ශ්‍රී ලංකා වෘත්තික සංගම් සංවිධානයේ (OPA) 2016 ජාතික APEX සම්මානයෙන් ආචාර්ය ඉඳුනිල් ලියනගේ පිදුම් ලබයි

ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතා, ශ්‍රී ලංකා වෘත්තික සංගම් සංවිධානය (OPA) විසින් සංවිධානය කරන ලද උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ගෞරවනීය 2016 - අලෙවිකරණය සඳහා ජාතික APEX සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම කීර්තිමත් සම්මානය, තම වෘත්තියේ උන්නතිය උදෙසා හා සමාජයේ උන්නතිය උදෙසා සහ තම වෘත්තික ජීවිතයේ මුදුන්පෙත්ත අත්කරගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට වෘත්තිකයන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම කීර්තිමත් සම්මාන ප්‍රදානෝත්සවය, 2016 ඔක්‌තෝබර් 04 වැනි දින කීර්තිමත් සභාවක්‌ ඉදිරියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPA) 29 වන වාර්ෂික සම්මේලනයට සමගාමීව පවත්වන ලදී. එම 29 වන වාර්ෂික සම්මේලනයේ මෙවර තේමාව වූයේ "යහපත් පාලනයක්‌ - ඉදිරි ගමන" යන්නයි.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර ගෞරවනීය අමුත්තා ලෙස කථානායක කරු ජයසූරිය මහතා සහභාගි විය. වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ සභාපති මහාචාර්ය රෝහණ කුරුප්පු මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර ප්‍රධාන දේශකයා වුයේ එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ ජෝන් සොරෙන්සන් මහතා සහ ජාතික (OPA) 2016 සම්මාන සඳහා වන විනිසුරු මඩුල්ලේ සභාපති මහාචාර්ය විලි මෙන්ඩිස්‌ මහතාද සභාව ඇමතූහ.

බැංකුකරණය, නීතිය, කළමනාකරණය, ආර්ථිකය හා ඉංජිනේරු සේවා, සෞඛ්‍ය හා වෛද්‍ය සේවා, අලෙවිකරණය සහ ආගන්තුක සත්කාර, විද්‍යාව හා තාක්‌ෂණය, කෘෂිකර්මය සහ පශු වෛද්‍ය සහ සමුද්‍රික හා ආරක්‌ෂක, යන කාණ්‌ඩ 10 ක්‌ සඳහා මෙවර ජාතික OPA සම්මාන පිරිනැමීමට නියමිතව තිබුණද එම කාණ්‌ඩ 10 න් 7 ක්‌ සඳහා පමණක්‌ මෙවර ජාතික OPA සම්මාන පිරිනමන ලදී.

ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතා අලෙවිකරණය කාණ්‌ඩයෙන් තෝරාගනු ලැබු අතර, සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්‌ඩ (FMCG), විද්යුත් භාණ්‌ඩ, කෘෂිකර්මය හා මූල්‍ය සේවා පිළිබඳව වසර 27 ක අලෙවිකරණ පළපුරුද්දක්‌ තමන් සතු කරගෙන ඇත. ඔහුගේ අලෙවිකරණ රැකියා කාලය තුළ අප රටේ ප්‍රධාන ජාත්‍යන්තර සහ දේශීය සන්නාම / නිෂ්පාදන කිහිපයක්‌ ගොඩනගා ඇත. එම කාලය තුළදී බහු ජාතික හා දේශීය ආයතන කිහිපයක භාණ්‌ඩ / සන්නාම කළමනාකරු, අලෙවි කළමනාකරු, ප්‍රධාන අලෙවි නිලධාරි වැනි ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ තනතුරු කිහිපයක්‌ දැරූ අතර, වර්තමානයේ ඔහු ලංකා බැංකු ආයතනික කළමනාකරණ කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස ප්‍රධාන අලෙවි නිලධාරි තනතුර දරය. මෙම උච්චතම ජාතික සම්මානය ඔහුගේ සිත් බැඳෙනා රැකියා වාර්තාව හා අධ්‍යාපනික හා වෘත්තීමය ජයග්‍රහණයන් සනිටුහන් කරයි. වර්ෂ 1989 න් ආරම්භ කළ ඔහුගේ රැකියා ජීවිතය තුළදී ඔහු පුද්ගලික හා රාජ්‍ය අංශයේ බොහෝ ආයතනයන්හි සේවය කොට පළපුරුදු නිලලධාරියෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයෙන් දර්ශනශූරී (PhD) උපාධියද, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියද ලබාගෙන ඇත. තවද, ලියනගේ මහතා එක්‌සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් පශ්චාත් ඩිප්ලෝමාවක්‌ හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ වරලත් අලෙවිකරුවන්ගේ පළමු කණ්‌ඩායමේ සාමාජිකයකු වශයෙන් 1997 වසරේ සිට වරලත් අලෙවිකරුවකු ලෙස ක්‍රියාකොට ඇත. ශ්‍රී ලංකාවේ අලෙවිකරණ වෘත්තිය සඳහා ඔහු විසින් ලබාදී ඇති කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් (එක්‌සත් රාජධානියේ) වරලත් අලෙවිකරණ ආයතනයේ අධි සාමාජිකත්වය (FCIM) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් අධි සාමාජිකත්වයද (FSLIM) ලබාදී ඇත.

ආචාර්ය ලියනගේ මහතා, 1995 වර්ෂයේ සිට (එක්‌සත් රාජධානියේ) වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු වෙන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධි උපාධිධාරි අධ්‍යයන පීඨයේ ආදි විද්‍යාර්ථික යන්ගේ සංගමයන්හි සාමාජිකයෙකි. එක්‌සත් ජනපදයේ හවායි හි ජපන් අමෙරිකානු කළමනාකරණ විද්‍යායතනයේ ගෝලීය කළමනාකරුවන් සඳහා වන අන්තර් සංස්‌කෘතික අධ්‍යාපන වැඩසටහන සඳහා තෝරාගනු ලැබු පළමු ශ්‍රී ලාංකිකයා ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතා වේ. ඔහුගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර අවබෝධතා හා හොඳ හිත වෙනුවෙන් ලබාදුන් ඔහුගේ දායකත්වය අගයමින් එක්‌සත් ජනපදයේ හවායි හි පැවැති ඉහත සඳහන් වැඩ සටහන සඳහා ජපානයේ µqට්‌සු පදනම විසින් සම්පූර්ණ ශිෂ්‍යත්වයක්‌ ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතාට 1996 වර්ෂයේදී පිරිනමන ලදී. 2013 වර්ෂයේ මලයාසියාවේ ක්‌වාලාලාම්පූර් නුවර පුත්‍රඡයා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ලෝක අලෙවිකරණ සම්මේලනයේදී ගෝල්ඩන් ග්ලෝබ් ටයිගර් සම්මාන උළෙලේදී දක්‌ෂතම ප්‍රධාන අලෙවි නිලධාරීන් 50 දෙනා අතරට නම් කරමින් ආචාර්ය ඉඳුනිල් ලියනගේ ගෞරවයට පාත්‍ර කරන ලදී.

තවද ඉන්දියාවේ, මුම්බායි නුවරදී 2015 වර්ෂයේ පැවැති ලෝක අලෙවිකරණ සම්මේලනයේදී ලයිස්‌තුගත කළ ඉතා බලපෑම් කළ හැකි අලෙවිකරණ නායකයන් 100 දෙනා ලෙසද ඔහු සම්මානයෙන් පිදුම් ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.