ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ප්‍රහාරය
කලින්ම මම දැක්‌කා...

තරංග රත්නවීර

ඒ දවස්‌වල ග්‍රහවස්‌තු පිහිටීම ඒ විනාශය ගැන ඉගි කළා...
මේ අනාවැකිය කාටවත් කියනවට බිරිඳ බය වුණා...
එයා කිව්වා හිරෙත් යන්න වෙයි කියලා...
දෙවැනි ලෝක යුද්ධ කාලෙත් ඒ විදිහේ ග්‍රහ පිහිටීමක්‌ තිබිලා තියෙනවා...

අනුර සී. පෙරේරා පුවත්පත් කලාවේ නොමැකෙන නාමයකි. වර්ෂ 1947 ජුනි මස 18 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක ඉපද අභ්‍යවකාශ විද්‍යාව මෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ හදාරමින්, පුවත්පත්වලට හරවත් ලිපි සැපයූ ලේඛකයෙකි. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාසික ටැබ්ලොයිඩ් පුවත්පතින් ලේඛන කලාවට පිළිපන් ඔහු මෙරට පළමු විද්‍යා පුවත්පත වන 'විදුමිණ' පුවත්පතේ කර්තෘ මණ්‌ඩල සාමාජිකයකු හැටියට සේවය කර පසුව එම පුවත්පතේ කර්තෘවරයාද විය. එමෙන්ම මෙරට සෑම පුවත්පතකටම විද්‍යා ලිපි ලියා ඇති ප්‍රවීණ ලේඛකයෙකි. වර්ෂ 1968 'විනෝදයෙන් විද්‍යා දැනුම' නමැති පොත ලියා මෙරට විද්‍යා කලාව දිග්විජය කළ ඔහු මේ වන විට විද්‍යා පොත් තිහකට ආසන්න ප්‍රමාණයක්‌ ලියා පළ කර ඇත. එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි 'රාජකීය විද්‍යායතනයේ' තාරකා විද්‍යාව ගැන පාඨමාලාවක්‌ හදරා ඇති හෙතෙම ඇමෙරිකාවේ 'නාසා ආයතනය' ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකම ගගනවිද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනවලට ගොස්‌ විද්‍යා දැනුම ප්‍රගුණ කර ඇති නැණවතෙකි. එමෙන්ම, විද්‍යාව ඥානනයට රුචි විද්‍යාර්ථීන්ට දැනුම් සාගරයක්‌ උපදවන සම්පත් දායකයෙක්‌ වූ ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන්ගේ ජීවිතයේ මියුරු තැන් දත් අතලොස්‌ස අතර සිටින සොඳුරු මිනිසෙකි. මේ වන විට මෙරට සිටින පැරැණිතම විද්‍යා ලේඛකයෙක්‌ වන අනුර සී. පෙරේරා අප සමාජයට විශ්ව කෝෂයකි. දැන් ඔහු රාජගිරියේ පිහිටි ඔහුගේ කැදැල්ලේදී අප සමඟ සංවාදයකට එක්‌ව සිටින්නේ ලෝකයේ අභ්‍යවකාශ පෙරළියත් සමඟ ඔහුගේ ජීවිතය පෙරළුණු හැටි කියන්නටය. මෙතැන් සිට පෙළගැසෙන්නේ අනුර සී. පෙරේරාගේ ඒ සොඳුරු මතකයයි.......

ඉස්‌සර මම රාත්‍රි අහස දිහා බලා ඉඳලා කාලගුණය පිළිබඳ අනාවැකි කිව්වා. මම කියපු අනාවැකි ගොඩක්‌ සාර්ථක වුණා. අපි ඇමෙරිකාවේ ඉන්න කාලෙත් රාත්‍රියට අහස දිහා බලාගෙන ඉඳලා පෙනෙන දේ පොතක සටහන් කළා. ඇමෙරිකාවේ ඉන්නකොට අනාවැකි කියන්න ගියෙ නෑ.

ඇමෙරිකාවේ අපි නතර වෙලා හිටියේ කැලිපෝර්නියා ප්‍රාන්තයේ චීනෝ කියන පුංචි නගරයේ නිවාස සංකීර්ණයක. අපිට ඒ නිවස සොයාගන්න උදව් කළේ නාලක සහ අයෝමා යුවළයි. චීනෝවල වෝල්නට්‌ පාරට මුහුණලා පිහිටි ඒ නිවසේ ඉදිරිපස විශාල වීදුරු බිත්තියක්‌. නිවස ඇතුළේ වීදුරුව අයිනේ වාඩිවෙලා ඉන්නකොට එළිය හොඳට දර්ශනය වෙනවා. අහසත් හොඳට පේනවා. එහේට ගිය අලුත මට රැකියාවක්‌ හොයාගන්න අමාරු වුණා. මගේ බිරිඳට පෙර පාසලක වැඩ කරන්න ලැබුණා. මම තනියම ගෙදරට වෙලා ඉන්නකොට වීදුරු බිත්තිය ළඟට වෙලා පොත්පත් කියෙව්වා. හිතට එන දේ පොතක සටහන් තිබ්බා. නිවස කිට්‌ටුව තිබුණු පුස්‌තකාලයට ගිහින් පොත්පත් බැලුවා. රෑට මගේ විනෝදාංශය වුණේ එළියට විත් අහස දිහා බලාගෙන ඉන්න එක. අපේ නිවස පිහිටලා තිබුණේ ලොස්‌ඇන්ජලීස්‌ ගුවන් තොටුපලට කිලෝමීටර් 100 ක්‌ විතර දුරින්. ඒත් ගුවන් තොටුපළට එන, යන ගුවන් යානා හොඳින් දර්ශනය වුණා. ලොස්‌ඇන්ජලීස්‌ ගුවන් තොටුපළත් ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළක්‌. විනාඩි පහෙන් පහට ගුවන් යානා එනවා... යනවා... රෑට හරි ලස්‌සනයි. සමහර දවස්‌වලට මම ගොඩක්‌ රෑ වෙනකම් අහස දිහා බලාගෙන ඉන්නවා.

දවසක්‌ මම රෑක අහස දිහා බලාගෙන ඉන්නකොට නැගෙනහිර අහසේ අඟහරු ග්‍රහයාත්, ඊට තරමක්‌ ඈතින් වෘශ්චික රාශියත් ඉතාම පැහැදිළිව දර්ශනය වුණා. මේ සිද්ධිය මම දකින්නෙ 2001 අවුරුද්දෙ අගෝස්‌තු මාසෙ දවසක. ඒ දවස්‌වල අඟහරු ග්‍රහයා පොළොවට කිට්‌ටුවෙන් ගමන් කරමින් තිබුණේ. ඒ දිනවල රාත්‍රියට අහස දිහා බලාගෙන ඉන්නකොට වෘශ්චික රාශිය හොඳින් දර්ශනය වුණා. අඟහරු ග්‍රහයා වෘශ්චික රාශියට ක්‍රමයෙන් ළං වෙමින් තිබුණා. වෘශ්චික රාශියේ ප්‍රධාන තරුව වන 'ඇන්ටාරස්‌' තරුවත් හරි ලස්‌සනට දර්ශනය වුණා. ඒක රතුපාට විශාල තාරකාවක්‌. ඒත් ආලෝක වර්ෂ 600 ක්‌ පමණ දුරින් පිහිටා තිබෙන නිසා අපට දිස්‌වෙන්නෙ සාමාන්‍ය තරුවක්‌ විදිහට. 2001 අගෝස්‌තු මාසය පුරාවට අහස නිරීක්‍ෂණය කරනකොට දවසින්, දවස අඟහරු ග්‍රහයා වෘශ්චික රාශියේ ප්‍රධාන තාරකාව වන 'ඇන්ටාරස්‌' වෙත කිට්‌ටු වෙමින් හිටියේ. ජ්‍යෙdතිෂයට අනුව අඟහරු ග්‍රහයයි, වෘශ්චික රාශියේ ඇන්ටාරස්‌ තරුවයි තද වෛරක්‌කාරයො දෙන්නෙක්‌.

එතකොට මට වයස අවුරුදු 54 යි. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, ග්‍රහ යුද්ධ තාරකා විද්‍යාවට අනුව ඕනෑ තරම් දැකලා තිබුණා. ඒත් ප්‍රධාන ග්‍රහයෙක්‌ හා විශාල තරුවක්‌ එකිනෙකාට කිට්‌ටුවෙලා තියෙනවා මම දැකලා තිබුණේ නෑ. අහලා තිබුණෙත් නෑ. විශේෂයෙන්ම අඟහරු සහ ඇන්ටාර්ස්‌ තරුව. මේ වස්‌තූන්ගේ කිට්‌ටුවීම ලෝකයට අසුබයි කියලා මම දැනන් හිටියා. ඒ නිසා මේ දර්ශනය දැකීමත් එක්‌ක මගේ හිතට විශාල චකිතයක්‌ ඇතිවුණා. මේක විශාල විනාශයක පෙර නිමිත්තක්‌ විය හැකි බව මට හිතුණා. එතකොට කොටි කලබල තදට තිබුණ නිසා ත්‍රස්‌තවාදීන් අපේ රටට විශාල විනාශයක්‌ කරයිදෝ යන බයකුත් මට දැනුණා. ඒ ගැන මම නිතර කල්පනා කරනවා මගේ බිරිඳටත් තේරුණා.

"දැන් ඔයා දවස්‌ ගානක වෙලා ඉඳලා මොනවාහරි දෙයක්‌ ගැන හිතනවා... මොනව ගැනද ඔච්චර කල්පනා කරන්නෙ..." බිරිඳ මගෙන් එහෙම ඇහුවා.

"ලොකු විපතක පෙර නිමිති අහසේ පහළ වෙලා..."

"මොකක්‌ ගැනද ඔයා මේ කියන්නෙ..."

"අද රෑට අහස බලලම ඒක විස්‌තර කරන්නම් කෝ..." කියලා මම බිරිඳගේ ප්‍රශ්නවලින් ගැළවුණා.

ඒ කිව්වා වගේම රාත්‍රි කාලයේදී මම බිරිඳට ග්‍රහ වස්‌තූන්ගේ කිට්‌ටුවීම පෙන්නලා ජ්‍යෙdතිෂයට අනුව එහි බරපතලකම පැහැදිළි කරලා දුන්නා. තාරකා විද්‍යාවට නම් මේ වස්‌තූන්ගේ කිට්‌ටුවීම ග්‍රහ සංග්‍රාමයක්‌ කියලත් මම බිරිඳට පැහැදිලි කරලා දුන්නා.

"ගොඩාක්‌ ඈතින් තියෙන වස්‌තූන් කොහොමද පෘථිවියට බලපාන්නේ. ඕවා විහිළු කතා..."

"එහෙම කියන්න එපා... අතීතයේ සෘෂිවරුන් අනාවැකි කිව්වේ අහසේ පිහිටි ග්‍රහවස්‌තූන් බලලා. මේ ග්‍රහ වස්‌තූන්ගේ පිහිටීම

ලෝකයේ කොහේ හරි රටක විශාල විනාශයක්‌ වෙනවා මට හොඳටම විශ්වාසයි. ඒ විනාශය අපේ රටේ වෙයිද කියලයි මට බය..."

"ඈත ඉන්න ග්‍රහයෝ කොහොමද ලෝකෙ විනාශ කරන්නෙ... මට කිව්වට වෙන කාටවත් කියන්න යන්න එපා. අපි ඉන්නෙ ලංකාවේ නෙමෙයි, ඇමෙරිකාවේ. ඔයා ඕවා තැන, තැන කියලා අපේ නරක වෙලාවට මෙහේට ලොකු විනාශයක්‌ වුණොත් අපි දෙන්නටත් හිරගෙවල්වල ළඟින්න වෙනවා. ඒ නිසා ඔයා දකින සිහිනය ඔයාම දකින්න... ප්‍රසිද්ධ කරන්න යන්න එපා... පිංසිද්ධ වෙයි. මට බෑ හිරගෙවල්වල තපින්න..." බිරිඳ මට තදින් අවවාද කළා. ඒත් මම අපේ නිවාස සංකීර්ණයේම හිටිය සිංහල පවුල්වල අයට ග්‍රහ පිහිටීම පෙන්නලා ඒකෙ අවධානම පැහැදිළි කරලා දුන්නා. නාලකටත්, අයෝමාටත් ඒ ගැන පැහැදිළි කළා. ඒත් තාරකා විද්‍යාව පිළිබඳවත්, ජ්‍යෙdතිෂය ගැනවත් වැටහීමක්‌ නොතිබුණු ඒ අය මම කියන දේ තේරුම් ගත්තේ නෑ. පස්‌සෙ මම ජ්‍යෙdතිෂයවේදියකු වන විමල් වීරත්නට දුරකථනයෙන් කතා කරලා මේ ග්‍රහ පිහිටීම ගැන ජ්‍යෙdතිෂය මතය විමසුවා. ඒ ගැන නිවැරැදි අදහසක්‌ ඉදිරිපත් කරන්න ඔහු දවස්‌ තුනක්‌ මගෙන් ඉල්ලුවා.

දින තුනක්‌ නෙමෙයි, පහකට විතර පස්‌සෙ සැප්තැම්බර් මුල සතියේ මම විමල්ට දුරකථනයෙන් කතාකරලා ආයෙත් ග්‍රහ පිහිටීමේ ජ්‍යෙdතිෂ්‍ය මතය විමසුවා.

"අනුර මහත්තයො... ඔබතුමා කිව්ව එක ඇත්ත. දෙවන ලෝක යුද්දෙ කාලෙත් මේ විදිහම අඟහරු, වෘශ්චික ග්‍රහ තරු සංග්‍රාමයක්‌ ඇතිවෙලා තියෙනවා. මහා යුද්ධයකට සමාන ෙ€දවාචකයක්‌ ඉදිරිකාලය තුළ ඇතිවෙන්න ඉඩ තියෙනවා...' කියලා විමල් මට පැහැදිළි කරලා දුන්නා. රාත්‍රි අහස බලන හැම වෙලාවකම අඟහරු ග්‍රහයා දවසින්, දවස ඇන්ටාරස්‌ තරුවට කිට්‌ටු වෙනවා. මගේ තැතිගැන්ම දවසින්, දවස වැඩි වුණා.

2001 අවුරුද්දේ සැප්තැම්බර් 10 වැනිදා රාත්‍රියෙත් අහස බලලා ග්‍රහ වස්‌තූන් එකිනෙකට බොහෝම සමීපවෙලා ඉන්න හැටි බිරිඳට පෙන්නුවා.

"අනුර ඔයා දැන් මාසයක වෙලා ඉඳලා ඔය ග්‍රහවස්‌තූන් ගැන කතා කර, කර ඉන්නවා. ඵලක්‌ ඇති වැඩක්‌ කරන්න කෝ..." කියලා බිරිඳ නෝක්‌කාඩුවෙන් වාගේ කතා කළා. එදා රෑ නින්දට ගිහින් පසුදා උදේ රැයින්ම ඇහැරිලා ව්‍යායාම කරලා පුවත්පත් ටික අතට ගත්තා. එතකොට වේලාව උදේ 8 ට විතර ඇති. ගෙදර දුරකථනය එක දිගටම නාද වෙන්න පටන් ගත්තා. මම රිසීවරය කණට ළං කළා.

"අංකල්... අංකල්... දැන්ම ටී.වී. එක දාලා නිව්ස්‌ බලන්න... වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් එකට ටෙරරිස්‌ලා ඇටෑක්‌ කරලා... මම මේ වැඩට යන ගමන්. ඉක්‌මනට ටී.වී. එක දාලා බලන්න..." නාලක පුතා එකදිගටම කියාගෙන ගිහින් දුරකථනය විසන්ධි කළා.

මම ටී.වී. එක ළඟට යනකොටම කවුද කතා කළේ... කියාගෙන බිරිඳත් දුවගෙන ආවා. ටී.වී. එක දානකොටම ගිනි ජාලාවක්‌.

"අනුර මේ මොකක්‌ද වෙලා තියෙන්නෙ... ප්ලේන් එකක්‌ අර ගොඩනැඟිල්ලේ හිරවෙලා ගිනි ගන්නවා. තව ප්ලේන් එකක්‌ අනිත් ගොඩනැඟිල්ලේ හැප්පුණා..." බිරිඳ මහා හයියෙන් කෑගැහුවා.

"ඉන්දු ඉස්‌සෙල්ලා කතා කළේ නාලක පුතා. නිව්යෝර්ක්‌ ටේ්‍රඩ් සෙන්ටර් එකට ත්‍රස්‌තවාදීන් පහර දෙනවා. ඒක තමයි මේ ටී.වී. එකේ පෙන්නන්නෙ. වැඩේ බොහෝම දරුණුයි වගෙයි. ලෝක වෙළෙඳපොළට විතරක්‌ නෙමෙයි, ත්‍රස්‌තවාදීන් තව තැන්වලට ගහලා කියලා ආරංචියි. වයිට්‌ හවුස්‌ ඉලක්‌ක කරපු ප්ලේන් එක අතරමගදි කඩා වැටිලා..." ඉන්දු බිරන්ත වෙලා ටී.වී. එක දිහා බලාගෙන හිටියා. අපි කතාබහ නැතිව බොහෝ වෙලාවක්‌ ටී.වී. එක දිහා බලාගෙන හිටියා. එන්න, එන්න ගින්න දරුණු වුණා. හමුදාවේ, පොලිසියේ ගුවන් යානා විතරයි අහසේ පියාසර කළේ. සතියක්‌ විතර යනකම් මුළු ඇමෙරිකාවටම ඇඳිරිනීතිය දැම්මා වගේ සියලු වැඩ අඩපණ වුණා. හරියට මළ ගමක්‌ වගෙයි. ඇමෙරිකානු වැසියන් හැම කෙනෙක්‌ම ජීවත් වුණේ තරගයකින් පැරදුණ ගානටයි. ඒ වගේම හැම කෙනෙකුගේම හිතේ ත්‍රස්‌තවාදී බය තිබුණා. හරියට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් බෝම්බ පුපුරනවට බයේ හිටිය ලංකාවේ මිනිස්‌සු වගෙයි. මම ඇමෙරිකාවේ ඉඳලා නැවත ලංකාවේ පදිංචියට එනකොටත් ඒ මිනිස්‌සුන්ගේ මානසිකත්වය සාමාන්‍ය තත්ත්වයට හැරිලා තිබුණේ නෑ.

සිද්ධිය වෙලා දවස්‌ දෙකකට පස්‌සෙ මම බිරිඳගෙන් ඇහුවා මම කියපු අනාවැකියට මොකද වුණේ කියලා. එතකොට එයා මම කියපු දේ පිළිගෙන ඉවරයි. ඒත් අපි ඉස්‌සර වෙලා ඒක ඇමෙරිකානු ජනමාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා නම් අදටත් අපි ඇමෙරිකාවේ හිරේ. පෙර පිනකට තමයි මම දැකපු සිද්ධිය අප අතරම රහසක්‌ වුණේ...

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.