මංනෝමන්


පසුගිය කාලයේ දිප්පිටිගොඩ ගමේ හොඳ ගායකයෙක්‌ සිටියේය. ඔහු නමින් ජයතිස්‌ස අයියාය.

ගමේ පමණක්‌ නොව වේවැල්දූව හුණුපිටිය, වත්තල, පමුණුවිල, දළුගම වැනි දිප්පිටිගොඩ අවට ගම්වල පැවැති මඟුල් උත්සව ඇතුළු විවිධ උත්සවවලට ජයතිස්‌ස අයියා නැතිව බැරි චරිතයක්‌. ජයතිස්‌ස ආදරය කළේ මැගලින් අක්‌කාගේ දියණියකටය. ඔහු ඇය වෙනුවෙන්ද ගීත රචනා කර ගීත ගායනා කළේය.
එම දවස්‌වල මෙවැනි උත්සව සඳහා ශබ්දවාහිනි යොදා ගෙන තිබුණා. ජයතිස්‌ස අයියාට සංගීතය සැපයුවේ දිප්පිටිගොඩ කොස්‌වත්තේ ජස්‌ටින් පීරිස්‌ අයියාය. ඔහු ළඟ පුංචි සර්පිනාවක්‌ද තිබිණි. ඩෝල ගහන සෝමපාලත් ජස්‌ටින් අයියාට දායක වුණා. සමහර දවස්‌වල මමත් මේ සංගීත සැන්දැව නැරඹීමට ගියෙමි. ජයතිස්‌ස වගේම ගීත ගැයීමට දිප්පිටිගොඩ විඡේත් ඉදිරිපත් වන අවස්‌ථා තිබිණි. දිනක්‌ හුණුපිටිය පැත්තේ මඟුල් ගෙදරක තිබුණු මෙම සංගීත සැන්දැව සඳහා නිවේදනය කටයුතු කිරීමට පැමිණෙන ලෙස දිප්පිටිගොඩ ඇටඹගහළඟ පදිංචි රොබට්‌ අයියා මට ඇරයුමක්‌ කළේය.

ජයතිස්‌සගෙන් උපදෙස්‌

මාව හුණුපිටියට රැගෙන යැම සඳහා ඔහු පාපැදියක්‌ රැගෙන ආවේය. මල්ලි එල්ලේ මැච් නිවේදනය කෙරුවා වගේ මේ වැඩේත් ලස්‌සනට කරන්න යෑයි රොබට්‌ අයියා මගෙන් ඉල්ලා සිටියේය.

රොබට්‌ අයියා මුලින්ම මාව ශබ්දවාහිනි යන්ත්‍රයෙන් හඳුන්වා දී තිබිණි.

ජයතිස්‌ස අයියා මාළඟට පැමිණ මට රහසින් උපදෙස්‌ කීපයක්‌ ලබා දීමට අමතක කළේ නැත.

නෝමන් මල්ලි මම මේ ගෙදර එහා කෑල්ලට යනවා.

ටිකක්‌ ඇඟ රත්කරගන්න එහෙම නැතුව මේ සින්දු කියන්න අමාරුයි. තව ටික වේලාවකින් නිවේදනය කරන්න. ජනප්‍රිය ගායක ජයතිස්‌ස මහතා වහාම මෙම ස්‌ථානයට පැමිණෙන්න කියලා.... එතකොට මම එන්නම් යෑයි කීවේය.

ඒ අනුව ජයතිස්‌ස මහතා ඔහු කී තැනට නික්‌ම ගියේය. ඊළඟට ඩෝලය ගසන සෝමපාල මහතා මා හමුවට පැමිණියේය.

මල්ලි මටත් ඒ විදිහට නිවේදනය කරන්න මමත් එතකොට එන්නම් කියමින් ඔවුන් එම මඟුල් ගෙදර කෑමබීම සූදානම් කර තිබූ කාමරයට ගියේය.

වහාම පැමිණෙන්න

සංගීත සැන්දැව දැන් ආරම්භ කිරීමට සූදානම්. කරුණාකර ජනප්‍රිය ගායක ජයතිස්‌ස මහතා වහාම පැමිණෙන ලෙස මම නිවේදනය කළෙමි.

ටික වේලාවකින් මහත් ආඩම්බරයෙන් වට පිට බලමින් ආචාරය කරමින් ජයතිස්‌ස මහතා මා ළඟට පැමිණියේය.

ඩෝලන් සෝමපාල මහතා වහාම පැමිණෙන්න යෑයි මට ඊළඟට නිවේදනය කළෙමි.

ඔහු පැමිණියේ නැත. මම තුන් හතර වතාවක්‌ම එසේ නිවේදනය කරද්දී ඔහු කේන්ති ගිය ස්‌වභාවයෙන් පැමිණියේය. ඔහු මයික්‌ එකට ඇසෙන පරිදි ඊයේ රෑ රඹුක්‌න උත්සවයකට ගිsහින් ආවේ.... කෝ අපිට කියලා විවේකයක්‌ කියමින් ඔහු ඩෝලය ගැසීමට සූදානම් විය.

ගීත හතරක්‌

ජස්‌ටින් පීරිස්‌ අයියා ප්‍රමාද වී සර්පිනාව රැගෙන පැමිණ තිබිණි. ජයතිස්‌ස අයියා එක දිගටම සින්දු හතරක්‌ පමණ ගායනා කර විඡේට ගීත ගායනා කිරීමට ඉඩ දී කෑම බීම සංග්‍රහ කරන කාමරය දෙසට ගියේය.

ජයතිස්‌ස අයියාගේ මෙම අපූරු සංගීත කණ්‌ඩායමට මුදල් අය කළේ නැත. උත්සව සංවිධායකයෝ ඒ වෙනුවට කෑම බීම මෙන්ම ප්‍රවාහන කටයුතු සිදු කළ යුතුයි.

ජයතිස්‌ස අයියාගේ සංගීත කණ්‌ඩායම දිප්පිටිගොඩ ගමේ බොහෝ දෙනකුට එදා මෙන් අදත් මතක ඇත.

මෙම අවධියේදී හෙන්ද්‍රික්‌ අයියාගේ නිවසක්‌ කුලියට ගෙන සිටින චෙල්ලයියා පවුලේ එඩ්වඩ් චෙල්ලයියා දැන් මාකොළ තරුණ සේවා සභාව පාරේ පදිංචි වී සිටියි.

අපූරු සංගීත කණ්‌ඩායමක්‌ ආරම්භ කළේය. බතික්‌ සරොම කමිසේ පන්කොළ තොප්පි දමාගෙන ගිටාර් එක කොන්ගෝඩ්‍රම් එක සහ මර්කස්‌ එකක්‌ යොදාගෙන හැඳල, වත්තල පැත්තේ හෝටල්වලට ගොස්‌ ගීත ගායනාකර මුදල් උපයන්නට පටන් ගත්තේය.

බේබි සින්තියා

මගේ මතකය හැටියට මෙම සංගීත කණ්‌ඩායමට චෙල්ලයියාගේ පවුලේ බේබි සින්තියා (ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිකාරියකි.) අපේ ඥතියෙකු වූ වර්ණන් පෙරේරා සහ ග්‍රේෂන් චෙල්ලයියා යොදාගෙන මෙම ගීත ගායනා කිරීම සිදුවී තිබිණි.

එහෙත් මෙම සංගීත කණ්‌ඩායමට මා බඳවා ගැනීමට එඩ්වඩ් ක්‍රියා නොකිරීම නිසා මම ඒ ගැන හිතින් දුක්‌වුණෙමි.

මට හොඳට ගීත ගායනා කිරීමට හැකිකමක්‌ තිබියදී ඇයි මට මෙහෙම කළේ යෑයි කියමින් කවදා හෝ දවසක මම හොඳ තැනකට එනවා යෑයි සිත හදා ගත්තෙමි.

එඩ්වඩ්ගේ සංගීත කණ්‌ඩායමට මාව බඳවා නොගැනීම නිසා ඔහු සමඟ අද වනතුරුත් අමනාපයක්‌ ඇති කර ගත්තේ නැත.

ඔහුගේ සංගීත කණ්‌ඩායම නිසා මම තව තවත් උත්සාහවන්ත වුණෙමි.

පෙරෙයිරා පවුල

මේ කාලයේදී දිප්පිටිගොඩ වනවාසල මායිමේ නිවසකට රේමන් පෙරෙයිරා මයිකල් පෙරේයිරාගේ පවුල පදිංචියට පැමිණ තිබිණි. එම පවුල බොහෝ දෙනකු හැඳින්වූයේ සංගීත පවුල යනුවෙනි.

රේමන් නිතරම ගිටාර් ගැසූ අතර විවිධ සංගීත කණ්‌ඩායම්වල ගීත ගායනා කළේය. රේමන් පෙරේයිරා මයිකල් පෙරේයිරා නික්‌ලස්‌ (නිකී) ඇතුළු එම පවුලේ සියලු දෙනාම මම මිත්‍රකර ගත්තෙමි. ඔවුහු දැන් තේවත්ත දෙව්මැඳුර ආසන්නයේ ජීවත් වෙති.

මමද රේමන් පෙරේයිරා අනුගමනය කරමින් ගිටාරය වාදනය කිරීමට පුහුණුවීමට උත්සාහ දැරුවෙමි. මම හඬ නඟා ගීත ගායනා කළෙමි.

නෝමන් පලිහවඩන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.