අයිතිකාරයෙක්‌ නැති හොල්මන් නැති
රටම හොල්මන් කළ 'මල්වානේ ගෙදර'

රුවන් ජයවර්ධන
ඡායා කමල් බෝගොඩ



මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් පෙළක "එක්‌ ජවනිකාවක්‌" පසුගිය දිනක නිමාවට පත් විය. එසේ නිමාවට පත්වූවේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අයත් යෑයි කියූ මල්වාන මාපිටිගම ගඟබඩ පිහිටි සුවිසල් නිවස, ඉඩම ඇතුළු එයට අයත් සියලු දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ මහේස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා පසුගිය 14 දා දුන් නියෝගයත් සමඟය. එහිදී මහේස්‌ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කොට තිබුණේ එම දේපළ විකිණීමෙන් ලැබෙන ආදායම නඩුවට අදාළව අධිකරණයේ තැන්පත් කරන ලෙසත්ය. එය සමස්‌ත කථාවේ එක්‌ සිද්ධියක්‌ පමණය.

සිද්ධියක්‌ යනු සමස්‌තයම නොවන බැවින් ආන්දෝලනයට තුඩු දී ඇති මල්වාන ගඟබඩ පිහිටි සුවිසල් නිවස ඊට අයත් ඉඩම සහ දේපල සඳහා සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න මේ වන විට බොහෝ දෙනෙකු තුළ පවතින ගැටලුවක්‌ය. ඉදිරියේදී එහි සුළ මුළ අධිකරණය ඉදිරියේ හෙළිවීමට නියමිත බැවින් එය පසුවට කථා කළ යුතු කරුණක්‌ය.

ආන්දෝලනයට තුඩු දී ඇති නිවසත් එය පිහිටා ඇති වටපිටාවත් පිළිබඳ මල්වාන ගම්වැසියන් දරන්නේ කෙබඳු අදහසක්‌ද? පසුගිය සමයේ ඔවුන්ට අසන්නට දකින්නට ලැබුණේ කුමක්‌ද? යන්න සොයා බැලීමේ අටියෙන් අප පසුගිය දිනෙක මල්වාන ගඟබඩ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණෙමු.



අපි ගමන්ගත් රථය මල්වාන හන්දිය පසු කර මද දුරක්‌ ගිය තැන දකුණු දෙසට ඇති වලගොඩැලි සහිත තරමක්‌ දුෂ්කර මාර්ගයක අසීරු ගමනකට අවතීර්ණ විය. දෙපස දිස්‌වන්නට වූයේ තරමක පාළු හිස්‌ ස්‌වභාවයක්‌ය. මාර්ගයෙහි කෙළවර තුන් මංසලක්‌ මුණ ගැසුන බැවින් කොයි අතට යා යුතු දැයි එකවර තීරණය කළ නොහැකිය. මගදී මුණ ගැසුන ගැමියෙකුගෙන් කළ විමසීමකින් අනතුරුව අප රැගත් රථය වමට ඇති මාවතක නැවතත් ගමනකය. දෙපස සරුසාර ගොඩ ගොවිතැනින් සහ විශාල රඹුටන් වගාවන්ගෙන් යුත් දර්ශනීය දසුනක්‌ය. එතැන් සිට යා යුතු මග විමසීමට මගදී මුණ ගැසුන කිසිවෙක්‌ද නොවීය.

අතුරු මාර්ගය ඔස්‌සේ කිලෝ මීටරයකට ආසන්න දුරක්‌ පැමිණීමෙන් අනතුරුව අප සොයන නිවස යෑයි සිතිය හැකි භූමියක්‌ දක්‌නට විය. එහි එක්‌ අන්තයක්‌ මල්වාන ගඟබඩ මාර්ගයෙන්ද අනෙක්‌ අන්තය කැලණි ගඟෙන්ද වෙන්ව පැවැති අතර අනෙක්‌ අන්ත දෙක කෙලවර වී තිබුණේ එකක්‌ නිවාස කීපයක්‌ වෙත යන මාවතක්‌ ලෙසින් හා අනෙක වෙනත් ඉඩමකට සීමා වෙන පරිදිය.

අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට අයත් යෑයි සැක කළ නිවසත් එය පිහිටි ඉඩමත් යෑයි අප අනුමාන කළ තැන එය බව ගම්වැසියෙකු විසින් සනාථ කළ පසු අවට විපරම් කර බැලීමේදී දකින්නට වුවේ අක්‌කර 18 කින් යුක්‌ත යෑයි පවසන සම්පූර්ණ ඉඩමේ තුන් පැත්තක්‌ අඩි හත අටකින් පමණ උස දැල් ආවරණ මගින් ආවරණය කර තිබු අයුරුය. අනෙක්‌ පස සීමා වී ඇත්තේ කැලණිගඟේ මල්වාන අන්තයටය. විසල් ඉඩමෙහි පෙනෙන තෙක්‌ මානය පුරා දක්‌නට වුයේ පිළිවෙලට කරන ලද පොල් වගාවය. ඒ අතරින් තරමක්‌ ඈතට වෙන්නට දක්‌නට ලැබුණේ පොලිස්‌ ආරක්‍ෂාව මැද පිහිටි ආන්දොaලනයට තුඩුදුන් සුවිසල් නිවසය.

"කථා වස්‌තුව" දෑසින් දැක ගැනීමෙන් අනතුරුව මෙතෙක්‌ කලක්‌ රඹුටන් සඳහා ප්‍රසිද්ධව තිබූ මල්වානට මේ වන විට ලැබී තිබෙන අමතර ප්‍රසිද්ධිය සහ අදාළ සිද්ධිය හෙවත් බැසිල් රාජපක්‍ෂට අයත් නිවස යෑයි බොහෝ දෙනෙකු හඳුන්වනු ලැබූ සුවිසල් නිවසත් එය පිහිටි ඉඩමත් පිළිබඳ ගම්වාසීන් කීප දෙනෙකු හා අප කෙටි කතා බහක නිරත විය. එහිදී මුලින්ම අදහස්‌ දැක්‌ වූ මල්වානේ මුල් පදිංචිකරුවෙකු වූ උපාලි නැමැත්තා තමන් දන්නා දේ නොසඟවා පැවසීය.

"මම කරන්නෙ ගොවිතැන් රස්‌සාව. මේ ඉන්නේ චුටි. චුටි යන නමින් හැඳින් වූයේ ඔහු අසල වු තවත් පුද්ගලයෙක්‌වය. අපි දෙන්න දැන් අවුරුදු හයක්‌ තිස්‌සෙ මේ ඉඩමේ වගා කටයුතු කරනවා. ඔහු මේ ඉඩම් යෑයි පැවසුවේ වෙන්දේසියේ විකිණීමට නියමිත ඉඩමට මායිම්ව ඇති වෙනත් ඉඩමකි. අපි පත්තරෙන් TV එකෙන් දකිනකම් දැනගෙන හිටියෙ නෑ, මේක බැසිල් මහත්තයගේ ඉඩමක්‌ කියලා. අපි දවල් රෑ දෙකේම ඉන්නෙ මේ ඉඩමේ හින්ද අල්ලපු ඉඩමට ආවේ ගිය අය කවුද කියල දැකල තියෙනවා. ලොකු ලොකු මහත්වරු ආවගියා තමයි හැබැයි කවදාවත් බැසිල් මහත්තය එනව නම් අපි දැකල නෑ. එහෙම ආවනම් ඒ අය එන්නේ ආරක්‍ෂාව මැද්දෙනෙ. ඒ දවස්‌වල ලොකු කොම්පැණියකින් ඇවිත් ඔය ඉඩමේ වගා කටයුතු කළා ඒක අපි ඇස්‌දෙකෙන් දැක්‌ක දෙයක්‌. ඒ දවස්‌වල ඉඩමේ වගා කටයුතු කළ කොම්පැණියේ නමදාපු ලොකු බෝඩ් එකක්‌ එහෙමත් ගහල තිබුණා. ගමේ මිනිස්‌සු දවසෙ කුලියට රස්‌සාවත් කළා. ඉඩම බැසිල් මහත්තයගෙද අර කොම්පැණියෙද කියල බලන්න අපිට වෙලාවක්‌ උවමනාවක්‌ තිබුණේ නෑ.....

එසේ පවසමින් උපාලි චුටි දෙයට හැරුණු අතර එතැන් සිට චූටි ඔහු දන්නා දේ අපත් සමඟ පැවසීය.

"මම රෑටත් ඉන්නේ මේ පැලේ. සත්තුන්ගෙන් බෝග ටික ආරක්‍ෂා කරගන්නයි එහෙම පැල් රකින්නෙ. මම කවදාවත් ඔය ආව ගියා කියන බැසිල් මහත්තයවත් එයාගේ නෝනවවත් දැකල නෑ. මම ඔය ගේ හදද්දී අත්තිවාරම් කපන දවසෙත් කුලියට එතන වැඩ කරපු කෙනෙක්‌. ඔය ඉඩම කාගෙද කියලවත් නොදැන හිටිය අපිත් ඔය අලුත් ආරංචිය දැන ගත්තේ පත්තරෙන්.

මේ සම්බන්ධව අපට අදහස්‌ පළ කළ තවත් ගම්වැසියන් කීප දෙනෙකුගේ අදහස තරමක්‌ වෙනස්‌ය. ඉන් එක්‌ අයෙක්‌ අපහා කථා බහට එකතු විය.

"ඕක පොළොව යටත් කාමර තියෙන ගෙයක්‌. මිදුලෙ ලොකු නාන තාටාකයක්‌ තියෙනවා. පසුගිය ගංවතුර වෙලාවේ මල්වානේ මේ අපි ඉන්න පැත්ත ඒ කියන්නෙ ගඟබඩ කියන හරිය මුළුමනින්ම යට වුණා. අපිට ඉන්න හිටින්න තැනක්‌ නැති පාර පවුල් ගණනාවක්‌ ගිහින් ඔය ගෙදර නතර වුණා. දවසක්‌ දෙකක්‌ නෙමෙයි. දවස්‌ 9 ක්‌ අපි ඔය ගෙයි හිටියා. බෝට්‌ටුවෙන් තමයි ඒ දවස්‌ ටිකේම ගමන ඔය ගේ යට වුණේ නෑ. එතකොටත් පුද්ගලික ආරක්‍ෂක භටයෝ දෙන්නෙක්‌ ඔය ගේයි වත්තයි මුර කළා. ඕක මහ විසාල ගෙයක්‌ මුලින් මොකක්‌ද කොම්පැණියකින් ඇවිත් ගොවිපලක්‌ දානව කියලා තමයි ගමට ආරංචිය ආවේ. ගොවිපලක්‌ දැම්ම තමයි හැබැයි ඒක නමට විතරයි. ඔය සත්තු ටිකක්‌ ගෙනත් දාගෙන ගස්‌ ටිකක්‌ වැව්ව එච්චරයි. ඒ අස්‌සෙ තමයි ඔය ගේ හදන්න ගත්තේ ඒ දවස්‌වල දවල් රෑ තිස්‌සෙ කළු වීදුරු දාපු කාර් වෑන්වලින් කට්‌ටිය ආව ගියා ඒ දවස්‌වල ගමේ කටකතාවක්‌ පැතුරුන ප්‍රබල දේශපාලන බිරිඳක්‌ පවා ඔය ඉදිකිරීම් බලන්න ආවගියා කියල හැබැයි ඕව පැතිරුනේ කට කතා විදියට. ඒ දවස්‌වල තිබුණ තව කතාවක්‌ තමයි ඔය ඉඩමයි කැලණි ගඟයි යා කරල පාලමක්‌ ගහන්න යනවයි කියපු එක."

"අපි මේ ගං පදිංචිකාරයෝ. ඉස්‌සර වෙද මහත්තය ඉන්න කාලේ මේව හොඳට පාලනය වුණා. වෙදමහත්තයා හිටිය නම් මේව විකුණන්නෙ නෑ. වෙද මහත්තයට දූලම හතර දෙනෙක්‌නෙ. ඒ දරුවො තමයි මේව විකුණුවේ. දැනට ගමේ ඉන්නෙ එක දුවයි. එයත් වෛද්‍යවරියක්‌. හොඳ වැදගත් මිනිස්‌සු.

"දැන් ඔය පොලිස්‌ ආරක්‍ෂාව දාල තියෙන්නෙ. පොලිස්‌ ආරක්‍ෂාව දාල තවම මාසයක්‌වත් නෑ. ඊට ඉස්‌සර ඔය ඉඩමේ කෙහෙල් කැනක්‌, පොල් ගෙඩියක්‌ හැදෙන්න දෙන්නෙ නෑ. එක එකා ඇවිත් කඩාගෙන යනවා. අරයට භාර දුන්න මෙයාට බාර දුන්න කියල එක එකා වත්තට පැනල තියෙන දෙයක්‌ අරන් යනවා. කොම්පැණියකින් ගත්ත කියල බොරුවක්‌ කරල ඔය මාලිගාවක්‌ වගේ ගෙයක්‌ හදල තියෙන්නෙ එසේ මෙසේ කෙනෙක්‌ නෙවෙයිනේ. ඒ හින්ද ඔය පත්තර TV වල යන කතා බොරු වෙන්න බෑනේ."

නම සඳහන් කිරීමට අකමැති වු මල්වානේ කාන්තාවක්‌ බැසිල් රාජපක්‍ෂගේ යෑයි කියනු ලැබූ ඉඩම පිළිබඳවත් එහි අතීතය පිළිබඳවත් වැදගත් තොරතුරු රැසක්‌ හෙළා කළිය.

"ඇත්තටම මේ ඉඩම ගත්තෙ කවුද කියල කියන්න ගමේ අපිවත් දන්නෙ නෑ. මේ මෑතක ඉඳල තමයි ඔය ගෙයයි ඉඩමයි ගැන කතා වෙන්න ගත්තෙ. මම ඔය ඉඩමට කීප වතාවක්‌ ආවගිය කෙනෙක්‌. මගේ මහත්තය වැඩ කළේ ඔය වත්තේ. ඒක අදක ඊයෙක ඉඳල කරපු රස්‌සාවක්‌ නෙවෙයි. ඔය ඉඩම විකුණන්න ඉස්‌සර ඉඳන්ම මහත්තය ඔය ඉඩමේ කුලියට රස්‌සාව කළා. එතකොට ඔය ඉඩමේ තිබුණේ මුර මඩුවක්‌ ස්‌ටෝරුවක්‌ විතරයි ඔය ඉඩමත් ඊට අමතරව මේ පළාතේ තිබුණ තවත් ඉඩම් රාශියකුත් හිමිකරු වුණේ ධර්මසේන වෙදමහත්තය. ලොකු වෙද මහත්තය මිය ගියාට පස්‌සෙ තමයි පවුලේ අය ඔය ඉඩම විකුණන්න තීරණය කරන්නෙ. එහෙම තීරණය කරල මුලින්ම පත්තරේක දැන්වීමක්‌ දැම්ම. ඕක දැකපු ලොකු ලොකු ව්‍යාපාරිකයෝ ඔය ඉඩම ගන්න ආවා. කොහොම හරි අන්තිමට ඉඩම ගන්නේ මොකක්‌ද කොම්පැණියකින්."

"එහෙමයි ගමේ මිනිස්‌සු කියන්නේ. ඊට පස්‌සෙ ඒ අය ඉඩම වැව්ව, මල් පලතුරු විවිධ ගස්‌ වර්ග ඉන්දුව, ඊට අමතරව හොඳ සත්ත්ව ගොවි පලක්‌ හැදුව හරක්‌ එළුවො බැටළු, කුකුල්ලු ආදී සත්තු හැදුව එතනදිත් ගමේ මිනිස්‌සුන්ට රස්‌සා දුන්නා. දවසෙ පඩිය රු 800 යි. ඔහොම ඉන්න අතරේ තමයි ඔය දැන් නඩු දාලයි කියන නිවස ඉදි කරන්නෙ. ඉඩමේ වගා කටයුතු කරපු කොම්පැණියෙන් නෙවෙයි හදන එක කරන්නෙ. ඔහොම ඉන්න අතරේ තමයි ඉඩමේ වගා කටයුතු කරපු කොම්පැණිය අයින්වෙලා යන්නෙ. ඒ යද්දි එතන වැඩ කරපු කීප දෙනෙකුට රු 50000 ක්‌ ගානෙ කොම්පැණියෙන් දුන්නා."

"කොහොම හරි ඔය වත්ත හින්ද මල්වාන ගමට ලොකු එළියක්‌ වැටුණ. ඉස්‌සර ඔය ගඟබඩ පාර කියන්නෙ මඩ කඩිත්තක්‌ කොම්පැණියෙන් තමයි පාර පළල් කරල ඔය තත්ත්වයට ගෙනාවේ. ගමට ලයිට්‌ ලැබුණා. ගමේ මිනිස්‌සුන්ට රස්‌සාව තිබුණා. අන්තිමට මොකද වුණේ. අරයගෙ මෙයාගේ දේපලක්‌ කියල ලොකු කලබලයක්‌ හදල හැම දෙයක්‌ම අතර මග නතර වුණා. ඔය ගේ හදද්දි ඉඩමෙ වගා කටයුතු කරද්දී නිතර වාහන ආව ගිය හින්ද දැන් පාර හොඳටම අබලන්. ඒකෙන් පාඩු වුණේ ගමේ මිනිස්‌සුන්ට මේ වෙද්දී ගමට යන්න හරි හමන් පාරක්‌වත් නෑ. මහත්තයල දකින්න ඇත්තේ මෙහාට එද්දී.

අප ගම්වැසියන් කීප දෙනෙකු සමඟ කතාබහ කළ මේ කියන ඉඩමට ආවගිය පුද්ගලයන්, ඉඩම සහ නිවස සම්බන්ධයෙන් පැතිර ගිය ආරංචි පිළිබඳව ඔවුන් ඒ හැටි යමක්‌ නොදන්නේය. බොහෝ දෙනෙකුගේ පොදු මතය වුයේ එය පුද්ගලික දේපලක්‌ බවත් එය කවුරුන් විසින් කවදා මිලට ගත්තේ දැයි තමන් නොදන්නා බවත්ය. මෙතෙක්‌ කල් රඹුටන් වාරයට මල්වානට පැමිණෙන මිනිසුන්ට අමතරව මේ දිනවල විවිධ මාධ්‍ය ආයතන මගින් තම නිවෙස්‌ වෙත පැමිණෙන බවත් එසේ පැමිණෙන්නේ සිද්ධියට අදාළ නිවස සහ ඉඩම ඉබි යතුරු දමා වසා ඇති බැවින් බව පමණක්‌ මල්වාන වැසියන් ස්‌ථීරෙටම දන්නා කරුණක්‌ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.