පරිසර ප්‍රශ්න රාශියකට මුහුණුපෑමට සිදුවී තිබෙනවා. එම වී මෝලෙන් බැහැර කරන අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට වල් අලි පැමිණීමෙන් වල් අලි තර්ජනද වැඩිවී තිබෙනවා.

කොතෙකුත් කරුණු ඉදිරිපත් කළත් වගකිවයුත්තන් මේවා මැඬපැවැත්වීමට ක්‍රියා කරන්නේ නෑ. ඒ වගේම වැලිකන්ද සිංහපුර ගම්මානයේ දැනට පවත්වාගෙන යන ඌරු කොටුවක්‌ නිසාත් මහජනතාවට දැඩි පීඩා එල්ලවී තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.

පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩී. එන්. එම්. ජයතිලක මහතා

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සිට දියවර ගෙන යන විජයබාහුපුර සිංහපුර ප්‍රධාන ඇළ මාර්ගයේ ගිනි පෙට්‌ටි පාලම අබලන්වීම නිසා ඒ අසලින් අලුත් පාලමක්‌ ඉදිකිරීමට ආරම්භ කළා. නමුත් මේ වන විට එය අතර මග නතරවී තිබෙනවා. ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාව හැටියට ගොවි සංවිධානවල සභාපතිවරුන් හැටියට අප කනගාටුවට පත්වන කාරණයක්‌ පසුගිය දිනවල සිදුවී තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ අවුරුදු සිය ගණනක්‌ පැවැති පැරණි පලුගස හිටි අඩියේ කපා දමා තිබෙනවා. ඒක විශාල විනාශයක්‌.

එය මහජනයා අතර විශාල ආන්දොaලනයකට ලක්‌වී තිබෙනවා. අප මේ විනාශය දැන ගත්තේ මාධ්‍යවල පළවූ පසුවයි. එම නිසා සමස්‌ත ගොවි සංවිධාන සභාපතිවරුන් වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා මින් ඉදිරියට මෙවැනි දේවල් සිදුකිරීමට පෙර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුව දැනුවත් කිරීමට කටයුතු කරන්න කියා. මේක අපි කිසිම කෙනෙක්‌ දන්නේ නෑ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.