ගායකයාගේ හෝ අයිතිකාරයාගේ නමට සින්නවීමට ගිය සුදු කැස්‌බෑවාගේ හොරා මාට්‌ටු

වැඩේ අහුවුණේ රත්තරන් කොල්ලයකින්

කොළඹ ආදුරුප්පු වීදියේ රන් භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයකට විදේශ සේවා දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිsරිසක්‌ පැමිණියේ, අනවසරයෙන් මෙරට සේවයේ යෙදෙන ඉන්දියානුවන් සෙවීම සඳහාය. පිටකොටුවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර අනවසරයෙන් ඉන්දියානුවන් රැකියා කිරීම නිසා එවැනි සොයා බැලීම් එම ප්‍රදේශයට අමුත්තක්‌ද නොවීය. පැමිණි කණ්‌ඩායම අමුතු වේශයක්‌ ගනිමින් ගිනි අවි පෙන්වා, රත්තරන් බඩු කඩේ සේවකයන් බැඳ දමන්නේ පරීක්‌ෂණය අලුත් මගකට යොමු කරමිනි. කඩයේ තිබූ රන් ආභරණ මලුවලට බහා පරීක්‌ෂණ නිලධාරීහු රැගෙන යන විට තමන් ඉදිරියේ පෙනී සිටියේ කුමන කණ්‌ඩායමක්‌ දැයි රත්තරන් බඩු කඩේ පිරිස තේරුම් ගත්තෝය. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස්‌ පරීක්‌ෂණ දියත් වන්නට පටන් ගත්තේය.

කිහිප දිනක්‌ ගත වන විට, සැප්තැම්බර් 17 වැනිදා සිදු කරන ලද කොල්ලය පිළිබඳ බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබුණි. මෙම කොල්ලය බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ හිටපු ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂකවරයා මෙහෙයවා ඇති බවට අපරාධ කොට්‌ඨාසය තොරතුරු අනාවරණය කර ගන්නා අතර, ඒ අනුව මුලින්ම පොලිස්‌ දැල එලන ලද්දේ ඔහු කොටුකර ගැනීම සඳහාය. ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ පොලිස්‌ වෙඩි ප්‍රහාර හමුවේ පලා ගොස්‌ තිබූ අතර, ඉතිරි සැකකරුවන් අල්ලා ගැනීම සඳහා පොලීසිය වෙහෙස වෙමින් සිටියේය.

කෝටි හතරක පමණ රන් භාණ්‌ඩ සොරාගත් කණ්‌ඩායමේ ප්‍රධාන සැකකරුවන් වන ආමි සම්පත් ඇතුළු සිව්දෙනකු රන් භාණ්‌ඩ තොගයක්‌ සහ මුදල් තැන්පත් කළ රිසිට්‌ පතක්‌ සමඟ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගිය සෙනසුරාදාය.

කෑගල්ල ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ ආමි සම්පත් පොලිස්‌ පොතේ කිහිප වතාවක්‌ම නම ලියවුණු චරිතයකි. රොහාන් සම්පත් රණවක පෙරේරා ලෙස උප්පැන්නයේ නම සටහන් වුවත් කලක්‌ හමුදාවේ සේවය කර ඊළගට කොල්ල කල්ලි මෙහෙයවමින් සිටීම නිසා ඔහු පොලිසිය ඇතුළු අපරාධ ක්‍ෂේත්‍රයේa ජනප්‍රිය වී තිබුණේ ආමි සම්පත් නමිනි. සම්පත් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කරන විට පැහැරගත් රන් භාණ්‌ඩ කිලෝ තුනහමාරකින් කිලෝ එකහමාරක රන් භාණ්‌ඩ සහ රුපියල් ලක්‌ෂ 11 ක මුදල් තැන්පත් කළ රිසිට්‌ පතක්‌ සොයා ගැනීමට පොලිසිය සමත් විය. ඒ සමඟම තමාගේ අපරාධ ලැයිස්‌තුව ද පොලිසිය ඉදිරියේ ආමි සම්පත් වමාරන්නට පටන් ගත් අතර, කාලයක්‌ තිස්‌සේ යටපත් වී තිබූ සුදු කැස්‌බෑවා පිළිබද තොරතුරු එළියට එන්නේ, ඒ වැමෑරීමේදීය.

ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිව සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් කිහිපයක්‌ එකතු විය. ජයවර්ධන යන නාමය දෙකට බෙදා ජය සාගර සහ සාගරවර්ධන යනුවෙන් ඉන් දෙකකට නම් තබන්නට නාවික හමුදාව කටයුතු කළේය. සාගරවර්ධන නෞකාවට මුහුදු කොටි විසින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලබන්නේ 1994 වසරේ සැප්තැම්බර් 19 වෙනිදා තලෙයිමන්නාරමට ඔබ්බෙන් මුහුදේදීය. එල්ල වුණු දැඩි ප්‍රහාරය හමුවේ නැව අතහැර දැමීමට නාවුක හමුදාව කටයුතු කළ අතර, සාගරවර්ධන නැව ත්‍රස්‌ත ප්‍රහාරයකින් දියබත් වී ගිය අතර එහි අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ එවකට කමාන්ඩර් අජිත් බෝයගොඩ හා තවත් පිරිසක්‌ නැව අතහැර මුහුදට පැන්නේ, පණ බේරා ගැනීමේ ෙච්තනාවෙනි. වෙඩි වරුෂා මැද්දේ, කමාන්ඩර් බෝයගොඩ ඇතුළු පිරිස මුහුදට පැන්නත් ඔවුන් යළි ගොඩ බසින්නේ ත්‍රස්‌තයන්ගේ අත්අඩංගුවටය.

එදා සිට වසර හයක්‌ ත්‍රස්‌තවාදීන්ගේ රැඳවුම් මැද අජිත් බෝයගොඩ ඇතුළු පිරිස කල් ගෙවන අතර, එයින් නිදහස හිමිකරගන්නේ වසර හයකට පසු 2002 වසරේදීය. නිදහස්‌ වීමෙන් පසු නාවික හමුදාව සේවය සදහා යළි එක්‌වුණු බෝයගොඩ, 2004 වසරේදී නාවුක හමුදා සේවයෙන් විශ්‍රාම ලබන්නේය. මුහුද ගැන ඇසූපිරූ තැන් ඇති බෝයගොඩ, නාවුක හමුදාවෙන් විශ්‍රාම ලබා ජලය ආශ්‍රිත ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්නේය. වටිනා සුරතල් මසුන් අපනයනය සිය ඉදිරි ජීවිත මග කරගත් ඔහු, එයින් දෙස්‌ විදෙස්‌ විවිධ පුද්ගලයන් සමග සබඳතා ඇති කර ගත්තේය. සුරතල් මසුන් පිළිබඳව එතෙර පැවැත්වෙන සමුළු සදහා සහභාගිවීම් ආදිය සමග ලෝකය පුරා නම ගිය සුරතල් මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්‌a බවට බෝයගොඩ පත්වන්නේය. මාලදිවයිනේ ධන කුවේරයන් සමග ඔහුට කිට්‌ටු සම්බන්ධතා ගොඩ නැගෙන්නේය.

මාලදිවයිනේ ව්‍යාපාරිකයෙකු බෝයගොඩට කෝටි ගණනක බිස්‌නස්‌ එකක්‌ ගෙනෙන්නේ මෙසේ ගොඩනැගුනු සමීප සම්බන්ධතාවය සමගය. තමන්ට සුදු කැස්‌බෑවෙකු අවශ්‍ය බවත් ඒ සඳහා රුපියල් මිලියන සීයයක මුදලක්‌ ගෙවන බවත් ව්‍යාපාරිකයා බෝයගොඩට පවසා සිටියේය.

එතැන් සිට බෝයගොඩ වෙහෙසුනේ සුදු කැස්‌බෑ ව්‍යාපෘතිය පිණිසය. කොස්‌ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන, කැස්‌බෑ අභිජනන මධ්‍යස්‌ථානයක සුදු කැස්‌බෑවෙකු සිටිනා ආරංචිය බෝයගොඩට ලැබෙන්නේ මේ අතරය. මෙම කැස්‌බෑ අභිජනන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ සංචාරකයන් හට කැස්‌බෑවන් පිළිබඳ අවබෝධයක්‌ ලබාදීමටය. කැස්‌බෑ බිත්තර සංරක්‌ෂණය කර, සංචාරකයන් අතින් කැස්‌බෑ පැටවුන් මුහුදට යවා යම් මුදලක්‌ ලබා ගැනීම මෙම අභිජනන මධ්‍යස්‌aථානයන්හි කාර්යභාරයය. ඒ මිසක කැස්‌බෑවුන් විකිණීම වැනි නීති විරෝධි කටයුතු සදහා යොමු වුවහොත්, එම මධ්‍යස්‌ථානය සතු අවසර පත ද අවලංගු වී, අයිතිකරුවන්ට හිරේ විලංගුවේ පවා වැටීමට සිදුවෙනු ඇත.

බෝයගොඩ තම සුදු කැස්‌බෑ ව්‍යාපෘතිය සඳහා උපයෝගී කර ගන්නේ, පැපිලියානේ නන්දන නම් ඔහු දන්නා කියනා පුද්ගලයෙකි. මේ වැඩේ කළොත් අපි දෙන්නම ගොඩ... කොස්‌ගොඩ තැනක බඩු තියෙනවා. හොඳ වැඩ කාරයකු ලවා බඩු ගත්තොත් හරි... හැබැයි කරන දෙයක්‌ පරිස්‌සමින් කරපන්...

බෝයගොඩගේ කොන්තරාත්තුව බාරගත් නන්දන එය උප කොන්තරාත්තුවක්‌ ලෙස පවරන්නේ, ආමි සම්පත්ටය. "මල්ලි පරක්‌කු වෙන්න බැහැ... උඹ අද හෙටම වැඩේට බැහැපන්. මම උඹට ලක්‌ෂ හැටක්‌ වැඩේට දෙන්නම්."

ලක්‌ෂ හැටක්‌ යනු ආමි සම්පත්ට හොඳ ගාණකි. මිනී මරන්නේ නැතුව, මංකොල්ල කන්නේ නැතුව මෙහෙම ගේමක්‌ ගහන්න ලැබිච්ච එක කොච්චර දෙයක්‌ද... යෑයි සිතමින් සම්පත් ද වැඩේ භාර ගත්තේ එක පයින්ය.

සැලසුම පහසු මාර්ගයක්‌ ඔස්‌සේ දියත් විය. සුදු වෑන් රථයක නැගුණු සම්පත්ගේ ගෝලයෝ පිරිසක්‌ කැස්‌බෑවා පටවාගෙන ආවේ කිසිවෙකුට නොදැනෙන්නටය.

කොස්‌ගොඩ සිටි සුදු කැස්‌බෑවා ඒ වන විටත් සත්වප්‍රේමීන්ගේ අවධානය දිනාගෙන තිබුණි. අනෙක්‌ කැස්‌බෑවන්ගෙන් වෙනස්‌ වුවද මේ සුදු කැස්‌බෑවා සතුව වෙනත් කිසිදු වටිනාකමක්‌ නොමැති වුවත්, සමහරක්‌ මෙම දුර්ලභ ගතියට ප්‍රිය කළෝය. මේ නිසා සුදු කැස්‌බෑවා සමග ඡායාරූප ගැනීම නැරඹීම යන කාරණයට බොහෝ දෙනෙක්‌ කොස්‌ගොඩට පැමිණියෝය. මේ නිසා සුදු කැස්‌බෑ සොරකම රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් විය.

සොරකම සිදුවූ මොහොතේ සුදු කැස්‌බෑවාගේ හිමිකරු වන චන්ද්‍රසිරි තබෲ මහතා විසින් ඒ පිළිබදව zදිවයිනz ට ප්‍රකාශ කර තිබුණේ මෙසේය. "මේ හොරකම් කරපු සුදු කැස්‌බෑවා ඉපදුනේ 2007 වසරේදීයි. මේ සතා මම ඉතා ආදරයෙන් තමයි හැදුවෙ. මේ සුදු කැස්‌බෑවට අවුරුදු පහක්‌ වෙනවා. ඌ සමඟ මාස හතක සුදු කෑස්‌බෑ පැටියෙකූ හා තවත් දින කිහිපයක්‌ වයසැති සුදු කැස්‌බෑ පැටව් දෙන්නෙක්‌ හිටියා. ලංකාවෙ හිටපු එකම සුදු කැස්‌බෑවා පැටව් හතරදෙනා හිටියේ මගෙ ළ`ග. දැනට මාස හයකට පමණ ඉහතදී අවුරුදු පහක්‌ පමණ වයසැති සුදු කැස්‌බෑවා රත්නපුරයේ ඉඳලා ආපු කෙනෙක්‌ මගෙන් ඉල්ලුවා.

"ඔහු ඊට පස්‌සේත් සුදු කැස්‌බෑවා බලන්න ආවා. මේ පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ මැණික්‌ මුදලාලි කෙනෙක්‌. ඔහු ලක්‌ෂ සියයකට කැස්‌බෑවා ඉල්ලුවා. මම ඔහුට කීවා, මම මගේ රටට ආදරෙයි. රටටම ඉන්නේ මේ කැස්‌බෑවා විතරයි. ඒ නිසා විකූණන්නේ නැහැ කියලා. ඊට පස්‌සේ තවත් මහත්තයෙක්‌ ඇවිත් ලක්‌ෂ දෙසියකට කැස්‌බෑවා ඉල්ලුවා. ඒ මහත්තයාටත් කීවේ ඒ ටිකමයි. මේ ගැන මම වෛද්‍ය උපේන්ද්‍ර මහත්තයාටත් කීවා. දැනට මාස දෙකකට කලින් තමයි මගේ මිතුරෙකු වන අමල් පෙරේරා ගායකයා මේ කැස්‌බෑවා ඉල්ලුවෙ. ඔහු මාලදිවයින් ජාතිකයින් දෙදෙනකූ සමඟ ඇවිත් තමයි කැස්‌බෑවා ඉල්ලුවෙ. මම ඔහුට කීවා මම රට පාවලා දෙන්නේ නැහැ, මගේ පුතා හදනවා වගේ මේ සතා හදන්නේ, දෙන්න බැහැ කියලා. ඊට පස්‌සේ අමල් කීවා කෝටි තුනහමාරක්‌ දෙන්නම්, කැස්‌බෑවා දෙන්න කියලා. මම බැහැ කියලා කීවා. ඔයාගේ පුතා මට දෙනවා නම් කැස්‌බෑවා දෙන්නම් කියලා කියපු එකට ඔහුට කේන්ති ගියා. හරි දෙන්න බැරිද කියලා අහලා යන්නට ගියා.

"මේ ගැන මගේ මිතුරන්ටද කියලා තිබුණා. චන්දරේ ළ`ග සුදු කැස්‌බෑවෙක්‌ ඉන්නවා, දෙන්නේ නැහැ, කියලා. ඊට පස්‌සේ බේරුවල ඉ`දලා තව තව අය මේ කැස්‌බෑවා මුදලට ඉල්ලුවා. බැරිම තැන මම දැන්වීමක්‌ දැම්මා සුදු කැස්‌බෑවා විකුණන්නේ නැහැ කියලා. මේ සතා බලන්න දුන්නාට කාටවත් විශේෂයෙන් විදේශිකයන්ට අල්ලන්න පවා දුන්නේ නැහැ.

මට හිතා ගන්න බැරි මේකයි. මේ සතා හිටපු තැන ජර්මන් ෂෙµඩ් වර්ගයේ බල්ලෙක්‌ ගැට ගසා හිටියා. ආරක්‌ෂකයින් තිදෙනෙක්‌ හිටියා. ඒ අයට ඇස්‌වහලා සතා සොරකම් කරගෙන ගියේ කොහොමද කියලා මට හිතාගන්න බෑ."

ප්‍රවීණ ගායක අමල් පෙරේරා ද මේ සිද්ධියේදී සිටියේ සැකකාර ගොඩේය. අමල් ගේ සිත සුදු කැස්‌බෑවා කෙරෙහි බැඳී ගිය බව කැස්‌බෑ අභිජනන මධ්‍යස්‌ථානයේ සිටි සැමටම පෙනී ගියේය. ඔහු ඒ සදහා මිල ගණන් ඉදිරිපත් කිරීමද සැකය තවත් තීව්‍ර කළේය. සුදු කැස්‌බෑවා ගැන අමල්ගේ අධික උනන්දුව සහ ඔහු ජනප්‍රිය චරිතයක්‌ වීම නිසා "සුදු කැස්‌බෑවා ඉස්‌සුවේ අමල්..." යන කතාව වේගයෙන් පැතිරී යන්නට විය.

සුදු කැස්‌බෑ සොරා සෙවීම සඳහා පොලිසියේ වැඩට බසින්නේ මේ පරිසරය තුළය.

කැස්‌බෑ අභිජනන මධ්‍යස්‌ථානයේ අයිතිකරුගේ නිවස පරීක්‌ෂා කර බලන පොලිසියට දැක ගන්නට ලැබෙන්නේ, ඔහු සතුව තවත් සුදු කැස්‌බෑ පැටව් තිදෙනෙකු සිටින අන්දමය. කැස්‌බෑ සොරකම අභිජනන මධ්‍යස්‌ථානයේ අයිතිකරු ගෙතු කතාවක්‌ ලෙස පොලිසිය අනුමාන කරන්නේ, ඔහු සතුව තවත් සුදු කැස්‌බෑවන් සිටි නිසාය. එතැනින් එහාට පොලිස්‌ පරීක්‌ෂණ කටයුතු සිදු නොවූ අතර, කණ කැස්‌බෑවා විය සිදුරෙන් අහස දකින්නා සේ මේ සිද්ධිය හෙළිදරව් වන්නේ ඉතාම අහම්බයෙනි.

කොළඹ අපරාධ කොට්‌ඨාශයේ අධ්‍යක්‍ෂ, පොලිස්‌ අධිකාරී ශාන්ත සොයිසා විසින් රන් කොල්ලය සඳහා ප්‍රශ්න කිරීමේදී ආමි සම්පත් විසින් වමාරන ලද තම අපරාධ වාර්තා අතර සුදු කැස්‌බෑවා ද සැඟව සිටියේය. ආමි සම්පත් වෙත බෝයගොඩ විසින් ලක්‌ෂ හතළිහක්‌ විටින් විට ගෙවා දැමූ බැංකු සාධකද මේ වනවිට පොලිසිය සොයාගෙන අවසන්ය.

නමුත් කැස්‌බෑවාට කුමක්‌ වූවාද යන්න තවම ප්‍රශ්නයක්‌ ලෙස ඉතිරි වී පවතී. "සතා මළා... අපි ඌව පුච්චලා දැම්මා..." වැනි දේ කියමින් සැකකරුවෝa මේ වන විට රිමාන්ඩ් මැදිරියේ කුරු ගණන් කරමින් සිටිති. බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ, කොළඹ භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂ පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහත්වරුන්ගේ උපදෙස්‌ මත එහි ස්‌ථානාධිපති නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ මෙහෙය වූහ.


හේමන්ත රන්දුණු
ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.