හරත හත
රට යැම

අපේ පාලකයන් හා සබැඳෙන ප්‍රධාන කාරණා කිහිපයක්‌ නිතර පුවත්පත්වලින් අපි දකින්නෙමු. ඉන් එකක්‌ නායක කාරකාදීන් සහ ඇමැතිවරු විදේශ ගමන් යැමය. ඊට පහළ මන්ත්‍රීවරුද නිතර විදේශ ගමන් යති. එහෙත් ඒවාට වැඩි ප්‍රසිද්ධියක්‌ නැත. නොයෙකුත් ව්‍යාපෘති සඳහා යෑයි කියමින් පළාත් සභා මන්ත්‍රීවරුද විස්‌ස තිහ ගණනේ පිටරටවල ගොස්‌ ඇති බව මිනිස්‌සු දැන ගන්නේ ප්‍රශ්නයක්‌ පැන නැඟුණහොත් පමණි.

මේ යන්නේ නොයෙකුත් රැස්‌වීම්වලටය. ලෝක නායකයන්a එක්‌රැස්‌ වන සම්මන්ත්‍රණවලටය. පාරිසරික හෝ ආර්ථික සම්මන්ත්‍රණවලටය. ඒ සාකච්ඡාවලින් පසු අපේ රටට සංවර්ධනය ගලා ඒ. රටේ ආර්ථිකය දියුණු වේ. මාධ්‍යකරුවෝ වාර්තා කරන්නේ එලෙසය. ඒවා ප්‍රචාරය කරන්නේ අති උත්කර්ෂවත් ලෙසය.

රටේ ජනතාවගේ සිත් ප්‍රීතියෙන් උදම් වෙයි. සාකච්ඡාවලට සම්මන්ත්‍රණවලට රටේ නායකයන් ඇමැතිවරු, මන්ත්‍රීවරු අති විශාල වියදම් සහිතව පිටරටවල ගියේ මෙකල පමණක්‌ නොවේ. හැම ආණ්‌ඩුවකම මැති ඇමැතිවරු පිටරටවල ගියහ. එදත් මෙලෙස ඔවුන් සමඟ ගිය මාධ්‍යකරුවෝ නායකයන් රටට සංවර්ධනය ගෙන එතියිද අපමණක්‌ මෙපමණක්‌ ආධාර ගෙන එතැයිද හඬ තැලූහ.

එහෙත් සිදුව ඇත්තේ යන නායකයෝද, ඇමැතිවරුද වෙනස්‌ වී ඇතුවා පමණි. එදා ගිය මාධ්‍ය කණ්‌ඩායම වෙනුවට අද යන්නේ වෙනත් මාධ්‍ය කණ්‌ඩායමක්‌ වීම පමණි. හඬ එකමය.

මෙහෙන් යන්නා සේම ඒ රටවලින්ද ඇමැතිවරු දූත කණ්‌ඩායම් සමඟ මෙරට එති. ඔවුන් අපට ව්‍යාපෘති ප්‍රදානය කරන සැටි, වෙළෙඳ ගිවිසුම් හුවමාරු කරගන්නා සැටි අපි රූපවාහිනියෙන් දකින්නෙමු. නමුත් ඉන් එහාට ප්‍රතිඵලයක්‌ අපි නොදකින්නෙමු.

වෙළෙඳ ගිවිසුමක්‌ නම් අපේ භාණ්‌ඩ ඔවුන් මිලදී ගත යුතුය. ඔවුන්ගේ භාණ්‌ඩ අඩු මිලට අපිට ලබාදිය යුතුය. ඒ වෙළෙඳ ගිවිසුමෙන් අපට ප්‍රතිලාභයක්‌ අයිති වන්නේ එවිටය. එහෙත් එවැන්නක්‌ ජනතාවට නොපෙනේ. ගිවිසුම්ගතවීම පෙන්වනවා සේම ගිවිසුමෙන් පසු අපට අත්වූ ප්‍රතිලාභ සංඛ්‍යාලේඛනද සහිතව පෙන්වනවා නම් කෙතරම් හොඳ ද? එහෙත් එවැන්නක්‌ අපි නොදකිමු. (සැබවින්ම එය ඊට අදාළ අමාත්‍යාංශය විසින් කළ යුතු දෙයකි)

ගිවිසුම් යටතේ ඇතැම් රටවලින් විශාල ප්‍රදානයක්‌ අපට ලැබේ. ඇතැම් විට තාක්‍ෂණික අධ්‍යාපන ආයතනයක්‌ පිහිටුවීමට ගොඩනැඟිල්ල තනා දෙන්නේ එවැනි ගිවිසුමක්‌ යටතේ විය හැක. නමුත් ඒ බව ජනතාව දන්නේ නැත. ගොඩනැඟිල්ලක්‌ ලැබීම සංවර්ධනයට අදාළ දෙයකි. එය ජනතාවට පෙන්විය යුතුය. නැත්නම් මිනිස්‌සු දකින්නේ ගිවිසුම් පත්‍ර හුවමාරු කර ගන්නා රූපවාහිනී දර්ශනයක්‌ පමණි.

ඇතැම් විට මේ ගිවිසුම් අසාර්ථක වන අවස්‌ථා තිබෙන්නට පුළුවන. නියමිත කාලයකට ප්‍රදානය ප්‍රයෝජනයට නොගැනීම නිසා හෝ එම මුදල නාස්‌ති කර තිබීම නැතිනම් සොරකම් කර තිබීම නිසා එම රටවල් එම ගිවිසුම් අවලංගු කරන වේලාවල් තිබේ. එවැනි දෑ සිදුවේ. නමුත් මහජනතාව නොදනී. ඇමැතිවරු මෙවැනි වැරැදීම් කර ගන්නා බව ජනතාවට කිසිදාක හෙළිදරව් නොවේ.

අපේ ඉතිහාසයේ අපට අමතක නොවන ගිවිසුමක්‌ වන්නේ චීන - ලංකා රබර් ගිවිසුමයි. අපේ රබර් වෙනුවට චීනයෙන් හාල්දීම ඒ ගිවිසුමයි. එතැනදී රටවල් දෙකටම අවාසියක්‌ වූයේ නැත.

ගිවිසුම් යනු චීන - ලංකා රබර් ගිවිසුම මෙන් ප්‍රසිද්ධ ගිවිසුම් විය යුතුයි. එහෙත් අද ගිවිසුම් රහසිගත බවක්‌ පිළිබිඹු කරයි.

නිදහසින් පසු මේ හැට අවුරුදු කාලයේ නායකයන් ඇමැතිවරු පිටරට ගිය තරමට රට සංවර්ධනය වී තිබේද? වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත් තරමට රටේ වෙළෙඳ තත්ත්වය ඉහළ ගොස්‌ ඇත්ද ?

උදාහරණයක්‌ ලෙස සාර්ක්‌ රටවල සමුළුව ගනිමු. එය ආසියානු රටක පැවැත්වීමට කෙතරම් මුදලක්‌ වැය කරන්නේද? එහෙත් වැයකළ මුදලටවත් ප්‍රතිලාභයක්‌ එරට ලබන්නේද?

සමුළු පැවැත්වීම ලෝක මෝස්‌තරයකි. රට රටවල නායකයන් හමුවී කාබී අතට අතට දී හිත මිතුරුකම් දිනාගෙන එන්නට ඒවා අවස්‌ථා සපයයි. සංවර්ධනය කෙසේ වෙතත් හොඳ හිත හෝ ලබා ගැනීම යහපත් දෙයකි. එහි යැමේ වරදක්‌ කිව නොහැක. රට රටවල නායකයන් ආරාධනා කළ විට යා යුතුය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ලෝකයාට අවශ්‍යය. එහෙත් ඒ ගමන් ප්‍රයෝජනවත් විය යුතුය. ඒවා හිස්‌ අතින් ආපසු එන ගමන් විය යුතු නොවේ.

කුණු ප්‍රශ්නය සෑම පළාත් සභාවකටම තිබෙන ප්‍රශ්නයකි. විදේශ සංචාර යන පළාත් සභා මන්ත්‍රීවරු එරටවල කුණු ප්‍රශ්නය විසඳගෙන තිබෙන සැටිවත් ඉගෙන ගෙන එනවාද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.