නින්දේදී මරු හමුවී අවුරුදු 26 දී
ජීවිතයට සමුදුන් බාකීර් මාකර් තුන්වන පරපුරේ අදීල්


විජයසිරි විද්‍යාසේකර

වෙද මහත්මයකුගේ පුතෙකු ලෙස ජන්ම ලාභය ලැබූ කළුතර දිසාවේ තනි අලියා ලෙස දේශපාලන ප්‍රතිවාදීන්ගේ විරුදාවලියට ලක්‌ වූ හිටපු කථානායක ඇම්. ඒ. බාකීර් මාකාර් මහතාට අවශ්‍ය වූයේ පරම්පරාවෙන් පරම්පරාවට මිත්‍රත්වයේ දැත දිගු කරන්නට ය.

බේරුවල මරදාන අරාබි පාරේ අංක 36 නිවසේ ආලින්දයේ හාන්සි පුටුවේ දිගා වී 70 දශකයේ සිට නිවසට ළඟා වන විට විල්බට්‌, පැට්‌රික්‌, කුසුමාවතීලා, ලයනල් යනාදී සිය පාක්‍ෂිකයන්ට ඉමිටියාස්‌ බාකීර්Êමාකාර්ට හඳුන්වා දෙමින් සිය පළමු පරපුරේ හිතවතුන්ගේ දූ පුතුන් සමඟ සිය සම්බන්ධතාව හොඳ හිත මිත්‍රත්වය ඇතිකර ගන්නා ලෙස අවවාද කිරීමට ද අමතක නොකරති.

ඉමිතියාස්‌ නමැති යෞවන පිරිපුන් උගත් තරුණයා පියාගේ මඟ යමින් දෙවැනි පරපුරේ සිංහල, දෙමළ, මුස්‌ලිම් යෞවන යෞවනියන් සමඟ දේශපාලනයේ නිරත වෙමින් දෙවැනි පරපුර සමඟ සමීප සම්බන්ධතාවන් පවත්වන අයුරු දැක බාකීර් මාකාර්Êසතුටට පත් වූ වාර අනන්තය.

දෙවැනි පරම්පරාවේ තම හිතවතුන්ගේ දූ දරුවන් සමඟ සිය දරු පස්‌දෙනා සම්බන්ධ කිරීමට ඉමිතියාස්‌ බාකීර් මාකාර් මහතා කටයුතු කළ අතර සිය ආදරණීය බිරිඳ වූ ෆරීඩා බාකීර් මාකාර් මහත්මියගෙන් ද ඒ සඳහා නොමඳ සහායක්‌ ලැබුණි.

දුරකථනයෙන් නිතරම මා සමඟ සම්බන්ධ වෙන ඉමිතියාස්‌ බාකීර් මාකාර් මහතා මාගේ පුතුන් දෙදෙනා ද දුව හා බිරිඳගේ තොරතුරු විමසීමට අමතක නොකරති.

මාගේ ලොකු පුතා වන බිම්සර කොළඹ විශ්වවිද්‍යාලයේ උසස්‌ අධ්‍යාපනය හදාරන බව අසා ඉතාමත් සතුටට පත්විය.

විද්‍යාසේකර තුන්වැනි පරපුරට පුතාව සම්බන්ධ කරන්න ඕනෑ. මගේ අයාන්, අයාවි, ෆdදිල්, ආදිලා හා ඉන්සාන් යන පුතාලට මුණ ගස්‌සන්න ඕනෑ. පුතාට අපේ ගෙදරට එන්න කියන්න යෑයි නිතරම පවසන්නට විය.

ඉමිතියාස්‌ගේ පුතුන් පස්‌දෙනා අතරින් තුන්වැනි පරපුරේ මෙන්ම මහජනතාවගේ හොඳහිත දිනාගත් තරුණයා වූයේ නීතිඥ ආදිල් බාකීර් මාකාර් මහතාය. මිය යන විට 26 වැනි වියේ පසු වූ ඔහු 1990 මාර්තු මස 11 වැනි දා උපත ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ ඔහු කොළඹ ආයිඩා ජාත්‍යන්තර පාසලෙන් ලන්ඩන් උසස්‌ පෙළ හැදැරීය.

රාජකීය විද්‍යාලයේ අවුරුදු 13 න් හා 15 න් පහළ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස දක්‍ෂතාවන් දැක්‌වීය.

ලන්ඩන් නීති උපාධිය හදාරා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ විභාගය සමත් වූ ආදිල් බාකීර් මාකාර් ශ්‍රී ලංකාවේ තුන්වැනි පුරවැසියා වීමේ භාග්‍යය ලත් දිවංගත කථානායක බාකීර් මාකාර් සීයාගේ හා පියාවන ඉමිතියාස්‌ බාකීර් මාකාර් හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයාගේ මඟ යමින් දේශපාලන ක්‍ෂේත්‍රයේ දිදුලන තරුවක්‌ වීමට ඉඩ තිබුණ අතර පියා හා සීයා මෙන්ම අධිකරණ ක්‍ෂේත්‍රයේ දක්‍ෂ නීතිවේදියකු වීමට ද ඉඩ තිබිණි.

නීතිඥ ආදිල් පලස්‌තීන සහයෝගීතා සංවිධානය හා ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකාර් මධ්‍යස්‌ථානයේ දියුණුව සඳහා තිරය පිටුපස සිට සිය දායකත්වය ලබා දුන්නේ රටේ ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීමට ය. 2013 වසරේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සම්මේලනයේ තරුණයන් නියෝජනය සඳහා ඉකුත් රජයේ යෞවන කටයුතු ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා ආදිල් බාකීර් මාකාර් මහතා තෝරාගත්තේ ඔහු තුළ ඇති දක්‍ෂතාව නිසා බව ප්‍රකාශ කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයකු වශයෙන් පත් කළ අතර එහි ජාත්‍යන්තර සම්බන්ධතා සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධතා අංශය භාරගෙන කටයුතු කරමින් සිටියදී විදේශගත වීමට සිදුවිය.

ආදිල් බාකීර් මාකාර් විදේශගත වීමට පෙර තරුණසේවා සභාවේ පැවැති සමුගැනීමේ අවස්‌ථාවේදී මෙසේ ප්‍රකාශ කළේය.

මෙම ආයතනයට මගේ සහාය අත්‍යාවශ්‍ය බවත්, පුළුල් වශයෙන් ජාත්‍යන්තර සබඳතාවන් මා සතුව පවතින බැවින් සභාපති එරංග වැලිඅංගේ මහතා මට වැඩ කොටසක්‌ භාර දුන්නා.

2014 වසරේදී ජාතික තරුණ සේවා සභාවෙන් විදේශ අධ්‍යාපනය ලැබීමට පිටත් කළේ තරුණයන් අටදෙනකු පමණයි. මෙම වසර (2015) තුළ විදේශ අධ්‍යාපනය ලැබීමට තරුණයන් 78 දෙනකු යෑවීමට අප සමත් වුණා. එක්‌ දිස්‌ත්‍රික්‌කයකින් තුන්දෙනා බැගින් තරුණයන් 78 දෙනකු තෝරා ගත්තා. මෙයින් 74 දෙනකු විදේශගත අධ්‍යාපනය ලැබීමට පිටත් කළ අතර දෙදෙනකු පෞද්ගලික හේතූන් මත ගියේ නැත. ජපානය, ඉන්දියාව, පාකිස්‌තානය, බංග්ලාදේශය, මැලේසියාව වැනි රටවල මේ තරුණ පිරිස අධ්‍යාපනය ලබනවා.

ජාත්‍යන්තර සබඳතාවන්, ඉංග්‍රීසි අධ්‍යාපනය, තොරතුරු තාක්‍ෂණය නොමැති තරුණ පරපුරට ඉදිරියට යන්න බැහැ. මට ද ජාතික තරුණ සේවා සභාව හරහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යැමට අවස්‌ථාව උදා වුණා. පසුව මට තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන්න හැකිවුණා. මගේ පියා ද තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයකු වශයෙන් කටයුතු කර තිබෙනවා යෑයි එම උත්සවයේදී පැවැසීය.

තරුණයන් වන අපව ජයග්‍රහණය කරා මෙහෙයවන වසර 70 ක්‌ සපිරි එක්‌සත් ජාතික පක්‍ෂය යනුවෙන් එ. ජා. ප. 70 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු විසින් ලියන ලද ලිපිය සිංහල දෙමළ හා ඉංග්‍රීසි ජාතික පුවත්පත්වල පළ වූ අතර එම ලිපිය ඔහු මිය යන්නට පෙර ජාතික පුවත්පත්වලට ලියූ අවසන් ලිපිය විය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක්‌ මත ඔහු ලන්ඩනය බලා 2016 සැප්තැම්බර් මස 15 වැනිදා සවස ශ්‍රී ලංකන් ගුවන් යානයකින් පිටත් විය.

ලන්ඩන් නුවර ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්‌ වන ලන්ඩන් ස්‌කූල් ඔෆa ඉකොනමික්‌ ඇන්ඩ් පොලිටික්‌ස්‌ විශ්වවිද්‍යාලයේ සමකාලීන දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධිය හදාරමින් සිටියදී මෙම මස 12 වැනි දින අභාවප්‍රාප්ත විය.

මෙම විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ගත කළ සති තුනක කාලය තුළදී විශ්වවිද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස තෝරාගත් බව ඔහු සිය මවට දන්වා තිබිණි.

සමාජ සේවා කටයුතුවලට අමතරව ක්‍රිකට්‌ ක්‍රීඩාවට ද දක්‍ෂතාවන් දැක්‌වූ ආදිල් කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරමින් සිටි අතර බාටා සහ ටයිම්ස්‌ 2008 වසරේ ඡන්දයෙන් තේරූ ජනප්‍රියතම වසරේ ක්‍රීඩකයා තේරීමේ තරගයෙන් දෙවැනි ස්‌ථානය ලබාගැනීමට සමත් විය. 2009 වසරේ දී අනාගත නායකයන් සදන ඇමරිකන් එක්‌සත් ජනපදයේ පැවැති වැඩමුළුවට ද සහභාගි වෙමින් දිවයිනට කීර්තියක්‌ ලබා දුන්නේය.

උපන් මව් බිමටත් ගෞරවයක්‌ ලබා දෙමින් විදේශීය රටවල් නියෝජනය කළ නීතිඥ ආදිල් බාකීර් මාකාර් මහතාගේ වියෝවීම මා දැන ගත්තේ ඉකුත් 13 වැනිදා කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට සහභාගිවෙමින් සිටියදීය.

මා ඉමිටියාස්‌ බාකීර් මාකාර් මහතාගේ ජංගම දුරකථනයට ද නිවසේ දුරකථනයට ද ඇමතුම් ගත් නමුත් දුරකථන විසන්ධි වී තිබිණි.

ආදිල් බාකීර් මාකාර් මහතාගේ හදිසි අභාවය කන වැකුණ කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාව දහස්‌ ගණනින් කොළඹ 7 බුලර්ස්‌ පටුමගේ අංක 34 නිවසට රොක්‌වන්නට විය. බේරුවල ජනතාව ද දිවා රාත්‍රි කොළඹට පැමිණ සිය ශෝකය ඉමිටියාස්‌ බාකීර් මාකාර,¨ ෆරිඩා බාකීර් මාකාර් දෙපළට ද අසාත්, අසාමි, ෆdදිල් හා ඉන්සාප් යන සොයුරන්ට පළ කරන්නට විය. සිය පුතුගේ අභාවය ගැන ශෝකය පළකරන්නට පැමිණෙන ජනතාව සමඟ ශෝකය බෙදා ගන්නට ඉමිතියාස්‌ යුවළ හා සහෝදරයන් සිව්දෙනා 13 වැනිදා සිට 16 දක්‌වා නිදි නොලබා සිටි ආකාරය දැක ගත හැකි විය.

ශෝකජනක මරණය ගැන ඉන්දීය සංචාරයක යෙදී සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනගත් මොහොතේදීම ඉමිටියාස්‌ ෆරීඩා යුවලට දුරකථනයෙන් කතා කර සිය බලවත් ශෝකය පළ කරන්නට අමතක නොකළේය.

මහ සඟරුවනද, කතෝලික, මුස්‌ලිම්, ද්‍රවිඩ පූජකවරුන් ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ද පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ද අති විශාල පිරිසක්‌ ශෝකය පළකරන්නට පැමිණි අතර නොසිතූ ජනකායක්‌ පැමිණි නිසා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමට පොලිසියට සිදුවිය. පසුගිය 16 වැනිදා පස්‌වරුවේ දේහය ලන්ඩන් නුවර සිට කොළඹ නිවසට රැගෙන ආ අවස්‌ථාවේදී ආදිල් බාකීර් මාකාර් මහතාගේ මෑණියන් වූ ෆරීඩා බාකීර් මාකාර් මහත්මිය ඇතුළු ඥාතීන් අවසන් ගෞරව දැක්‌වීමෙන් පසු ජාවත්ත මුස්‌ලිම් දේවස්‌ථානයේදී අවසන් කටයුතු සිදු කෙරිණි.

සිය පුතුගේ හදිසි අභාවය පිළිබඳව ජාතික මාධ්‍ය මධ්‍යස්‌ථානයේ සභාපති ඉමිතියාස්‌ බාකීර් මාකාර් මහතා,

පුතාගේ කරුමයක්‌ පලදුන්නා. දෙවියන්ගේ කැමැත්ත අනුව පුතා අභාවප්‍රාප්ත වුණා. අප මේ ලෝකයේ ගත කරන කාලය ස්‌වල්පයයි.

පුතා කෙටි කලක්‌ ජීවත් වෙලා හිත රිදවන්නේ නැතිව ගියා. අපේ ජීවිත ස්‌ථාවර නැහැ. මේ ජීවිත කාලය තුළ හොඳින් ජීවත් වියයුතු බව අවබෝධ කරගන්න ඕනෑ යෑයි ශෝකයෙන් පැවැසීය.

කථානායක දිවංගත ඇම්. ඒ. බාකීර් මාකාර් මහතා තමා සමඟ එක්‌ව සිටි ආධාරකරුවන් හිතවතුන්ගේ දූ දරුවන් ඉමිතියාස්‌ බාකීර් මාකාර්Êමහතා ඇතුළු දූ දරුවන්ට සමීප කරමින් දෙවැනි පරම්පරාවක්‌ බිහිකරමින් සිංහල - මුස්‌ලිම් සහෝදරත්වය වර්ධනය කළ අතර ඉමිතියාස්‌ මහතා ද සිය පුතුන් පස්‌දෙනාත් තමන්ගේ හිතවතුන්ගේ දරුවන් ද තුන්වැනි පරම්පරාවට යා කරන්නට කටයුතු කළේය.

තුන්වැනි පරපුරේ ප්‍රධාන පුරුකය වූ ආදිල් බාකීර් මාකාර් මහතාගේ අකල් වියෝව කළුතර දිස්‌ත්‍රික්‌කයේ විශේෂයෙන් බේරුවල ජනතාවට දරාගත නොහැකි හිඩැසක්‌ බව නොකියා නොහැක.

විජයසිරි විද්‍යාසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.