මන්නාරම බොදු පුදබිම සුරකිමු

චතුර පමුණුව

ගිනියම් වූ මන්නාරම් පොළොවේ ඇවිද යද්දී ගත මෙන්ම සිත ද දැවෙන්නේ යෑයි සිතේ. මේ දාහය යම් පමණකට හෝ නිවෙන්නේ ඉන්දියානු සාගරය පිස එන සුළඟිනි. එහෙත් මන්නාරමේ අන් කිසි තැනක නොලැබූ සිසිලසක්‌ විඳ ගැනීමට හැකි වූ එක්‌ ස්‌ථානයක්‌ පිළිබඳව මගේ මතකය අවදි වේ. ඒ ඓතිහාසික මාතොට විහාරයේ විරාජමානව වැඩ සිටින දැවැන්ත බෝධීන් වහන්සේගේ සෙවන යට සිටින විටදීය. මෙවන් ශුෂ්ක පෙදෙසක ඒ බෝධීන් වහන්සේ මෙලෙස මහා වෘක්‍ෂ රාජයෙක්‌ වූයේ කෙසේදැයි මට පුදුම සිතිනි. කවරක්‌ නමුත් ඒ ඓතිහාසික බෝධිරාජයා යට සිටින විට ගත මෙන්ම සිත ද සැනසෙන බව නොකියාම බැරිය.

පසුගිය දිනක මන්නාරමේ තිරුක්‌කේතීස්‌වරම් හි පිහිටි ඓතිහාසික ශ්‍රී මාතොට විහාරයට යැමට අවස්‌ථාවක්‌ උදාවිය. මීට පෙර මේ විහාරය පිළිබඳ මුහුණු පොතින් දැක එය සජිවීව දැක බලා ගත යුතු යෑයි මට සිතිනි. මේ ගැන මම අප මිත්‍ර තිවංකට දැන්වූ කල ඔහු ද මේ ගමනට එකහෙළාම කැමැත්ත පළකර සිටියේය. අප මාතොට විහාරයට ළඟා වන විට මධ්‍යහ්නයට ළංව තිබිණි. ප්‍රදේශයම දාහයෙන් ගිනියම්ව ඇති ස්‌වභාවයක්‌ දක්‌නට ලැබිණ. එහෙත් අප සියලු දෙනා පෙර සඳහන් කළ බෝධිරාජයා සෙවනට ගිය කල්හි ගත සිත පෙලූ දාහය සැනෙන් අතුරුදන් විය.

ක්‍රි. වර්ෂ දසවැනි සියවස දක්‌වා ඈතට දිවෙන මෙම විහාරය පුරාණ ලංකාවේ ප්‍රධාන වරායක්‌ වූ මාතොට ආසන්නයේ පිහිටා තිබීම නිසා විශේෂ ඓතිහාසික වැදගත්කමකින් යුක්‌ත බව සටහන් කළ යුතුය. දඹකොළපටුqනින් ලංකාවට ගොඩබට සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස්‌ ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වැඩමවා ගෙනවිත් මුහුදුබඩ මාර්ගය ඔස්‌සේ අනුරාධපුරය දක්‌වා වඩින ගමනේ පළමු රාත්‍රිය විවේක සුවයෙන් ගතකර ඇත්තේ මාතොට රජමහා විහාරයේ වීම සුවිශේෂය.

දන්ත ධාතූන් වහන්සේ වැඩමවාගෙන පැමිණ දන්ත කුමරුන් සහ හේමමාලි කුමරිය ද විවේක සුවයෙන් රාත්‍රිය ගත කළ ස්‌ථානය ලෙස ද මෙම විහාරය සැලකීම එහි අගය තවත් වැඩි දියුණු කරයි.

ඓතිහාසික මාතොට විහාරය පුරාවිද්‍යා වටිනාකමක්‌ ඇති ස්‌ථානයක්‌ ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් මන්නාරමේ කිsසිදු බෞද්ධයකු වාසය නොකරන ප්‍රදේශයක මෙම විහාරය රැකබලා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නම් නොවේ. කෝකිලායි සම්බෝධි විහාරය ඉදිවීම දැක කොටි හිතවාදීහු පරල වූවා සේම මාතොට විහාරය පිළිබඳවත් කොටි හිතවාදීහු ඉමහත් සැකයෙන් බලති. මීට කලකට පෙර ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ ද මෙම විහාරය පිළිබඳ ලිපියක්‌ පළ වී තිබිණි. කවරක්‌ නමුත් සිය දහස්‌ ගණනක්‌ රණවිරුවන් දිවි පුදා රැකගත් භූමියේ බොදු ලකුණ ආරක්‍ෂා විය යුතුය. එම නිසාම මන්නාරමේ ශ්‍රී මාතොට විහාරය කිසි ලෙසකින්වත් අතහැරිය නොහැකිය.

මාතොට රජමහා විහායේ වර්තමාන විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය අඹගහවැවේ සංඝරක්‌ත හිමිපාණන්ය. නොච්චියාගම අඹගහවැව ප්‍රදේශයේ උපත ලැබූ උන්වහන්සේ 1992 දී පැවිදි දිවියට ඇතුළු වූයේ රුවන්වැලි මහා සෑ විහාරස්‌ථානයේදීය. 2009 සිට මාතොට විහාරයේ විහාරාධිපති ධුරය දරන උන්වහන්සේ මන්නාරමේ බොදු උරුමය අනාගත පරපුරට රැකදීම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන බව සටහන් කළ යුතුය. වර්තමානයේ මාතොට විහාරයේ වැඩවසන එකම හිමිනම වන්නේ ද උන්වහන්සේ පමණකි. අප මන්නාරමට යන විට උන්වහන්සේ කොළඹට වැඩ සිටි අතර දුරකථනය ඔස්‌සේ මේ විහාරය වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීමට අප කණ්‌ඩායමට හැකි විය.

සංඝරක්‌ත හිමියන් ප්‍රකාශ කර සිටින්නේ ධර්මශාලාව සහ විශ්‍රාම ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි. හමුදා සාමාජිකයන් පිරිසක්‌ එම ඉදිකිරීම් කටයුතුවල නිරත වන අයුරු ද අපට දැකගත හැකි විය. විශේෂයෙන්ම බෝධීන් වහන්සේ වටා ද බෝධි මළුවේ ඉදිකිරීම් කටයුතු දැන් ලහි ලහියේ සිදු කෙරෙමින් පවතී. විශේෂයෙන්ම මෙම විහාරස්‌ථානයේ විශ්‍රාම ශාලාව ඉදිකිරීම අවසන් කළ විට දකුණේ බෞද්ධයන්ට ද මෙහි පැමිණ වැඳ පුදාගෙන විශ්‍රාම ශාලාවේම ලැගුම්ගෙන සිට නැවත ආපසු ගම රට බලා ගිය හැකිය. එය විහාරස්‌ථානයේ දියුණුවට ද ඉමහත් පිටිවහලක්‌ වනු ඇත.

දෙස්‌ විදෙස්‌හි වෙසෙන සිංහල බෞද්ධයන්ට මෙම විහාරයේ දියුණුව සඳහා යම් උපකාරයක්‌ කිරීමට හැකිවන්නේ නම් එය මන්නාරමේ බෞද්ධ ලකුණ අනාගත පරපුරට දායාද කිරීමට මහඟු පියවරක්‌ වනු ඇත. මන්නාරමේ වෙසෙන අන්‍ය ආගමික අන්‍ය ජාතිකයන් කිසි විටෙක මේ බොදු පුදබිමේ දියුණුව දැක සතුටු වන්නේ නැත. එනිසාම මෙය දියුණු කිරීමේ වගකීම දකුණේ සිංහල බෞද්ධයන් විසින් භාරගත යුතුය. උතුරේ පිහිටි මාතොට විහාරය සංවර්ධනය කිරීම සඳහා ආධාර කළ හැකි පිංවතුන්ට ඒ පිළිබඳ තොරතුරු 023-2050830, 0770695910 යන අංකවලින් හෝ පූජ්‍ය අඹගස්‌වැවේ සංඝරක්‌ත හිමි, ඓතිහාසික ශ්‍රී මාතොට රජමහා විහාරය, මන්නාරම යන ලිපිනයෙන් හෝ දැනගත හැකිය. දානය දෙව් ලොවට පියගැටපෙළක්‌ යෑයි කියනු ලැබේ. එනිසාම කාරුණික බෞද්ධයන් මේ විහාරය දියුණු කිරීම සඳහා එක්‌විය යුතුය. මන්නාරමේ බොදු ලකුණ සුරැකෙන එකම ස්‌ථානය මෙයම වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.