ලසන්ත ඝාතනයේ වගකීම බාරගත්
හිටපු බුද්ධි අංශ නිලධාරීයාගේ කතාවේ
ඉතිරි කොටස

හේමන්ත රන්දුණු

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව සිටි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර මේ වන විට වසර 7 කුත් මාස 09 ක්‌ ගත වී හමාරය. එහෙත් ලසන්ත ඝාතනය අදටත් අලුත් ප්‍රවෘත්ති නිර්මාණය කරමින් තිබෙන අගක්‌ මුලක්‌ හෙළි නොවූ අභිරහසක්‌ බවට පත්ව තිබේ.

ලසන්ත ඝාතනය පිටුපස යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිටින බවට තහවුරු වන සාක්‍ෂි ලැබී තිබුණද ඒ සඳහා ඔවුන්ට නියෝග ලබා දුන් තිරය පිටුපස සිටින පුද්ගලයන් කව්දැයි තවමත් අභිරහසකි.

ලසන්ත ඝාතන පරීක්‍ෂණයේ ප්‍රශ්නාර්ථ රැසක්‌ ඉතිරිව තිබෙද්දී ඔහුගේ සිරුර පසුගිය දා නැවත ගොඩගත්තේය. ඒ ලසන්ත ඝාතන පරීක්‍ෂණය නැවත කරලියට ගෙන එමින්ය. ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩගෙන වැඩි දවසක්‌ ගත වන්නට පෙර තවත් ආන්දොaලනාත්මක ප්‍රවෘත්තියක්‌ අසන්නට ලැබුණේය. ඒ ලසන්ත ඝාතනය කළේ තමන් බව කියමින් විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර්වරයකු සියදිවි හානි කර ගැනීමත් සමඟය.

ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න නමැති සාජන් මේජර්වරයා ගෙල වැලලාගෙන සිටියේ නිවසේ කුස්‌සියේ වහලේ බාල්කයේ එල්ලීය. ජයමාන්න මිය යැමට පෙර ලියා තැබූ බවට සැක කරන ලිපිය මහත් ආන්දෝලනාත්මක එකක්‌ බවට පත් වී හමාරය.

"ලසන්ත වික්‍රමතුංග මැරුවේ මමයි. මගේ යාළුවා උදුලාගම මේකට සම්බන්ධ නැහැ. එයාව නිදහස්‌ කරන්න." යනුවෙන් ජයමාන්න ලියූ බවට සැක කරන ලිපිය හමුවීමත් සමඟම ලසන්ත ඝාතන පරීක්‍ෂණ අලුත් මඟකට යොමු වී තිබෙයි.

ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න 52 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා සාජන් මේජර්වරයෙකි. හේ පදිංචිව සිටියේ කෑගල්ල කරඬුපන දෙනිපිටිය පාරේ පිහිටි නිවසකය.

ජයමාන්න යුද හමුදා සේවයට එක්‌වන්නේ 1985 වර්ෂයේදී ය. ඒ උතුර - නැඟෙනහිර යුද්ධය ආරම්භ වූ මුල් කාල සීමාවේ ය. 1987 වර්ෂයේදී ජයමාන්න යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට සම්බන්ධ වුණේය. එතැන් සිට 2007 වර්ෂයේ විශ්‍රාම යන තුරුම පුරා විසිවසරක කාලයක්‌ ඔහු සේවය කළේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ය.

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ අවි ගබඩාවක්‌ පවත්වා ගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් 2002 වර්ෂයේදී අත්අඩංගුවට පත් වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් නවදෙනා අතර ජයමාන්න ද සිටියේ ය. ජයමාන්නගේ කල්‍යාණ මිතුරා බව කියන උදලාගම ද ඒ අතර විය.

කපිතාන් නිලාම්ගේ ප්‍රධානත්වයෙන් යුත් යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ සාමාජිකයන් අතර සිටි ජයමාන්න ද උතුර - නැගෙනහිර යුද්ධයේදී දිවි පරදුවට තබා රාජකාරි කළේය. මිලේනියම් සිටි සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත් වූ ජයමාන්න මාසයකට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටියේය.

එවකට පොලිස්‌ අධිකාරිවරයකුව සිටි කුලසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටි අවි ගබඩාව වටලා තිබුණේය. පසු කලෙක උඩුගම්පොලට මෙම වැටලීම පාරාවළල්ලක්‌ බවට පත් වුණේය.

යුද හමුදා බුද්ධි අංශ පාවාදීම සම්බන්ධයෙන් උඩුගම්පොලට එරෙහිව විමර්ශනයක්‌ ක්‍රියාත්මක කෙරිණි. එම නඩුqවේදී ජයමාන්න ද එක්‌ සාක්‍ෂිකරුවකු විය.

විශ්‍රාම යැමෙන් පසු ජයමාන්න කෑගල්ල කරඬුපන පිහිටි නිවසේ පදිංචියට ආවේය. ඔහුට දාව පිරිමි දරුවන් තිදෙනෙකි. විශ්‍රාම යැමෙන් පසු ජයමාන්න පෞද්ගලික ආරක්‍ෂක අංශයක ද සේවය කළේය. ජයමාන්නගේ බිරිඳ විදේශ රැකියාවකට යන්නේ මීට වසර දෙකකට පමණ උඩදීය. ඇය රැකියාව කළේ සෞදි අරාබියේ පාසලකය.

පාසල් යන වයසේ සිටි දරුවන් තිදෙනා බලා කියා ගත්තේ ජයමාන්න ය. පාසල් අධ්‍යාපනය නිම කළ වැඩිමහල් පුත්‍රයා කොළඹදී පාඨමාලාවක්‌ හදාරන්නට පටන් ගත්තේය. ඔහුට බාල සොහොයුරන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල ප්‍රදේශයේ පාසලකය.

ජයමාන්න සියදිවි හානි කර ගත් බව කියන ඔක්‌තෝබර් 14 වැනිදාට දින කීපයකට උඩ දී හදිසියේ කොළඹ ගියේය. දන්නා හඳුනන මිතුරන් කීපදෙනකු හමුවීමට හමුදා කඳවුරකට යන බව ඔහු කියා තිබුණේය. ජයමාන්න ආපසු නිවසට පැමිණියේ 13 වැනිදා ය.

ජයමාන්නගේ මද්දුම පුත්‍රයා ක්‍රීඩා තරගයකට සහභාගි වීම සඳහා ඉන්දියාවට යැමට නියමිතව සිටියේය.

ඒ 14 වැනිදා පෙරවරුවේදී ය. ඉන්දියාව බලා යැමට සූදානමින් සිටි පුත්‍රයා එදින උදැසන පාසලට ඇරලවනු ලැබුවේ ද ජයමාන්න විසින් ය.

දරුවන් දෙදෙනාව පාසලට ඇරලවීමෙන් පසු නිවසට ආ ජයමාන්න සිය ජංගම දුරකථනයෙන් ත්‍රිරෝද රථ රියෑදුරකුට ඇමතුමක්‌ දුන්නේය. රුක්‌මාල් ගුණතිලක නමැති ත්‍රිරෝද රථ රියෑදුරු ජයමාන්නගේ ගමන් බිමන් සඳහා ත්‍රිරෝද රථය

රැගෙන ආ තරුණයෙකි. ඔහු ජයමාන්නට කතා කළේ රාජා මාමා කියා ය.

එදින උදැසන ත්‍රිරෝද රථ රියෑදුරු ජයමාන්නගේ නිවසට ආවේ කිසියම් කුලී ගමනක්‌ යන බලාපොරොත්තුවෙන් ය. නිවසේ ප්‍රධාන දොර විවෘත කර තිබුණද රාජා මාමා (ජයමාන්න) සිටියේ නැත. ත්‍රිරෝද රථ රියෑදුරු නිවස තුළට ගොස්‌ විපරම් කරද්දී ගෙල වැලලාගෙන සිටි රාජා මාමා දුටුවේය. ජයමාන්න ගෙල වැලලාගෙන සිටින බව කෑගල්ල පොලිසියට දැනුම් දීමෙන් පසු එහි පැමිණි පොලිස්‌ කණ්‌ඩායමක්‌ සිය පරීක්‍ෂණ ආරම්භ කළහ.

ජයමාන්නගේ ඉණේ ගහගෙන සිටි ලිපිය හමුවීමත් සමඟ ම මුළු රටම ගිනි ගත්තේය. ජයමාන්නගේ සියදිවි හානිකර ගැනීම සම්බන්ධ මූලික පරීක්‍ෂණ කෑගල්ල පොලිසිය විසින් සිදුÊකළේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඒ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කෑගල්ලෙන් මතු වූ අලුත්ම ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත සොයා බැලීSමේ කාර්ය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතට පැවරීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය. ඒ අනුව 14 වැනිදා සවස්‌ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පිහිටි ජයමාන්නගේ නිවස වෙත පැමිණ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

ක්‍රීඩා තරගයකට සහභාගි වීමට ඉන්දියාව බලා යැමට සූදානමින් කටුනායක ගුවන් තොටුපළේ රැඳී සිටි ජයමාන්නගේ පුත්‍රයා සිය විදේශ ගමන නතර කර ආපසු නිවසට ආවේය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මතු වී තිබූ අර්බුදකාරී ප්‍රවෘත්තිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉතාම වැදගත් එකක්‌ විය.

එහෙත් ජයමාන්නගේ පවුලේ සාමාජිකයන්ට එය වැදගත් එකක්‌ නොවීය. තම පියාගේ අහිමිවීම දරුවන්ගේ සිත්වලට දැඩි කම්පනයක්‌ ගෙන දුන්නේය.

මාධ්‍යයට කතා කිරීම ප්‍රතික්‍ෂේප කළ දරුවන් පොලිසියෙන්ද ඉල්ලීමක්‌ කර සිටියේ තම පියාගේ අවසන් කටයුතු නියමාකාරයෙන් ඉටුකර ගැනීමට ඉඩ දෙන ලෙසය. ජයමාන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පැවැත්වීම මඳකට නතර කළ පොලිසිය ඔහුගේ අවසන් කටයුතු කරගෙන යැමට දරුවන්ට ඉඩකඩ ලබා දුන්නේය.

ජයමාන්න මිය යැමට පෙර ලියා තිබූ බව කියන ලිපියේ අත්අකුරු පරීක්‍ෂා කළ පොලිසිය එහි නිරවද්‍යතාව සොයා බලන්නට වුණේය. එම අත් අකුරු තම පියාගේ අත්අකුරු බවට දරුවන් විසින් හඳුනා ගත්හ. ජයමාන්නගේ ලිපියේ සඳහන් කර තිබුණේ මිලින්ද උදලාගම තම සමීපතම මිතුරා නිදහස්‌ කරන ලෙස ය.

එහෙත් ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධ බන්ධනාගාරගතව සිටින සැකකරු මිලින්ද උදලාගම නොව ප්‍රේම් ආනන්ද උදලාගමය. මොහු ජයමාන්නගේ කල්‍යාණ මිතුරකු නම් මේ නම මාරුවුණේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්‌වන්නේ 2009 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ය. ලසන්ත ඝාතනයේ වගකීම භාරගත් ජයමාන්න යුද හමුදා, බුද්ධි සේවයෙන් විශ්‍රාම යන්නේ 2007 වර්ෂයේදී ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන විට ජයමාන්න විශ්‍රාමික හමුදා සාජන් මේජර්වරයෙකි.

ජයමාන්නගේ ලිපියට අනුව එක්‌කෝ ඔහු විශ්‍රාම යැමෙන් පසුවත් යුද හමුදා බුද්ධි අංශයේ කොන්ත්‍රාත් ක්‍රියාත්මක කළා විය යුතුය. එහෙමත් නැත්නම් ඔහු කිසිවකු වෙනුවෙන් වගකීමක්‌ භාරගෙන මුසාවක්‌ ලියා තබා සියදිවි හානි කර ගත්තා විය යුතුය.

ජයමාන්න ලියූ ලිපියේ කරුණු සැබැවින් ම සත්‍ය නම් යුද හමුදා බුද්ධි අංශ මගින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට කදිම සාක්‍ෂියක්‌ වනු ඇත්තේය.

වසර දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව මෙම ඝාතනය පිටුපස බුද්ධි අංශ නිලධාරීන් 17 දෙනකුගේa නම් කියෑවිණි.

ඔවුන් එවකට කොහුවල ප්‍රදේශයේ බුද්ධි කඳවුරකට අනුයුක්‌තව රාජකාරි කළ සෙබළුන්ය. ලසන්ත ඝාතනයේ වගකීම භාරගත් ජයමාන්න කොහුවල බුද්ධි කඳවුරේ රාජකාරි කළ බවට මෙතෙක්‌ තොරතුරු හෙළි වී නොමැත.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන a තොරතුරු අනාවරණය කර ගෙන සිටින බුද්ධි අංශ සෙබළුන් 17 දෙනා අතර ජයමාන්නගේ නම කිසිම අවස්‌ථාවක කියෑවී තිබුණේ නැත.

ලසන්ත ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ රියෑදුරු ද යුද හමුදා බුද්ධි අංශ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ තිබුණේය. රියෑදුරු පැහැර ගැනීම, ඔහුට පහරදීම මරණීය තර්ජන එල්ල කිරීම යන චෝදනා යටතේ උදලාගම අත්අඩංගුවට ගෙන තිබිණි. ලසන්ත ඝාතන පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකුගේ ඡායාරූප චිත්‍රයට නගා තිබුණේය.

එසේ චිත්‍රයට නඟා තිබුණේ ලසන්තගේ රියෑදුරු පැහැරගෙන ගිය පුද්ගලයන් දෙදෙනාගේ ශරීර හැඩහුරුකම් අනුවය. එසේ නිර්මාණය කළ චිත්‍රයන් උදලාගමගේ රූපයට ද සමානය. එසේම ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජන වී සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන් තිදෙනකුගේම ස්‌වරූපය ඒ චිත්‍රයේ නිර්මාණය වී තිබූ රූපයට සමානය.

සියදිවිs හානි කරගත් බව කියන ජයමාන්නගේ රූපය ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිර්මාණය කළ සැකකරුගේ ඡායාරූපයට සමානය. එහෙත් සැකකරුවන් කීපදෙනකුගේ ම මුහුණු ඊට සමාන වීම නිසා ලසන්ත ඝාතනයට ජයමාන්න සම්බන්ධ වූ බවට එම ඡායාරූප හරහා යම් තොරතුරක්‌ ලබාගැනීම ගැටලු සහගත වී තිබෙයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා යතුරුපැදි තුනකින් පුද්ගලයන් සය දෙනෙක්‌ පැමිණ සිටියහ. ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණය වන හිස්‌වැසුම් පැළඳ සිටියහ. ලසන්ත ඝාතනය සඳහා පුද්ගලයන් හයදෙනකු පැමිණියේ නම් ඔවුන් සියලු දෙනා ඊට වැරදිකරුවන් ය. ඔවුන් සියලු දෙනා ලසන්න ඝාතනයට සම්බන්ධය. එසේ නම් ජයමාන්නට පමණක්‌ එහි වගකීම භාර ගත හැකිද යන ප්‍රශ්නය මතුවෙයි.

සැකකටයුතු අංශ කීපයක්‌ ඔස්‌සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජයමාන්න පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්තේය. ජයමාන්න දීර්ඝ කාලයක සිට පාවිච්චි කළ ජංගම දුරකථනය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉතාම වැදගත් තොරතුරක්‌ අනාවරණය කරගත්තේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ 2009 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ජයමාන්නගේ පෞද්ගලික දුරකථනය කෑගල්ල ප්‍රදේශය තුළ පමණක්‌ ක්‍රියාත්මක වෙමින් තිබූ බව පොලිසිය හෙළිකර ගත්තේය. ජයමාන්නගේ පෞද්ගලික ජංගම දුරකථනය කෑගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූයේ නම් ඔහු තම නිවසේ හෝ ඒ අවට සිටි බවට එය කදිම සාක්‍ෂියක්‌ බවට පත්ව තිබෙයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ ජයමාන්න නම් ඔහුට පොලිසිය වෙත ඉදිරිපත් වී උදලාගම බේරා ගැනීමට අවස්‌ථාව තිබුණේය. එසේ නොකර ඔහු ලසන්ත ඝාතනයේ වගකීම භාරගෙන සියදිවි හානි කර ගැනීම බරපතළ ගැටලු රැසක්‌ ඉතිරි කරන සිදුවීමක්‌ බවට පත්වෙමින් තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ වෙනත් මාර්ගවලට යොමු කිරීමට සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මීට ඉහත අවස්‌ථා කීපයකදීම විවිධ උපක්‍රම භාවිත කළහ.

ලසන්ත ඝාතනය සිදු වී දින 19 කට පසු එනම් 2009 වර්ෂයේ ජනවාරි 28 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේ ඇළකින් ටේ්‍රල් වර්ගයේ යතුරුපැදියක්‌ ගොඩගත්තේය. මෙම යතුරුපැදිය වන්නි ප්‍රදේශයෙන් අතුරුදන් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ දෙමළ ජාතිකයන් දෙදෙනකුගේ බව ද පොලිසිය සොයා ගෙන තිබිණි.

ලසන්ත ඝාතනය කළ අපරාධකරුවන් මෙම යතුරුපැදියේ පැමිණි බවට ඒත්තු ගැන්වීමට එවකට පොලිස්‌ ලොක්‌කන් දැඩි උත්සාහයක නිරත වූහ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය එල්.ටී.ටී.ඊ. ය විසින් කළ බවට ඒත්තු ගැන්වීමට එවකට රජය ගත් නිර්ලඡ්ජ උත්සාහය සාර්ථක වී තිබුණේ නැත.

එදා ඒ ආකාරයට ලසන්ත ඝාතනය වෙනත් මඟකට යොමු කිරීමට මෙම සංවිධානාත්මක කණ්‌ඩායම උත්සාහ ගත්හ. මෙදා කෑගල්ලෙන් මතු වූ ජයමාන්නගේ සිද්ධිය ද ඒ ආකාරයටම පොලිසිය නොමඟ යෑවීමට ගත් උත්සාහයක්‌ දැයි යන සැකය බැහැර කළ නොහැක.

කෙසේ වෙතත් වළ දැමූ ජයමාන්නගේ සිරුර පසුගිය 19 වැනිදා නැවත ගොඩ ගත්තේය. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය. මියගිය ජයමාන්නගේ ඇඟිලි සටහන් ලබා ගැනීම සඳහා මරණ පරීක්‍ෂණය නැවත පැවැත්වීම එහි අරමුණ විය.

ජයමාන්න සැබැවින් ම සියදිවි හානි කර ගත්තා ද එසේත් නැත්නම් එම මරණය පිටුපස කිසියම් අභිරහසක්‌ තිබේද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළ පරීක්‍ෂණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන්නේ අනේක විධබාධක ගැටලු රැසක්‌ මධ්‍යයේ ය. පසුගිය රජය සමයේ සිදු වූ මේ අපරාධය එවකට බලධාරීන් විසින් මුළුමනින්ම යටකර දැමුවේය.

එවකට රාජකාරි කළ පොලිස්‌පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ම ඒ පාප කර්මයට අතගසා සිටියහ.

ඝාතනයට අදාළ සාක්‍ෂි විනාශ කිරීම අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට පරීක්‍ෂණ කටයුතුවල බාධාකර ඒවා අඩපණ කිරීම හරහා ඔවුන් සත්‍ය වළ දැමීමට කටයුතු කළහ.

ඝාතනය මෙහෙය වූවන් සහ ඊට උඩගෙඩි දුන් පුද්ගලයන් සිතා සිටියේ ලසන්තගේ මරණය සදාකාලිකව වැළලී යන අපරාධ ගොන්නට එක්‌වනු ඇතැයි කියාය.

එහෙත් ඒ අළුගෝසුවන්ගේ සියලු බලාපොරොත්තු සැලසුම් කනපිට පෙරළමින් ලසන්ත ඝාතනයේ විමර්ශන නැවතත් කරළියට පැමිණ හමාරය. මේ වනවිට එය නිවැරැදි මාර්ගයක්‌ ඔස්‌සේ ඉදිරියට ගමන් කරන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දක්‍ෂතාව සහ මනා කැපවීම මත බව නොරහසකි.

ලසන්ත වික්‍රමතුංග නමැති ස්‌වාධීන මාධ්‍යවේදියා ඝාතනය කිරීමට උදලාගමට අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට ලසන්ත සමඟ වෛරයක්‌ තිබුණේ ද නැත. ඔවුන් ක්‍රියාත්මක කළේ තමන්ට පැහැර හැරිය නොහැකි වූ නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමය.

එසේ නම් ඒ පැහැර හැරිය නොහැකි වූ නියෝගය ලබා දුන්නේ කව්රුන් විසින්ද යන්න රටට හෙළිකළ යුතුය. ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. ලසන්ත වික්‍රමතුංගට යම්තාක්‌ දුරට හෝ සාධාරණයක්‌ ඉටුවන්නේ එවිටයි.

එහෙත් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලද්දී ලසන්තට සාධාරණයක්‌ ඉටුවේදැයි සිතීම සැක සහිතය යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපයන් හමුවේ ලසන්ත ඝාතනයේ විමර්ශන කොයිපැත්තට පෙරළේ දැයි සිතිය නොහැකි තත්ත්වයක්‌ උදා වෙමින් තිබෙන බව නොරහසකි.

රටේ සියල්ල ක්‍රියාත්මක වන්නේ දේශපාලන අවශ්‍යතාව මතය යන ක්‍රියාවලින් තවමත් බැහැර වී ගොස්‌ නොමැත. දේශපාලන ඩීල් හමුවේ ලසන්තගේ ඝාතන පරීක්‍ෂණ කොයි අතට පෙරළේ දැයි අප බලා සිටින්නෙමු.

හැට දෙලක්‍ෂයක්‌ රටේ ජනතාව ඡන්දය ලබා දී යහ පාලන ආණ්‌ඩුව පත් කරනු ලැබුවේ ගිලිහී ගිය නීතිය සාමය, සාධාරණය නැවත රටට ලබා ගැනීමටය. එසේ නොමැතිව බඩගෝස්‌තරවාදී දේශපාලනඥයන්ට තම අවශ්‍යතාවන් සඳහා ඩීල් දැමීමටවත් තම බලය ආරක්‍ෂා කරගැනීමටවත් නොවන බව රටේ පාලකයන් සිතාගත යුතුය.

එසේ නොවුණහොත් යහපාලන ආණ්‌ඩුවට ද ගෙදර යැමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව සැවොම සිතාගත යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.