ජුබිලි කණුවේදී හැප්පී මිය ගිය
කෝරළේ මහත්තයා හි මුතූ


ගයාන් සමරසිංහ

මාතලේ එපිටමුල්ල ප්‍රදේශයේ පදිංචි සෝමසිරි සහ සීතා රංජනී විවාහ වූයේ දැනට දශක දෙකකට පමණ ඉහතදීය. විවාහයෙන් වසර දෙකකට පමණ පසු එම යුවළ දරු සුරතල් බැලීමට තරම් වාසනාවන්ත වූවේය. සෝමසිරිලාගේ වැඩිමහල් දරුවා දියණියක වූ අතර බාල දරුවා පුතෙක්‌ විය. පවුලට වාසනාව රැගෙන ආවේ කවිෂා අයේෂාණි නමැති වැඩිමහල් දියණිය යන්න එම දෙමාපියන්ගේ මතයයි. එම නිසා ජපන් බෝනික්‌කියක්‌ වැනි කවිෂාට පවුලේ හිතවතුන් ආදී සියලු දෙනාම වැඩි ලෙන්ගතුකමක්‌ දැක්‌වූහ.

කවිෂා සිප්සතර හැදැරීමට මුලින්ම පිය නැඟුවේ මාතලේ මුවන්දෙණිය කණිෂ්ඨ විදුහලටයි. ඉක්‌බිති ඇය අ.පො.ස. උසස්‌ පෙළ හැදැරීම සඳහා මාතලේ විජයපාල විදුහලට ඇතුළත් වූවාය. නර්තන සහ ගායන කුසලතාව උත්පත්තියෙන්ම කවිෂා ලබා තිබුණාය. එම නිසාම දෝ ඇය කලා කටයුතු සඳහා විශාල කැමැත්තක්‌ දැක්‌වූවාය. පාසල් නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රබල චරිතයක්‌ බවට කවිෂා පත්වූයේ ලස්‌සන රූසපුවක්‌ සහ කිසිවකුටත් නොදෙවැනි දක්‌ෂතාවක්‌ තිබුණු නිසාය. පාසල් මට්‌ටමින් පැවැත්වෙන ගායනා තරගවලින් අනේක වාරයක්‌ ඇය ජයග්‍රහණ ලබා තිබුණි.



පුංචි කාලයේ සිටම කවිෂාට වුවමනා වූයේ දක්‌ෂ කලාකාරියක්‌ වීමටයි. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඇයට උපරිම මට්‌ටමෙන් තිබුණාය. පාසලේ යහළු යෙහෙළියන්ට පවා ඇය නිතරම පැවසුවේ යම්කිසි දිනයක මම මේ රටේ දක්‌ෂ නිළියක්‌ සහ ගායිකාවක්‌ වන බවයි. උසස්‌ අධ්‍යාපන වරම් පවා ඇයට අහිමි වන්නේ කලා කටයුතු සඳහා දැඩි උනන්දුවක්‌ දැක්‌වූ නිසාය. දුටුවන් වශීකරන සුළු රූපයකට උරුමකම් කියූ කවිෂා පාසල් අධ්‍යාපනය අවසන් කළත්, නර්තනය සහ ගායනය දිගටම හැදැරුවේය. කලාකාරියක්‌ වෙන්න යන තම දියණිය ගැන ඇතැම් අවස්‌ථාවලදී දෙමාපියන්ට බියක්‌ දැණුනි. ඒ කලාකාරියක්‌ වීමට නොහැකි වුවහොත් ඇයගේ අනාගතයට කුමක්‌ සිදුවේද යන ප්‍රශ්නය මතයි. එමනිසා සමහර අවස්‌ථාවලදී කවිෂාගේ දෙමාපියෝ ඇයට මෙසේ පැවසූහ. "හැමදාම නටලා හරියන්නේ නැහැ. ඔයා දැන් පොඩි ළමයෙක්‌ නොවෙයි. දීග යන වයසේ ඉන්නේ. ඒක නිසා ඔය නැටුම් ගැයුම් නවත්තලා රස්‌සාවක්‌ සොයා ගන්න" එම වදන් සිනාමුසු මුහුණින් අසා සිටින ඇය දෙමාපියන්ට පවසන්නේ... "අම්මලා බය වෙන්න එපා මං ගැන. කවදාවත් මම වැරැදි වැඩක්‌ කරන්නේ නැහැ. ඒ වගේම ජීවිතය වරද්ද ගන්නෙත් නැහැ. තව ටික කාලක්‌ ඉවසන්න කෝ... මම පෙන්වන්නම් රටටම මම කව්ද කියලා. රුක්‌මණී දේවිටත් වඩා හොඳට මම රඟපානවා. එතකොට කාටද ආඩම්බර..." කෙසේ වෙතත් දෙමාපියන්ට ඇය ගැන ලොකු විශ්වාසයක්‌ තිබුණි. එම නිසා ඇයට වුවමනා නිදහස දෙමාපියෝ ලබා දුන්හ.

කවිෂා සිහිනෙන් පවා දකින්නේ දර්ශන තලවල රූගත කරන සිදුවීම්ය. ඒ තරමටම ඇයට නිළියක්‌ වීමේ වුවමනාව තදින්ම දැනී තිබුණාය. නවක නිළියන් සොයා අයෑදුම්පත් කැඳවන්නේ කොතැනකද? අනිවාර්යෙන්ම කවිෂා ඒ සඳහා ඉල්ලුම් කරන්නීය. කොතරම් උත්සාහ කළද ඇයට වසර ගණනක්‌ යනකම් රඟපෑමට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත. එහෙත් ඇය උත්සාහය අතහැරියේ නැත. කෙදිනක හෝ දක්‍ෂ නිළියක්‌ වන බවට ඇය තරයේම අධිෂ්ඨාන කර ගත්තාය.

එක්‌තරා රූපවාහිනී නාලිකාවක විකාශය කෙරෙන තරුමංසල නමැති ප්‍රාසාංගික වැඩසටහන ගැන ඇයගේ නෙත ගැටෙන්නේ අහම්බෙන් මෙන්ය. ඇය ඒ සඳහා ඉල්ලුම් කළාය. දහසක්‌ අයෑදුම්පත් අතරින් කවිෂාගේ අයෑදුම්පත තෝරාගෙන තිබුණි. එම වැඩසටහන ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්‌ෂය බවට පත්වූවාය. එම වැඩසටහන හරහා ඇය කලා ක්‌ෂේත්‍රයේ බොහෝ පිරිසක්‌ හඳුනා ගත්තාය.

කවිෂා මුලින්ම නාට්‍ය ක්‌ෂේත්‍රයට පිවිසෙන්නේ "සිකුරු වසන්තය" ටෙලි නාට්‍ය ඔස්‌සේය. එය ඇයගේ මුල්ම ටෙලි නාට්‍ය වුවද ප්‍රවීණ දක්‌ෂ නිළියක මෙන් ඇය එහි රංගනයේ යෙදුනාය. එම රංගන කුසලතාවය දැකීමෙන් තවත් ටෙලි නාට්‍ය කිහිපයක්‌ සඳහා ඇයට ආරාධනා ලැබෙන්නේය. ඒ අතරින් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාරගේ "කෝරළේ මහත්තයා" ටෙලි නාට්‍යයේ කවිෂාට ප්‍රබල චරිතයක්‌ හිමිවෙයි. ඇය එහි රඟපාන්නේ මුතූ නමැති චරිතයකි. එම චරිතය හරහා ප්‍රේක්‍ෂකයන් සහ නාට්‍ය ක්‌ෂේත්‍රයේ අය අතර ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වූවාය. සිව්මංසල, සිත්තරාවි, අඟුරු සිත්තම් ඇය රඟපෑ ටෙලි නාට්‍යවලින් කිහිපයකි.

රඟපෑමට මෙන්ම ගායනයටද ඇය එකසේ දක්‌ෂ වූවාය. මෙම දිනවල ජනප්‍රිය ගීතයක්‌ වන "ඔබ නෑවිත් ඉන්න එපා" කවිෂාගේ මුල්ම ගීතයයි. එම ගීතයේ වීඩියෝව සඳහා ඇය රංගනයෙන්ද දායක වූවාය. මීට අමතරව කවිෂා තවත් ගීතයක්‌ ගායනා කර තිබුණි. වෙළෙඳ දැන්වීම් මෙන්ම කලා රසාංග කිහිපයකද කවිෂා රඟපාමින් ප්‍රේක්‍ෂක සිත් දිනා ගත්තාය. කෙටි කලක්‌ තුළදී ඇය ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ ජනප්‍රිය තාරකාවියක්‌ බවට පත්වූවාය.

මාතලේ සිට කලා කටයුතු සඳහා සහභාගි වීමට නොහැකි නිසා කලක සිට ඇය නුගේගොඩ ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන යෙහෙළියක සමඟ ජීවත් වූවාය. කොතරම් කාර්ය බහුල වුවත් විවේක ලද සෑම මොහොතකම ඇය තම ගම් ප්‍රදේශයට ගොස්‌ දෙමාපියන්ගේ එකම සහෝදරයාගේ සහ ඥතීන්ගේ දුක සැප සොයා බැලුවාය. නිළියක කියා ඇය කිසි දිනක ඔළුව ඉදිමුවා ගත්තේ නැත. කා සමඟත් සුහදව ඇසුරු කළාය. ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයන්ට සෑම අවස්‌ථාවකම ඇය ගරු කළ අතර ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබා ගත්තාය.

සැප්තැම්බර් මස විසිපස්‌ වැනිදා කවිෂා විසිපස්‌ වැනි උපන්දිනය සැමරුවාය. එදින කලා ක්‌ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් මෙන්ම යොවුන් ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් උපන් දින සාදයක්‌ පැවැත්වුණි. එහිදී විශේෂ දෙයක්‌ සිදු විය. කවිෂාගේ ප්‍රියතම නළුවා වූයේ රන්ජන් රාමනායකයි. ඇය රන්ජන් රාමනායක උපන්දින සාදයට පැමිණෙන තෙක්‌ උපන්දින කේක්‌ එක කැපුවේ නැත. පැමිණ සිටි යහළු යෙහෙළියන් කේක්‌ එක කපන්න කියා කීවත් කවිෂා එය කැපුවේ නැත. අවසානයේ රන්ජන් රාමනායක පැමිණි පසු කේක්‌ එක කපා මුල්ම කේක්‌ කෑල්ල කැව්වේ රන්ජන් රාමනායකටයි.

එදින එළිවෙන තුරු උපන්දින සාදය පැවැත්වුණු අතර පසුදින උදේ පාන්දරම ඇය පන්සල් ගියාය. නිළියක්‌ වුවත් කවිෂා පිනට දහමට ලැදි තැනැත්තියක්‌ වූවාය. දුප්පත් අසරණ මිනිසුන් හට ඇය අනන්තවත් උදව් උපකාර කළාය. එයට එක්‌ උදාහරණයක්‌ වනුයේ ගලේවෙල ප්‍රදේශයේ එක්‌තරා දුප්පත් පවුලකට නිවසක්‌ හදන්නත් එම ළමයින්ව පාසල් යවන්නත් ඇය අදව් උපකාර කර තිබුණි.

නිළියන්ට මෙන් කටකතා හැදෙන වෙනත් පිරිසක්‌ මෙරට තවත් නොමැති තරම්ය. කවිෂාටද එය පොදු විය. සමහර වෙබ් අඩවිවල කවිෂා ගැන නොයෙක්‌ තොරතුරු දමා තිබුණු අතර පෙම්වතා බෙදා ගැනීමට බැරිව තවත් නිළියක්‌ සමඟ රණ්‌ඩුසරුවල් වීමේ සිද්ධියක්‌ ගැනද දමා තිබිණි.

දිනය පසුගිය පහළොස්‌ වැනිදාය. කවිෂා සුපුරුදු පරිදි තම මවට දුරකථන ඇමතුමක්‌ ලබාදී දුක සැප විමසුවාය. ඉන්පසු ඇය එදින රාත්‍රියේ සහභාගිවීමට තිබූ උත්සවයකට යැම සඳහා අවශ්‍ය ඇඳුමක්‌ මිලදී ගැනීමට නිවසින් පිටත් වූවාය. ඒ යන අතර මෝටර් රථයේ විරහ ගීතයක්‌ අසන අයුරු වීඩියෝ කර තම මුහුණු පොතට දැම්මාය. ඒ කුමන හේතුවක්‌ මතද යන්න අපි නොදන්නෙමු.

කවිෂා එදින පැවැති උත්සවයට සහභාගි වීම සඳහා නුගේගොඩ සිට කොළඹ දෙසට පැමිණියේ තම මෝටර් රථයෙනි. එම උත්සවය පැවතුණේ කොළඹ ප්‍රධාන හෝටලයකයි. එම උත්සවයේ විවිධ කෑම වර්ග සහ විදෙස්‌ මත්පැන් මදි නොවෙන්න තිබිණි. පැමිණි පිරිස ඒවායේ රස බලමින් විනෝද වූහ. පාන්දර තුන පසුවී තිබුණත් උත්සවය අවසන් නොවුණි. එහි සිටි සැවොම පාහේ (ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව) මත්පැන් පානය කරමින් විනෝද වූහ. ඔය අතර කවිෂා සැමගෙන් සමුගෙන නිවෙස වෙත බලා යැමට පිටත් වූවාය.

තම මෝටර් රථයට තනිවම නැගුණු කවිෂා නුගේගොඩ දෙසට තම මෝටර් රථය ධාවනය කළාය. අලුයම් කාලය නිසා මාර්ගයේ එතරම් වාහන නොතිබුණි. එමනිසා ඇය වෙනදාට වඩා වේගයෙන් තම මෝටර් රථය ධාවනය කළාය. එම අධික වේගය තුළ තම මරුවා සැඟවී සිටින බව කවිෂා නොසිතන්න ඇත. ඇය නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවත අසලට පැමිණියා පමණි. කවිෂාට මතක එපමණකි. ඉතිරිය එම අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සඳහන්ව තිබුණේය.

අධික වේගයෙන් පැමිණි කවිෂාගේ මෝටර් රථය එම ස්‌ථානයේ නවතා තිබුණු බස්‌ රථයක පිටුපස වැදී ඉදිරියෙන් තිබුණ විදුලි කණුවක ගැටෙන්නේය. මෝටර් රථය කුඩුපට්‌ටම් වන අතර කවිෂාද බරපතළ තුවාල ලබන්නීය. අනතුරුව ඇයව රෝහල්ගත කළත් ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. වේගය සමඟ පැමිණි මරුවා කවිෂාව ඔහුගේ ලෝකයට කැඳවාගෙන යන්නේ හිත මිතුරන්ගේ සිත් කම්පාවට පත් කරවමිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.