රුපියල් කෝටි 400ක යානා විනාශ වූ
අනුරාධපුර ප්‍රහාරයේ ඇත්ත කතාව

කීර්ති වර්ණකුලසූරිය

දිනය 2007 ඔක්‌තෝබර් 22 වැනිදායි. කොටි සංවිධානය වසර 9 කට පෙර ගුවනින් සහ ගොඩබිමින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එහෙත් මේ බිහිසුණු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධානතම කොටි ත්‍රස්‌තයන් අසුවූයේ නැත. 2009 මැයි 19 දා වන්නියේ සිට සිවිල් වැසියන්ගේ මුවාවෙන් පැමිණි තබෝරූබන් රාසවල්ලන් හෙවත් කඩ්රල් වෙල්කෙයි හෙවත් කූගන් සහ පී. අරවින්දන් ආරක්‍ෂක හමුදාවට අසුවීමෙන් පසු ත්‍රස්‌ත මර්දන ඒකකයට බාර කෙරුණි.

අරවින්දන් යාපනයේ සංකනෙයි තුලංඩි වීදියේ පදිංචිකරුවෙකි. තබෝරූබන් යාපනයේ මයිලඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ බව හෙලිවිය. මෙහිදී තබෝරූබන් රාසවල්ලන් ත්‍රස්‌ත මර්දන බලධාරීන් හමුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ලකළ අන්දම ගැන පාපොච්චාරණයක්‌ද කළේය. 2007 ඔක්‌තෝම්බර් මස 22 දා අළුයම එල්ලවූ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400 ක්‌ වටිනා ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළු ගුවන් යානා 16 ක්‌ මුළුමනින්ම විනාශ විය. එසේම ගුවන් යානා අංගනයේ නතර කර තිබූ තවත් යානා 6 කට බරපතල හානි සිදුවිය.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්‌කයක්‌වූ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා 22 ක්‌ ස්‌ථානගත කර තිබීම ඉතාම අඥන ක්‍රියාවකි. තමන්ට ප්‍රහාර එල්ලවූයේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට බව කොටි දැන සිටියහ. එවන් පසුබිමක්‌ මැද ගුවන් හමුදා කඳවුරට ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ නොතිබූ නොතිබූ බවද පසුව අනාවරණය විය.

ගුවන් හමුදා කඳවුරට එල්ලවූ ප්‍රහාරය වසන්කරලීමට එකළ ගුවන් හමුදා බලධාරීන් උත්සාහ කළත් ඒවන විට විනාශ වූ යානා සහ හානියට පත්වූ යානාවල ඡායාරූප ගුවන් හමුදා නිලධාරියකු විසින් ඡායාරූප ගතකර විදේශ මාධ්‍යවලට සපයනු ලැබීය. ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ දැඩි සබඳකම් පවත්වන මාධ්‍ය පාර්ශවයකටද එම ඡායාරූප ලැබී තිබුණි.

වසර ගණනකට පෙර අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එල්ලවූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයට පසු 2 වැනි වරටත් අනුරාධපුරයට එල්ලවූ විනාශකාරී ත්‍රස්‌ත ප්‍රහාරය මෙයයි.

උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය අද දේශපාලන සිරකරුවන් යයි දක්‌වමින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ලවා බේරාගැනීමට උත්සාහ කරන්නේ අනුරාධපුර ප්‍රහාරය එල්ල කළ තබෝරූබන් යන අරවින්දන් වැනි ත්‍රස්‌තයන්ය. මෙම කොටි ත්‍රස්‌තයන් දෙදෙනා ඇප මත මුදාගැනීමට පසුගිය අගෝස්‌තු මස ඔවුන්ගේ නීතිඥයන්ද උත්සාහ කර තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්‌තිය 2/3 කින් විනාශ කිරීම ගැන ප්‍රභාකරන් අතිශයින්ම ප්‍රමෝදයට පත්විය.

අනුරාධපුර ප්‍රහාරයෙන් ගුවන් හමුදා බලඝණනායකයකු ඇතුළු 14 ක්‌ද කළු කොටි මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් 21 ක්‌ද මරුමුවට පත්වූහ.

එම ප්‍රහාරයෙන් දින 10 කට පසු වන්නියේ ධර්මපුරම් ප්‍රදේශයේ කොටි ශාලාවක උත්සවයක්‌ පැවැත්වුණි.

අද අපි හෙළිදරව් කරන්නේ අනුරාධපුර ප්‍රහාරයට සම්බන්ධ සිද්ධියේ ඇත්ත කතාවයි.

මෙම කොටි ශාලාවට කොටි දේශපාලන නායක තමිල්සෙල්වන්, කොටි පොලිස්‌පති නඩේසන්, ටොසි බුද්ධි සේවයේ ප්‍රධානි, පොට්‌ටු අම්මාන්, ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනී සහ කොටි හමුදා නායකයන්වූ මනිවන්තන් සහ මනිදරයන්ද සහ වාන් පුලිගල් කොටි ගුවන් බලකායේ නායක ගුෂාන්තන් ඇතුළු පිරිසක්‌ පැමිණ සිටියහ.

මෙම උත්සවයට රාත්‍රියේ පැමිණි ප්‍රභාකරන් අනුරාධපුර ප්‍රහාරයට සැලසුම් කළ සහ ඊට සහභාගිවී දිවි ගලවාගත් කොටින්ට තෑගි ප්‍රදානය කර ඇත.

අනුරාධපුර ප්‍රහාරය සිදුවීමට පැයකට පෙර අනුරාධපුරයේ රුවන්වැලිසෑය ඇතුළු ප්‍රදේශය කොටි ත්‍රස්‌තයකු විසින් වීඩියෝ ගතකර තිබූ අතර ප්‍රහාරයේ දර්ශනද ලොව පුරා කොටි වෙබ් අඩවිවලින් විකාශය විය.

මෙම ප්‍රහාරයට කළුකොටි 27 ක්‌ සම්බන්ධ විය. තබෝරුබන් රාසවල්ලන් සමඟ රත්නම් මාස්‌ටර්, තමලිබන් මාස්‌ටර්, සුකලාරසන් සහ ජුට්‌ටයි නැමැති කොටි ත්‍රස්‌තයන් මන්නාරමේ සිට බපල් යුද රථයකින් මන්නාරම පල්ලමඩුවේ පිහිටි ප්‍රහාර එල්ල කිරීම පුහුණු කරන මධ්‍යස්‌ථානය වෙත පැමිණ ඇත. මෙම බපල් රථය යුද හමුදාවෙන් පැහැර ගත් රථයකි. පැය 2 ක්‌ තිස්‌සේ සිදුකළ පුහුණුවෙන් පසු කළු කොටි කණ්‌ඩායම අනුරාධපුර නුවර වැව සමීපයට ගෙන යන ලෙස තබෝරූබන්ට උපදෙස්‌ ලැබී ඇත.

එම උපදෙස්‌ මත තබෝරූබන් ඇතුළු පිරිස මල්වතුඔය සමීපයට පැමිණ ඇඳසිටි කොටි ඇඳුම් උනාදමා ගුවන් හමුදා නිළ ඇඳුම්වලට සමාන කැලෑ නිල ඇඳුමින් සැරසී තිබේ.

ඔවුන් එතැන් සිට මිහින්තලයේ තේක්‌ක කැලයට පැමිණ ඇත. මෙම කොටි ත්‍රස්‌ත කණ්‌ඩායමේ මැනවින් සිංහල කතාකරන ත්‍රස්‌තයකුද විය ජුට්‌ටා නමින් හැඳින්වූයේ එම ත්‍රස්‌තයායි. තේක්‌ක කැලයේ සිටි කොටි ත්‍රස්‌තයන්ට වනයේ දර කැඩීමට පැමිණි වයසක තැනැත්තෙක්‌ හමුවිය. තම පිරිස්‌ ගොවිතැන් කරන ගුවන් හමුදා පිරිසක්‌ බව ජුට්‌ටා එම තැනැත්තාට ප්‍රකාශ කර ඇත.

එහෙත් කළු කොටි පිරිස අතර සිටි කොටි කාන්තාවකගේ බෙල්ලේ සයනයිඩ් කරලක්‌ තිබෙනු දුටු එම වයසක තැනැත්තා කලබලයට පත්විය.

තම කොටි කණ්‌ඩායම කෙරේ එම තැනැත්තා සැකකරන බව ජුට්‌ටා නැමැති ත්‍රස්‌තයාට අවබෝධ විය. ඔහු විගස තමලිබන් නැමැති කොටියාට ඉඟියක්‌ කර ඇත. භට පිරිස ගොවිතැන් කරන ස්‌ථානය පෙන්නුම් කිරීමට යයි දක්‌වමින් වයසක තැනැත්තාව කැලයට ගෙනගිය තමිලිබන් ඔහුට වෙඩි තබා මරා හිස කපා ගස්‌බෙනයක දමා ඇත.

පසුදින තේක්‌ක කැළයට පැමිණ දර කපන්නන් පිරිසකට ගස්‌ බෙනයක තිබූ එම මිනිස්‌ හිස දැකගන්න ලැබී පොලිසියට දන්වනු ලැබීය. එහෙත් අනතුර තේරුම් ගැනීමට අනුරාධපුර බුද්ධි අංශවලට නොහැකිවිය. හිස කපා ගස්‌ බෙනයක දැමීම බරපතල සිද්ධියක්‌ වූවත් පරීක්‍ෂණ නතරවිය.

මෙම මිනිස්‌ ඝාතනය සිදුකළ කොටි කණ්‌ඩායම තේක්‌ක කැලෑවේ සිට ඔක්‌තෝම්බර් 21 දා නුවර වැව ප්‍රදේශයට පැමිණියහ. මේ වනවිට ප්‍රහාරය එල්ල කරන සැටි කොටි කණ්‌ඩායමේ සිටි ඉලංගෝ විසින් කියාදී තිබුණි.

ඔක්‌තෝම්බර් 22 වැනි අළුයම 1 වන විට තබෝරූබන් ඇතුළු කළුකොටි කණ්‌ඩායම නුවර වැව අසල තිබූ පිට්‌ටනිය හරහා ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයට අවතීර්ණ වී ඇත.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අසල බොරළු පාරක්‌ද තිබූ අතර එම පාරේ නිරීක්‍ෂණ ඒකකයක්‌ පවා නොතිබුණි. මේවන විට කොටි කණ්‌ඩායම ගුවන් හමුදා කඳවුර අසල පිහිටි නිවාස තුනක්‌ සමීපයට පැමිණි කම්බි වැට කපා කඳවුරේ මායිමට පැමිණ තිබිණි.

මෙම කම්බි වැට කපා ඇත්තේ තමාලින්බන්ය. කම්බිවැට ආවරණය කිරීමට දැලක්‌ද තිබුණි. එයද කැපීමෙන් පසු කළු කොටි 18 ක්‌ එතනින් ගුවන් හමුදා කඳවුරු භූමියට ඇතුල් වී ඇත. මේ කළුකොටි කණ්‌ඩායම සිරුරු ආවරණ හෙවත් බොඩි ආමර් වලින් සැරසී සිටි බවද හෙලිවිය.

එම කළුකොටි කණ්‌ඩායම භාරව සිටියේ කනිතිරන් නැමැති කොටි බුද්ධි අංශයේ ක්‍රියාකාරියකු බව පසුව හෙලිවිය. කනිතිරන් මෙහිදී තබෝරූබන්ට පවසා ඇත්තේ ජුට්‌ටා සහ සුකලාරසන් සමඟ ආපසු යන ලෙසත් තමා මෙහෙයුම දියත් කරන බවත්ය.

එම උපදෙස්‌ මත තබෝරුවන් ඇතුළු තිදෙනා ආපසු යාමට සැරසෙන අවස්‌ථාවේ තුවන් හමුදා බංකරයක්‌ තුළින් කවුද ඉන්නේ යයි කෑගසමින් වෙඩි ප්‍රහාරයක්‌ එල්ල විය.

මින් කලබලයට පත්වූ කොටි එම ගුවන් හමුදා බංකරයට ආර්. පී. ජී. ප්‍රහාරයක්‌ එල්ලකර එහි සිටි ගුවන් හමුදා භටයා මරා දැමූහ.

මේ ආර්. පී. ජී. ප්‍රහාරය එල්ලවූයේ පාන්දර 3.20 ට පමණ බව වාර්තා විය.

ඒ වන විට වීමන් නැමැති කළු කොටි ප්‍රධානියාගේ කණ්‌ඩායම ගුවන් හමුදා අංගනය වෙත පැමිණ නතර කර තිබූ ප්‍රහාරක හෙලිකොප්ටර්වලට ප්‍රහාර එල්ල කළ ප්‍රභාකරන් වඩාත්ම බිය දැක්‌වූයේ එම්. අයි 24 සහ එම් අයි 35 වර්ගයේ කොකර්ඩයිල් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටර්වලටය.

මේ ප්‍රහාරක හෙලිකොප්ටර්වල ඇති ප්‍රහාරක ශක්‌තිය ප්‍රභාකරන්ට අමතක නොවේ.

වීමන්ගේ කළු කොටි කණ්‌ඩායම මුලින්ම එම්. අයි - 24 ප්‍රහාරක හෙලිකොප්ටරයකට ප්‍රහාර එල්ලකර එය විනාශ කළහ.

වීමන් මේ බව තබෝරවන් සතුව තිබූ පණිවුඩ යන්ත්‍රයට දන්වා තිබුණි. එම් අයි 24 හෙලිකොප්ටරය විනාශ කිරීමේ සිද්ධිය තබෝරූබන් විසින් විගස සිය චන්ද්‍රිකා දුරකථනයෙන් තමිල්මාරන් මාස්‌ටර් ගාමාජි කොටි ප්‍රහාර සැලසුම්කරන්නාට දන්වා ඇත. ඇටෑක්‌ එක ආරම්භ වුණා. ප්ලයිට්‌ දෙක එවන්න යයි තබෝරූබන් විසින් තමිල්මාරන් මාස්‌ටර්ට ප්‍රකාශ කර තිබේ.

ප්ලයිට්‌ දෙක යයි ඔහු පවසා ඇත්තේ ස්‌ලින් වර්ගයේ කොටි ගුවන්යානා දෙකටය. මේවනවිට අනුරාධපුර ප්‍රහාරය කොටි වීඩියෝ ගතකර ඇත.

අළුයම 3.20 ට අළුයම 5.30 දක්‌වාම පැවැති මෙම ප්‍රහාරයේදී ගුවන් අංගනයේ පිපිරවීම් උපාංග සවිකළ කළුකොටි පිපිරුම් රැසක්‌ ක්‍රියාත්මක කළහ. අනුරාධපුර ප්‍රහාරය සාර්ථක වීම නිසා ප්‍රමෝදයට පත් ප්‍රභාකරන් ධර්මපුරම් ශාලාවේ පැවැති උත්සවයේදී තබෝරුවන් වීරයකු බවත් ඔහු කළුකොටි කණ්‌ඩායම අනුරාධපුර ගුවන් කඳවුර වෙත ගෙනයාම සාර්ථක ක්‍රියාවක්‌ බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී ප්‍රභාකරන් විසින් තබෝරූබන්ට මයික්‍රෝපිස්‌ටල් හෙවත් නවීන පිස්‌තෝලයක්‌ද ස්‌විස්‌ටර්ලන්තයේ ලෝපූජිත ස්‌විස්‌ මිල්ටරි වර්ගයේ ඔර්ලෝසුවක්‌ද ස්‌විස්‌ නයිප් නැමැති ප්‍රසිද්ධ පිහියක්‌ද පදක්‌කමක්‌ද ප්‍රදානය කර ඇත.

තමිල්සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායම සාම සාකච්ඡා මුවාවෙන් ස්‌විස්‌ටර්ලන්තයට ගිය අවස්‌ථාවේ මෙම ස්‌විස්‌ මිල්ටරි ඔර්ලෝසු, ස්‌විස්‌ පිහි සහ ස්‌විස්‌ පිස්‌තෝල මෙරටට ගෙනඑනු ලැබීය. එහෙත් කටුනායක ගුවන් තොටුපළේදී මෙම භාණ්‌ඩ පරීක්‍ෂාවට ලක්‌වූයේ නැත. එවකට කටුනායක ගුවන් තොටුපළේ නිසි බලධාරියාවූයේ "ටැක්‌සි අබේ" නැමැත්තෙකි. මොහු එදා කොටින්ගේ බඩු පෙට්‌ටි පරීක්‍ෂාවකින් තොරව කිලිනොච්චියට ගෙනයාමට එම් 17 ප්‍රවාහන හෙලිකොප්ටරයක්‌ ලබාදීමටද ක්‍රියාකළේය. එසේම තමිල් සෙල්වන් ස්‌විට්‌සර්ලන්තය බලා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්‌ථාවේ ඔහුගේ බී්‍රයිෆ්කේසය ගුවන්යානාවට ගෙනයාමට ක්‍රියාකළේ ගුවන් හමුදා නිලධාරියෙකි.

මේ අතර අනුරාධපුර ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාම ප්‍රභාකරන් පිස්‌තෝල හා රත්රන් පදක්‌කමද පිරිනමා රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ පිරිනමා ඇත.

එහෙත් කළු කොටි ප්‍රහාරය මෙහෙයවූ කළු කොටි සියළුදෙනා ගුවන් හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වී තිබුණි.

අනුරාධපුර ප්‍රහාරයේ මොළකරුවා වූ තබෝරූබන් ඇතුළු කීපදෙනකුට යළි වන්නියට පැන ගැනීමට හැකිවූවත් කළුකොටි කණ්‌ඩායමට ගැලවීමට නොහැකිවිය.

2008 මැයි මස තබෝරූබන්ට තවත් මෙහෙයුමකට සූදානම් වන ලෙස රත්නම් මාස්‌ටර් නැමැති කොටි හමුදා නායකයා ප්‍රකාශ කර ඇත. මේ විශේෂ මෙහෙයුමට කුලල්වාගන්, කාන්දරාබන් සහ කුස්‌රන් නැමැති කොටි තිදෙනා සූදානම් කිරීමට තබෝරූබන් ක්‍රියාකළේය. මොවුන්ට ටී-56 අවි තුනක්‌ද චන්ද්‍රිකා දුරකථනයක්‌, ජී. පී. එස්‌. හෙවත් තමන් සිටින ස්‌ථානය දැනගැනීමේ අධිතාක්‍ෂණික යන්ත්‍රයක්‌ද වව්නියාව - මන්නාරම, මැදවච්චිය යන ප්‍රදේශ දැක්‌වෙන සිතියම් හතරක්‌ද සපයනු ලැබීය.

එහෙත් අවසන් මොහොතේදී කාන්දරූබන් නැමැත්තා මෙහෙයුමින් ඉවත්කර ඇත.

පසුව කිලිනොච්චියේ තිරුනගර්වල පිහිටි රත්නම් මාස්‌ටර්ගේ කාර්යාලයට එනලෙස තබෝරූබන්ට නියෝගයක්‌ ලැබුණි. තබෝරූබන් කොටි සංවිධානය ලබාදී තිබූ හොන්ඩා යතුරු පැදියෙන් රත්නම් මාස්‌ටර්ගේ කාර්යාලයට යනබව වන්අයි ජැක්‌ හෙවත් ප්‍රභා නමින් හඳුන්වන එකැස්‌ කොටි හමුදා නායකයාද එහි විය.

මෙහිදී ප්‍රභා ප්‍රභාශයක්‌ කරමින් තබෝරූබන්ගේ කණ්‌ඩායමේ දෙදෙනා යන ඔහුගේ කණ්‌ඩායමේ තිදෙනකුයි. පුලියන්කුලමේ පිහිටි ශෂීමාස්‌ටර්ගේ කඳවුරට එවන බව සඳහන් කර ඇත. රත්නම් මාස්‌ටර් සහ තබෝරූබන් දෙදෙනා සෂී මාස්‌ටර්ගේ කඳවුරට එනවිට ප්‍රභාගේ පිරිස හා තබෝරූබන්ගේ සගයන් දෙදෙනාද එහි විය.

ප්‍රභාගේ කණ්‌ඩායමේ තිදෙනාගෙන් එක අයෙක්‌ මරාගෙන මැරෙන කළුකොටියකු බව තබෝරූබන්ට අවබෝධ විය. ඔහු තමා කවුදැයි තබෝරූබන්ට පැවසුවේ නැත. එහෙත් ඔහු සමඟ සිටි දෙදෙනා තෙන්නවන් සහ කරන් බව රත්නම් මාස්‌ටර් පවසා ඇත.

2008 අගෝස්‌තු 10 දා තබෝරූබන් විසින් එම මරාගෙන මැරෙන කළුකොටියාව උමාර් නමින් හඳුන්වන කොටි ප්‍රහාරක ඒකකයක ප්‍රධානියාට බාරදී ඇත. පසුව තබෝරූබන් යළිත් වරක්‌ රත්නම් මාස්‌ටර්ගේ කාර්යාලයට පැමිණ ඇත.

තබෝරූබන් විසින් උමාර්ට බාරදුන් කළුකොටි ක්‍රියාකාරියා සිය මෙහෙයුම ඉටුකර ඇති බව පැවසූ රත්නම් මාස්‌ටර් ඒ ගැන තබෝරූබන්ට ස්‌තුතිය පුද කළේය.

එහෙත් එම සාර්ථක මෙහෙයුම කුමක්‌දැයි රත්නම් මාස්‌ටර් හෙලිකළේ නැත. එසේ වූවත් 2008 ඔක්‌තෝබර් 7 දා කොටි හඬ ගුවන් විදුලිය නිවේදනයක්‌ කරමින් ජනරාල් ජානක පෙරේරා මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ගොදුරුවී මියගිය බව කියාසිටියේය. එම බෝම්බ පිපිරීමෙන් තවත් 29 ක්‌ මරුමුවට පත්වූහ.

තමා විසින් තෝරාගත් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌වූ කුන්රන් විසින් එම මරාගෙන මැරෙන බෝම්බකරුව උමාර්ට යවනු ලැබූ බවත් ජානක පෙරේරාව ඝාතනය කළේ ඔහු බවත් තබෝරූබන්ට අවබෝධ විය.

තබෝරූබන් ත්‍රස්‌ත මර්දන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අනුරාධපුරයේ ජානක පෙරේරා පැවැත්වූ රැළියට පැමිණ සිටි පිරිස අතර සිටි කළුකොටි මරාගෙන මැරෙන බෝම්බකරු එහි සිටි බව හෙළිවිය.

එම බෝම්බකරු තබෝරූබන් විසින් හඳුනාගනු ලැබීය. මේ අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ලවූ බිහිසුණු ප්‍රහාරයෙන් එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ද එම්. අයි. 17 ප්‍රවාහන හෙලිකොප්ටරයක්‌ද, බෙල් රෙන්ජර් හෙලිකොප්ටර් දෙකක්‌ද, බිච්ක්‍රාප්ට්‌ නිරීක්‍ෂණ යානාවක්‌ද පුහුණුවීමේ යානාවක්‌ද විනාශවී ඇති බව පසුව කළ විමර්ශනයෙන් හෙලිවිය.

එහෙත් කොටි ඉලක්‌කයක්‌වූ අනුරාධපුර ගුවන්හමුදා කඳවුරේ සිදුවූ ආරක්‍ෂක දුර්වලතාවලට වගකිවයුතු නිලධාරීන්ට නිසි පියවර ගැනීම සිදුවූයේ නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.