රක්‍ෂිත පට්‌ට ගසා
වල්ල පට්‌ට සෙවීම නවතමු

ඇස පිනවන්නට නිර්මාණය කරන සිනමා රූපයකින් සුවඳ හමනවා ඔබට දැනී තිබෙනවාද...? පර්ෆියුම් ( ද ස්‌ටෝරි ඔෆ් අ මර්ඩර් සිනමා පටය ඔබ නැරඹුවොතින් ඒ අත්දැකීම විඳගැනීමට ඔබට හැකිවෙනවා ඇත. දස්‌ පර්ෆියුම් නමින් එක්‌දහස්‌ නවසිය අසූ පහ වසරේදී, ජර්මන් බසින්, පැට්‌ටි්‍රක්‌ සස්‌කින්ඩ් විසින් ලියන ලද නව කතාව මෙම සිනමා පටය සඳහා වස්‌තු බීජය සපයා තිබේ. දෙදහස්‌ හය වසරේ නිපදවුණු පර්ෆියුම් ද ස්‌ටෝරි ඔෆ් අ මර්ඩර් චිත්‍රපටය ටොම් ටයික්‌වර්ගේ අධ්‍යක්‍ෂණයක්‌. ජෝන් බැප්ටිස්‌ ග්රෙසනොයීල්ගේ මාහැඟි රංගනයෙන් එහි කලාත්මක අගය ඉහළ නංවා තිබේ. සුවඳින් වල්මත් වූ මිනිසෙකු, මිනී මරමින් සුවඳ සොයා යන ගමනක, ඒ කතාව යළි මතක්‌ කර දෙන්නේ, පරිසරය වනසමින් සුවඳ සොයන්නට වලිකන වල්ල පට්‌ටා සොයන වර්තමාන මිනිසුන්ගේ කතාවය.



හොර පාරෙන් රට පැටවීමට සඳහා සූදානම් කොට තිබූ වල්ලා පට්‌ට කිලෝ තුන්සිය හැත්තෑවක්‌ රත්නපුර කහංගම, කොස්‌ගල සහ ගොඩිගමුව යන ප්‍රදේශයන්හි ස්‌ථාන දෙකකදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබීය.



2014 වර්ෂයේදී සිංහරාජයෙන් කපන ලද රුපියල් කෝටි දහයක්‌ පමණ වටිනා වල්ලා පට්‌ටා තොගයක්‌ සමඟ සැකකරුවන් සිව්දෙනකු අල්ලා ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සමත් විය. 2012 වර්ෂයේදී පමණක්‌ අත්අඩංගුවට ගනු ලැබූ වල්ලපට්‌ටා තොගවල වටිනාකම රුපියල් කෝටි 80 ක්‌ ඉක්‌මවා තිබෙන බව සඳහන්ය.

වසර ගණනාවක්‌ තිස්‌සේ වටිනා වන සම්පත රට අහිමි කරමින් ලෝකයේ ධන කුවේරයන්ගේ නාසය පිනවීම සඳහා කරගෙන යන මේ ජාවාරම වැඩි ජනප්‍රියතාවයකින් තොරව නමුත් බහුල ලෙස තවම කෙරීගෙන යන බව පෙනේ.

දුර්ලභ සුවඳකාරකයන් ඉපදෙන්නේ අමුතු ගන්ධ තුළිනි. ශෙනල් නමැති ලොව මිල අධිකම සුවඳ විලවුන් වර්ගය සිය මූලය ලෙස භාවිතා කරන්නේ තල්මසාගේ වමනයයි. තල්මසකුට වමනය පහවෙන්නේ අතිශය කලාතුරකිනි. ශරීරයේ හට ගන්නා අධික අජීර්ණ තත්ත්වයක්‌ හේතුවෙන් ගැලුම් ගණනක වමනයක්‌ තල්මසකුට පහ වූ විට, ඝනත්වයෙන් අඩු එය, මුහුදු රැල්ලේ මුසුවී වෙරළට ගසාගෙන එයි. වෙරළේ පෙන කැටි අතර ඇති එම වමනය වෙන්කර හඳුනාගැනීමේ ශක්‌තියක්‌ තිබෙන්නේ සුනඛයන්ට පමණය. සුනඛයන් එම පෙන කැටි අතරේ ඇති තල්මස්‌ වමනය වෙන් කර හඳුනා ගත් පසු, එය කෝටි ගණනක මිල වන සුවඳ කාරක මුල ද්‍රව්‍යයක්‌ බවට පත්වෙයි. වල්ල පට්‌ටා කතාවද එවැනිය.

වල්ල පට්‌ටා ශාකයේ ඉල්ලුම පවතින්නේ අගාවුඩ් නමින් හැඳින්වෙන සුවඳ කාරක කොටසටය. වල්ලපට්‌ට ගස්‌ සියයකින් එකකත් මෙම අගාවුඩ් නොමැති බව දැන් තහවුරු කරගෙන ඇත. අගාවුඩ් යනු පැහැදිලිවම රෝගී වල්ලපට්‌ට ගසකින් ලබා ගන්නා පිළිකාවක්‌ 'නොහොත් පිළිලයක්‌' වැනි ද්‍රව්‍යයයි. මේ නිසා 'අගාවුඩ්' කිලෝවක්‌ ලබා ගැනීම, විටෙක කළුනික සොයනවා තරම් දුලබ කටයුත්තකි. දකින දකින වල්ල පට්‌ටා ගස්‌ කපා දමා අගාවුඩ් සොයන්නට යැම නිසා ස්‌වභාවික පරිසරයෙන් මෙම ශාකය ශීඝ්‍ර ලෙස වඳවී යැමේ තර්ජනයකට මුහුණ දී සිටියි. රතු දත්ත පොත තුළ 2012 වර්ෂය වන තෙක්‌ වල්ලා පට්‌ට සැලකුවේ අවධානයෙන් අඩු ශාකයක්‌ ලෙසටය. 2012 දී නීති විරෝධී ලෙස කපා දැමීමට දරන උත්සාහය නිසා වල්ලපට්‌ටා ශාකය ස්‌වභාවික පරිසරයේදී කැපීම සහ අපනයනය තහනම් කිරීමට පියවර ගනු ලැබිය.

විද්‍යාත්මක නමාකරණයෙන් ජිනෝප්සිස්‌ වල්ලා ලෙස හඳුන්වන වල්ලාපට්‌ට, විශේෂක අටකින් සමන්විතය. දේශීයව සොයා ගත හැක්‌කේ, ඉන් ජීනෝපසිස්‌ වල්ලා නමැති විශේෂයය. මෙය තවමත් පරීක්‌ෂණ මට්‌ටමේ පවතින ශාකයක්‌ මෙන්ම අප රටේ සරසවි මහාචාර්යවරුන්ද මෙය සුවිශේෂි ගණයේ ශාකයක්‌ ලෙස හඳුන්වා දී ඇත. මෙහි කඳින් ගත හැකි ප්‍රයෝජනය පිළිබඳ තවම සොයාගෙන නොමැති අතර මෙහි ඇති වාණිජමය වටිනාකම පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය උපුල් සුබසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්වමින් පවති. යුරෝපයට අමතරව අරාබි ධනවතුන්ගේ නාසය පිනවීම සඳහා වල්ලපට්‌ට සතු හැකියාව එහි වටිනාකම ඉහළ යවා තිබෙන අතර විශේෂ ඖෂධ සහ තේ ලෙස පානය කිරීම සඳහා ද දැන් ලෝකය තුළ වල්ලපට්‌ටා ජනප්‍රියභාවයක්‌ ලබා තිබේ. නීති විරෝධීව මත් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නිසා ලෝක වෙළඳපොළ තුළ මෙය සීමාකරණයකටද ලක්‌වෙමින් පවතින බව පෙනේ.

වල්ලපට්‌ටා නොහොත් එහි ඇති රෙසිනය වන 'අගාවුඩ්' බහුල වශයෙන් ලැබෙන්නේ, වියට්‌නාමය, තායිලන්තය වැනි රටවල වාණිජ අගාවුඩ් වගාවන් මගිනි. ශ්‍රී ලංකාවේ රබර්, තේ වැනි වාණිජ වගාවන් සේ මෙම රටවල අගාවුඩ් වගාව ව්‍යාප්ත වී තිබේ. එම රටවල ආර්ථිකය සඳහා වැදගත් වගාවක්‌ ලෙස ක්‍රියා කරන අගාවුඩ්, ගැමි ආර්ථිකය නඟාසිටුවයි. වාණිජ ආකාරයෙන් අගාවුඩ් වගා කිරීමේදී, අගාවුඩ් නිපදවා ගැනීම සඳහා එම ශාකයට නිශ්චිත කාලයේදී එන්නත් ලබාදීම සිදු කළ යුතුය. කෘත්‍රිම ලෙස දිලීරයක්‌ වැනි ආසාදනයක්‌ මෙමඟින් ඇති කරන අතර එයින් අගාවුඩ් බහුලව ලබා ගැනීමේ හැකියාව පවතී.

එසේ වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලදී අගාවුඩ් ලබා ගැනීම සඳහා වල්ලපට්‌ට ශාක කපා ගනු ලබන්නේ සියයට සියයක්‌ ස්‌වභාවික පරිසරය තුළිනි. හොරෙන් කැලයට රිංගා වල්ලපට්‌ටා කපා දැමීමේ යුගය වෙනුවට, එය වාණිජ වගාවක්‌ ලෙස රට තුළ ජනප්‍රිය කරවීම අවශ්‍යතාවයක්‌ වන්නේ ඉන් නෙලා ගත හැකි විදේශ විනිමය නිසාය. අප විසින් වගා කරන රබර් සහ පොල් වගාවේ යටි වගා ලෙස අගාවුඩ් පහසුවෙන් වගා කිරීමට හැකිවීම සහ එය ගෙවතු වගාවක්‌ ආකාරයෙන් සිදු කිරීමට හැකිවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් සවිබලයක්‌ වනවා ඇත. රුපියල් එක්‌දහස්‌ හාරසීයකට පමණ ලබා ගන්නා අගාවුඩ් පැලයක්‌ වසර අටකට පසු රුපියල් පනස්‌ දහසක මුදලකට විකිණීමට හැකි වීම ගෙවත්තෙන් සල්ලි සොයා ගැනීම සඳහා හොඳ මඟක්‌ වනවා ඇත.

අගාවුඩ් වගා කළ හැකි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස

මහනුවර දිස්‌ත්‍රික්‌කය(

ගඟ ඉහළ කෝරළ්, හාරිස්‌පත්තුව, නුවර, උඩපළාත, උඩුනුවර, යටිනුවර, දොළුව, පස්‌බාගේ කෝරළේ

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය(

අලව්ව, පන්නල, පොල්ගහවෙල

රත්නපුර දිස්‌ත්‍රික්‌කය(

අයගම, ඇහැළියගොඩ, ඇළපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, කුරුවිට, නිවිතිගල, ඕපනායක, පැල්මඩුල්ල, රත්නපුර, ගොඩකවෙල

ගාල්ල දිස්‌ත්‍රික්‌කය(

අක්‌මීමන, බද්දේගම, ඇල්පිටිය, ගෝනාපීනුවල, ඉමදූව, කරන්දෙනිය, නාගොඩ, නෙළුව, නියගම, තවලම, වැලිවිටිය, දිවිතුර, යක්‌කලමුල්ල, අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බෝපේ-පෝද්දල, ගාල්ල, හබරාදූව, හික්‌කඩුව

මාතර දිස්‌ත්‍රික්‌කය(

අකුරැස්‌ස, අතුරලිය, කොටපොල, මාලිම්බඩ, මුලටියන, පස්‌ගොඩ, පිටබැද්දර, වැලිගම, වැලිපිටිය

කොළඹ දිස්‌ත්‍රික්‌කය(

හෝමාගම, පාදුක්‌ක, හංවැල්ල, කැස්‌බෑව, මොරටුව, අවිස්‌සාවේල්ල

ගම්පහ දිස්‌ත්‍රික්‌කය(

අත්තනගල්ල, දොම්පේ, මීරිගම

කළුතර දිස්‌ත්‍රික්‌කය(

අගලවත්ත, ගම, බේරුවල, බුලත්සිංහල, දොඩංගොඩ, හොරණ, ඉංගිරිය, කළුතර, මදුරාවෙල, මතුගම, මිල්ලනිය, පාලින්දනුවර, පානදුර, වලල්ලාවිට

ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.