රටට කරවල රස බෙදන පිටකොටුවේ
කරවල මුඩුක්‌කුව

රුවන් ජයවර්ධන
ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න

* තායිලන්තයෙන් විතරක්‌ මාසෙකට
   හාල්මැස්‌සෝ ටොන් 1500 ක්‌ ගේනව.
* "කට්‌ට" කරවල කිලෝ 1000 ක්‌ ගත්තොත්
    ලංකාවෙ "කට්‌ට" ඉන්නෙ කිලෝ 10 යි.
* රටින් මාළු ගේනවා මෙහේ වේලනවා කරවල කියල විකුණනවා
* ලෝකයෙන් වැඩිපුරම කරවල කන්නේ අපේ මිනිස්‌සු
* අපි කරවල වේලනවා අඩුයි හැබැයි රසයයි, ගුණයයි ඉස්‌තරම්

අපි......හාල්මැස්‌සන්ගෙන් පටන් ගමු.......සාමාන්‍යයෙන් එක මාසයක ලංකාවට තායිලන්තයෙන් විතරක්‌ හාල්මැස්‌සෝ කරවල ටොන් එක්‌දහස්‌ පන්සීයක්‌ විතර ගෙන්වනව. සමහර කාලවලට ඊටත් වැඩි ප්‍රමාණ ගෙන්වන අවස්‌ථා තිබෙනව. ලංකාවට හාල්මැස්‌සෝ කරවල ගෙන්වන ප්‍රධානම රට තායිලන්තය. ඊට අමතරව මාලදිවයින පකිස්‌තානය ඩුබායි කියන රටවල් යම් තැනක්‌ ගන්නව. අපේ වෙළෙඳපොළට හාල්මැස්‌ස ආනයනය කරන තවත් රටක්‌ තමයි වියට්‌නාමය. ඔය.....සමහරු තායිවාන් හාල්මැස්‌ස කියල හාල්මැස්‌සො කරවල විකුණුවට තායිවානයෙන් අපේ රටට හාල්මැස්‌සො ආනයනය කරන්නෙ නෑ.....ඒක බොරුවක්‌.

ලංකාවේ බත්පත රසකරන "කරවල හොද්ද" පිළිබඳ රසවත් තොරතුරු රැසක්‌ අනාවරණය කරමින් පිටකොටුව බංගසාල වීදියට යාබද ඕල්ඩ් බුචර් පටුමගෙහි පිහිටි විල්සන් ස්‌ටෝර්ස්‌හි අධිපති විල්සන් මහතා විසින් හාල්මැස්‌සන්ගෙන් ආරම්භ කළ හෙළිදරව්ව තෝරු, මෝරු දක්‌වා ඇදීගිය දිග කතාබහක්‌ විය. අපගේ හමුව සිදුවූයේ සතියේ දිනක බැවින් එවෙලෙහි ද බංගසාල වීදියත් එකල ඕල්ඩ් බුචර් මාවත ලෙසින් හැඳින්වූ අයි. එක්‌ස්‌. පෙරේරා මාවතත් රටේ නන් දෙසින් පැමිණි වෙළෙඳුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී පැවති බැවින් විල්සන් ස්‌ටෝර්ස්‌ අධිපති විල්සන් මහතා සහ මා අතර සිදුවූ කතාබහ ද වරින්වර අතරමග නතර කරමින් ඉදිරියට ඇදීගිය එකක්‌ විය. එයට හේතු වී තිබුණේ එවෙලෙහි ද මහල් කීපයකින් යුත් විල්සන් ස්‌ටෝර්ස්‌හි තොග මිල ගණන් යටතේ කරවල මිලයට ගැනීම පිණිස විශාල පාරිභෝගික පිරිසක්‌ පැමිණ සිටීමය.

පිටකොටුව ගෑස්‌පහ වීදිය පසුකොට මද දුරක්‌ ගියතැන "හෙට්‌ටි වීදිය" මුණගැසෙන අතර ඊට පෙර වම් අතට ඇති මාවත නම් කොට ඇත්තේ
bankshall වීදිය නමින්ය. එය රටේ බොහෝ දෙනෙක්‌ තුළ ප්‍රකටව ඇත්තේ 'බංගසාල වීදිය' නමින්ය. රටට කරවල සපයන ප්‍රධානම තොග වෙළෙඳපළ පිහිටුවා ඇත්තේ බංගසාල වීදිය ආශ්‍රිතව වන අතර 'කරවල මුඩුක්‌කුව' නමින් ප්‍රකට ඕල්ඩ් බුචර් මාවත හෙවත් අයි. එක්‌ස්‌ පෙරේරා මාවත පිහිටා ඇත්තේ ද බංගසාල වීදියත්, පිටකොටුව ප්‍රධාන වීදියත් එකිනෙකට මුණගැසෙන අතුරු මාවතක්‌ පරිදිය. මේ සියලු තැන්හි බැලූ බැලූ අත දක්‌නට ලැබෙන්නේ විවිධ කරවල වර්ගවලින් පිරි වෙළෙඳසල් සමූහයක්‌ වන අතර අවටින් හමන සුළඟෙහි ද ඇත්තේ පිලීකාරම මුසු අමුතු සුවඳක්‌ය.

අපි මුලින් කතා කළේ හාල්මැස්‌සන් ගැන හින්ද ඒක ඉවරකරලා ඉමු....යෑයි පවසමින් යළිත් විල්සන් මහතා කතා බහට එක්‌වන්නට වූයෙන් මම එයට බාධා කරමින් ඔහුගෙන් අතුරු පැනයක්‌ විමසීය. එහි අරමුණ වූයේ ඔහු පිළිබඳව පළමුව යම් වටහාගැනීමක්‌ ලබා ගැනීමය.

"මම....මේ බිස්‌නස්‌ එකට එන්නෙ 1981 වර්ෂයේදී. මගේ ව්‍යාපාරයේ ආරම්භය මෙතන නොවෙයි. ඒ කාලේ මමත් මේ අද බඩුගන්න මෙතනට ඇවිත් ඉන්න මුදලාලිල වගේ පුංචි පහේ මිනිහෙක්‌. එහෙම පටන් ගත්ත ගමනක ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.....අපේ රටේ කවදත් කරවලවලට හොඳ ඉල්ලුමක්‌ තියෙනව. අද වෙනකොට මම කරවල පිටරටින් ගෙන්වන ව්‍යාපාරිකයෙක්‌ නිසා ලෝක මට්‌ටමින් ගත්විට කරවල පරිභෝජනය අතින් අපේ රට අංක එක බවට පත්වෙලයි තියෙන්නේ. මේක මම කියන කතාවක්‌ නොවෙයි. ජාත්‍යන්තර කරවල ව්‍යාපාරිකයන් ඉන්නෙත් ඒ මතයෙ. මම කරවල පිට රටින් ගෙන්වන බිස්‌නස්‌ එකට අත ගහන්නේ 1991 දී. ඒ වෙද්දී මට බංගසාල වීදියෙ කඩ තිබුණේ නෑ. එතනදී මම ගෙන්වන බඩුටික ගබඩාකරගන්න බිස්‌නස්‌ එක ඉදිරියට කරගෙන යන්න උදව් උපකාර කළේ අර.....එහා පැත්තෙ තියෙන නෙල්සන් ස්‌ටෝර්ස්‌ එකේ ප්‍රීමස්‌ අංකල් - මොකද? එදත් අදත් වැඩිපුරම මේ බිස්‌නස්‌ එක කරන්නෙ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෝ. අද වුණත් මේ කඩ අසූව සීය ගත්තත් සිංහල ව්‍යාපාරිකයන් ඉන්නෙ හතර පස්‌ දෙනයි.

අපි ආපහු පටන් ගත්ත තැනට යමු...මම කිය කිය හිටියේ හාල්මැස්‌සො කරවල ගැනනෙ. මුලින් කිව්ව වගේ රටවල් කීපයකින් ප්‍රධාන වශයෙන් අපේ රටට හාල් මැස්‌සෝ ගෙන්වද්දී අපේ රටවටා ඇති මුහුදින් අල්ලන හාල්මැස්‌සන් වෙළෙඳපොළට එනව. විශේෂයෙන් අපේ රටේ හාල්මැස්‌සන් මාළු බහුලව පවතින මුහුදු ප්‍රදේශ තමයි මීගමුව, හලාවත, මොරටුව, පානදුර සහ මුලතිව්, එරාවුර් කියන ප්‍රදේශ. ඔය අතරින් රසින් වැඩි හොඳම තත්ත්වයෙන් යුත් හාල්මැස්‌සන් කරවලවලට ප්‍රසිද්ධම ස්‌ථාන දෙක තමයි මුලතිව් සහ එරාවුර් කියන ප්‍රදේශ දෙක. ඊළඟට පිට රටින් මෙරටට හාල්මැස්‌ස කරවල ගෙන්වද්දී අංක එක ගන්නෙ තායිලන්තය, ඊළඟට ඩුබායිවලින් එන හාල්මැස්‌ස, පකිස්‌තානය, ඉන්දියාව ඉන්නෙ ඊට පහළින්. කොහොමහරි ලංකාවෙ වෙළෙඳපොළේ තිබෙන කරවල වර්ග හතළිහක්‌ පනහක්‌ අතරින් එදත් අදත් වැඩිම ඉල්ලුමක්‌ තියෙන්නෙ හාල්මැස්‌සට.

ඊළඟට අපිට එන කරවල අතර කට්‌ට, අඟුළුව, මෝර, බලයා කියන කරවල බහුලව එන්නෙ පකිස්‌තානයෙන්, ඉන්දුනීසියාවෙන් මෝර, හුරුල්ල ගෙන්වනව. ඊට අමතරව මාලදිවයිනෙන් බලය සහ කෙලවල්ල කරවල ගෙන්වනව. මාලදිවයිනේ කරවල කවදත් රසින් හොඳයි හැබැයි මිලෙන් වැඩියි. බල කරවල අපේ රටට බහුලව ගෙන්වන තවත් රටක්‌ තමයි පකිස්‌තානය. කරච්චියෙන් ගෙන්වන බලය රසින් අඩුයි. ඉන්දියාව ගත්තොත් ගුජරාට්‌, බොම්බෙ කියන පළාත්වලින් මෙරටට ගෙන්වන කරවලවලට හොඳ ඉල්ලුමක්‌ පවතිනව. මොකද ඒ කරවල රසින් හොඳ හින්ද. ඊට අමතරව තූත්තුකුඩියෙනුත් අපේ රටට කරවල එනව. මොන දීපංකරෙන් ආවත් ඔය සෑම කරවල වර්ගයක්‌ම මෙරට පාරිභෝගිකය අතට පත්වෙන්නේ බංගසාල වීදියයි 'කරවල වාඩිය' කියල හඳුන්වන මේ අවට ප්‍රදේශයයි හරහා විතරයි.

විල්සන් මහතා මෙතෙක්‌ කරගෙන ආ කතාව මදක්‌ නතර කළ අතර එය අතුරු ප්‍රශ්නයක්‌ නැඟීමට හොඳම අවස්‌ථාව විය. මා නැගූ පැනය වූයේ දේශීය වශයෙන් බහුලව නිපදවන කරවල වර්ග කවරේ ද යන්නයි.

මෙහෙමයි......ලංකාවෙ කරවල කර්මාන්තය නැතුව නෙවෙයි. මම මුලින් කිව්වනේ හාල්මැස්‌ස කරවල බහුලව ලැබෙන ප්‍රදේශ මොනවද කියල. ඒ වගේම තමයි හලාවත, මීගමුව ගත්තොත් හුරුල්ල, සාලය, ලින්න, මුහුදු කුකුළා වැනි කරවලවලට ප්‍රසිද්ධයි. ඊට අමතරව දින විස්‌ස තිහ මුහුදු ගිහිල්ල අල්ලන බලයට ලුණු ගහල මුහුදෙම වේලල ගෙනවිත් බෝට්‌ටු බලය කියල වෙළෙඳපොළට එවනව. ඊට අමතරව මාළු කඩෙන් බල මාළු අරන් ගිහින් ඒවාට ලුණු ගහල වේලල වෙළෙඳපොළට එවන පිරිසකුත් ඔය අතරේ ඉන්නව. ඒ හින්ද බිස්‌නස්‌ එකේදී පාරිභෝගික විශ්වාසය රැක ගන්නනම් මේ හැම දෙයක්‌ පිළිබඳව හොඳ අවබෝධයක්‌ තියෙන්නම ඕන. මීගමුව, හලාවත පැත්තෙන් එන සාලය හුරුල්ල වගේ කරවල ගත්තත් මේවයෙ වර්ග කීපයක්‌ තියෙනව. කොහොම වුණත් ලාභෙට තිබෙන කරවල රසින් අඩුයි. රසින් වැඩි කරවල හොද්දක රහ බලන්න නම් තත්ත්වයෙන් උසස්‌ දේ මිලට ගන්නම වෙනව.

වෙළෙන්ඳගෙන් වෙළෙන්ඳට බිස්‌නස්‌ එක වෙනස්‌නෙ. සමහරු බලන්නේ වැඩි ලාභය, තවත් පිරිසක්‌ අඩු ලාභය වැඩි වෙළෙඳම. ඒ ඕනම දේකට හරියන කොලිටිය මෙහේ තියෙනව. උදාහරණයක්‌ කියන්නම් කට්‌ට කරවල කියමුකෝ, ලංකාවෙන් හම්බවෙන කට්‌ට කරවල රසින් ඉතාමත් ඉහළයි. හැබැයි ලංකාවෙ 'කට්‌ට' කියල විකුණන කරවල කිලෝ දාහක්‌ ගත්තොත් එතන ඇත්තටම ලංකාවෙ මුහුදෙන් හම්බවෙන කට්‌ට කරවල කිලෝ දහයක්‌වත් නෑ. පිටරටින් කට්‌ට මාළු ගෙන්වල ඒවා මීගමුව වගේ ප්‍රදේශවලට යවල ඒවා වේලල තමයි ලංකාවෙ කට්‌ට කියලා විකුණන්නේ. ඉස්‌සර වගේ නෙවෙයි ඇතැම් ව්‍යාපාරිකයෝ මහා පරිමාණයෙන් පිටරටින් මාළු ගෙන්වල ලංකාවේදි ඒවා කරවල බවට පත් කරල විකුණනව. ඒක හඳුනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රසවත් බවින් අඩුවීම. ඒකෙන් වෙන හානිය තමයි තරමක්‌ දුරට හෝ කරවල වෙළෙඳපොළ බිඳවැටීම. සමහර ව්‍යාපාරිකයන් එහෙම කරන්න පෙළඹිල තියෙන එක හේතුවක්‌ තමයි මොනවහරි විකුණලා තමන්ගේ ලාභය වැඩිකර ගැනීම. අද වෙනකොට පිටරටින් කරවලවලටත් වඩා බහුල ලෙස කට්‌ට, මෝර, අඟුළු, බලය, තලපත් කියන මාළු වර්ග ගෙන්වල ඒවා ලංකාවේදී කරවල බවට පත්කරනව. ඇත්තම කියනවනම් ඒක වරදක්‌. මොකද ඔය හේතුන් නිසා කරවල පිළිබඳ පාරිභෝගිකයන්ගේ තිබුණු විශ්වාසය අඩුවෙලයි තියෙන්නේ.

හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනව, අවුරුදු තිහ හතළිහක්‌ තිස්‌සේ මේ බිස්‌නස්‌ එකේ ඉන්න කිසි කෙනෙක්‌ තත්ත්වයෙන් අඩු කරවල පාරිභෝගිකයන් අතට පත් කරන්නෙ නැහැ. ඒ අය එදත් අදත් තමන්ගෙ නම කැත කරගන්නෙ නැතුව හරිදේ අලෙවි කරල මිනිස්‌සුන්ගේ විශ්වාසය දිනාගත්ත පිරිසක්‌.

ඔය කොයි ආකාරයට ආවත් මෙතනදී සිද්ධ වෙන්නෙ එහෙම එන කරවල රට පුරා බෙදාහැරීමනෙ. මෙතැන තොග සහ සිල්ලර කියන දෙවිදියටම බිස්‌නස්‌ එක වෙනව. හැබැයි තොග වෙළෙඳම තමයි බහුලව සිද්ධ වෙන්නෙ. එතනදී මතක්‌ කළ යුතු විශේෂ කරුණක්‌ තමයි ලංකාවේ ඒ ඒ පළාත්වල බහුලව විකිණෙන කරවල වර්ග තියෙනව.

උදාහරණයක්‌ විදියට බස්‌නාහිර පළාත ගත්තොත් කට්‌ට, තලපත්, තෝර, පරව් විශේෂයි. මේ පළාතෙ වැඩිපුර අලෙවියක්‌ තියෙන්නෙ ඔය කියන කරවල වර්ගවලට. යාපනය පැත්ත ගත්තොත් කොළඹින් ඒ පැත්තට වැඩිපුරම යන්නෙ හාල්මැස්‌ස, පරව්, කට්‌ට වගේ කරවල වර්ග. ඒ වගේම තමයි රජරට පැත්තෙ වැඩිම ඉල්ලුම තියෙන්නෙ මෝර, අඟුළුව, බලය, හුරුල්ල. වයඹ පැත්ත ගත්තොත් බස්‌නාහිරට සමාන වර්ගවලට ඒ පැත්තත් ප්‍රසිද්ධයි. ඔය වගේ පළාතෙන් පළාතට ඒ අයට අවේණික රස තියෙනව. මාතර පැත්ත ගත්තොත් කට්‌ට, තලපත්වලට ඉල්ලුම අඩුයි. ඒ පැත්තෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ කෙලවල්ල, බලය, ලින්න, බොම්බිලි වැනි කරවල වර්ගවලට. ඔය වගේ පළාතෙන් පළාතට ආවේණික රසයන් තියෙනව.

රටේ කොතැන මොන වර්ගයේ කරවල විකුණුවත් ඒවා ඒ ඒ පළාතට යන්නෙ මෙතනින්. ඒ හින්ද තමයි රත්තරන්වලට හෙට්‌ටි වීදිය ප්‍රසිද්ධ වෙලා තියෙනව වගේම කරවලවලට බංගසාල වීදිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත්.......

ව්‍යාපාර ආරම්භයේදී 'හාල්මැස්‌සකු' තරමේ කුඩාවට ඇරඹි තම ව්‍යාපාරය මේ වන විට දැවැන්ත ව්‍යාපාරික ජාලයක්‌ දක්‌වා ව්‍යාප්ත කොට ඇතත් විල්සන් ස්‌ටෝර්ස්‌ අධිපති විල්සන් මහතාගේ කතා බහ තුළත්, ඇඳුම පැළඳුම ආදියේත් දක්‌නට ලැබුණේ ඔහු ඉතාමත් සරල ජීවිතයක්‌ ගතකරන සුහදශීලී පුද්ගලයකු බවය.

අපේ රස නහරවලට එකතු වී ඇති "කරවල සුවඳ" සොයාගිය ගමනේදී තවත් ව්‍යාපාරිකයන් රැසක්‌ රටේ නන්දෙසින් පැමිණි තොග වෙළෙඳුන් පමණක්‌ නොව එදිනෙදා පරිභෝජනය සඳහා තම නිවෙස්‌ වෙත කරවල ටිකක්‌ රැගෙන යැම ආදිය සඳහා පැමිණි බොහෝ දෙනෙක්‌ සමගින් අපි කතාබහ කළ අතර ඒ සෑම මුවකින්ම පිටවූ පොදු ප්‍රකාශයක්‌ වූයේ දුගී පැලේ පටන් රජමැති ඇමැති සිටුවරු වෙසෙන තැන්වල පවා පදමට ලුණු ඇඹුල් තුනපහ ගොරක සමඟ මුසුවී 'කරවල හොද්ද' ඉදෙන බවත් එය දේශීය බත්පත රසවත් කිරීම පිණිස ඇති ප්‍රධානම රසයක්‌ බවත්ය.

සොබාදහමට රහස්‌ ගනුදෙනු ඇත. සාගරයත් ගොඩබිමත් එකිනෙකට මුණගැසෙන වෙරළ මත සයුර ඉතිරිකර යන්නේ සුදු පෙන පිඩුම පමණක්‌ නොව රහස්‌ කෙඳිරුම් ද එහි තබා යනවා විය හැක. සයුර මහපොළොවට තම ලෙහිහොවා වැඩූ මත්ස්‍ය සම්පත දන්දෙන්නෙත් එය මාළු කරවල බවට පත්කරමින් කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ බත්පත රස කරන්නෙත් මහ සයුරත් ඉන් තුනෙන් එකක්‌ වූ ගොඩබිමත් සමඟ ඇතිකරගත් රහස්‌ ගනුදෙනුවක්‌ නිසාවෙන් විය හැක. සොබාදහමට කතා කළ හැකිනම් ඒ රහස්‌ අපටද මුමුනනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.