අපේ රටේ අධ්‍යාපනය හදන්න නම්
පාර්ලිමේන්තුවටත් පාසලක්‌ ඕනෑ

ප්‍රවීණ විද්‍යා ලේඛක සහ දේශක කේ. ආරියසිංහ

අපේ රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ විශාල පරිවර්තනයක්‌ සිදුකිරීමට නොයෙක්‌ අදහස්‌ හා යෝජනා ඉදිරිපත් වන සමයකි මේ. වර්තමාන අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සිදුකළ යුතු පරිවර්තන පිළිබඳ අදහස්‌ දක්‌වන අපේ රටේ විශිෂ්ට අධ්‍යාපනඥයකු මෙන්ම දහස්‌ සංඛ්‍යාත සිසු දරු දැරියන්ගේ නැණස පෑදූ කෘතහස්‌ත ගුරු පියකු වන කේ. ආරියසිංහයන් පවසන්නේ අධ්‍යාපනයේ මතු නොව වෙනත් කවර ක්‌ෂේත්‍රයක වුව විනය පිරිහී යැම එහි පරිහානිය ළඟා කරවන්නක්‌ බවයි. අපේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ පවතින බිඳවැටීම පිළිබඳවත් ඒ සඳහා කළ හැකි පිළියම් ගැනත් කේ. ආරියසිංහයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

දශක පහකට අධික කාලයක සිට ගුරු වෘත්තියේ නියෑළෙමින් අපේ රටේ විද්‍යා අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නියුතු කේ. ආරියසිංහයන් මේවන විට අධ්‍යාපනය හා සම්බන්ධ ග්‍රන්ථ 160 ක්‌ පළ කර ඇත. ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යා පෙළ පොත් කමිටුවේ සාමාජිකයෙකි. ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් දායකයෙකි. ඔස්‌ටේ්‍රලියාවේ ග්‍රන්ථ කර්තෘ සංගමයේත් එංගලන්තයේ රාජකීය ආයතනයේත් ස්‌කොට්‌ලන්තයේ ලේඛක සංගමයේත් සාමාජිකත්වය ලබා ඇති කීර්තිමත් අධ්‍යාපනඥයෙකි.

අපේ රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ වර්තමානයේ දක්‌නට තිබෙන පරිහානියට ඔබ දකින හේතු මොනවාද?

හේතු කිහිපයක්‌ම තිබෙනවා. අපේ රටේ බොහෝ දරුවන්ගේ විනය අද බරපතළ ලෙස පිරිහිලා. මේ නිසා පාඩම්වල ඇති විෂය කරුණු පිළිබඳ බොහෝ දෙනෙකුට නිසි අවධානයක්‌ යොමු කිරීමට නොහැකි වී තිබෙනවා. අද පාසල් දරුවෝ වැඩිදෙනා ගුරුවරුන්ට අකීකරු පිරිසක්‌. ගුරුවරයාට ගෞරව කරන්නේ නෑ. දරුවන්ගෙ පැත්තෙන් වගේම පාසලෙනුත් මේ පිළිබඳ අඩුපාඩු තිබෙනවා. දරුවන් හසුරුවා ගැනීම, ඔවුන් විනයගරුක පිරිසක්‌ බවට හැඩගස්‌වා ගැනීමට පාසලෙත් අද නිසි වැඩපිළිවෙළක්‌ නෑ.

ඊළඟට විෂය නිර්දේශ සකස්‌ කිරීමේදීත් ඒවාට අන්තර්ගත කර තිබෙන කරුණු ප්‍රමාණාත්මකව ඉතාමත් වැඩියි. දැන් තිබෙන විෂය මාලා සංස්‌කරණය කර මීට විසඳුම් සොයන්න බෑ. විෂය නිර්දේශ අලුතින්ම සකස්‌ කළ යුතු බවයි මගේ අදහස. සංස්‌කරණය කිරීමෙන් සිදුවන්නේ පැලැස්‌තර දැමීමක්‌ පමණයි.

විෂය නිර්දේශවල අද තිබෙන අක්‍රමවත් බව නිසා ළමයින්ට ළමා කාලය අහිමි වී තිබෙනවා. උදාහරණයක්‌ විදියට ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට එය අද විශාල මානසික පීඩනයක්‌. මේ තරගයට හසුවී දරුවන්ගේ සහජ කුසලතා සැඟවී යනවා.

දෙමාපියන් මෙවැනි තරගයකට තම දරුවන් යොමු කරවීමේ අරමුණ දරුවාට පහසුකම් වැඩි පාසලක්‌ ලබාදීමයි. අපේ රටේ පහසුකම් ඇති පාසල් ඇත්තේ කිහිපයක්‌ පමණක්‌ වීම මේ තරගය වඩාත් උග්‍රවීමට හේතුවක්‌. පහසුකම් වැඩි සහ පහසුකම් අඩු ලෙස අපේ රටේ පාසල් අතර තිබෙන විෂමතාවය නැති නොකර පහේ ශිෂ්‍යත්ව විභාග තරගය නැති කරන්න බෑ.

ඇතැම් දෙමාපියන් දවස පුරාමත් නිවාඩු දිනවලත් නොයෙක්‌ උපකාරක පංතිවලට යවමින් පහ ශිෂ්‍යත්වයට තම දරුවා සූදානම් කරවනවා. නමුත් මෙවර පහ ශිෂ්‍යත්වයෙන් ජය ගත් දරුවා වැහෙන්නට ආසන්න පාසලක වෙනත් උපකාරක පන්තිවලට සහභාගී වීමට අවස්‌ථාවක්‌ නොලද දරුවෙක්‌. මෙයින් පෙනෙන්නේ විභාග හෝ වෙනත් අභියෝග ජයගැනීමට ප්‍රධාන වශයෙන් උපකාර වන්නේ බාහිරින් ලබා දෙන උදව් නොව ඔහු හෝ ඇය තුළ ඇති සහජ හැකියාවන් බවයි. අධ්‍යාපනයකින් කළ යුත්තේ මේ සහජ හැකියාවන් කුසලතාවන් වැඩිදියුණු කිරීමයි.

ඔබ අදහස්‌ කරන්නේ මේ අවශ්‍යතාවන් ඉටුකරගත හැකි ලෙස පවතින විෂය නිර්දේශයන් වෙනස්‌ කළ යුතු බවද?

දැන් තිබෙන විෂය නිර්දේශ සංස්‌කරණය කිරීමෙන් පළක්‌ නෑ. දරුවන්ගේ සහජ කුසලතා වැඩිදියුණු කරගත හැකි ලෙස විෂය නිර්දේශ සකස්‌ කරන්නට ඕන. ඒ සඳහා අභීතව පියවර ගත හැකි දේශපාලන නායකත්වයකුත් අවශ්‍ය වෙනවා. පසුගිය දිනවල වෛද්‍යවරුන් තමන් සුවිශේෂ පුද්ගලයන් ලෙස සලකා තම දරුවන්ට සුපිරි පාසල් පමණක්‌ ලබාදිය යුතු බවට කළ ඉල්ලීමේදී වත්මන් අධ්‍යාපන ඇමතිවරයා සෘජු තීරණයක්‌ ගත්තා. මා හිතන්නේ අපේ රටේ අධ්‍යාපනය සකස්‌ කිරීමට නම් එවැනි සෘජු තීරණ ගත හැකි නායකත්වයක්‌ අවශ්‍යයි.

අපේ රටේ පාසල් සංඛ්‍යාව මෙන් කිහිපගුණයක්‌ පෞද්ගලික පන්ති පවත්වන ස්‌ථාන තිබෙනවා. මේ සියලු තැනින්ම අධ්‍යාපනය ලැබුවත් සාපෙළ හා උසස්‌ පෙළ සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්නේ සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 - 4 ක්‌ පමණයි. එහෙම වෙන්නෙ ඇයි?

අපේ වර්තමාන විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය යුතු බව තීරණය කිරීමට මේ එක හේතුවක්‌. අනෙක්‌ කාරණය ශිෂ්‍ය විනය පිරිහී යැම. ඒ පිළිබඳ පාසල්වලට නිසි වැඩපිළිවෙළක්‌ නොතිබීමත් මෙයටම අදාළ කාරණයක්‌.

සිසු විනය පිරිහීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාවක්‌ එල්ලවන්නෙ උපකාරක පන්තිවලටයි. අපේ රටේ උපකාරක පන්ති ක්‌ෂේත්‍රයේ දශක පහකට වැඩි කාලයක්‌ එහි ගුණාත්මක පක්‌ෂය නියෝජනය කරමින් පුරෝගාමී මෙහෙවරක නියෑළී සිටින කෙනෙකු ලෙස මේ චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

දරුවකුට අධ්‍යාපනය තුළින් ජීවිතය හැඩගස්‌වා ගැනීමට තිබෙන හොඳම තැන පාසැලයි. දරුවන් උපකාරක පන්තිවලට සහභාගි විය යුත්තේ පාසලේදී අතපසු වන හෝ නිසි ලෙස ලබාගැනීමට අවස්‌ථාවක්‌ නොලද විෂය කරුණු අවබෝධ කරගැනීමටයි. නමුත් අද විභාග ජයගැනීමේ තරගය විසින් දරුවන්ට උපකාරක පන්ති අනිවාර්ය අංගයක්‌ බවට පත්කර තිබෙනවා. නමුත් අද අපේ රටේ තිබෙන උපකාරක පන්තිවලින් සියයට හතළිහක්‌ පමණ නිසි විනයක්‌ සහිතව පවත්වන්නේ නෑ. තම ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකරගැනීමේ අරමුණින් දරුවන්ට අසීsමිත නිදහසක්‌ ලබාදීමට කටයුතු කරන බව පෙනෙනවා. එමනිසා අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් මේ ස්‌ථානවලට එන දරුවන් ඉතා ටික කලකින් නොමඟ යනවා. ප්‍රේම සබඳතා පවත්වාගෙන යැමට, මත්පැන් පානය කිරීමට සහ නොයෙක්‌ ආකාරයේ වීඩියෝ දර්ශන පවා නැරඹීමට නිදහස තිබෙන පෞද්ගලික පන්ති අපේ රටේ තිබෙනවා.

මේවා පවත්වාගෙන යන ගුරුවරුනුත් දරුවන්ට ඕනෑ එකක්‌ කිරීමට ඉඩදී සිටින්නේ ඒවාට එරෙහිව පියවර ගත්තොත් තමන්ගේ ආදායම අහිමි වන නිසා.

ඇතැම් පෞද්ගලික පන්තිවල විනය විරෝධී කටයුතු කරන්නේ දරුවන් පමණක්‌ නොවේ. තම ආයතනයට වැඩිපුර දරුවන් බඳවා ගැනීමේ අරමුණින් ඇතැම් විෂය කරුණුවලට කිසිසේත් අදාළ නැති වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීම් වැනි දේ සිදුකරන ගුරුවරුනුත් ඉන්නවා. උදාහරණයක්‌ ලෙස ප්‍රජනනය පාඩම යටතේ පාසලේ විෂය ක්‌ෂේත්‍රයත් ඉක්‌මවා ගිය ඇතැම් කරුණු වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කරන පෞද්ගලික පන්ති තියෙනවා. මේවා දරුවන්ට අවශ්‍ය නෑ. අද මෙවැනි දේවල් නාගරික ප්‍රදේශවල පමණක්‌ නෙමෙයි ගම්බද පළාත්වලටත් ව්‍යාප්ත වෙලා.

අපේ රටේ ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ පවතින මේ විනය විරෝධී කටයුතු වළක්‌වාලීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පෞද්ගලික පන්තිවලටත් නියාමනයක්‌ අවශ්‍යයි. පළාත් සභා හෝ එවැනි දේශපාලන බල අධිකාරියක්‌ තුළ මේ සඳහා වෙනම අංශයක්‌ ඇති කර එය නඩත්තු කිරීම සඳහා මෙම ආයතනවලින් කිසියම් මුදලක්‌ අයකර හෝ අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් මේ ආයතන සඳහා කිසියම් නීති පද්ධතියක්‌ ක්‍රියාත්මක කළ යුතුයි. අද බොහෝ පෞද්ගලික ආයතන අදාළ විෂය නිර්දේශයන්ට පිටින් අනවශ්‍ය කරුණු දරුවන් ඉගැන්වීම විලාසිතාවක්‌ වෙලා. මේ නිසා දරුවන් සිතන්නේ පාසලේදී ඔවුන්ට නිසි අධ්‍යාපනයක්‌ නොලැබෙන බවයි. දරුවන් තම පාසල කෙරෙහි කලකිරීමක්‌ ඇති වන තරමට මෙය අද බරපතළයි. පාසල කෙරෙහි දරුවා බිඳවීමත් අද ඇතැම් පෞද්ගලික පන්ති සිදුකරන වරදක්‌. මෙවැනි දේ වැඩිපුර කරන්නේ විශේෂයෙන් 9,10 සහ 11 ශ්‍රේණි සඳහා උපකාර පන්ති පවත්වන ආයතන. මේවායේ උගන්වන ඇතැම් ගුරුවරු තමන් ඉහළ විභාග සමත් බවට පත්‍රිකා මුද්‍රණය කර බෙදාහැරියත් උසස්‌ පෙළ වත් සමත් නැති ඇතැමුන් මේ ආයතනවල උගන්වන බව හෙළි වී තිබෙනවා. මෙවැනි දේ වැළැක්‌වීමට රජය පියවර ගත යුතුයි.

අපොස සාපෙ අසමතුන් පාර්ලිමේන්තුවේත් සිටින විට මෙවැනි ආයතනවල උසස්‌ පෙළ අසමතුන් සිටීම වැළැක්‌වීමට රජය පියවර ගනීවි යෑයි සිතිය හැකිද?

මා එයින් අදහස්‌ කළේ මේ අය සඳහා කිසියම් පුහුණු වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බවයි. පාර්ලිමේන්තුවේත් අපොස සාපෙ අසමතුන් සිටියත් ඔවුන් දේශපාලන වශයෙන් යම් පරිණත භාවයක්‌ ලබා තිබිය හැකියි. නමුත් අධ්‍යාපනය ද ඇතුළු රටේ සියලුම ක්‌ෂේත්‍ර සඳහා අණපනත් සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළත් විනය පිරිහී ඇති සැටි පසුගිය දිනවල නොයෙක්‌ විවාදවල දී මුළු රටම දුටුවා. රටේ ඉහළම ආයතනය තුළ සිදුවන එවැනි දේ පාසල තුළටත් ගලා ඒම නොවැළැක්‌විය හැකියි. එමනිසා අද විවාදයක්‌ පවත්වන හැටි, උත්තරීතර ආයතනයක හැසිරෙන සැටි කියාදෙන පාසලක්‌ පාර්ලිමේන්තුව තුළ ඇති නොකර පාසල් සිසුන් තුළ විනයත් රටේ අධ්‍යාපන සංවර්ධනයත් ඇති කළ නොහැකියි. සමස්‌ත සමාජය තුළම පරිහානියක්‌ ඇතිවන විට පාසල හෝ අධ්‍යාපනය හෝ පමණක්‌ ඉන් බේරෙන්නේ නෑ.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඡායාරූපය ධර්මසේන වැලිපිටිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.