එක්‌ සත්‍ය කතාවක්‌
සොරකුගේ කතාව

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

මම අද සොරෙකු ගැන කතාවක්‌ කියමි. මේ සොරා මා දන්නා හඳුනන අයෙකි. එබැවින් ඔහු ගැන බොරුවෙන් තොරව කතාවක්‌ කිව හැකි බව මට විශ්වාසය.

සොරෙකු යන්න අප තැති ගන්වන වචනයකි. සොරා අප භීතියට පත් කරවන්නෙකි. අප නිදා සිටියදී ගෙට ඇතුළුවන ඔහු අපේ අල්මාරි හැර රන් බඩු, මුදල් සොරාගෙන යයි. හදිසියේ අප ඇහැරුණොත් සොරා පලා යනු පිණිස අපට අනතුරක්‌ කරන්නටද පුළුවන. අප සොරුන් ගැන බිය ඒ නිසාය.

සමූහ වශයෙන් සොරකමේ යෙදෙන හොරු සිටිති. හතර පස්‌ දෙනකු එකතුවී සොරකමේ යෙදෙන අයද වෙති. කලිසම් කෝට්‌ හැඳ ටයිපටි පැළඳ කෝටි ගණන්වල හොරකමේ යෙදෙන මහත්වරු ගණයේ වැටෙන හොරුද සිටිති. ඔවුන්ගේ හොරකම් මුළු රටටම අති විශාල පාඩු සිදුවන ඒවාය.

දැන් අපි අපේ කතානායක සොර මිත්‍රයා දෙසට හැරෙමු.

ඔහු වැදගත් මවුපිය යුවළකට උපන් පවුලේ බාලම පුත්‍රයා ය. ඔහුගේ සහෝදර සහෝදරියන් වැදගත් අය වූහ. ජීවත් වූයේ කොළඹට සැතපුම් දහයක්‌ දොළහක්‌ නුදුරින් වර්තමානයේ නම් ඉතා ප්‍රසිද්ධ නගරයක පිහිටි ඔවුන්ගේම නිවසකය. ඔවුන් ගමේ මුල් පදිංචිකරුවන්ය.

අපි තාවකාලික නමක්‌ ලෙස ඔහුට නිමල් යෑයි කියමු. ඔහු මුලින්ම කළේ කුඩා කල අහල පහල ගෙදරකට ගිය කල ඒ ගෙදර තිබූ සෙල්ලම් බඩුවක්‌ වැනි දෙයක්‌ සඟවා ගෙන ඒමය. දෙමවුපියෝ එය වැඩි සැලකිල්ලට නොගත්හ. දරුවා නිවැරැදි මඟට යොමුකර ගත යුතුව තිබුණේ එතැනදීය. නොදන්වා නොකියා අවසරයකින් තොරව අනුන්ගේ දෙයක්‌ ගෙන ඒම වරදකැයි මුලින්ම ඔහුට කියා දුනි නම් ඔහු වැරැදි නොකරන දරුවෙකු වන්නට ඉඩ තිබුණි.

පාසල් යැමට ඔහු තුළ ආසාවක්‌ තිබුණේ නැත. කුඩා දේ සොරකම් කිරීම ඔහු දිගටම කරගෙන ගියේය. මවුපියෝ ඒ බව නොදත්හ. ඔහු තරුණ වියට පත්වත්ම කුඩා දේවල් සොරකම් කිරීමෙන් ඔහු දවසේ වියදම සොයා ගන්නෙකු බවට පත්ව තිබුණි. ඔහු බොහෝ විට කළේ වෙළෙඳ සල්වලින් කුඩා භාණ්‌ඩ සොරාගෙන ඒවා නැවත අලෙවි කිරීමය.

මහන්සියකින් තොරව ආදායමක්‌ සොයා ගැනීමේ රසය ඔහුට දැනෙන්නට විය. ඉනික්‌බිති ඔහු එය ජීවන මාර්ගය ලෙස තෝරා ගත්තේය. පවුලේ අයට මේ තරුණයාගේ වැඩපිළිවෙළ තේරුම් ගොස්‌ තිබුණි. නමුත් ඔවුන්ට ඔහු මේ නරක රැකියාවෙන් ගලවා ගනු නොහැකි විය.

ඔහු මහා පරිමාණ හොරකමට බැස්‌සේය. ඔහුගේ ඉලක්‌කය වූයේ විශාල කඩ සාප්පුය. සොරකම විෂයෙහි ඔහුට තිබුණේ දිව්‍යඥනයකි.

ඔහු රාත්‍රී කාලයේ නගරයන්හි සංචාරය කළේය. සාමාන්‍යයෙන් කඩ සාප්පු වසා දමා දොරවලට ඉබියතුරු දමා යැම අයිතිකරුවන්ගේ සිරිතය. එහෙත් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ දී සාප්පුවෙහි කිසිවෙකුත් නතර නොවේ.

අප මිත්‍රයා ළඟ නිරතුරුව කුඩා ඉස්‌කුරුප්පු නියන් තිබේ. ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ ඒවාය. රාත්‍රියේදී පොලිස්‌ පරීක්‍ෂාවකදී ඉස්‌කුරුප්පු නියන් ළඟ තිබී අසු වුවහොත් නිසැකවම පොලිසියට ගෙන යනු ලබයි. ඇඟිලි සලකුණු ගනී. ඡායාරූප ගනී. එබැවින් රාත්‍රී කාලයේ දී ඉස්‌කුරුප්පු නියං සමඟ අසුවීම භයානකය. එබැවින් අප මිත්‍රයා මේ ඉස්‌කුරුප්පු නියං සඟවාගෙන ගියේ ශරීරයේ රහසිගත ස්‌ථානවලය.

පළපුරුදු සොරෙකුට ඕනෑම ඉබි යතුරක්‌ නියනෙන් ගැලවීම පහසු වැඩකි. අනෙක සොරා ඇතුළු වන්නේ හැම විටම පසුපස දොරෙනි. එකල දැන් මෙන් සී.සී.ටී.වී. කැමරා නොතිබුණි. බෑගයක ගෙන යා හැකි බඩු පමණක්‌ රැගෙන යන අප මිත්‍රයා හැකිතාක්‌ අතුරු පාරවල් දිගේ ගෙදරට පැමිණේ. දහවල් කාලයේ ඒවා විකිණීමට යැම අපහසු කරුණක්‌ නොවේ.

සමාදානයෙන් යෙහෙන් මේ රැකියාව දිගටම කරගෙන යැමට ඔහුට ඉඩ ලැබුණේ නැත. පොලිසියටද අසුවිය. මාස ගණන් රිමාන්ඩ් භාරයේ පසුවිය. එහෙත් කිසිදාක පවුලේ අය ඔහුට ඇප තැබීමට හෝ බේරා ගැනීමට ගියේ නැත.

නමුත් නඩුවලින් ඔහු නිදහස්‌ වේ. ප්‍රධානම හේතුව භාණ්‌ඩ අයිතිකරුවන් උසාවියට නොඒමය. පොලිසිය භාණ්‌ඩ ඉදිරිපත් කළද, අයිතිකරුවන් උසාවියට එන්නේ නැත. උසාවි යැම රස්‌තියාදු වියදම් වැඩකි. උසාවිය නඩුව කිහිප වාරයක්‌ අඬ ගසා අන්තිමේදී නඩුව නිෂ්ප්‍රභ කරයි. නැත්නම් සොරා නිදහස්‌ කරයි.

මෙලෙස අප මිත්‍රයා වසරෙන් බාගයක්‌ම සිර ගෙදර ජීවත් වන අවස්‌ථා තිබුණි. මීට පිළියමක්‌ පිණිස ඔහු විවාහයක්‌ කර ගත්තේය. කුලියට ගෙයක්‌ද සොයා ගත්තේය. වෘත්තිය එයම විය. අසු වූවොත් ඇප දීමට බිරිඳ සිටියාය.

සිර ගෙදරදී ද ඇසුරු කරන්නට ලැබුණේ හොරුන්මය. සොරකම් කිරීමේ නව ක්‍රම ඔහු එහිදී ඉගෙන ගත් අතර එළියට එන හිරේ මිතුරන් සමඟ ජයට සොරකම් කිරීමේ ව්‍යාපාරයෙහි යෙදුණේය.

හේ පොලිසිවලින් පලා යැමේ අති දක්‍ෂයෙකු විය. පොලිස්‌ සිර මැදිරියේ සිටින ඔහු එළිවන පැයේදී සිය ඇඳිවත ගලවා වහලේ බාල්කයට දමා එමගින් එල්ලී වහලේ උළු ගලවා ගෙන පලාගියේ වරක්‌ නොවේ. දෙතුන් වතාවක්‌ම පලා ගියේය. අන්තිමේදී පොලිසිය කළේ පොලිස්‌ සිර මැදිරියේ සිටියදීත් ඔහුට මාංචු දමා තැබීමය.

පොලිසිවලින් ගුටි කමින් හිරගෙවල්වල ගත කරමින් නමුදු ඔහු සමහර කාලවලදී සැපවත් ජීවිතයක්‌ද ගත කළේය. කලෙක ඔහුගේ ගෙදරට අමුත්තෙකු ආ කල්හි ඔහුට සංග්‍රහ පිණිස බීම වර්ග ගෙන ආවේ ට්‍රොලියක තබාගෙනය.

හේ බොහෝ ශක්‌තිවන්ත කෙනෙකු විය. දිවීමෙහි අති ශූරයෙකි. වරක්‌ ඔහු පොලිසිය විසින් අල්ලා ගනු ලැබීය. පලායැමේ දක්‍ෂයෙකු හෙයින් පොලිසිය කළේ ඔහුගේ අත් දෙකත්, කකුල් දෙකත් තරයේ ගැටගසනු ලැබීය. අනතුරුව ජීප් රථයට දමනු ලැබීය. අනතුරුව පොලිස්‌ නිලධාරීන් තවත් සැකකරුවකු අල්ලාගෙන ඒමට තවත් නිවසකට ගියහ. ඒ අවසරයෙන් දෙපාවල බැමි ලිහාගත් අප මිත්‍රයා ජීප් රියෙන් බැස දුවන්නට විය. පොලිස්‌ නිලධාරීහුද ඔහු පසුපස දුවන්නට විය. අත්දෙක බැඳ තිබූ හෙයින් අවශ්‍ය වේගය ගත නොහැකිවූ හෙයින් දිවීමට නොහැකි වූ තැන හේ ළිඳකට පැන්නේය. පොලිස්‌ නිලධාරීහු බොහෝ වෙර දරා ඔහු ගොඩට ගත්හ.

බිම වැතිර සිටි ඔහු මැරෙන්නට ආසන්න බව පෙනුණි. පොලිස්‌ නිලධාරීහු හුස්‌මක්‌ නොගන්නා මේ මිනිසා බේරා ගන්නා විදියක්‌ සාකච්ඡා කරන්නට වූහ. එක්‌ ක්‍ෂණයකින් නැගිටගත් අප මිත්‍රයා අධි වේගයෙන් දිව යන්නට විය. පළාතේ ස්‌වභාවය නොදත් පොලිසිය ඒ මේ අත එහා මෙහා දිව ගියද සොරා සොයාගත නොහැකි විය. ඔහු මළාක්‌ මෙන් හුස්‌ම නොගෙන සිට ඇත්තේ පොලිසිය නොමඟ යවනු පිණිසය.

තවත් වරෙක ඔහු රාත්‍රී කාලයේ නිවසකට ඇතුළු විය. එය හමුදා නිලධාරියකුගේ නිවසක්‌ බව ඔහු දැන සිටියේ නැත. ශබ්දයක්‌ ඇසුණු සැණින් හමුදා නිලධාරියා නැගිට තුවක්‌කුව අතට ගෙන ඇඳෙන් බැස්‌සේය. ඒ හඬ සොරාට ඇසිණි. හේ වහා ගෙයින් එළියට පැන්නේය. ඒ සමඟම හමුදා නිලධාරියාද ක්‍රියාත්මක විය. දුවන්නට ගියහොත් අසුවන බව සොරා තේරුම් ගත්තේය. ඔහු ඉතා වේගයෙන් උඩ පැන නිවසේ හුඩ් එකේ එල්ලී වහලයේ සිවිලිමත්, සිමෙන්ති ලෑල්ලත් අතර වැතිර ගත්තේය.

සොරාට පැන යන්නට අවස්‌ථාව නොලැබුණු බව හමුදා නිලධාරියා දැන සිටියේය. හමුදා නිලධාරියා ගේ වටා පැය භාගයක්‌ පමණ ඇවිදිමින් තුවක්‌කු එල්ල කොටගෙන සොරා සෙව්වේය. අප මිත්‍රයා ඒ කාලය තුළ හුස්‌ම ගෙන ඇත්තේ වරක්‌ හෝ දෙවරක්‌ පමණි. එදා ඔහු පණ බේරා ගත්තේය. නැත්නම් සොරකම් අවසන් වන්නට තිබුණේ එදිනය.

කලකින් මුණ නොගැසුණද ඔහු තවමත් සිටින බව මම දනිමි. දැන් ඔහුගේ සවි ශක්‌තිය බොහෝ දුරට සිඳී ගොස්‌ය. ලොකු මහත දූ දරුවන් සිටින බැවින් ඔහුට ලොකු අගහිඟයක්‌ද නැත. එහෙත් ඔහු ජීවිත කාලයටම රැකියාවක්‌ කළ අයෙකු නොවේ. කොතෙක්‌ සොරකම්වලට අසු වුවද ඔහු සිර ගෙදරින් නිදහස්‌ව ආවේය. ඒ බඩු අයිතිකරුවන්ගේ පමාව නිසාය.

මේ තාක්‌ මේ කතාව කියවා ගෙන ගිය ඔබ, මට සිනහසෙනු ඇත. මේ හොරුන් හොරුන් දැයි ඔබ අසනු ඇත.

දැන් හොරකම් කරන්නේ ටයිකෝට්‌ කලිසම් හැඳි ඉංග්‍රීසි කතා කරන උගත් මහත්වරුය. ආර්ථික විශේෂඥයන්ය. සොරකම් කෙරුණේ පොඩි ගණන්වලින් නොව ප්‍රකෝටි ගණන්වලිනි. එමතුද නොව සොරකම් කෙරුණේ හොර යතුරු ඉස්‌කුරුප්පු නියංවලින් ඉබි යතුරු කඩා නොව නියම යතුරුවලින් අරිමිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.