රාත්‍රියේ තැබූ ශ්‍රී මහා බෝ අංකුරය
මුල් ඇදීමෙන් උපත ලද බෝතලේ පරපුර
ගැමියන් උදලු පමණක්‌ නොව
සරම් ද ඉල්ලා ගත් අගමැති


නිදහස්‌ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්‌. සේනානායක
මහතාගේ 132 වෙනි ජන්ම දින සංවත්සරය වෙනුවෙනි

* මීරිගම බෝතලේ වලව්ව

හාපිටිගම් කෝරලයේ මීරිගම බෝතලේ සේනානායක පරපුර පිළිබඳ ඉතාමත් පැරණි තොරතුරු හමුවන්නේ පුරාවෘත්ත (Purawaruththa) සටහන් වලිනි. (Historical Notes on Ceylon - 1928 August 31)

(මුද්‍රිත පොත් පත් වලට ඇතුළත් නොවූ එහෙත් සාරවත් ඓතිහාසික තොරතුරු මීට ඇතුළත්ය) වසර 20 ක්‌ තිස්‌සේ ලංකාවේ ජනපදවල සැරිසරමින් සත් කෝරළය, සතර කෝරළය, ඌව බින්තැන්න, තමන්කඩුව, විලච්චිය, මාතලේ, මහනුවර, සගම, පස්‌ගම, යනාදී ජනපදයන්හි, ගුප්තව පැවති විත්තිපොත් , කඩයිම් පොත්, තල්පත්, තුඩපත්, නිධන්වදුල් යනාදී නාමයන්ගෙන් ප්‍රකට ලිපිවලින් හා මුඛ පාඨයෙන්ද ගත් ඓතිහාසික ප්‍රවෘත්ති පුරාවෘත්තවල ඇතුළත්ය. එහි බෝතලේ වලව්ව ගැන මෙලෙස සඳහන් වේ.

අත්තනගල්ල විහාරයේ රෝපණය කිරීම සඳහා ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ රැගෙන ගිය රාජකීය පිරිසක්‌ වැහැරපොළ ප්‍රදේශයේ රාත්‍රියේ නවාතැන්ගත් අතර පසුදින උදෑසන ඒ බෝ අංකුරය මුල් ඇද තිබුණ බැවින් ඒ ස්‌ථානයේම බෝධිය රෝපණය කිරීමට සිදු වී ඇත. බෝධිය මුල් බැස ගත් පෙදෙස බෝතලය වූ අතර එම බෝධිය බාරව සිටි ප්‍රභූ පිරිසේ නායක බ්‍රාහ්මණයා කුලවර්ධන සේනානායක ඉන්පසු මිහිරිගම පදිංචි වී බෝතලේ සේනානායක පරපුරේ මුල්ම පුරුෂයා බවට පත් විය. බස්‌නාහිර පළාතට අයත් වලව් 50 කි. ඒ අතරින් බෝතලේ වලව්ව ඉතාම වැදගත් දේශපාලන නිකේතනයක්‌ බඳු ඓතිහාසික ස්‌ථානයකි. ක්‍රි.ව. 1865 දී ගොඩනගා ඇති මෙම වලව්ව පිහිටියේ අක්‌කර 35 ක භූමි භාගයක හරි මැදය.

ෆඩී.එස්‌.ගේ දානපති සීයා

"කුලවර්ධන සේනානායක" පරපුරේ කැපී පෙනෙන දානපතියා දොන් බර්තොලමියුස්‌ සේනානායකයි. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. මිනිරන් පතල් කීපයක්‌ද මීගමුවේ අක්‌කර 2000 ක්‌ පමණ විශාල පොල් වතු හතරක්‌ද, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ එවැනිම පොල් වතු පහක්‌ද කොළඹ හා මහනුවර නිවාස හා දේපළද ඔහු සතුවිය. සිරිලක අධිරාජ්‍යවාදී පාලනයට නතු වී තිබු ඒ සමයේ මංමාවත්, පාලම්, පාරු, ගංගා මාර්ග ආදියේ ගමන් කිරීම සඳහා ශතයේ සිට ශත හැට දක්‌වා සුද්දන් අපේ රටේ මහජනයාගෙන් බදු අය කළහ. ආණ්‌ඩුවේ ඒජන්තගෙන් මීගමුව ගිරිඋල්ල පස්‌යාල ගිරිඋල්ල ආදී රේන්ද පාරවල් බද්දට ගෙන එම මාර්ගවල මහජනයාට නොමිලේ යැමට පහසුකම් සලසා දෙන්නට තරම් ඔහු දේශ හිතෛෂී විය.

* බෝතලේ වලව්වෙන් ඇරඹුණු දේශපාලන ගමන

දොන් බර්තොලමියුස්‌ සේනානායක මහතාගේ පුත් දොන් ස්‌ටෙෆර් සේනානායක මහතා උපන්නේ 1847 දීය. එතුමා තම පියාගේ මිනිරන් කර්මාන්තය සාර්ථකව කරගෙන ගියේය. මේ මිනිරන් පතල් තිබුණේ අඹේපුස්‌ස, මීරිගම පුස්‌සහේව යන ප්‍රදේශවලයි. අඹේපුස්‌ස මිනිරන් පතලේ පමණක්‌ එවකට කම්කරුවන් 3000 ක්‌ පමණ සේවය කළහ. ඔහු සතුව කොළඹ නගරයේ මිනිරන් ශුද්ධ කරන ගබඩා සහ කාර්යාල පවා තිබිණි.

දොන් ස්‌ටෙෆර් සේනානායක මුදලිතුමාගේ සහ කෙහෙල් ඇල්ලේ එළිසබෙත් පෙරේරා ගුණසේකර මහත්මියට පුතුන් තිදෙනෙකි.

ඒ දොන් චාල්ස්‌ සේනානායක (ඩී.සී සේනානායක) ෆෙඩ්රික්‌ රිචඩ් සේනානායක (එෆ්. ආර් සේනානායක) දොන් ස්‌ටිවන් සේනානායක (ඩී.එස්‌. සේනානායක) ය. පවුලේ එකම දියණිය මේරී ප්‍රාන්සස්‌ සේනානායක (මෙරායා) විය. දොන් ස්‌ටෙෆර් සේනානායක මහතා වර්ෂ 1912 අප්‍රේල් 15 වැනිදා කොළඹ විෙද්‍යාaදය පිරිවෙනේදී අනගාරික ධර්මපාලතුමා, වළිසිංහ හරිස්‌චන්ද්‍රතුමා, ඩී. බී. ජයතිලක ආදි දේශ හිතෛෂින් සමඟ රැස්‌වීමක්‌ පැවැත්වීය. අමද්‍යප මහා සභාව පිහිටුවා ගැනීමේ ප්‍රථම රැස්‌වීම 1912 ජූලි 14 දා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැත්වූයේ ස්‌ටෙෆර් සේනානායක මුදලිතුමාගේ මූලිකත්වයෙනි. මෙම රැස්‌වීමට ඔහුගේ පුතුන් තිදෙනාම සහභාගි විය.

ෆ දේශමාමක පියෙකුගේ පරිත්‍යාගශීලි පුත්තු

සේනානායක පරපුරේ මුලින්ම දේශපාලනයට සම්බන්ධ වූ ස්‌ටෙෆර් සේනානායක මුදලිතුමා අධිරාජ්‍යවාදී වීරෝධි සටන ඇරඹුවේ සිය දරුවන්ද සමගිනි. එයින් ඔවුහු හිරේ විලංගුවේ පවා වැටුණේය. එෆ්. ආර්. සේනානායක මහතා තරම් එවකට පොදු වැඩවලට ඉඩකඩම් හා මුදල් පරිත්‍යාග කළ කෙනෙකු නැති තරම් විය.

මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඉඩම් පරිත්‍යාග කරමින් එකල මීරිගම ප්‍රදේශයේ දුප්පතුන් අන්‍ය ආගමිකයන්ට අඩු මුදලට විකුණු ඉඩම් නැවත මිලදී ගෙන මුල් අයිතිකරුවන්ට ලබාදුන්හ. කොළඹ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවට එම ගොඩනැඟිල්ල ඉදිකිරීමට මුදල් ලබා දුන්නේය. රජුන් තනන්නෙකු වූ ඩී.සී සේනානායක මහතා නිහඬවම සමාජ සේවා කටයුතු වල දිගින් දිගටම නිරත විය. පවුලේම බාලයා දොන් ස්‌ටීවන් සේනානායක (ඩී. එස්‌) මහතා තමාගේ අන්තිම කැමති පත්‍රය ලියන විට එතුමාගේ ලංකා බැංකු ගිණුමේ (එකල ප්‍රධානම බැංකුව) ඇති මුදල් ලංකාවේ ජනතාවගේ දේශපාලන කටයුතු නගා සිටුවීමට යොදවන ලෙස සඳහන් කළේය.

ඩී.එස්‌. විසින් දේශීය කෘෂිකර්මාන්තය යළි මෙරට නගා සිටුවන්නට හීන් නූලෙන් සුද්දන්ගෙන් වැඩ ගන්නට තරම් හේ දක්‌ෂයෙකු විය. රජරට යළිත් අස්‌වද්දා ගොවි ජනපද පිහිටුවා වී ගොවිතැන දියුණු කළේය. සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කරමින් බෞද්ධාගම නගා සිටුවුවේය. සිංහල ජාතියට ආවේණික අපේම ජාතික කොඩිය පාර්ලිමේන්තුවේ සම්මත කළේය.

* කෙටි පාසැල් ජීවිතය

ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු ඔහු උසස්‌ අධ්‍යාපනයට පිවිසුනේ නැත. ඔහුට තරම් හොඳ පුස්‌තකාලයක්‌ අන් කිසිම ශිෂ්‍යයෙකුට නොතිබුණේය. අටවන පන්තියටවත් නොගොස්‌ ඔහු පාසලෙන් අස්‌ වී ගියේ පාසල් ගොඩනැඟිල්ලෙන් මිස අධ්‍යාපනයෙන් නොවේ.

මල්ලව පොර, ක්‍රිකට්‌, පාපන්දු, වොලිබෝල්, ටෙනිස්‌ හා බොක්‌සිං ක්‍රීඩා ලෝලියෙකු මෙන්ම ක්‍රීඩාශූරයකු වූ ඩි.එස්‌. සේනානායක 1900,1901, හා 1902 වර්ෂවල පාසලේ විශේෂ දක්‌ෂතාලාභියෙකි.

* රැකියාවේ අතෘප්තිය

රැකියාවක්‌ කිරීමට ආශාකළ තරුණ ඩී. එස්‌. මිනින්දෝරු කාර්යාලයක සේවයට බැඳුණාය. රැකියාවෙන් තෘප්තියක්‌ නොලද නිසා රැකියාවෙන් ඉවත් වී සිය පියාගේ මිනිරන් පතල්වලත් අක්‌කර දහස්‌ ගණනක පොල් රබර් වතු වලත් පාලනයට එක්‌ විය. 1914 දී ලංකාවෙන් මැඩගස්‌කරයට යෑවු "ද මෙල් තීර පුද්ගල මිනිරන් කොමිසන් සභාවේ" ඩී. එස්‌. ද සාමාජිකයෙක්‌ විය.

* දේශපාලනයට හිත යාම

මේ වන විට ඩී. එස්‌. ගේ නිවස "බෝතලේ වලව්ව" තුළ පැවතුණේ ප්‍රබල දේශපාලන පසුබිමකි. පියා සහ වැඩිමහල් සහෝදරයන්ගේ දේශපාලන කටයුතු දෙස බලා සිටි ඩී. එස්‌. ටද දේශපාලනය ප්‍රිය ජනක වුයේ නිරායාසයෙනි.

1912 වසරේදී අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙක්‌ වූ ඩී. එස්‌. දෑ හිතකාමීන් සමඟ රට පුරා යමින් ලාංකික තරුණයන් දැනුම්වත් කරමින් මත් උවදුරෙන් ජාතිය ගලවා ගැනීමේ මෙහෙයුමක යෙදුණේය.

මේ කටයුතු නිසා වරෙක පියා ඇතුළු සහෝදරයන්ටත් ඔහුටත් ඉංග්‍රීසින්ගේ සිර කරුවන් බවට පත් වන්නට සිදුවිය.

* ලංකා ජාතික සංගමයට එක්‌වීම

1919 දී ලංකා ජාතික සංගමයට සම්බන්ධ වූ ඩී. එස්‌. තරුණ ජවයට කිසියම් දේශපාලන බලයක්‌ ලැබීමේ අරමුණෙන් 1924 වර්ෂයේදී මීගමුව ආසනයෙන් __ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවට තරග කර ඉන් ජයගත්තේය. වර්ෂ 1931 දී "ඩොනමෝ ආණ්‌ඩුක්‍රමය" ස්‌ථාපිත වු අතර එහිදී නිතරගයෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඔහුට සුදුසුම ධූරය වූ කෘෂිකර්ම හා ඉඩම් ඇමති බවට පත් වීමට වාසනාව උදාවිය.

* පුද්ගලයන් හඳුනා ගැනීමේ දක්‌ෂතාවය.

දුර දක්‌නා නුවණත්, තැනට සුදුසු නුවණත් මනාව පිහිටි ඩී. එස්‌. දේශපාලනයේදී වැඩි වශයෙන් ආශ්‍රය කළේ පරිපාලනමය හැකියාවන් හා වෘත්තිය සුදුසුකම් අතින් විශිෂ්ට ගනයට අයත් පුද්ගලයන් පිරිසකි. කොළඹ සේවය කළ සී. වි බ්‍රේන්, සහ ඒ. ජී. රණසිංහ උතුරු මැද පළාතේ ඒජන්ත සී. එල්. වික්‍රමසිංහ ඒජන්ත පදවියෙන් පිදුම් ලැබු මුල්ම ශ්‍රී ලාංකිකයා මොහු වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සීයාය. ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත පිළිබඳ ග්‍රන්ථයක්‌ රචනා කිරීමට සමත් වූ ආර්. ඇල්. බ්‍රොaහියර් මින්නේරිය ප්‍රදේශයට ඉමහත් කැප කිරීමෙන් සේවය කළ තරුණ සිවිල් නිලධාරි සී.සී ද සිල්වා ඉන් කීපදෙනෙකි. ඉංග්‍රීසි ජාතික මිනින්දෝරුවන්ද, ඉංජිනේරුවන්ද මේ අතරට එක්‌වුණ පුද්ගලයන් හා පුද්ගල දක්‌ෂතාවයන් හඳුනා ගැනීමට ඩී. එස්‌. තුළ තිබු මනා හැකියාව ඔහුගේත් රටේත් සමෘද්ධියටම හේතුවිය.

* වැව් අමුණු ප්‍රතිසංස්‌කරණයට බ්‍රොaහියර්ගෙන් ලද අත්වැල

ආර්. එල්. බ්‍රොaහියර් මේ වන විටත් ලංකාවේ සියලු පෞරාණික වාරිමාර්ග මිනුම්ගත කර සිතියම් සහිතව ලේඛනගත කරනු ලැබ තිබුණි. පැරණි වාරි කර්මාන්තවල දිග පළල ගැඹුර දිය බස්‌නාව සහිත විස්‌තර එහි සටහන්ව තිබිණි. එම තොරතුරු අධීක්‌ෂණය කළ ඩී. එස්‌. සේනානායකයන් වියළි කලාපය තුළ ජනපදකරණය ඇරඹීය. පදිංචි කළ ජනයාගෙන් එක්‌ පවුලකට ගොඩින් අක්‌කර 3 ක්‌ හා මඩින් අක්‌කර 2 ක්‌ ද ලැබුණේය. ගම්වැසියන්ට අවශ්‍ය රෝහල් පහසුකම් වෙද හෙද නිලධාරීන් දරුවන්ට පාසැල්, ගොවි ජනතාවගේ රාජකාරි කටයුතු සඳහා රජයේ කාර්යාල ආදිය පිහිටුවීමෙන් වල් බිහි වූ රජරට කෘෂි කර්මාන්තය යළි සමෘද්ධිමත් වීම ඇරඹුණි. 1932 වසරේ ඩී.එස්‌. විසින් සම්මත කරගත් ඉඩම් පනත ගොවි රජවරුන්ගේ වාසියට හරවා මින්නේරිය කන්තලේ ඇළ හැර, මිනිපේ, කාගම, ගිරිතලේ, පදවිය, අම්බලන්තොට රිදියගම මෙන්ම දුටුගැමුණු රජ දවස දිගා මඩුල්ල ලෙස සශ්‍රීක වූ ගල්ඔය මිටියාවත ඇතුළු වන ගත ප්‍රදේශ සරුසාර කෙත්යායන් බවට පත් කරන්නට මුල් විය.

* මින්නේරියේදී සිදු වූ හාස්‌කම

මින්නේරිය ජනපද යෝජනා ක්‍රමය 1934 වසරේදී ආරම්භ විය. මින්නේරිය යනු මින්නේරි දෙවියන්ගේ අඩවිය බව ප්‍රදේශය ජනයාගේ විශ්වාසයයි. සේනානායක මහතාගේ අරමුණ පින්වන්ත වූ නිසාදෝ මින්නේරිය ජනපදය ආරම්භ කිරීමට පළමු පස්‌ පිඩැල්ල කැපීමේදී එම ස්‌ථානයෙන් ජල උල්පත් 3 ක්‌ මතු වී ඇත. සේනානායක මහතා ඉන් ජලය දෝතක්‌ ගෙන මින්නේරි දෙවියන්ට පින් අනුමෝදනා කරන්නට අමතක නොකළේය.

* අපූරු ජන හිතකාමියාගේ ලෙන්ගතුකම

ගොවි ජනපදවල කෘෂිකර්මාන්තය නගා සිටුවීම මෙන්ම මැලේරියා මර්දනය මන්දපෝෂණය තුරන් කිරීම වැනි අභියෝගයන්ටද ඔහු සාර්ථක ලෙස පිළියම් යෙදුවේය. ගමින් ගමට යමින් සාමාන්‍ය ජනතාව හා දොඩමළු වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳදුන් සේනානායක මහතා මහජනයා සමඟ හදවතින්ම ලෙන්ගතු වූ බවට මේ සිදුවීම මෙහි ලියා තැබීම පමණක්‌ම සෑහෙන බව සිතමි.

කොළඹින් පිට කොවුල්වැව නම් ගම්මානයේ පාසලක්‌ විවෘත කිරීමට ඩී. එස්‌. සේනානායක මහතා එවකට ස්‌වදේශ අමාත්‍යධූරය ඉසිලූ සර් ඔලිවර් ගුණතිලක මහතා සහ ප්‍රභූවරු රැසක්‌ සමඟ එහි ගියේය. උත්සවය පැවතුනේ සවස බැවින් දිවා ආහාරය ගෙන මේ පිරිස එක තැනක ප්‍රාදේශීය මන්ත්‍රීවරු සමඟ සාකච්ජාවක යෙදී සිටියහ. මෙහිදී අගමැතිතුමාට පෙනෙන පරිදි වයස 60 ඉක්‌මවු ගැමියෙක්‌ මේ කතාවල් ඇසෙන නෑසෙන දුරින් සිටිනු දුටු සේනානායකයන් සභාවෙන් අවසර පතා සාකච්ඡාව මදකට නවතා ගැමියා සිටි දෙසට ගියේය.

"ආ කරෝලිස්‌ සිංඤොa මොකෝ මේ මොකුත් උවමනාවක්‌ද?

"වත්තෙ මහත්තයා මට මේ සැරේ උදැල්ලක්‌ දුන්නැතැයි ගැමියා තම නෝක්‌කාඩුව අගමැතිතුමාට කියා සිටියේය.

හොඳයි හොඳයි මම ඒක අදම දෙන්ට කියන්නම් කරොලිස්‌ සිංඤොa තව තොරතුරු කතා කරන්ට කැමතියි. ඒත් අද අපිට හදිසි වැඩක්‌ තියෙනවා. කියමින් අගමැතිතුමා ආපසු හැරෙත්ම සරමකුත් ඕනෑ මට යනුවෙන් පියෙකුට දරුවෙක්‌ කියන්නාක්‌ මෙන් ගැමියා අගමැතිතුමාට කීවේය. අගමැතිතුමා පොකැට්‌ටුවෙන් රුපියල් දහයේ නෝට්‌ටුවක්‌ ගෙන ගැමියා අතටදී, සිනා මුසුව යළි පිරිසට එකතුවිය.

ඔලිවර් ගුණතිලක මහතාගේ මුහුණේ ප්‍රශ්නාර්ථය මුසු විස්‌මයක්‌ රැඳී තිබෙනු දුටු අගමැතිතුමා ඊට පිළිතුරක්‌ දුන්නේය. ඒ මෙලෙසය. "මගේ පරණම යාළුවෙක්‌" අගමැති වුවත් කුඩා වයසේ සිට එකට එක්‌ව වැඩ කළ හෝ ක්‍රීඩා කළ හෝ පරණ සගයන් හමුවූ විට එතුමා ඔවුන් පිළිගත්තේ පෙර පුරුදු සුහද කරුණාවන්ත තත්ත්වයෙන්මය. ඩී. එස්‌. ගේ අයස්‌කාන්ත පෞරුෂයේ රහස එම සුහදතාවයයි. මිනිසුන්ට සැලකූ ලෙන්ගතුකමයි.

* එක්‌සත් ජාතික පක්‌ෂය පිහිටුවීම

1943 වසරේ ලංකා ජාතික ව්‍යාපාරයෙන් ඉවත් වූ ඩී.එස්‌. තම සුහද දේශප්‍රේමීන් සහ විරුද්ධමතධාරීන්ද එක්‌සත් කරවාගෙන 1946 දී එක්‌සත් ජාතික පක්‌ෂය පිහිටුවීය. 1947 පැවති මහ මැතිවරණයෙන් ජය ගත් ඩී. එස්‌. ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. පසු කලෙක තමා ඇතුලු පවුලේ අය සිරගත කළද බ්‍රිතාන්‍ය රජය සමඟ මධ්‍යස්‌ථ ප්‍රතිපත්තියක සිට කටයුතු කළ මෙතුමා ලංකාවට නිදහස ලබා ගැනීමට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසීමට නොමසුරුව කටයුතු සුදානම් කළේය.

* සිංහ කොඩිය යළිත් ළෙල දෙයි.

ඒ වන විට ලංකාවේ භාවිතා වූයේ බ්‍රිතාන්‍ය ධජයයි. ලංකාවට විදේශ ධජයක්‌ අනවශ්‍ය බවට දේශ මාමකයන් හඬ නගමින් තිබු යුගයකි. ඒ 1948 ජනවාරි 16 වැනි දින සිංහ කොඩිය ලංකාවේ ජාතික කොඩිය විය යුතු බව බ්‍රිතාන්‍ය රජයට ලංකාවෙන් යෝජනා විය. එහි උපදේශකත්වය භාරගෙන කටයුතු කළේ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරණායක මහතා ඇතුලු කණ්‌ඩායමකි. ඒ අනුව 1948 පෙබරවාරි 04 වැනිදා මහනුවර දළදා මාළිගයේ මඟුල් මඩුවේදීත්, 1948 පෙබරවාරි 10 වැනිදා කොළඹ නිදහස්‌ මන්දිරයේදීත් ලංකා ජාතික කොඩිය ගුවනේ හරසරව අභිමානයෙන් ළෙලදුනි. 1951 වසරේදී ජාතික ධජ කමිටුවේ නිර්දේශය මත අගමැති ඩී. එස්‌. සේනානායක මහතා විසින් ජාතික ධජය සම්මත කරන ලදී.

* ශේ්‍රෂ්ඨ ජන නායකයාගේ හදිසි අභාවය

අසුන් පැදීම පුරුද්දක්‌ කරගෙන සිටි අග්‍රාමාත්‍ය ඩී.එස්‌.සේනානායක 1952 මාර්තු 22 දින අසු පිටින් වැටී සිදු වූ කම්පනයෙන් මෙලොවින් සමුගත්තේය. ජාතියේ පියාගේ සිහිනය වූ සිරිලක නැවතත් බතින් බුලතින් සශ්‍රීක කර ස්‌වයං පෝෂිත කිරීමේ මහරු අධිෂ්ඨානය අතර මැද බිඳී ගියේ එලෙසිනි. ඔහුගේ දේහය සතියක්‌ මුළුල්ලේ මහජන ගෞරවය සඳහා විවෘත විය. අගමැති ඩී. එස්‌. සේනානායකගේ ආදාහනය දා ජාතියක ජනගහනයෙන් හතට බෙදු එක්‌ පංගුවක්‌ එකම තැනදී එකම අරමුණක්‌ වෙනුවෙන් එක වේලාවක එක්‌රොක්‌වී සෝ සුසුම් හෙළුවෝය.

රඹුක්‌කන කීර්ති එස්‌. කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.